සිනමාකරුවන් අගමැති හමුවෙයි

සිනමාකරුවන් අගමැති හමුවෙයි

*********************************************

සිනමාකරුවන් අගමැති හමුවෙයි

(09.01.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම සඳහා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක (2) කාලයකට සහන ලබාදීමට තීරණය වී තිබෙනවා.

ඒ, ඊයේ (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සිනමා වෘත්තිකයින්ගේ සංගම් හා සංවිධානවල නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදියි.

විනෝද බද්ද වසර දෙකක කාලයක් සඳහා සියයට 5 ක් දක්වා අඩු කිරීම කෙරෙහි ද මෙහිදී අවදානය යොමු වී තිබෙනවා.

+++++++++++++++++++++++++

(09.01.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් 3499 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බන්ධනාගාර තුළින් කොරෝනා ආසාදිත වූවන් 4250 ක් වාර්තා වී ඇති අතර, ඒ අතර සිටි නිලධාරීන් 120 දෙනෙකු ද සුවය ලබා ඇති බව සඳහන්.

රැදවියන් 5 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය අතර, 614 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, නිලධාරීන් 09 දෙනෙකු ද කොරෝනා ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++++++++++

(09.01.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මන සහ වෑත්තෑව යන ග්‍රාමනිලධාරී වසම් දෙක (2) සහ පූජාපිටිය – කොස්කොටේ ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, බෝවන රෝග පිළිබද උපදේශක කමිටුව ලබන සතියේ රැස්වී දැනට ලෝකයේ ජනතාවට ලබාදෙන කොරෝනා එන්නත් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ සහ මෙරට බෝවන රෝග පිළිබද උපදේශක කමිටුවේ අනුමැතියට යටත්ව මෙම කටයුතු සිදු කරන බවයි.

එමෙන්ම, මෙරටින් වාර්තාවන කොරෝනා ප්‍රභේදවල වෙනස්කම් සිදුව ඇත්ද යන්න පිළිබඳව සිදුකරන ජාන විශ්ලේෂණ පර්යේෂණයේ වාර්තාව දින දෙකක් (2) තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

++++++++++++++++++++++++

(09.01.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 521 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 40,838 ක් දක්වා ඉහළ යනවා.

මේ වනවිට මෙරටින් ආසාදිතයන් 47,305 දෙනෙකු වාර්තාවනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 297 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 47,607 ක් ලෙසටයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 238 ක් හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 47,840 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(09.01.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනය සඳහා විදේශයන්හි නිෂ්පාදිත එන්නතක් මෙරටට කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලාතුගල ප්‍රාථමික විද්‍යාලයේ අද පැවති ගම සමඟ පිළිසඳර පස්වන (5) අදියරේ වැඩසටහනට අද එක්වෙමින්.

ප්‍රදේශයට අද (09) පෙරවරුවේ සිට වර්ෂාව ඇඳහැළුන ද විශාල ජනතාවක් මෙම වැඩසටහනට පැමිණ සිටි අතර එහිදී ඔවුන් සිය ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළා.

++++++++++++++++++++

(09.01.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 4 ක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 74 ක් වන කාන්තාවක් සහ අවුරුදු 64, 76 සහ 58 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක්.

කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනෙක් පිරිමි පුද්ගලයන් තුන්දෙනා කාත්තන්කුඩි, වැල්ලම්පිටිය සහ ඕපනායක ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 229 ක් දක්වා ඉහළ යනවා ෴

+++++++++++++++++++++

(09.01.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව නගරයෙන් පෙරේදා අලුතින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් 55 දෙනා අතරින් එක් අයෙකු අතුරුදන් වී ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වව්නියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සදහන් කළා.

මේ අතර වව්නියාව – ජුම්මා මුස්ලිම් දේවස්ථානය ඇතුළු වව්නියාව – බසාර් වීදිය, ධර්මලිංගම් මාවත සහ මාකට් පෙදෙසට ඊයේ (08) සිට සංචරණ සීමා පැනවීමටද සෞඛ්‍ය අංශ කටයුතු කළා.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගිය දා හඳුනා ගැනීමත් සමඟ ඔහු ගනුදෙනු කළ කලවාන නගරයේ වෙළදසැල් ආශ්‍රිතව තවත් ආසාදිතයන් සිටී ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා හෙට දිනයේත් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ 100 ක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ හේතුවෙන් අද (09) සහ හෙට (10) දෙදින කලවාන නගරයේ වෙළදසැල් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා කියා සිටියේ.

කටුනායක නිදහස් වෙළද කලාපයේ පිහිටි කර්මාන්තශාලා 3 කින් නව ආසාදිතයින් 11 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අතුරින් 9 දෙනෙකුම ඉන්දීය ආයෝජන ව්‍යාපෘතියක් සිදුකරන කර්මාන්තශාලා සේවකයන් බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සදහන් කළේ.

ඒ අනුව මේ වන විට කටුනායක නිදහස් වෙළද කලාපය තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 593 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, බණ්ඩාරගම – අටළුගම – කොළමැදිරිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (08) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇති අතර ඇය සමඟ සමීපව කටයුතු කළ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 47,840 ක් හමුවී ඇති අතර ඉන් 6773 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 40,838 ක් ෴

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(09.01.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් (2) විවෘත කර තිබෙනවා.

පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කර ඇත්තේ පවතින වැසි තත්වය සමග ජලාශය වාන් මට්ටමට පැමිණ ඇති බවයි.

එබැවින් වාන් දොරටු දෙකක් (2) අඩිය බැගින් විවෘත කර තිබෙනවා.

ඒ අනුව මී ඔයට මුදා හැරෙන ජලය ප්‍රමාණය තත්පයරට ඝණ අඩි 450 ක්. මේවන විට තබ්බෝව ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 4500 ක ධාරිතාවක පවතිනවා.

මේ අතර පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් (4) අඩිය බැගින් විවෘත කර ඇති අතර, ඒ හේතුවෙන් අඹන් ගඟ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියේ ෴

+++++++++++++++++

(09.01.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට (10) පස්වරු 5 තෙක් වලංගු වන ආකාරයෙන්.

එම නිවේදනයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් වර්ධනය වී ඇති බවයි.

එහි බලපෑමෙන් කන්කසන්තුරය සිට මඩකලපුව හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතිනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මේ අතර අනිද්දා (11) පස්වරු 2 දක්වා බල පැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි ඔවුන් කියා සිටියේ.

ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගතවු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ගාල්ල – බටුවන්ගල ප්‍රදේශයට වාර්තා වී ඇති අතර එය දැක්වෙන්නේ මිලිමීටර් 140 ක් ලෙසයි.

මේ අතර අධික වැසිත් සමඟ පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව ජලාශය සහ උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් (4) අඩිය බැගින් විවෘත කර ඇති අතර, ඒ හේතුවෙන් අඹන් ගඟ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියේ.

මීට අමතරව උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම (7) සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් (2) අඩිය බැගින් විවෘත කිරීමටද පියවර ගෙන තිබෙනවා ෴

***************************************

ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන්තොටුපලින් පිටත්වූ යානයක් අතුරුදන් වෙයි

(09.01.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන්තොටුපලින් පිටත්වූ ගුවන්යානයක් අතුරුදන්වී තිබෙනවා.

එම යානය පිටත්වී මිනිත්තු 4 ක පමණ කාලයක් තුල සබඳතා බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෝයිං 737 වර්ගයේ මෙම යානය අතුරුදන්වන විට අඩි දස දහසක් (10,000) පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබුණා.

මෙලෙස හදිසියේ ගුවන් දර්ශන පථයෙන් ඉවත්වන විට එහි මගීන් 56 දෙනෙකු සිට ඇති බවයි එරට බලධාරීන් සඳහන් කළේ.

ලදරුවන් 03 දෙනෙකු, ළමයින් 07 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයන් 46 දෙනෙකු සිට තිබෙනවා.

මෙම යානය අතුරුදන් වන විට එය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට බොනෙයෝ දූපත් වෙත පියාසර කරමින් තිබී ඇතැයි සඳහන්.

එරට ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ සෝදිසි කිරීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

එම යානය රේඩාර් පද්ධතියෙන් ඉවත්වී ඇත්තේ ජකර්තා නුවරට උතුරු ප්‍රදේශයේ ගුවනේදීයි.

වසර 27 ක් පැරණි මෙම ගුවන් යානය ‘ශ්‍රීවිජය එයාර්’ ගුවන් සමාගමට අයත් එකක් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට අදාළව කරුණු එක්රැස් කරමින් පවතින බැවින් යානය අතුරුදන්වීම පිළිබඳ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව ඔවුන් ප්‍රකාශකර ඇතැයි සඳහන්.

මෙය 2021 වසරේදී ගුවන්යානයක් සම්බන්ධයෙන් වාර්තාවූ පළමු සිදුවීම වීම ද විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 2020 වසරේදී ගුවන්යානා අනතුරු 40 ක් සිදුවී ඇති බවයි.

එය 2019 වසරට සාපේක්ෂව අඩුවීමක් වුව ද එම අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව වැඩිවීමක් සිදුවී තිබෙනවා.

2019 වසරට සාපේක්ෂව පසුගිය 2020 වසරේදී ගුවන් යානා අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 42 කින් ඉහළ ගොස් තිබුණා.

2020 වසරේදී ගුවන් යානා අනතුරුවලින් 299 දෙනෙකු මියගොස් ඇති අතර, 2019 වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 257ක්.

2019 වසරේදී ගුවන් යානා අනතුරු 86 ක් සිදුව ඇති අතර, 2020 වසරේදී අනතුරු 40ක් සිදුව තිබෙනවා.

මෙම අනතුරු වාර්තාවී තිබුණේ 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ ගුවන් ගමන් සියයට 42 කින් අඩුවී ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

++++++++++++++++

අතුරුදන් වූ ඉන්දුනීසියා යානය මුහුදට වැටී ඇතැයි හෙළිවෙයි

(10.01.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (09) අතුරුදන්වූ ඉන්දුනීසියා ගුවන් යානය මුහුදට කඩා වැටී ඇතැයි බොහෝ දුරට සාක්ෂි පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෝයිං 737 වර්ගයේ මෙම යානය අතුරුදන්වී තිබුනේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරින් ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුවයි.

අතුරුදන්වීමට මොහොතකට පෙර යානය විනාඩියක් තුල අඩි දස දහසකින් (10,000) පහළට වැටී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

මෙම සිදුවීම ඇසින් දුටු පුද්ගලයන් සඳහන් කර ඇත්තේ තමන්ට දැවැන්ත පිපිරීමක ශබ්දයක් ඇසුනු බවයි.

යානය අනතුරට ලක්වන ආකාරය තමන් දුටු බව ධීවර කටයුතු සඳහා යමින් සිටි යාත්‍රාවක සිටි පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් එම යාත්‍රාව මෙහෙයවන්නා වහාම ගොඩබිමට පැමිණි බව ද ඔවුන් සඳහන් කළා.

අකුණක් පුපුරා යන ආකාරයෙන් යානය මුහුදට වැටී පුපුරා ගිය අතර එය තම යාත්‍රාවට ඉතා ආසන්නව සිදුවූ බවයි එම ධීවරයන් පෙන්වා දී ඇත්තේ.

එහි කැබලි තම යාත්‍රාවේ පවා වැදුනු බව ඔවුන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබෙනවා.

යානය පිටත්වීමට පෙර සිදු කෙරෙන පරීක්ෂාවන්වලදී එය හොඳ තත්වයේ පැවති බව ශ්‍රී විජය ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශකර තිබෙනවා.

ඉන්දුනීසියාවේ තුන්වන විශාලතම ගුවන් සමාගම ලෙසට සැලකෙන්නේ මෙම ගුවන් සේවයයි.

එමගින් ඉන්දුනීසියාව ද ඇතුලුව රටවල් කිහිපයක ගමනාන්ත 53 කට මාසිකව ගෙනයන මගීන් සංඛ්‍යාව 950,000 කට අධිකයි.

එමෙන්ම යානයේ බවට සැක කෙරෙන කොටස් තමන්ට හමුවූ බවට යානය අතුරුදන් වූ මුහුදු කලාපය ආසන්න දුපත්වල ජනතාව ද සඳහන් කළා.

යානය සෙවීමේ මෙහෙයුම් ඊයේ (09) රාත්‍රියේ තාවකාලිකව අත්හැර දැමුන ද අද යළිත් ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී විජය ගුවන් සමාගමට අයත් යානයක් වන මෙහි කාර්ය මණ්ඩලය ද ඇතුලුව මගීන් 62 ක් ගමන් කරමින් සිටියා.

ළදරුවන් 03 දෙනෙකු, ළමයින් 07 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයන් 46 දෙනෙකු සිට තිබෙනවා.

ඔවුන් සියලුදෙනා ඉන්දුනීසියා ජාතිකයන්.

පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ එය ගුවන්ගත වී තිබුනේ ද නියමිත වේලාවට වඩා විනාඩි 30 ක ප්‍රමාදයකින් අනතුරුවයි.

මෙම යානය අතුරුදන් වන විට එය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට බොනෙයෝ දූපත් වෙත පියාසර කරමින් තිබී ඇතැයි සඳහන්.

මේ අතර ගුවන් යානය කඩා වැටුණු මුහුදු ප්‍රදේශය හඳුනාගත් බව ඉන්දුනීසියානු නාවික හමුදාව ප්‍රකාශ කළා.

මේ වනවිට නාවික හමුදා කිමිඳුම්කරුවන් සමඟ නෞකා 10 ක් එම ප්‍රදේශයේ මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.

එමෙන්ම, ගුවන් යානයේ සුන්බුන් බවට සැක කෙරෙන ද්‍රව්‍ය රැසක් මේ වනවිට විමර්ශනයට ලක් කරන බවයි ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළේ.

දූපත් 17,000 කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරතව සිටින විටයි මෙම මගී ගුවන් යානය ඊයේ (09) අනතුරට ලක්වූයේ ෴

***************************************

(09.01.2021 – 20:59 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අධිකරණයට සිදුකළ දේශපාලන අතපෙවීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පළකළා.

***************************************

(10.01.2021 – 06:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹීලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින පුරා අහස වළාකුලින් බරවී පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුර, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම උතුර සහ උතුරු මැද පළාත් හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ක් 50 ක් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

පුත්තලම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකියි.

එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තද සුළං සමග එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *