SPM එකේදි සිංහල සර් කළ හරිය ආරංචි වුණා ඒකයි භාර නොගත්තෙ – කොළඹ විශාඛා විදුහල්පතිනිය

SPM එකේදි සිංහල සර් කළ හරිය ආරංචි වුණා ඒකයි භාර නොගත්තෙ – කොළඹ විශාඛා විදුහල්පතිනිය

*********************************************

SPM එකේදි සිංහල සර් කළ හරිය ආරංචි වුණා ඒකයි භාර නොගත්තෙ – කොළඹ විශාඛා විදුහල්පතිනිය

(08.01.2021 – gossiplankanews.com)

ඊයේ (07) පුවත්පත්වල වාර්තාවූ පරිදි පාසලට පැමිණි ගුරුවරයාට ලිපියකින් දමා නොගැසූ බවත් තමා ගුරුවරයාව ප්‍රතික්ෂේප කළේ SPM එකේදි උසස් පෙළ සිසුවියන්ට සිංහල උගන්වන්න ගොස් විනය කඩකර පරික්ෂණයකට ලක්වූ අයකු බව ආරංචිවීම නිසා බවත් කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය සඳහන් කරන අතර තමාට විරුද්ධව මාධ්‍ය තුළ පැතිර තිබෙන අංරංචියේ සත්‍යය විකෘති කර ඇති බව ඇය කියා සිටී.

ඇය ප්‍රසිද්ධ කර ඇති පැහැදිලි කිරීමේ ලිපියේ මෙසේ සඳහන් වේ :

“මෙම ගුරුවරයාට අප පාසලට මාරුවීමක් ලැබී ඇති බව දැන ගත් අවස්ථාවේදී මා විසින් එම ගුරුවරයා පිළිබඳ විස්තර සොයාගෙන එම විස්තරවලට අනුව මෙම ගුරුවරයා පාසලට නොගැළපෙන අයෙක් බව දැනගෙන සැප්තැම්බර් 28 වැනිදා එම ගුරුවරයාට මෙම පාසලට මාරුවීමක් ලබා නොදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. මාගේ ඉල්ලීම සාධාරණ බව දන්වා ලේකම්වරයා විසින් මෙම ගුරුවරයා විශාඛා විද්‍යාලයට ස්ථාන මාරු නොකර වෙනත් පාසලකට ස්ථාන මාරුව ලබා දෙන ලෙස දන්වා දුන් ලිඛිත ඉල්ලීමට සටහනක් යොදන ලදී. නමුත් ලේකම්වරයාගේ නියෝගය නොසලකා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරිය විසින් මෙම ස්ථාන මාරුවීම ක්‍රියාත්මක කර ඇත.

ජනවාරි 04 වැනිදා මෙම ගුරුවරයා බුලත් හුරුල්ලක් ලබාදී රාජකාරි බාරගැනීම සඳහා මාගේ කාර්යාලයට පැමිණියේය. එහිදී එම ගුරුවරයාට අසුන් ගැනීමට අවස්ථාව මා ලබාදුන් අතර, එම ගුරුවරයාට මෙම පාසලේ රාජකාරි භාරදිය නොහැකි බව දන්වන ලදී.

අදාළ ගුරුවරයා පවසන ආකාරයට මා විසින් කිසිදු අවස්ථාවක එම ගුරුවරයාට ලිපියකින් දමා නොගැසූ බව මා ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන අතර, වැඩ භාර දීම‌ට නොහැකි බව ප්‍රකාශ කළ අවස්ථාවේදී එම ගුරුවරයා මාගේ මේසයට තදින් පහර ගසමින් ‘අද වැඩ බාර දුන්නේ නැත්නම් මම මෙතනින් නැගිටින්නේ නැතැ’ යි පවසමින් ඝෝෂා කරන්නට විය. ඉන් අනතුරුව මාගේ මේසයේ ඔළුව ගසාගෙන හඬන්නට ගත් බවද ප්‍රකාශ කරමි.

එවිට මා පවසනු ලැබුවේ පස්වරු 01:30 වන විට මා කාර්යාලයෙන් බැහැරව යන බවත් ඊට පෙර ආරක්ෂක අංශයට පවසා සර්ව පුටුව පිටින්ම උස්සලා එළියෙන් තියන්න කියන්නම් යන බවත්ය. නමුත් ඊට පෙර මා කාර්යාලයෙන් බැහැර වන විටම ඔහුද පිටතට ගිය අතර, ආරක්ෂක අංශ පැමිණීමක් සිදු නොවීය.

මෙම ගුරුවරයා එවකට සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ (SPM) විදුහල්පතිනියක්ව සිටි ගීතා අබේගුණවර්ධන මහත්මිය සේවය කරන වකවානුවේදී එම පාසලේ 12-13 ශ්‍රේණි සිංහල විෂය ඉගැන්වීම් කටයුතු කර ඇත. එම පන්තියක දැරියන්ට විනය විරෝධී කටයුත්තක් සිදු කර ඇති බව දෙමව්පියන් විසින් දෙමාපිය රැස්වීමේදී විදුහල්පතිනියට දන්වන ලදුව ඒ සඳහා ලැජ්ජා සහගත වන ආකාරයට කටයුතු කර ඇති බව මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවේ හිටපු විදුහල්පතිනි ගීතා අබේගුණවර්ධන මහත්මිය ගෙන් අසා දැනගන්නා ලදී. ඉන්පසු විදුහල්පතිවරිය ඒ සම්බන්ධයෙන් විනය විමර්ශනයක් කර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිනියගෙන් අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් විමසා කරුණු විනිශ්චය කර ගත හැකිය.

තවද මෙම ගුරුවරයා විශාඛා විද්‍යාලයට ස්ථාන මාරු ලැබ පැමිණෙන බව දැනගත් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන් සහ දෙමව්පියන් විසින්ද මෙම ගුරුවරයා සම්බන්ධයෙන් මා දැනුවත් කරන ලදී.

එවන් වූ ඉතිහාසයක් ඇති ගුරුවරයකු ගෞරවනීය බාලිකා පාසලක විදුහල්පතිනියක් ලෙස පන්ති කාමරයට යැවීම මාගේ හෘද සාක්ෂියට එකඟව මා විසින් භාරගත් වගකීමට පටහැනි නොවන්නේද?

මේ වැරැද්ද සිදු කරනු ලැබුවේ විශාඛා විදුහල්පතිනිය වන මා විසින්ද, ලේකම්වරයාගේ නියෝගයට පටහැනිව ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු අධ්‍යක්ෂවරිය වන ධම්මිකා ජයනෙත්ති ද යන්න ඔබට පසක් වනු ඇතැයි මම විශ්වාස කරමි.

මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණ සත්‍යය අවශ්‍ය ලෙස විකෘති කිරීමක් පමණක් වන අතර, මෙම පාසල පිරිමි ගුරුභවතුන් ඉතාම විනයානුකූලව තමන්ගේ රාජකාරි මනාව ඉටු කරන පාසලක් බවද මම තවදුරටත් ප්‍රකාශ කර සිටිමි.

කිරි කළයකට ගොම බින්දුවක් වැටුණහොත් සිදුවන ප්‍රතිවිපාකය අපි සියලු දෙනාම ඉතාම හොඳින් දන්නා කරුණක් වන අතර, එවැනි කළු පැල්ලමක් විශාඛා විද්‍යාලයට ඇති වීමට මා විදුහල්පතිනිය ලෙස කිසිදිනක කටයුතු නොකරන බවද දන්වමි.”

++++++++++

විශාකාවේ සිංහල සර්ට සාධාරණය ඉටු නොකළොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා – ගුරු සංගමය

(07.01.2021 – gossiplankanews.com)

++++++++++++

(08.01.2021 – 09:34 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ඉගැන්වීම සඳහා කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයට පැමිණි ගුරුවරයෙකුට එම විදුහලේ විදුහල්පතිනිය බාධා එල්ල කිරීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.

කඩිනමින් එලෙස විමර්ශනයක් ආරම්භ නොකරන්නේ නම්, වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සූදානම් බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ.

අදාළ ගුරුවරයා මිලාගිරිය – ශාන්ත පාවුළු බාලිකාවේ සිට වාර්ෂික ස්ථාන මාරුවීමක් යටතේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයට පැමිණ ඇත්තේ පසුගිය 4 වනදායි ෴

***************************************

(08.01.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් කෝටිපති ලොතරැයි ජයග්‍රාහකයින් දුර්වල මුදල් පරිහරණය හේතුවෙන් හිටපු තත්ත්වයටත් වඩා පහළ මට්ටටමට වැටී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ලොතරැයි මගින් කෝටි ගණනක මුදලක් දිනාගත් ජයග්‍රාහකයින් වෙත මුදල් ත්‍යාගය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙලෙස ජයගත් මුදල දූ දරුවන්ගේ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන් යොදවන ලෙසයි.

මෙලෙස ලොතරැයි ජයග්‍රහණ දෙකක් (2) දිනා ඇත්තේ ගල්ගමුව සහ අඹන්පොල පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් (2) ෴

***************************************

(08.01.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

නාගරික ප්‍රදේශවල භූගත ජලයට මල අපද්‍රව්‍ය ඇතුළු විවිධ අපද්‍රව්‍ය එක්වීම හේතුවෙන් එහි ගුණාත්මකභාවය බොහෝ සෙයින් පහත බැස ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා කඩිනමින් විසදුම් සොයා ගැනීමට නොහැකි වුවහොත් මෙරට පානීය ජල පරිභෝජනයට බරපතල ගැටළු එල්ල විය හැකි බවයි විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ.

ඔහු මේ බව කියා සිටියේ ජාතික මළ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා පැවති වැඩමුළුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මළ අපද්‍රව්‍ය සියයට 90 ක් පමණ ඍජුවම භූගත ජලයට එකතු වී ඇති බවට පර්යේෂකයන් සොයාගෙන ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී නිවාස සැලසුම් සකස් කිරීමේදී, කර්මාන්තශාලා සහ හෝටල් ඉදිකිරීමේදී ක්‍රමවත් මල අපද්‍රව්‍ය බැහැර කිරිමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා ෴

***************************************

(08.01.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

බෙල්ජියමේ සිට ගුවන් තැපෑල මගින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට යොමු කර තිබූ රුපියල් කෝටි දහතුන හමාරකට (13½) වැඩි වටිනාකමකින් යුත් මත්පෙති තොගය යොමු කර ඇති ලිපිනයන් ව්‍යාජ ඒවා බවට අනාවරණ වී තිබෙනවා.

කොළඹ 5 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට මෙම මත්පෙති තොගය යොමු කර තිබුණේ සත්ත්ව ආහාර ගෙන්වන මුවාවෙන්. රේගුව ඊයේ සිදුකළ මෙම වැටලීමේදි ‘එක්ස්ටසි’ වර්ගයේ මත්පෙති 18,000 ක් හමුවුණා.

කෙසේ වෙතත්, මෙලෙස ගුවන් තැපෑල මගින් මධ්‍යම තැපැල් හුවමාරුවට මෙම මත්පෙති තොගය යොමු කිරීමේ සිද්ධියට නිලධාරීනගේ සම්බන්ධයක් පවතින්නේ ද යන්න පිළිබදව රේගුව විශේෂ විමර්ශනයක් ද ආම්භ කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ෴

***************************************

(08.01.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල අභයභූමිය ගොඩකරමින් පෞද්ගලික සමාගමක් සිදුකරන බවට චෝදනා එල්ල වන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන වාර්තාවක් කැදවන බව වනජීවි රැකවරණ සහ වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (07) මාධ්‍ය හමුවක් කැදවමින් සිදුකළ අනාවරණයෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින්.

කාදිනල් හිමිපාණන් සදහන් කළේ කිසිදු සංචාරක ව්‍යාපෘතියක් මුවාවෙන් පාරිසරික පද්ධතියක් විනාශ කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවයි.

මේ අතර, වනජීවි සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රංවැල්ල මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් බලධාරීන් නිසි පියවර නොගතහොත් සියළු පරිසර සංවිධාන ඒකාබද්ධව දැඩි විරෝධතා ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි ෴

***************************************

(08.01.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ට රුපියල් දහසක (1000) දෛනික අවම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් වූ විකල්ප යෝජනා සඳුදා (11) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

කම්කරු අමාත්‍යාංශයේ ඊයේ (07) පැවති සාකච්ඡාවකදී වතු සමාගම් පාලකයින්, හාම් පුතුන් සහ වතු වෘත්තීය සමිති නායකයින් අතර එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි.

වතුකරයේ ජනතාවට රුපියල් දහසක (1000) අවම දෛනික වැටුපක් ලබාදීම සඳහා රජය ගෙන ඇති තීරණය කිසිවිටෙකත් වෙනස් නොකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴

***************************************

(08.01.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

මතුගම – වැලිමානාන ප්‍රදේශයේදී අවමංගල්‍ය උත්සවයක් අවස්ථාවේදී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් මෝටර් රථයකින් යට කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඥාති පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අද අලුයම සිදුවූ මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක් බවයි.

මතුගම – වැලිමානාන ප්‍රදේශයේදී කාන්තාවක් මෝටර් රථයකට යට කර පළා ගිය සැකකරු පොලීසියට භාර වී තිබෙනවා.

අද (08) පෙරවරුවේ නීතිඥවරයෙකු සමඟ මතුගම පොලීසියට පැමිණ මොහු පාපොච්චාරණයක් සිදුකර ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

අවමංගල්‍ය අවස්ථාවකදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු විසින් මෝටර් රථයකට යට කර අද (08) අලුයම මෙලෙස ඝාතනය කර තිබුණේ 62 හැවිරිදි කාන්තාවක්.

කෙසේ වෙතත් පොලීසියට භාර වීමෙන් පසු සැකකරු පවසා ඇත්තේ මිය ගිය කාන්තාවගේ බෑණනුවන් යට කිරීමට මෝටර් රථය ධාවනය කළ අවස්ථාවේ ඊට කාන්තාව යට වී මිය ගිය බවයි ෴

***************************************

(08.01.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

දිවංගත හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 122 වන ඡන්ම දිනය වෙනුවෙන් සැමරුම් උත්සව දෙකක් (2) ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාව ඉදිරිපිට දී අද (08) උදෑසන පැවැත්වුණා.

පළමුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බණ්ඩාරනායක ප්‍රතිමාවට මල් මාලයක් පළදවා පුෂ්පෝපහාර දක්වා තිබෙනවා ෴

++++++++++++

(08.01.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂ සභාපති ධුරයේ මේ වන විට රැදී සිටින්නේ නීතිවිරෝධී ලෙස බවට එම පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග චෝදනා කරනවා.

ඇය මෙම චෝදනාව එල්ල කළේ නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ 122 වන ජන්ම දින සැමරුමට අද එක්වෙමින්.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසළ සැමරුම් උත්සව දෙකක් අද (08) පැවැත්වුණා.

පළමුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක උදෑසන 07:15 ට පමණ එම ස්ථානයට පැමිණ පිළිරුවට පුෂ්පෝපාහාර දක්වනු ලැබුවා.

එම අවස්ථාවට නිදහස් පක්ෂය නියෝජනය කරන සෙසු දේශපාලනඥයින් පැමිණ සිටියේ නැහැ.

පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සඳහන් කළේ එම ස්ථානයේ නිදහස් පක්ෂ සංවිධානය කර ඇති සැමරුම් උත්සවයට තමන්ට මෙවරත් ආරාධනා කර නොමැති බවයි.

ඉන් අනතුරුව සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණියා.

හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන ඇතුලු එම පක්ෂයේ නියෝජිතයින් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණියේ ඉන් අනතුරුවයි.

එම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලු තවත් පිරිසක් එක්ව සිටියා.

***************************************

(08.01.2021 – 11:24 +0530 – hirunews.lk/sinhala)

නිධානයකින් ගොඩගත් බව කියන වටිනා පෞරාණික භාණ්ඩ කිහිපයක් සමග සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර රාජාංගණයේ පදිංචි 37 හැවිරිදි සැකකරුවෙක්.

යුද හමුදා බුද්ධිඅංශ වෙත ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ උපාය දූතයෙකු මාර්ගයෙන් සිදුකළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී දඹරන් වලින් නිමවන ලද කරඩු 1 ක්, දේව ප්‍රතිමාවක්, කාලි මෑණියන්ගේ දේව ප්‍රතිමා දෙකක් (2), මංජුසාවක්, පෙට්ටියක් රන්මාලයක් හා ඇත් දළ යුවලක්, ලෝහ ඝණ්ඨාරයක කොටසක් හා ලෝහ කඩුවක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරු අවස්ථා කිහිපයකදී නිධන් වස්තු පෙන්වා ඒවා අලෙවිකරණ බවටපවසා වසර 10 ක් තිස්සේ විවිධ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

අනතුරුව විවිධ හේතු පවසමින් ඒවා අලෙවි කිරීම මගහැරගොස් ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ ගිරිබාව පොලිසිය වෙත ඉදිරි විමර්ශන කටයුතු සඳහා භාරදී ඇති බවයි වාර්තාවන්නේ.

***************************************

(08.01.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් අද (08) පාස්තු කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එම කොමිසම හමුවේ තමා ලබාදුන් ප්‍රකාශ යැයි පවසා මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා අදහස් දැක්වූ බව පවසමිනුයි ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(08.01.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ මුහුණු ආවරණ පැළද නොසිටි 377 දෙනෙකු අතරින් 220 දෙදෙනෙකුට ඊයේ (07) ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඉන් 3 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනු බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම 157 දෙනාට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, ගලහ පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු (2) ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ, කොරෝනා ආසාදනය වී ඇති කාන්තාවක් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ගලහ පොලීසියට පැමිණීම හේතුවෙන්.

ගලහ – දෙල්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

මාරවිල – ගංසිගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් නිවසේදී හදිසියේ මිය ගොස් ඇති අතර පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

එබැවින් ඇයගේ දේහය ආදාහනය කරන ලෙසට සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.

අදාළ නිවැසියන් නිරෝධායනයට ලක් කිරීමට ද කටයුතු කර ඇති බවයි මාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

කොරෝනා ආසාදනය වූ තවත් මරණ 3 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 222 දක්වා ඉහළ ගියා

මීතිරිගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 6 වනදා මිය ගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ අපස්මාර තත්ත්වයයි.

බේරුවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු ඉරණවිල මූලික රෝහලේ සිට අයි.ඩී.එච්. රෝහලට මාරු කර එවීමෙන් පසුව ඊයේ (07) මිය ගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස කොවිඩ් නිව්මෝනියාව, ද්විත්ව ලේ විෂවීම සහ වකුගඩු ආසාදනය දැක්වෙනවා.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 89 වයසැති පුද්ගලයෙකු ද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පසුගිය 06 වනදා මියගිය අතර ඊට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයින් 532 නෙකු ඊයේ (07) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 46,780 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අවසන් වරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 432 නෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර 93 දෙනෙකු බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් බවයි.

එමෙන්ම ඉතාලියේ සිට පැමිණි 3 දෙනෙකු, සුඩානයේ සිට පැමිණි 3 දෙනෙකු, ජෝර්දානයේ සිට පැමිණි එක් (1) අයෙකුට ද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් තවමත් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව මේ වන විට 18,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++++

(08.01.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ නගර සීමාවේ පදිංචි බිළිදෙකුට සහ කාන්තාවකට කොරෝනා ආසාදනය වීමත් සමඟ මුස්ලිම් දේවස්ථාන 5 ක දේව මෙහෙයන් තාවකාලිකව නතර කර දැමීමට පියවර ගත් බවයි බලංගොඩ නගර සභාවේ සභාපති චමික වැවේගෙදර මහතා කියා සිටියේ.

මේ අතර, කොරෝනා වසංගතයක් පවතින අවස්ථාවක රට ගැන පළමුව සිතා ක්‍රියා කරන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සියළුම ගුවන් නියමු සංසදය වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දැනුම්දීම සිදුකර ඇත්තේ ගුවන් නියමු සංසදයේ විධායක කමිටුව විසින් නියමිත කාලසීමාවට පමණක් සේවයට වාර්තා කිරීමට ගෙන ඇති තීන්දුවත් සමඟයි.

සෞඛ්‍ය නිර්දේශ මත වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට සහ ගර්භනී කාන්තාවන් කොරෝනා එන්නත් ලබා නොදෙන බවට හදුනාගෙන තිබෙනවා ෴

++++++++++++++++++

(08.01.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත සහ හුදෙකළා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ඉරිදා දහම් පාසල් ජනවාරි 17 වනදා සිට ආරම්භ කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(08.01.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල මගින් ඊයේ (07) රාත්‍රිය වනවිට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

තමන් මේවනවිට හික්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳී සිටින බවයි ඔහු කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් ඇතුලු ආශ්‍රිතයන් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර, අමාත්‍ය කාර්යාලයද විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

නව වසර උදාව නිමිත්තෙන් පසුගිය ජනවාරි 1 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකටද දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා සහභාගිවී ඇති අතර, ඊට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දින දෙකේ (2) පාර්ලිමේන්තු සභා වාරය සඳහා සහභාගිවී නොමැති අතර, ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමටද සහභාගිවී නැහැ.

+++++++++++++++++++++

(08.01.2021 – 10:38 +0530 – hirunews.lk/sinhala)

මේ අතර කොවිඩ් ආසාදිතයෙකු හමුවීමත් සමඟ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ජී.එල්. පීරිස් මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, එහි සේවය කරන අයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන්.

+++++++++++++++++++++

(08.01.2021 – 11:45 +0530 – hirunews.lk/sinhala)

එමෙන්ම සී.අයි.ඩී. භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කොස්ගොඩ තාරක’ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඔහු මේ වනවිට කළුතර ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නිතිඥ හිජාස් හිස්බුල්ලාට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

අලුත්ගම බස් නැවතුම්පලේදී ඊයේ (07) සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ 127 කින් ආසාදිතයන් තුන්දෙනෙකු (3) හඳුනාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම ආසාදිතයන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක්ද සිටින බවයි.

දොම්පේ – සියනෑ ජාතික පාසලේ ශිෂ්‍යාවක සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයෙකුද කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

අදාළ ශිෂ්‍යාව උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්පත් ලබාගැනීමට පැමිණ සිටි අවස්ථාවේ ක්ලාන්තවී ඇති අතර පසුව හෙළිවී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් නිරෝධායනය වෙමින් සිටින අතරතුර ඇය පාසලට පැමිණ ඇති බවයි.

මේ අතර, දඹුල්ලේ තානායමක ගෙළ වැළලාගෙන මියගිය කොරෝනා ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ දේහය ඊයේ (07) පස්වරුවේ දඹුල්ල මහ නගර සභාවට අයත් ආදාහනාගාරයේදී ආදාහනය කර තිබෙනවා.

ඒ, දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි.

කෙසේ වෙතත් අදාළ ව්‍යාපාරිකයා ගෙළ වැළලාගැනීමට හේතුව මේ දක්වා අනාවරණ වී නැහැ.

ඊයේ (07) දිනයේ මෙරටින් හඳුනාගැනුනු කොරෝනා ආසාදිතයන් 532 අතරින් වැඩි පිරිසක් එනම්, 226 දෙනෙකු වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 72 කු වාර්තා වී ඇති අතර, ඉන් 33 දෙනෙකුම බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 50 දෙනෙකු ඊයේ (07) වාර්තා වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (07) වාර්තාවී ඇති ආසාදිත සංඛ්‍යාව 46 ක් වන අතර, ඉන් 39 දෙනෙකුම වාර්තාවී ඇත්තේ ගාල්ල බන්ධනාගාරයෙන්.

මෙරටින් රෝගීන් වාර්තාවීමේ යම් අඩුවීමක් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (08) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මේ අතර, මහර බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය කොරෝනා ආසාදිතයින් නොවන රැදවියන් තුන් දෙනාගේ (3) මළ සිරුරු භූමදානය කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළා.

මෙම ගැටුමෙන් රැදවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් 8 දෙනෙකු කොරෝනා ආසාදිත බවටයි පසුව හෙළි වුණේ ෴

++++++++++++++++++++

(08.01.2021 – 11:52 +0530 – hirunews.lk/sinhala)

නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උපකාරක පන්ති ජනවාරි 25 වන දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *