යළි අත්අඩංගුවට ගැනුනු ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අද (09) අධිකරණයට

යළි අත්අඩංගුවට ගැනුනු ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අද (09) අධිකරණයට

*********************************************

යළි අත්අඩංගුවට ගැනුනු ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අද (09) අධිකරණයට

(09.01.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ETI ආයතනයේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා (4) අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගැනුනේ ඊ.ටී.අයි. හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහයි.

ඊයේ (08) නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් ආයතනවල සිදු වූ බව කියන රුපියල් බිලියන 13.7 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගත් අතර, ඊට පසුදින නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

පසුව මොවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණේ පසුගිය 07 වන දායි.

එහිදී ඔවුන්ට ඇප ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ලෙස විරෝධය පළ කළ නමුත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, එක් අයෙකුට රුපියල් මිලියන දෙක (2) බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් සිව්දෙනා (4) මුදාහරින ලෙසටයි.

එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධිකරණය ඉදිරිපිට රැස්ව සිටි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නොසන්සුන්කාරී අයුරින් හැසිරුණා ෴

++++++++++++++++

(09.01.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් ඊ.ටී.අයි. හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනාගේ (4) ඡායාරූප සහිත බැනර් ප්‍රදර්ශනය කරමින්, එම අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යළිත් ඊයේ (08) අත්අඩංගුවට ගත්තේ බොරැල්ල ප්‍රදේශයේදියි.

ඒ, නීතිපතිවරයාගේ උපදෙස් මත ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4 කට අධික මූල්‍ය වංචාවකට අදාළවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවති තැන්පතු මුදල් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ පෞද්ගලික සුඛවිහරණය සඳහා සාවද්‍ය පරිහරණ කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

++++++++++++++++++++

(09.01.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධයෙන් එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා අද (09) නියෝග කළා.

ඒ, ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මොවුන් සිව්දෙනා (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන එනු ලැබුවේ අද (09) පස්වරු 01:30 ට පමණයි.

පසුව දෙපාර්ශවය මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරයා විනාඩි 15 කට කාලයකට නඩු කටයුත්ත කල් දැමුණු අතර, පස්වරු 05:55 ට පමණයි එහි තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

මේ අතර ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අද දින මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ නිහඬ විරෝධතාවකද නිරතවුණා.

ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ නීතිපතිවරයාගේ උපදෙස් මත යළිත් ඊයේ (08) අත්අඩංගුවට ගත්තේ බොරැල්ල ප්‍රදේශයේදියි.

ඒ, ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4 කට අධික මූල්‍ය වංචාවකට අදාළවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවති තැන්පතු මුදල් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ පෞද්ගලික සුඛවිහරණය සඳහා සාවද්‍ය පරිහරණ කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් ආයතනවල සිදුවූ බව කියන රුපියල් බිලියන 13.7 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පසුගිය පස්වනදා (05) සහ හයවනදා (06) හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව්දෙනා (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ඔවුන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහරින ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

***************************************

(09.01.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා – දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය සඳහා තේරී පත්ව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (07) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා – දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා එම ධුරයට ඒකමතිකව තේරී පත්වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම එම සංගමයේ ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද එහිදී ඒකමතිකව පත්ව තිබෙනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ්-19 ආසාදන වී ඇති බවට ඊයේ (08) පෙරවරුවේ තහවුරු වුණේ ඔහු විසින් සිදු කරගෙන තිබූ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් අනුවයි.

ඒ අනුව ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා හික්කඩුව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා ෴

***************************************

(09.01.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පැතිර යන ගව රෝගය දිස්ත්‍රික්ක 14 කින් පමණ මේ වන විට වාර්තා වනවා.

කිලිනොච්චිය, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල බහුලව මෙම වෛරස් රෝගය දක්නට ලැබෙන බවයි පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි, බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු ලබාදෙන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ද ඔහු සදහන් කළා.

මෙම ගව රෝගය පිළිබඳව සොයාබැලීම සඳහා පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි, බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සත්පුද්ගල (7) කමිටුවක් පත් කර තිබෙනවා.

මෙම කමිටුව මගින් රෝග ව්‍යාප්තිය, එය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍ෂණික ක්‍රියාමාර්ග මෙන්ම රෝගය වැළඳීම නතර කිරීම සඳහා පළාත් මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරනු ඇති.

‘කැෆ්රි ෆොක්ස්’ නැමති වෛරස් ගණයට අයත් ගවයන්ට වැළඳෙන සමෙහි ගැටිති රෝගයක් වන මෙහි වාහකයා වන්නේ මැස්සන් ෴

***************************************

(09.01.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, ලංකාපුර – කැගලුගම ප්‍රදේශයේදී ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (09) උදෑසන අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පරාක්‍රම සමුද්‍රයේ අතු ඇළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූවන් පොළොන්නරුව මහරෝහලට සහ පුලතිසිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+23+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

***************************************

(09.01.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

වසර 10 කින් අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය 2020 වසරේ වාර්තාවූ බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එම සංඛ්‍යාව 30,802 ක්.

එහෙත් 2019 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දැක්වුණේ එක්ලක්ෂ 5,800 ක් ලෙසයි.

කෙසේ වෙතත් මේ වසරේ අයහපත් කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ෴

***************************************

(09.01.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකුට (3) ලොස්ඇන්ජලීස් අධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 08 දෙනාට ද චෝදනා 9 ක් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන පුද්ගලයින්ටයි.

මොහොමඩ් නවුෆර් නැමැත්තා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර, පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස ඔහු හදුනාගෙන තිබෙනවා.

අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මැදපෙරදිග දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණා.

29 හැවිරිදි ඔහු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නව නායකයා ලෙසට හදුනාගෙන තිබෙනවා.

මොහොමඩ් නවුෆර් සහ මිල්හාන් යන සැකකරුවන්ට අයි.එස්. ත්‍රස්ත පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා එල්ල කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයින් 268 දෙනෙකු මිය ගිය අතර ඊට ඇමරිකානු පුරවැසියන් 5 දෙනෙකු ද අයත්.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇමරිකානු රජයේ නීතිඥ නික් හැනා සදහන් කර ඇත්තේ ලොව ඕනෑම ස්ථානයක ඇමරිකානුවෙකු ත්‍රස්තවාදී ඉලක්කයක් වුවහොත් ඇමරිකාව ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට මෙම නඩුව කදිම නිදසුනක් බවයි.

***************************************

දඩ මුදල් ගෙවීම නොහැකිව රක්ෂිත බන්ධනාගාරව පසුවන රැඳවියන්ට ජනපති සමාව

(09.01.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

විශේෂ ජනපති රාජ්‍ය සමාව යටතේ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරවල සිටි 92 කු අද (09) නිදහස ලැබූ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළා.

ඒ, පවතින කොරෝනා තත්ත්වය හමුවේ බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා දඩ මුදල් ගෙවීමට නොහැකිව සිටින සියළුම රැදවියන් විශේෂ ජනපති රාජ්‍ය සමාවක් යටතේ අද (09) සිට නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට අනුවයි ෴

***************************************

(09.01.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala)

පවතින වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල – උල්හිටිය ජලාශයේ වාන් දොරටු 07 ක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් තෙල්දෙනියාය, උල්හිටිය, රොටලවල ඇතුළු පහත් බිම්වල ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවයි එම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (09) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

උතුර, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි වැසි ඇති විය හැකියි.

එමෙන්ම සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මිලිමීටර් 100 කට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

(09.01.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 71,000 ක් වටිනා පොල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු ගිරිබාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කුරුණෑගල, කුඩාගල්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවාස දෙකකින් (2) මෙලෙස පොල් සොරකම්කර ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර 13 හැවිරිදි පාසල් දරුවෙක් ද සිටින බවයි.

සොරකම සඳහා යොදා ගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්ද පොලිස් භාරයට ගැනුණා.

***************************************

(09.01.2021 – 12:00 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය නගරයේ කලක සිට සිඟමනේ යෙදුනු වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු හදිස්සියේ රෝගාතුර වීම හේතුවෙන්, ඔහු ප්‍රතිකාර සදහා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇති අතර රජයේ වියදමින් දේහය භූමදානය කටයුතු සිදුකරන තුරු දේහය රෝහල් මෘත ශරීරාගාරය වෙත යැවීමට රෝහල් කාර්යමණ්ඩලය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව යාචකයාගේ බඩු බාහිරාදිය පරික්ෂා කිරීමේදී ඔහු සතු බෑගයක තිබී රුපියල් එක්ලක්ෂ තිස්දහසක (1,30,000) මුදලක් සොයා ගැනීමට හැකිව තිබෙනවා ෴

***************************************

(09.01.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමඟ දැඩි බලපෑමකට ලක්වූ තවත් ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයි.

සීගිරිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නියලුණු ජනතාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු පිළිබඳවයි මේ තොරතුරු.

සංචාරකයින්ගෙන් පිරී ඉතිරුණු ඓතිහාසික සීගිරිය නගරය ආශ්‍රිත වත්මන් තත්ත්වයයි මේ.

***************************************

(09.01.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ 05 වන අදියර අද (09) ක්‍රියාත්මක වුණේ අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලාහුගල ගම්මාන කේන්ද්‍ර කර ගනිමින්.

ගම්මාන රැසක ජනතාවගේ ජන ජීවිතයට බලපාන ගැටළු සඳහා විසදුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

අධික වර්ෂාව පැවතිය ද විශාල ජනතාවකක් මෙම වැඩසටහනට පැමිණ සිටි අතර මේ වනවිටත් එය පැවැත්වෙනවා.

***************************************

(09.01.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහඋරුලෑව ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමියක් කිසියම් පිරිසක් ඊයේ (08) ඩෝසර් කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

මෙහි තිබූ ඉපැරණි ගල් කණු, සඳකඩපහ, චෛත්‍ය සහ ගොඩනැගිලි කිහිපයක් ඩෝසර් කිරීම නිසා විනාශ වී ඇති බවයි එහි ගිය අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර හබරණ – හිරිවඩුන්න – බෝධිරාජාරාමයට ඊයේ (08) සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුලු කණ්ඩායමක් පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවුණා.

ඔවුන් සමඟ පැමිණි කිහිපදෙනෙකු ‘බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයේ බුද්ධත්වය ලැබූ’ බවට ප්‍රකාශ කරමින් ඒ බව තහවුරු කිරීම සඳහා පැරණි ඡායාරූප සහ ග්‍රන්ථ කිහිපයක් පෙන්වමින් කටයුතු කළා.

එම සිද්ධියත් සමඟයි මෙම විරෝධය එල්ල වුණේ.

අදාළ පිරිස රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමඟ එම ස්ථානයට පැමිණෙන බවට හිරිවඩුන්න බෝධිරාජාරාමයේ විහාරාධිපති පූජ්‍ය බොරලැස්ගමුවේ සුමේධ හිමියන් දැනුවත් කර තිබුණේ නැහැ.

අනතුරුව විහාරාධිපති හිමියන්, පළුගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී හබරණ – ටැම්පිට රජමහාවිහාරාධිපති පූජ්‍ය බෝගස්වැවේ විපස්සි හිමියන් සහ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැමිණි පිරිස විහාරස්ථානයෙන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ ගම්වාසීන්ගෙන් විරෝධය එල්ලවූ අතර, එහි සිටි පුද්ගලයෙකු තම කමිස සාක්කුවෙන් ලොතරැයිපත් විශාල ප්‍රමාණයක් රැගෙන ගම්වාසීන්ට බෙදාදීමට උත්සාහ කළ අවස්ථාවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

අනතුරුව ගම්වාසීන්ගේ දැඩි විරෝධය හමුවේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුලු පිරිස එම විහාරස්ථානයෙන් පිටව ගියා.

++++++++++++

රාජ්‍ය ඇමති සමග පැමිණි මිත්‍යා මතධාරීන්

(09.01.2021 – 19:23 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ (08) පස්වරුවේ හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාම විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

ඒ සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව ඇත්තේ එම ස්ථානයේ බවට අදහස් දරන පිරිසක් එහි පැමිණ සිටීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ඔවුන්ට විරෝධය පළකිරීමත් සමගය.

සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව ඇත්තේ මෙම ස්ථානයේ බවට පසුගිය කාලය පුරා විවිධ පාර්ශ්ව විවිධ මත සමාජගත කර තිබුණි.

කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙමින් එවැන්නක් තවමත් තහවුරු කර නොමැති බවය.

එමෙන්ම අසත්‍ය මත පතුරුවමින් විටින් විට විහාරස්ථානයට පැමිණෙන පාර්ශ්වයන් හිරිහැරයක් වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පුරාවිද්‍යා නිලධාරීන්ට ද පැමිණෙන ලෙස දැනුම් දී විහාරස්ථානයට පැමිණියේ මෙවැනි වාතාවරණයක් තුළය.

බෝසතුන් එම ස්ථානයේ බුද්ධත්වයට පත් වූ බවට අදහස් දරන පිරිසක් ද රාජ්‍ය අමාත්‍යවරයා සමඟ විහාරස්ථානයට පැමිණ සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පැමිණීම පිළිබඳව සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන්ද එහි රැස්ව සිටි අතර දෙපාර්ශ්වය විසින් එහිදී කරුණු දැක්වනු ලැබීය.

මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව විහාරාධිපති හිමියන්, රාජ්‍ය අමාත්‍යවරයා සහ පුරාවිද්‍යා නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණේ අනතුරුවය.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැමිණි සිදුහත් බෝසතුන් මෙම ස්ථානයේ බුද්ධත්වයට පත් බවට මත දරන පිරිසෙන් අයෙකු විහාරස්ථානයෙන් පිටව යන අවස්ථාවේ ප්‍රදේශවාසීන්ට ලොතරැයිපත් බෙදාදීමට උත්සාහ දැරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් එහි ඇතිවිය.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(09.01.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 03 ක් මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 225 දක්වා ඉහළ ගියා.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (08) මියගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදියි.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමෙන් ඇතිවූ කම්පනය සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

ඊට අමතරව රත්නපුර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවෙන් පෙරේදා රත්නපුර ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.

එමෙන්ම හොරණ ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක්ද පසුගිය 06 වන දා නිවසේදී මිය ගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ පෙනහළු ආසාදනය සහ හෘද රෝගී තත්වයක්.

මේ අතර, ඊයේ (08) දිනයේදී නව ආසාදිතයින් 525 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 524 දෙනෙකුම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා.

තවත් අයෙකු විදේශ මුහුදු ආරක්ෂකයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47,305 ක් ලෙස සටහන් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 40,317 ක්.

එමෙන්ම, ආසාදිතයින් 6763 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

නවතම දත්ත අනුව මේ වනවිට දිවයින පුරා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන 72 ක ගිලන් ඇඳන් 13,000 කට ආසන්න සංඛ්‍යාව ආසාදිතයන්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සඳහා වෙන් කර තිබෙනවා.

හික්කඩුව සහ කොග්ගල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික හෝටල් දෙකක් (2) ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කර ප්‍රතිකාර සේවාවන් සඳහා වෙන් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, මෙම සෑම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළින්ම බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ටී.සී.එල්. යොදා පිරිපහදු කොට මළාපවහන පද්ධති මගින් පමණක් බැහැර කිරීමටද කටයුතු කර ඇති බැවින් නොයෙකුත් පිරිස් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ෴

++++++++++++++++++++

(09.01.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ වෛරස තත්වයේ ප්‍රභේදවල වෙනස්කම් සිදුව ඇත්ද යන්න පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය දැනටමත් ජාන විශ්ලේෂණ පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම ආයතනය වෙත පී.සී.ආර්. පරික්ෂණ සිදුකිරීම සඳහා ලබාදී තිබූ ජෛව සාම්පල හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව මත යොමුකර ඇති සාම්පල යොදාගනිමින් අදාළ පර්යේෂණය සිදුකරන බවයි එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ආරම්භ වූ පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පී.සී.ආර්. පරීක්ෂණ 80,000 ක් පමණ සිදුකර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් එම ආයතනය සිදුකර ඇති දෛනික පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,200 ක් වන අතර, මාසය පුරාවටම පී.සී.ආර්. පරීක්ෂණ 36,000 ක් පමණ සිදුකර ඇති බව සඳහන්.

මේ අතර කෑගල්ලෙන් මෑත කාලය තුළ වාර්තාවන ආසාදිතයන්ගේ රෝග ලක්ෂණවල වෙනස්කම් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (08) ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් නිසි පර්යේෂණ සිදුකිරීම සඳහා අදාළ තත්වය පිළිබඳව ලිඛිත තහවුරු කරගැනීමක් සිදුකර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ඉන් අනතුරුව එම ආසාදිතයන්ගේ ප්‍රභේදවල වෙනස්කම් ඇත්ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීමට හැකියාව පවතින බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ෴

++++++++++++++++++++

(09.01.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ඇතුළු බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 2025 දෙනෙකුට සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ සහ පී.සී.ආර්. පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඉන් 19 දෙනෙකු ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලදීත්, 05 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලදී ආසාදිතයන් බවට හඳුනා ගැනුණු බවයි ෴

++++++++++++++++++++++

(09.01.2021 – 11:38 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලාංකිකයින් 708 දෙනෙකු ගුවන් යානා 12 කින් දිවයිනට පැමිණ තිබෙනවා.

තවත් ගුවන් මගීන් 447 ගුවන් යානා 14 කින් කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

මෙරට ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති හි සේවය කරන චීන ජාතිකයින්, ඉන්දීය කර්මාන්ත ශාලා හි නිරත ඉන්දීය ජාතිකයින් සහ මෙරට තානාපති කාර්යාලවල සේවය කරන නිලධාරීන් ඒ අතර වනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු ද ගුවන් යානා දෙකකින් (2) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔවුන් සියළු දෙනා නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සඳහන්.

පසුගිය පැය 24 තුළ 250 කට ආසන්න පිරිසක් මැදපෙරදිග රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා ෴

++++++++++++++++++++++

(09.01.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා තත්ත්වය හමුවේ බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින සියළුම රැදවියන් විශේෂ ජනපති රාජ්‍ය සමාවක් යටතේ අද (09) සිට නිදහස් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම පිරිස නිදහස් කිරීමට පියවර ගන්නා බවයි කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මේ අතර, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් ඉදිපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක පසුගිය 3 වන දා පැවති ලේ දන්දීමේ වැඩසටහනකදී රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එබැවින් එම රුධිර ප්‍රමාණය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සදහන් කළේ.

කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැත්වූ මහජන දිනයට සහභාගි වූ සමීප ආශ්‍රිතයන් ඇතුලු පිරිස් සොයා තවදුරටත් තොරතුරු එක්රැස් කිරීම සිදුකරන බව පඬුවස්නුවර – බටහිර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ වන විටත් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර, ප්‍රදේශයේ විහාරස්ථාන 7 ක භික්ෂූන් වහන්සේ කිහිප නමක් ද ඊට අයත් බවයි එම කාර්යාලය සදහන් කළේ.

ඊයේ (08) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 525 දෙනාගෙන් 193 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 94 ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් 56 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, කොළඹ නගරයේ ඇතුළු බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 2025 දෙනෙකුට සිදුකළ පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඉන් 19 දෙනෙකු ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලදීත්, 5 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලදී ආසාදිතයන් බවට හඳුනා ගැනුණු බවයි.

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලාංකිකයින් 708 දෙනෙකු ගුවන් යානා 12 කින් දිවයිනට පැමිණ තිබෙනවා.

තවත් ගුවන් මගීන් 447 ගුවන් යානා 14 කින් කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

මෙරට ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති හි සේවය කරන චීන ජාතිකයින්, ඉන්දීය කර්මාන්ත ශාලා හි නිරත ඉන්දීය ජාතිකයින් සහ මෙරට තානාපති කාර්යාලවල සේවය කරන නිලධාරීන් ඒ අතර වනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු ද ගුවන් යානා දෙකකින් (2) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔවුන් සියළු දෙනා නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සඳහන්.

පසුගිය පැය 24 තුළ 250 කට ආසන්න පිරිසක් මැදපෙරදිග රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා.

මේ අතර, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට කොරෝනා එන්නත් ලබා ගැනිමට නොහැකි වීම ගැටළු සහගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා.

ජිනීවා නුවරදී ඊයේ (08) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ධනවත් රටවලින් ඉල්ලා සිටියේ කොරෝනා එන්නත් නිෂ්පාදනය කරනු ලබන සමාගම් සමඟ ගිවිසුම් ඇති කර නොගන්නා ලෙසයි.

දැනටමත් කොරෝනා එන්නත් වැඩියෙන් මිලදීගෙන ඇති රටවලට ඒවා කොවැක්ස් ව්‍යාපෘතිය සඳහා යොමු කරන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ඉල්ලා සිටියේ.

යුරෝපා සංගමයට අයත් රටවල් දැනටමත් ෆයිසර් බයෝ ඇන්ඩ් ටෙක් සමාගමත් සමඟ කොරෝනා එන්නත් වැඩිපුර මිලියන 300 ක් මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

පොරොත්තු ලේඛණයේ නොසිට, ඍජුවම එන්නත් මිලදී ගැනීමට කිසිදු රටක් විශේෂ නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා තවදුරටත් කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *