ඇමති ගම්මන්පිළගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇරයුමක්

ඇමති ගම්මන්පිළගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇරයුමක්

*********************************************

ඇමති ගම්මන්පිළගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇරයුමක්

(08.01.2021 – 21:09 +0530 – hirunews.lk/sinhala)

කුරාණය සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කළා.

ඔහු කියාසිටියේ තමා කුරාණය මුල සිට අග දක්වා අවස්ථා දෙකකදී (2) කියවා බැලූ බවයි.

එහෙත් මරණ ආදාහනය කිරීම ‘හරාම්’ බවට එහි කිසිදු තැනක දක්නට නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

කුරාණය පිළිබඳ තමා විද්වතෙක් නොවන බැවින් කොවිඩ් මරණ ආදාහනය හරාම් යනුවෙන් කුරාණයේ දක්වා ඇත්තේ කොතැනක ද යන්න පිළිබඳ පෙන්වා දෙන ලෙසට ආදාහනය සම්බන්ධයෙන් හඩ නගන මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව ද උදය ගම්මන්පිළ කියාසිටියා.

+++++++++++++++++++++

(08.01.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

මැදපෙරදිග ඇතුලු විදේශ රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායනය වීමේදී මුදල් අය කිරීමක් සිදුනොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (08) පාර්ලිම්න්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීම සහ විදෙස්ගත ශ්‍රමිකයින් මෙරට ගෙන්වීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ කිසිදු මූල්‍යමය බරක් නොමැතිව නැවත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය අඛණ්ඩව පහසුකම් සපයන බවයි.

තානාපති කාර්යාලවල ලියාපදිංචි වී ඇති විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් ඔවුන් පත්ව තිබෙන අවදානම් මට්ටම අනුව ප්‍රමුඛතාව ලබාදී ආපසු ගෙන්වාගැනීම සිදුකරන බව එහි දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් යුද හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය වරින්වර සිදුකරන තක්සේරු කිරීම් සහ තොරතුරු මත, කාර්යසාධක බලකාය විසින් දිනකට ගමන් කිරීමට අවසර ලබාදෙනු ලබන මගීන් සංඛ්‍යාව තීරණය කරනු ලබන බව විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා.

නැවත මෙරටට ගෙන්වාගැනීමේ ක්‍රියාවලියේදී මුදල් ගෙවා නිරෝධායනය, පරීක්ෂණ සහ වෙනත් සැපයුම් සේවා සඳහා වැඩි කැමැත්තක් දක්වන ශ්‍රී ලාංකික කණ්ඩායම්වලටද තානාපති කාර්යාල හරහා ගුවන් ගමන් අනුමත කර සංවිධානය කරනු ලබනවා.

එවැනි කුඩා මගීන් පිරිසක් සඳහ ලබාදෙන තුන්වන (3) ආකාරයේ පහසුකමක් ලෙස භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සහ තෝරාගත් වානිජ ගුවන් ගමන් කිහිපයක් නැවත මෙරටට ගෙන්වාගැනීම සඳහා අමාත්‍යාංශය විසින් අනුමත කරන බවයි විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කියා සිටියේ.

ඒ අනුව කොවිඩ් කාර්ය සාධක බලකායේ නවතම නියෝගයට අනුව එක් ගුවන් ගමනකට උපරිම මගීන් 75 ක සංඛ්‍යාවක් සඳහා අවසර ලබාදෙන බවයි එමගින් ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ.

++++++++++++++++++++++

+++++++++++++++++++++++

(08.01.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරමින් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබෙනවා.

“රට තුළ පවතින කොවිඩ් 19 තත්වය හමුවේ පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. එබැවින් ජාතික කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව මා මේ මොහොතේ නිරෝධායන නීතිමය ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වී ඇත. තවද මේ මොහොතේ කොවිඩ් 19 ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.”

මේ වන විට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හික්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳී සිටිනවා.

මෙම වසර සඳහා පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ පසුගිය 5 වන දා හෝ ඊට පසුව මොහු පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බව වාර්තා වනවා.

එමෙන්ම, පසුගිය දා පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමටද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගිවී නැහැ.

මේ අතර දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා – දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය සඳහා ඒකමතිකව තේරී පත්ව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළා.

+++++++++++++++++++++

(08.01.2021 – 20:21 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල ප්‍රදේශයෙන් ආසන්න දින කිහිපය තුළ වාර්තා වූ කොරෝනා රෝගීන්ගෙන් බහුතරයක් අධික උණ තත්ත්වය ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ අය බැවින් එහි ප්‍රභේදයේ වෙනසක් සිදුව ඇත් ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේ අතර කෑගල්ල පොලීසියේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට (2) සහ කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර තාක්ෂණ ශිල්පියෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 1353 දෙනෙකු වාර්තා වී ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

වවුනියාව නගරයෙන් කොරෝනා ආසාදිතයන් 55 දෙනෙකු අලුතින් හදුනා ගැනීමත් සමඟ එම නගරයට සංචරණ සීමා පැනවීමට පියවර ගත්තා.

පෙරේදා දිනයේ වවුනියාව නගරයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 200 කට වැඩි සංඛ්‍යාවකින් මෙම ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ.

එමෙන්ම පොළොන්නරුව – කඳුරුවෙල නගරයෙන් ද කෙරෝනා ආසාදිතයන් 30 කට ආසන්න පිරිසක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වීමත් සමග කඳුරුවෙල නගරයට ද සංචරණ සීමා පනවා තිබෙනවා.

අම්බලන්තොට තැපැල් කාර්යාලයේ සේවකයෙකු ද ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමග එම තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා කාර්ය මණ්ඩලයේ සියළු දෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිත බවට හදුනා ගත් ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරියක් මාපලගම – පරණ තානායම්ගොඩ පිහිටි තම අසල්වැසි නිවසක පැවති උපන් දින සාදයකට සහ දානමය පිංකමකට සහභාගි වී ඇති බව අනාවරණ වනවා.

අදාළ උපන් දින සාදයේදී කොරෝනා ආසාදිත නියාමකවරියට ද කේක් කවා ඇති අතර එකම කේක් කැබැල්ල කිහිප දෙනෙකුට කවා ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

මේ හේතුවෙන් ඇයගේ පළමු පෙළ ආශ්‍රිතයන් 50 කට වැඩි පිරිසක් නිරෝධායනය සදහා පියවර ගැනුණා.

ත්‍රිකුණාමලය – සිරිමාපුර ප්‍රදේශයේ මාස 7 ක් වයසැති බිළිදියකට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම බිළිදිය ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ මීට දින 3 කට පෙර ඇගේ මිත්තණියට කොරෝනා ආසාදිත බවට හදුනා ගැනීමෙන් පසුව පවුලේ සාමාජිකයන්ට කළ ඇන්ටිජන් පරීක්ෂණයකදියි.

මේ අතර නිරෝධායන නීති නොතකා හැටන් නගරයේ පවත්වාගෙන ගිය උපකාරක පන්තියක් වටලා එම පන්තියේ ගුරුවරිය අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි ලෙස අවවාද කර රුපියල් 1000 ක දඩ මුදලක් නියම කිරීමට හැටන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මේ අතර අද (08) දිනයේ නව ආසාදිතයින් 251 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47,031 දක්වා ඉහල ගියා.

මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 222 ක් ලෙසයි. මියගිය 140 ක් පිරිමි පුද්ගලයන් වන අතර කාන්තා මරණ 82 ක් ද වාර්තා වනවා.

අද (08) දිනයේ ආසාදිතයන් 656 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව දැක්වෙන්නේ 40,317 ක් ලෙසයි.

+++++++++++++

+++++++++++++++++++++++

(08.01.2021 – 20:41 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිත මෘත දේහයන්වල අවසන් කටයුතු සම්බන්ධයෙන් අසාත් සාලි සිදුකර ඇති ජාතිවාදි ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත යුතු බවට පාර්ශ්ව කිහිපයක් අදත් (08) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.

මේ අතර, කොවිඩ් මෘතදේහවල අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අදත් (08) විවිධ පාර්ශ්ව අදහස් පළකළා.

+++++++++++++++++++++

(08.01.2021 – 21:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 3 ක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 75 සහ 72 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ 87 හැවිරිදි කාන්තාවක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 225 ක් දක්වා ඉහළ යනවා.

++++++++++++++++

(09.01.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ දිවයින පුරා පිහිටි සමථ මණ්ඩල කටයුතු අද (09) සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පැමිණිලි විභාග කිරීම හා සමථ මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(08.01.2021 – 20:49 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අධිකරණයට සිදුකළ දේශපාලන අතපෙවීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදත් අදහස් පළ කළා.

යහපාලන රජය සමයේ අධිකරණය ලබාදුන් තීන්දුවලට සිදුකළ බලපෑම රන්ජන් රාමනායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී නිශ්චිත වශයෙන්ම තහවුරු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.

එම පක්ෂ කාර්යාලයේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

***************************************

සංඝයා වහන්සේලාගේ ඥාතීන් වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක්

(08.01.2021 – 18:28 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම අද (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයට රක්ෂණ සහතික පත් පිළිගැන්විය.

සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000 බැඟින් රු. 15000 ක උපරිමයක් සහ රෝහල්ගතව සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25,000 ක උපරිමයක් දක්වා ගෙවීම මෙම රක්ෂණ ක්‍රමයට අයත්ය.

රුපියල් 2000 ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර, එය පුණ්‍ය කටයුත්තකදී සැදැහැවතුන්ට පූජා කිරීමේ හැකියාව ඇත.

මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේදී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

එමෙන්ම සසුනට දරුවන් පූජා කළ, නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ ‘මිහිඳු නිවාස’ යෝජනා ක්‍රමයට, නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් මුදල් වෙන් කර ඇති බව ප්‍රකාශ කළ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමියෝ බුද්ධශාසනය වෙනුවෙන් ඉටුකරන මෙම සේවාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ප්‍රණාමය පුද කළහ.

ඉඩමක් හිමි එහෙත් නිවසක් ඉදිකර ගැනීමට නොහැකි සංඝයා වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 06 බැඟින් නිවාස 2000 ඉදිකිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ වනවිටත් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

***************************************

මහර රැඳවියන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් – අධිකරණයේදී අනාවරණය වෙයි

(08.01.2021 – 14:03 +0530 – sinhala.adaderana.lk)

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම එහිදී සිදුවූ වෙඩි ප්‍රහාරවලින් මියගිය බව අද (08) අනාවරණය වුණි.

ඒ ඊට අදාළ නඩුව අද (08) යළිත් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

මහර බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ගැටුමට අදාළ නඩුව අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීය.

එහිදී අධිකරණය විසින් පත්කළ විද්වත් කමිටුව අධිකරණයට කරුණු වාර්තාකර තිබුණේ එම ගැටුමේදී මියගිය රැඳවියන් 11 දෙනා එදින සිදුවූ වෙඩි තැබීම්වලින් ඇති වූ මාරාන්තික තුවාල නිසා මියගොස් ඇති බවය.

මින්පෙර රැඳවියන් 08 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ අතර අද (08) සෙසු තිදෙනාගේ (3) පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී වාර්තාකළේ සෙසු තිදෙනාත් (3) වෙඩි වැදීම නිසා ඇති වූ තුවාල හේතුවෙන් මියගොස් ඇති බවය.

අදාළ රැඳවියන් තිදෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොතිබීම නිසා ඔවුන්ගේ දේහයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව රජයේ වියදමින් භූමදානය කරන ලෙසට වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

එමෙන්ම එම රැඳවියන් තිදෙනාගේ (3) ඥාතීන්ට ආගමික වත්පිළිවෙත් සිදුකිරීමට අවස්ථාව ලබාදෙමින් එකී භූමදාන කටයුතු සිදුකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මෙහිදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ ගැටුම අතරතුරදී මහර බන්ධනාගාරයේ දේපලවලට රුපියල් කෝටි හයහමාරකට (6½) ආසන්න අලාභයක් සිදුව ඇති බවය.

https://www.youtube.com/watch?v=LmKVH69-RNg#t=6

***************************************

ළමා නිවාසයක සිදුවන අකටයුතුකම් උකුස්සා හෙළි කරයි (08.01.2021)

***************************************

ආණ්ඩුව වැරදි පාරේ යනවා පෙරළා දානවා.. බැසිල්ගේ ප‍්‍රකාශය දැඩිව හෙලා දකිනවා.. – GMOA

(08.01.2021 – 22:26 +0530 – lankacnews.com)

ආණ්ඩු වැරදි පාරේ යනවා නම් එම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට වන්නේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේ තම සංගයමයට ආණ්ඩු පෙරළීමේ ශක්තිය ඇති බවයි.

වෛද්‍යවරුන් 20,000 ක සාමාජිකත්වය තම සංගමය සතු බවද ඒ මහතා කියා සිටී.

තම සංවිධානයට බැසිල් රාජපක්ෂ මහතාගෙන් නාම යෝජනා ඉල්ලා නැති බවත් ඔහු විසින් කරන ලද එම ප‍්‍රකාශය දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරන බවත් ඔහු පැවසීය.

තම සංවිධානය පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.

***************************************

මිනුවන්ගොඩ නගර සභා සීමාවේ සත්ව ඝාතනය තහනම්.. ගවමස් විකිණීම තහනම්..

(08.01.2021 – 17:30 +0530 – lankacnews.com)

මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ මස් පිණිස ගවයන් ඇතුළු සියලුම සතුන් මැරීම සහ ගව මස් විකිණීම තහනම් කර තිබේ.

මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ජනවාරි මස පළමු වැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි.

2021 වර්ෂය සඳහා වූ හරක් මස් ටෙන්ඩරය ද නගර සභා විසින් අත්හිටුවා තිබේ.

නගර සභා බල ප්‍රදේශය තුළ එළුවන් කුකුළන් ඌරන් වන සතුන් මැරීම තහනම් කළ නමුත් එම මස් අලෙවිය සඳහා පමණක් අවසරය දෙන බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට නගර සභාවේ පූර්ණ සහාය ලබා දීමේ වැඩපිලිවෙලක් ලෙස මෙම තීරණය ගත් බවද ඔහු තවදුරටත් කියා සිටියේය ෴

***************************************

වරාය ගැන කතා එපා! ‘පාත් ෆයින්ඩර්ස්’ ලා මහා සංඝරත්නයේ කට වැසීමට පන්සලෙන් පන්සලට!

(08.01.2021 – 22:35 +0530 – lankaleadnews.com)

‘පාත් ෆයින්ඩර්’ සංවිධානයේ ඉහළම පෙලේ මෙහෙයුම්කරුවන් පිරිසක් සමාජ ප්‍රශ්න කෙරෙහි අතිශය සංවේදී සහ අතිශය තීරණාත්මක මත පල කරන බෞද්ධ සමාජය තුළ ඉහළම පිළිගැනීමට ලක් වී සිටින භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩ වාසය කරණු ලබන විහාරස්ථානයෙන් විහාරස්ථානයට ගොස් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිනීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් නොකරණ ලෙස ඉල්ලා සිටින බව ‘පාත් ෆයින්ඩර්’ සංවිධානයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

නැගෙනහිර ජැටිය ‘විකිනීම’ යන රට වැසියන් කුලප්පු කරන ‘භයානක’ වචනය වෙනුවට නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම පිණිස ‘සම ආයෝජකයන්’ යොදා ගැනීම වැනි සුමට වචන යොදා ගැනීම සඳහා මෙම ‘පාත් ෆයින්ඩර්ස්’ ඉහළ මොළ කරුවන් මෙම සූක්ෂම මෙහෙයුම දියත් කර ඇති බව ‘පාත් ෆයින්ඩර්ස්’ ආරංචි මාර්ග පවසා සිටී.

ලංකා ලීඩ් වෙබ් අඩවිය ‘පාත් ෆයින්ඩර්ස්’ලාගේ මෙහෙයුම සම්බන්ධයෙන් ‘රාජ්‍යය දේපල’ විදෙස් සමාගම් වලට විකිණීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙන එක්තරා විශේෂඥයෙකුගෙන් මේ සම්බන්ධයෙන් විමසූහ. එහිදී ඔහු පවසා සිටියේ රාජ්‍යය දේපලක් වන කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිනීම යන කාරණයේදී මෙරට ඒජන්තයන් තම උපක්‍රම වෙනස් කිරීම අනිවාර්ය බවයි.

එහිදී ‘ලංකා ලීඩ්’ ඒ මහතාගෙන්, පසුගියදා පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වරාය විකුනණවාද යන ප්‍රශ්නය අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ කළ ඒ මහතා සෘජුවම වරාය නොවිකුණන බව පැවසුවා නොවේදැයි යන පැනය ඇසුවෙමු.

එහිදී ඒ මහතාගේ අදහස වූයේ අග්‍රාමාත්‍යයවරයා ‘විකුණන්නේ නැහැ’ කියා සෘජුව පවසා ‘ආයෝජකයන් ගෙන්වා ගන්නවා’ යනුවෙන් වෙනත් අළුත් ‘ලේබලයක්’ පාර්ලිමේන්තුවේදී ඇලවූ බවයි. ඒ අනුව ඒ මහතා අවධාරණය කරන්නේ විරෝධතාකරුවන්ගේ අරමුණ වෙනත් අතකට යොමු කිරීම තුළින් රටේ ජනතාවගේ ඇස් වලට වැලි ගසා ‘ආයෝජකයන් යොදා ගන්නවා’ යන අළුත් ප්‍රවේශයකින් පැරණි උපාය එලෙසම ක්‍රියාත්මක කරන බවයි.

ඔහු අවසාන වශයෙන් අප වෙත පවසා සිටියේ මොවුන් කිසි කෙනෙක් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිනීම යන උපාය මාර්ගයෙන් වෙනස් නොවී නැති බවත් නැගෙනහිර ජැටිය විකිනීමට අළුත් උපක්‍රම අත්හදා බලමින් සිටින බවත්ය ෴

***************************************

මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දමයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්.. STF බලඇණි කැදවයි..

(09.01.2021 – 08:40 +0530 – lankacnews.com)

යාපනය විශ්වවිද්‍යාල භූමිය තුල ඉදිකොට තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාර් කය කඩා ඉවත් කිරීමත් සමග සිසුන්, දේශාපලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ දැඩි නොසන්සුන්කාරී හැසිරීම ඊයේ (09) රාත්‍රියේම පාලනය කල බවට කෝපායි පොලීසිය පවසයි.

මුලතිව් මුල්ලිවයික්කාල්හි අවසන් යුද සමයේදී මිය ගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් යැයි පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාල භූමිය තුල ඉදිකොට තිබූ යුද ස්මාරකය ඊයේ (09) රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක් යොදා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාව, යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ සහ ආරක්ෂක අංශ වල මෙහෙයවීම මත මෙලෙස ඊයේ (08) රාත්‍රියේ කිසිවෙකුටත් නොදන්වාම යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බව පවසමින් පළමුව විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විරෝධතාවය ප්‍රකාශ කරමින් නොසන්සුන්කාරීව හැසිර තිබුණි.

අනතුරුව අදාල ස්ථානයට දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පැමිණ දැඩි නොසන්සුන්කාරීව හැසිරීම හේතුවෙන් කෝපායි පොලීසිය තත්වය පාලනය කිරීම සඳහා යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය කැඳවීමට පියවර ගන්නා ලදි.

අනතුරුව විශ්වවිදයාල භූමියට කිසිවෙකුටත් ඇතුල්වීමට නොහැකිවන පරිදි ආරක්ෂාව යෙදවූ අතර නොසන්සුන් තත්වය පාලනය කිරීමටද ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග විරෝධතා කරුවන් විසින් විශ්වවිද්‍යාලයේ දොරටුව ඉදිරියේ ඇති මාර්ගයේ හිඳ විරෝධතාවය පල කර සිටියේය.

මෙම විරෝධතාවයන්ට දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයින් ඇතුලු පිරිසක් සහභාගී වී විරෝධතාවය පල කරමින් කියා සිටියේ යුද්ධයේදී දෙමළ ජනතාව මිය ගිය ආත්මයන් සිහි කිරීම සඳහා තිබූ සංකේතයන්ද මෙලෙස කඩා දැමීමෙන් දෙමළ ජනතාවගේ අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් සෙයින් මෙම යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම දැඩි ලෙසින් හෙලා දකින බවටය.

අද (09) උදෑසන වන විටද යාපනය විශ්වවිද්‍යාල භූමිය අවට ආරක්ෂාව තර කොට ඇති බවටත් අදාල නොසන්සුන්කාරීව කටයුතු කල අය සම්බබන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බවටද කෝපායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++

(09.01.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

සිසුන් ඇතුළු පිරිසකගේ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලයට පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කර තිබෙනවා.

විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබූ එල්.ටී.ටී.ඊ. සැමරුම් ස්මාරකයක් ඉවත් කිරීමට පාලන අධිකාරිය කටයුතු කිරීමත් සමඟ විරෝධතාවක් එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙම සිද්ධියත් සමඟ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 100 ක පමණ පිරිසක් විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වී නොසන්සුන්කාරී ලෙස හැසිර ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා.

මෙම සිද්ධියත් සමග තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට කැදවා තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඊයේ (08) රාත්‍රියේ හටගත් කළහකාරී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සරසවි සිසුන් දෙදෙනා (2) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

මොවුන් අද (08) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමටයි නියෝග කර ඇත්තේ.

විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඉදිකර තිබූ ස්මාරකයක් ඉවත් කිරීමට විරෝධය පළ කිරිමේ සිද්ධියක් මෙම නොසන්සුන්කාරි තත්ත්වයට හේතු වී තිබුණා ෴

+++++++++++++++

(09.01.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබූ සැමරුම් ස්මාරයක් ඉවත් කරනු ලැබුවේ එහි පරිපාලනය බවත්, ඊට ආරක්ෂක අංශවල කිසිදු මැදිහත්වීමක් නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මීගමුව රෝහලේ අද (09) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසා සිටි අවස්ථාවේදියි.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ අදාළ ස්මාරකය උතුර හා දකුණ අතර සමගියට බාධාවක් විය හැකි බැවින් එය ඉවත් කිරීම කාලෝචිත ක්‍රියාවක් බවයි.

මෙම ස්මාරකය ඉවත් කිරීමටත් සමඟ යාපනය සරසවියේ සිසුන් ඇතුලු පිරිසක් ඊයේ (08) රාත්‍රියේ විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.

මෙම සිද්ධිය පාලනය කර විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබුණා.

පොලීසිය සඳහන් කළේ සිසුන්ට අමතරව දෙමළ දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන්ද විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ සිටි බවයි.

යුද්ධය අවසන් වී දස වසරක් (10) ගතවීම නිමිත්තෙන් මෙම සැමරුම් ස්මාරකය සකස් කර තිබූ බවයි සරසවි සිසුන් ප්‍රකාශ කළේ.

මෙම සිද්ධියට විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු (2) පොලීසිය අත්අඩංගුවට ගෙන අද (09) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

තවදුරටත් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර, ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ සිසුන් කිහිපදෙනෙකු පමණක් එම පරිශ්‍රය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හින්දු පුවත්පතද වාර්තා කර තිබූ අතර තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඊ. පලනිසාමි ද ඊට විරෝධය පළ කළා.

***************************************

මේ රට දේශපාලකයන්ට සින්නක්කරව ලියාදී නැහැ – ඇල්ලේ ගුණවංශ හිමි

(09.01.2021 – 07:05 +0530 – lankaleadnews.com)

සංවර්ධනයට මුවාවී මෙරට වනාන්තර ඇතුළු ජාතික සම්පත් විනාශයට රජය මැදිහත්ව කි‍්‍රයාකරන්නේ නම් එහි අනිසි විපාකයනට මුහුණ දීමට ඉදිරියේදී රජයට සිදුවනු ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ප්‍රකාශ කර සිටී.

රටක සංවර්ධන කි‍්‍රයාදාමයනට තමන් වහන්සේගේ කිසිදු අකමැත්තක් නැතත් ජාතික සම්පත් විනාශ කරමින් සිදු කරනු ලබන සංවර්ධනය කුමක් දැයි රජයෙන් ප‍්‍රශ්න කර සිටීමට කැමති බවද උන්වහන්සේ පැවසූහ.

මෙරටට මේ මොහොතේදී ඉතිරිව ඇති එකම සම්පත වනුයේ වන සම්පත යැයි ද එය විදේශීය සමාගම්වලට පවරා දීමට කි‍්‍රයා කිරීම සංවර්ධනය ලෙස හුවා දැක්වීමට රජය කටයුතු කරන්නේ නම් මෙරට ජනතාව එයට රැවටී සිටීමට සූදානම් නොමැති බව සිහිපත් කිරීමට කැමති බව ද වන සම්පත, ජල සම්පත යන ස්වභාවික සම්පත් අතීතයේ සිටම මෙරට ජනතාව ආදරයෙන් බලාකියා ගත් බව ද පැවසූ ගුණවංශ හිමියෝ වන විනාශයන්ගෙන් සහ ඉඩම් ගොඩකිරීම් හරහා ඉදිරියේදී මෙරටට ජල ගැලීම් මෙන්ම පානීය ජලය නොමැතිවී යෑමේ බරපතළ තර්ජනයට ද මුහුණ දීමට සිදුවීම නොවනුමාන බවද සඳහන් කළහ.

රජය සංවර්ධනය කියා ගනිමින් සිදු කරන ව්‍යාපෘති ජනතාවට දැනුම්දිය යුතුව ඇතැයි ද කී උන්වහන්සේ මේ රට දේශපාලකයන්ට සින්නක්කරව ලියාදී නැතැයි ද පැවසූහ.

එබැවින් වසර පහක (5) පමණ කාලයකට රට පාලනයට භාරදී ඇති ජනතාව ගැන සිතා සිහිබුද්ධියෙන් යුතුව තමන්ට පැවරුණු රාජකාරිය ඉටුකිරීමට පාලකයන් කටයුතු කිරීම වැදගත් බවද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් පවසා සිටියහ ෴

***************************************

(09.01.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2020 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීම් 39,624 කින් රුපියල් මිලියන 146 ක දඩ මුදල් අය කරගෙන තිබෙනවා.

එම වැටලීම්වලදී සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 460 කට අධික බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.

එලෙස සුරාබදු නිලධාරීන් භාරයට ගත් නඩු භාණ්ඩ අතර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක්ද වනවා.

පසුගිය වසරේ සිදුකළ මෙම සමස්ත වැටලීම්වලදී 39,586 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 4,059 දෙනෙකුම කාන්තාවන් බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *