රුපියල් කෝටි 13 කට අධික වටිනා මත්පෙති තොගයක් රේගු භාරයට

රුපියල් කෝටි 13 කට අධික වටිනා මත්පෙති තොගයක් රේගු භාරයට

*********************************************

රුපියල් කෝටි 13 කට අධික වටිනා මත්පෙති තොගයක් රේගු භාරයට

(07.01.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

බෙල්ජියමේ සිට ගුවන් තැපැල් මගින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ රුපියල් කෝටි 13 හමාරකට වැඩි වටිනාකමකින් යුත් ‘මෙතපිටමින්’ නැමති මත්පෙති 18,000 ක් අද (07) රේගු භාරයට ගෙන තිබෙනවා.

ආසියාවේ සිදුකළ විශාලතම මත්පෙති වැටලීම ද මෙය වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ.

සත්ව ආහාර ගෙන්වන මුවාවෙන් මෙම මත්පෙති තොගය මෙරටට එවා තිබෙනවා.

හපුතලේ ප්‍රදේශයේ ලිපිනයකට අදාළ මත්පෙති තොගය ලැබී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

***************************************

(07.01.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

බුත්තල – කූරම්පොළ – යපස් නිධියෙන් අවම වශයෙන් යකඩ ටොන් මිලියන 86 ක් ලබා ගත හැකි බවට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිදුකළ පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

වර්ග කිලෝමීටර 26 ක් පමණ පුරා දිවෙන මෙම නිධියේ සහ හලාවත – පනිරෙන්ඩාව යපස් නිධියේ කැණීම් රජයේ වැඩපිළිවෙල යටතේ සිදුකරන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් පරිසර සහ කර්මාන්ත අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් ද ඊයේ (06) පැවති අතර, එහිදී අදාළ යපස් නිධි කර්මාන්ත අමාත්‍යාංශයට ලබාදීමට සාකච්ඡා කර තිබෙනවා ෴

***************************************

(07.01.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුලට හෙරොයින්, අයිස් සහ කෙරළ ගංජා රැගෙන් යාමට උත්සහා කිරීමේදී බන්ධනාගර නිලධාරීන් විසින් බන්ධනාගර නියමකයෙකු අත්අඩංගුව ගෙන තිබෙනවා.

මෙලස සැකකරු බන්ධනාගාරය තුළ වසර 08 ක් සේවය කළ නියාමකයෙක් බවයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සඳහන් කලේ.

සැකකාර බන්ධනාගාර නියාමකවරයා හෙරොයින් ග්‍රෑම් 3 ක් අයිස් ග්‍රෑම් 3 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 8 කට වැඩි ප්‍රමාණයක් බඳ පටියෙහි සඟවාගෙන රැගෙන යාමට උත්සාහ කර ඇතැයි සඳහන්.

එම පුද්ගලයා වැඩිදුර විමර්ශණ සඳහා පොලිසියට භාරදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා කියාසිටියේ ෴

***************************************

(07.01.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල තෙත්බිම මහා පරිමාණ සංචාරක වැඩපිළිවෙළක් සඳහා යොදාගැනීමෙන් ගම්පහ ජනතාවගේ ජීවිත අවධානමකට යොමුකර ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අද (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උණ්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

+++++++++++++

***************************************

(07.01.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් ඇප හිමිවීම සම්බන්ධයෙන් ‘සිංහලේ ජාතික සංවිධානය’ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

***************************************

අවසන් සටන තෙක් යුද වැදුණු එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙක් බුදු දහම වැළඳගනී

(07.01.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය සහ මෛත්‍රිය – කරුණාව කිසි කලෙක එක් නොවන සංකල්ප දෙකක්.

නමුත් සිය අවබෝධය තුළින් ත්‍රස්තවාදියෙකුට පවා යහමගට පැමිණීමේ අවකාශ පවතින බවට ජීවමාන නිදසුනක් ගැන අපට වාර්තා වුණා.

මේ ගිනි අවිය අතහැර බුදුන් සරණ ගිය ඔහුගේ කතාවයි.

***************************************

(07.01.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

මීට අමරතව විදේශ කටයුතු අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ද හමුවී සාකච්ඡා කර ඇති බව සදහන්.

පසුගිය 5 වන දා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා ෴

***************************************

(07.01.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

සීනි බදු සංශෝධනයේ වාසිය පාරිභෝගිකයන්ට හිමිවන්නේ ද යන්න පිළිබඳ අපක්ෂපාතී විමර්ශණාත්මක වාර්තාවක් රජයේ මුදල් කාරක සභාවට ලබාදෙන ලෙසට එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ යාපා මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා ෴

***************************************

(07.01.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල ප්‍රදේශයේ හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා (3) ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද (07) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගියදා මෙලෙස පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුනේ අවිස්සාවේල්ල කොඩිකන්ද ආරණ්‍ය සේනාධිපති හිමියන්.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කුඩා සාමණේර හිමිනමකගේ මවක් ඇයගේ අනියම් සැමියා බවට සැක කෙරෙන අයෙක් සහ පැහැරගත් ස්වාමීන් වහන්සේ රඳවා තබා ගත් කඩවත ප්‍රදේශයේ නිවසක හිමිකරුවෙක්.

***************************************

(07.01.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කර තිබෙනවා.

හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරු කොමිෂමේ සම සභාපතිත්වය හොබවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

කොමිසමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබෙනවා.

කොමිෂමට පැවරී ඇති කාර්යභාරයන් වන්නේ,

ආයෝජන හා ඉදිකිරීම් ක්ෂේත්‍ර ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රවලට අදාලව දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස්, අවසර පත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි, රාජ්‍ය මූල්‍ය හා බදු ආදායම් සම්බන්ධ සියළු නීති, රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහිද අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයට ලක් කිරීම,

විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණෙන් බැහැරවීමක් සිදු වී ඇත්දැයි අධ්‍යයනය කිරීම,

වඩාත් ඵලදායී නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන් තුල උක්ත නීති රෙගුලාසි වල අදාළ බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම,

දැනට පවතින සංකීර්ණ හා අධිනියාමන නීති පද්ධති තුළ ඒවා බලාත්මක කිරීමට රජයටත් ඒ සඳහා අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ හා අවිධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම,

දැනට පවතින චක්‍රලේඛ, උපදෙස්, නීති, රෙගුලාසි සරල කළහැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම හා එසේ සරල කිරීමට හා නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම,

ජාතික මට්ටමෙන් පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමෙන් විවිධ අනුමත කිරීම්, අවසර දීම් හා බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලි ද්වීකරණය සිදු වී තිබේදැයි අධ්‍යයනය කෙට එවැනි ක්‍රියාවලි සුදුසු පරිදි සංශෝධනය කිරීම, යි.

මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිසමට දින 90 ක කාලයක් ලබා දී තිබෙනවා.

සිය කාර්ය භාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස් දීමේ බලය කොමිසම සතු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

***************************************

(07.01.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය ගැටළු නීති රීති මත නොව ජනතාව දෙස බලා විසදීමට පියවර ගැනීම වැදගත් වන බැවින් කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් සේවය කිරීම නිලධාරීන්ගේ වගකීමක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට ජාතික වැඩසටහන පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ අද (07) පැවති වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ආර්ථික, පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා ෴

***************************************

(07.01.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් අද (07) පස්වරුවේ සිය තෙදින (3) නිල සංචාරය නිම කරමින් දිවයිනෙන් පිටත්ව ගියා.

ඔහු ඊයේ (06) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර විපක්ෂ නායකවරයාට ඉන්දියාවේ නිළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා ආරාධනාවක් ද සිදුකළ බවයි විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම, ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද හමුවූ අතර, කොවිඩ් පාලනය සඳහා ඉන්දීය එන්නතක් හැකි ඉක්මනින් මෙරටට ලබාදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ද අද ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් හමුවූ අතර එහිදී මෙරට දෙමළ ජාතිකයින්ගේ අභිලාෂයන් පිළිබදව ඊයේ (06) දැක්වූ අදහස්වලට තම ස්තූතිය පළ කළ බව හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන් සඳහන් කළා.

එමෙන්ම, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, ජීවන් තොණ්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

මීට අමතරව ඊයේ (06) දිනයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා ද හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා.

***************************************

(07.01.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස විදේශීය සමාගම්වලට විකුණූ මාධ්‍ය ආයතන ඇතුළු ඊ.ටී.අයි. වත්කම් යළි පවරා ගන්නා ලෙස ඊ.ටී.අයි. තැන්පත්කරුවන් යළි රජයෙන් ඉල්ලීමක් කළා.

ඒ, අත්අඩංගුවට ගත් ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන්ට ඇප ලැබීමෙන් පසු අද (07) මාධ්‍ය හමුවක් කැදවමින්.

රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ ඊයේ (06) ඇප මත මුදා හැරුණා.

නීතිපතිවරයාගේ දැනුම් දීමකට අනුව තිදෙනෙකු (3) පෙරේදා දිනයේ අත්අඩංගුවට ගත් අතර නාලක එදිරිසිංහ නීතිඥවරයෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

පසුව ඔවුන් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර එහිදී එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

මෙලෙස ඔවුන්ට ඇප නියම වූයේ මුදල් ව්‍යාපාර පනත යටතේ තැන්පතු මුදල් සාවද්‍ය ලෙස සිය සුඛ විහරණය සඳහා භාවිතා කරමින් වරදක් සිදුකර ඇති හෙයින් ඇප ලබා නොදිය යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ විරෝධතා මධ්‍යයේයි.

++++++++++++++++

ETI අධ්‍යක්ෂවරුන්ගේ නීතිඥ ගාස්තු ගැන තැන්පත්කරුවන්ගෙන් අනාවරණයක්

(07.01.2021 – 22:02 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට ගත් ඊ.ටී.අයි. හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අධිකරණ කටයුතු සඳහා සම්බන්ධ කරගත් නීතීඥවරුන්ට ගෙවා ඇත්තේද තම තැන්පත් මුදල් බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පවසයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, අද (07) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අත්අඩංගුවට ගැණුනු ඊ.ටී.අයි. හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනාට (4) ඊයේ (06) පස්වරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළේය.

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල සිදු වූ බව කියන රුපියල් මිලියන 13.7 ක අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා ඊයේ (06) පස්වරු 05:15 ට කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ස්වර්ණමහල් ජුවර්ලස් ආයතනය රන් භාණ්ඩ අලෙවි කරන ආයතනයක් ලෙස සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ ලියාපදිංචි කර රටපුරා ජනතාවගේ රුපියල් බිලියන 7.2 ක මුදල් තැන්පතු ලබාගෙන ඇති බවය.

මහ බැංකුවේ අවසරයකින් තොරව සති අන්ත පුවත්පත්වල කුඩා ප්‍රමාණයේ දැන්වීම් පළ කරමින් එම කටයුත්ත සිදුකරගෙන ගොස් ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණය හමුවේ පෙන්වා දුනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, එලෙස රැස්කළ මහජන තැන්පතු රුපියල් බිලියන 7.2 ක පමණ මුදලක් අතුරුදන්ව ඇති බවය.

සැකකරුවන් මෙම මුදල් භාවිත කරමින් විදෙස් රටවල දේපළ මිලදී ගෙන ඇති බවත්, තවත් විශාල මුදලක් තම සුඛවිහරණය සඳහා මෙරටදී භාවිත කරඇති බවත් දිලීප පීරිස් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම අත්අඩංගුවට ගැනීමට සිටියදී නීතිඥවරුන් හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවූ නාලක එදිරිසිංහ මහතා පිළිබඳවද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙහිදී කරුණු කිහිපයක් අනාවරණ කළේය.

“විමර්ශන නිලධාරීන් නාලක එදිරිසිංහගේ නිවසට ගිය අවස්ථාවේදී නිවසේ දොර විවෘත කළේවත් නැහැ. විමර්ශන නිලධාරීන් තාප්පෙන් පැනලයි ඇතුළු වුණේ. ඔහුගේ බිරිඳ ප්‍රකාශයක් දීම පවා ප්‍රතික්ෂේප කළා” යැයි දිලීප පිරීස් මහතා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, සැකකරුවන් සිදුකර ඇත්තේ, ඇප ලබාදිය හැකි සංඥේය වරදක් වුවත් ඔවුන්ට ඇප ලබාදීමට තමා තදින් විරුද්ධ බවයි.

මහජන තැන්පතු වංචා කිරීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ වසර 10 කට ආසන්න කාලයක් බන්ධනාගාර ගතකර සිටි අතර මෙම නීති කෘත්‍යද රටටම ආදර්ශයක් දිය හැකි ලෙස සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කරන ලෙස අගතියට පත් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවසුවේ, සාධාරණය යනු රිමාන්ඩ් කිරීම නොවන බවත් සිය සේවාදායකයින් මෙතෙක් අධිකරණ කටයුතු මඟහැර නොමැති බවය.

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පැමිණිළි පාර්ශ්වය සඳහන් කළ කරුණු පිළිබඳව අධිකරණය සෑහීමකට පත්නොවන බැවින් කොන්දේසි මත සැකකරුවන්ට ඇප ලබාදීමට නියෝග කළේය.

ඒ අනුව, එක් සැකකරුවෙකුට රුපියල් මිලියනයේ ශරීර ඇප 2 බැඟින් සැකකරුවන් සිව් දෙනාට (4) නියම කළ අතර ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කරමින් විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ලබාදෙන්නැයි නියෝග කළේය.

සැකකරුවන් සිව් දෙනාට (4) ඇප හිමිවීම සම්බන්ධයෙන් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටි ETI තැන්පත්කරුවන් සිය විරෝධය පළ කිරීමට කටයුතු කර තිබුණි.

විරෝධතා මධ්‍යයේ ඇප නියම වූ හිටපු ETI අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අධිකරණ පරිශ්‍රයෙන් පිටවිය.

***************************************

(07.01.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම පොලීසිය වසර 10 කට වැඩි කාලයක් නීතිවිරෝධී ලෙස නළ ජලය ලබාගෙන ඇති බවට ජලසම්පාදන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය අද (07) සිදුකළ වැටලීමකදී අනාවරණ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනට එම පොලීසියේ සේවය කරන උසස් නිලධාරීන් නොදන්නා බවට අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, පොලීසිය රාජ්‍ය ආයතනයක් බැවින් එහි ජල කප්පාදුවක් සිදු නොකිරීමට ද කටයුතු කළ බව වැටලීමට එක්වූ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කළා ෴

+++++++++++++

වසර 10 ක් තිස්සේ නීතිවිරෝධී ලෙස ජලය ගත් පොලීසිය

(07.01.2021 – 18:12 +0530 – sinhala.adaderana.lk)

වසර 10 ක සිට නීතිවිරෝධී ලෙස නළ ජලය භාවිත කළ පොලීසියක් පිළිබඳ තොරතුරු අද (07) අනාවරණය විය.

හෝමාගම පොලීසිය විසින් මෙලෙස නීතිවිරෝධී අයුරින් නල ජලය ලබාගෙන තිබූ අතර එම සම්බන්ධතාවය අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අද (07) කටයුතු කළේය.

හෝමාගම පොලීසිය නීතිවිරෝධී ලෙස ජලය ලබාගෙන ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය අද එහි ගොස් තිබූ අතර එහිදී මෙම නීතිවිරෝධී නල මාර්ගය සොයාගෙන තිබුණි.

හෝමාගම පොලිසියට ජල සැපයුම් මාර්ග 4 ක් තිබී ඇති අතර පසුකාලීනව ඉන් තුනක් විසන්ධි කිරීමට කටයුතු කර ඇත.

එසේ විසන්ධි කරන ලද මාර්ගයක් ඔස්සේ මෙලෙස නීතිවිරෝධී ලෙස යළිත් ජලය ලබාගෙන තිබූ බව අනාවරණය විය.

මේ හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 15 කට වැඩි බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී ෴

***************************************

(07.01.2021 – 21:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් වාර්තා නොවූ ගව වසංගත රෝගයක් මේ දිනවල ගවයින් අතර සීග්‍රයෙන් පැතිර යන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ගොවිපළ රැසක සත්ත්ව නිෂ්පාදකයින් ආර්ථික වශයෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රෝගය ‘කැෆ්රි ෆොක්ස්’ නම් වෛරස් ගණයට අයත් ගවයන්ට වැලදෙන සමෙහි ගැටිති රෝගය බවට තහවුරු කරගෙන තිබෙනවා.

මෙහි රෝග වාහකයා මැස්සන් වන අතර රෝගයට ගොදුරු වූ සතුන්ගේ ශරීරය පුරා සමෙහි ගැටිති ඇතිවීම, සතුන් උදාසීන වීම, උණ ගතිය, ආහාර අරුචිය, ඇස් හා නාස්වලින් ශ්‍රාවය පිටවී ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා.

රෝගය මේ වනවිට ප්‍රදේශ ගණනාවක් පුරා සීග්‍රයෙන් පැතිර ගොස් ඇති නමුත් ඉන් මිනිසුන්ගේ සෞඛ්‍යට කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි අනාවරණය වී ඇත්තේ.

රෝගයට ගොදුරු වූ සතුන්ගේ කිරි නිෂ්පාදනය සීග්‍රයෙන් අඩුවන අතර, ගබ්සාවීම්, ප්‍රජන හැකියාව දුර්වල වීම දක්නට ලැබෙනවා.

මෙම රෝගයෙන් ගවයින් බේරා ගැනීම සඳහා සුදුසු එන්නත් ආනයනය කිරීම කෙරෙහි මේ වනවිටත් සත්ත්වය නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවදානය යොමු වී ඇති අතර රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් ලඟම ඇති රජයේ පශු වෛද්‍ය කාර්යාලයට දැනුම් දෙන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ ෴

***************************************

බදු නොගෙවන ආයතනවල ප්‍රසිද්ධ කිරීමට පියවර

(07.01.2021 – 16:12 +0530 – sinhala.adaderana.lk)

විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (06) තීරණය වී තිබේ.

එලෙස බදු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

අයකර ගත හැකි බදු කඩිනමින් අයකර ගැනීමට පියවර ගතයුතු බවත්, එමගින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බවත් විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා කාරක සභාවේදී කීවේය.

දේශීය ආදායම් නඩු රැසක් අධිකරණවල ගොඩගැසී ඇති බවත්, ඒවා කඩිනමින් විසඳීම සඳහා අධිකරණ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා විය.

හිඟ බදු නීතිය කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්. එම්. සී. බණ්ඩාර මහතා කාරක සභාවේදී මතුකළ අතර, ඊට අදාළ යෝජනා වහාම ලබා දෙන මෙන් සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව එම කාරක සභා රැස්වීමේදී සාකච්ජා විය ෴

***************************************

අනතුරකට මග පෑදු අපරික්ෂාකාරී රිය ධාවනය – CCTV දර්ශන සහිතයි

(07.01.2021 – 16:00 +0530 – sinhala.adaderana.lk)

කළුතර සිට කොළඹ දෙසට අපරීක්ෂාකාරීව ධාවනය වූ වෑන් රථයක වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් ගැටෙන අයුරු අසළ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වෑන් රථයේ රියදුරු වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.

***************************************

මහනුවර ඓතිහාසික දිය අගල අසළ ගිලා බැසීමක්

(07.01.2021 – 15:54 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී දළඳා මාලිගාවේ ඓතිහාසික දිය අගල පිහිටා ඇති විෂ්ණු දේවාලය ඉදිරිපිට විශාල ප්‍රදේශයක් ගිලා බැසීමකට ලක්වී තිබේ.

මහනුවර ප්‍රදේශයට ඊයේ (06) රාත්‍රී කාලයේ ඇතිවූ අධික වර්ෂාවත් සමග මෙම ගිලා බැසීම සහ පස්කඳු කඩා වැටීම සිදුවී තිබේ.

වැව රමුව මාර්ගයේ දැවැන්ත ගස් පවා වර්ෂාවත් සමග ඉදිරී වැටී තිබූ අතර මහනුවර ප්‍රදේශ රැසක නිවාස වෙත පස්කඳු කඩාවැටීම් සිදුවී තිබේ.

‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේ සිදුවීම්වලින් කිසිවෙකුටවත් අනතුරක් නොමැති අතර සිදුවීම් සම්බන්ධයෙන් බලධාරීන් තොරතුරු රැස්කරමින් ඇති බවය.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(07.01.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා සිට පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශනවලට සහ නිර්දේශවලට අනුව ඒවා ආරම්භ කරන බවයි කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ෴

++++++++++++++++++++++

(07.01.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 638 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39,661 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 255 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 46,503 ක් ෴

++++++++++++++++++++

(07.01.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 3 ක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 53, 62 සහ 89 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක් (3).

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 222 ක් දක්වා ඉහළ යනවා ෴

++++++++++++++++++++

(07.01.2021 – 20:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කළ යුතු බවට ලබාදී ඇති වෛරස විශේෂඥ නිර්දේශ එලෙසම ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ විශේෂඥයන් ලබාදී ඇති එම නිර්දේශ, කොරෝනා වැලදී මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සොයාබැලෙන ප්‍රධාන කමිටුව වෙත මේ වනවිටත් යොමුකර ඇති බවයි.

මේ අතර කොරෝනා වෛරසයට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිපදවූ ‘ශ්‍රී භද්‍ර ධම්ම ප්‍රතිජීවක පානයේ’ සායනික පරීක්ෂණ හෙට (08) හෝ අනිද්දා (09) සිට අනුරාධපුර මෙත්සිරි සෙවනේදී ආරම්භ කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය අද (07) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

+++++++++++++++++++++

(07.01.2021 – 20:51 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – බන්ධනාගාරයේ නියාමකවරියන් තුන්දෙනෙකු (3) සහ කාන්තා රැඳවියන් 34 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අලුතින් හඳුනාගෙන තිබෙනවා.

පෙරේදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 69 ක ප්‍රතිඵල ඊයේ (06) ලැබී ඇති අතර, එහිදී මෙම නව ආසාදිතයන් වාර්තාවී ඇති බවයි ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිටි ගර්භනී කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමඟයි මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබුණේ.

මේ අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වල්ගම ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමත් සමඟ එම කර්මාන්තශාලාවේ තවත් 63 දෙනෙකු ස්වයං නිරෝධායනය යොමුකෙරුණා.

කෙසේ වෙතත් පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය සේවයට නොකැඳවන ලෙසට ආයතනයට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොතකා අදාළ කාන්තාව කර්මාන්තශාලාවේ සේවයට ගෙන්වා ගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

දොම්පේ – ගිරිදර ප්‍රදේශයේ මීට පෙර අසාදිතයන් වාර්තාවූ ඇඟළුම් කාර්මාන්තශාලාවේ මේ දක්වා 92 කුට වෛරසය ආසාදනය වී අති බවට හඳුනාගෙන තිබෙනවා.

සේවක සේවිකාවන් 2,000 ක පමණ පිරිසක් සේවය කරන එම කර්මාන්තශාලාවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 1,278 කින් මෙම ආසාදිතයන් වාර්තාවී ඇති බවයි දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය සඳහන් කළේ.

මේ අතර අද (07) දිනයේ අලුතින් ආසාදිතයින් 255 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යා 46,503 දක්වා ඉහළ ගියා.

අද දිනයේත් ආසාදිතයන් 638 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 39,661 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට මේ දක්වා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 219 ක්.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 270 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 46,780 ක් ලෙසටයි.

ඉන් 6900 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 39,661 ක්.

මෙරට මරණ 222ක් ද සිදුවී තිබෙනවා ෴

+++++++++++++++++

හුදකලා ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්

(08.01.2021 – 06:57 +0530 – sinhala.adaderana.lk)

2020 උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝයෝගික පරීක්ෂණ මේ වන විට ආරම්භ වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතු බවය.

එබැවින් නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ප්‍රදේශවල සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වන සිසුන්ට ඒ සඳහා අවසර පත්‍රයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වීමසීමක් වෙතොත් 011 278 4208 , 011 278 4537 , 011 318 8350 හෝ 1911 දුරකථන අංක වෙත ඇමතිය හැකිය ෴

+++++++++++++++++++++

එයාලට වැඩිය මම දක්ෂයි – උදයංග වීරතුංග

(07.01.2021 – 14:34 +0530 – sinhala.adaderana.lk)

දිවයිනට පැමිණෙන යුක්‍රේන සංචාරකයින්ගෙන් සියයට 99 ක්ම කොවිඩ් වලින් ආරක්ෂිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී වීරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවාහරින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමන්ට රතු වරෙන්තු නිකුත් කර ඇතැයි යහපාලන ආණ්ඩුව ප්‍රචාරය කළද එයද අසත්‍යයක් බවය.

“මේ මාර්ගෝපදේශවලට කැමතිවෙලා එන්න කැමති වෙන්නෙ නෑ ගොඩක් සංචාරකයෝ. යුක්‍රේන රාජ්‍යයෙන් එන සංචාරකයෝ ගැන අපිට ලොකු විශ්වාසයක් තිබ්බා. යම් යම් අඩුපාඩු තියෙනවා. ලංකාව ඇතුළේ මට රතු වරෙන්තු තියෙනවා කියලා කිව්වට ඒක බොරුවක්. මට තිබුණේ නිල් වරෙන්තුවක්. යහපාලන රජයට කවදාකවත් මාව අල්ලන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මාව රැගෙන එන්න පුළුවන්කමක්වත් තිබුණේ නෑ. එයාලට වැඩිය මම දක්ෂයි.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *