ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතය අවුරුදු 61 ත් 75 ත් අතර

ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතය අවුරුදු 61 ත් 75 ත් අතර

*********************************************

ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතය අවුරුදු 61 ත් 75 ත් අතර

(10.01.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

තවත් මරණ හතරක් (4) ඊයේ (09) දිනයේදී මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගියා.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි අයෙක් මෙලෙස කොරෝනා ආසාදනය වී ඇතිවූ රෝගී තත්වයන් හේතුවෙන් මියගොස් තිබෙනවා.

මීට අමතරව රත්නපුර – ඕපනායක ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකුද ඊයේ (09) දිනයේදී කොරෝනා ආසාදනය වී ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

දැනට සිදුව ඇති කොරෝනා මරණ 229 න් එකසිය හතලිස් දෙදෙනෙකුම (142) පිරිමි පුද්ගලයන් වන අතර, මියගිය 83 දෙනෙකු කාන්තාවන්.

එම මරණවලින් ප්‍රතිශතයක් ලෙස වයස අවුරුදු 61 ත් 75 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් සංඛ්‍යාව 36% ක් වන අතර, වයස අවුරුදු 76 ත් 90 අතර වයස් කාණ්ඩවල පසුවන්නන් 28% ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, ඊයේ (09) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 535 ක් වාර්තා වුණා.

ඉන් 18 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන අතර, සෙසු ආසාදිතයන් 517 දෙනා පෑලියගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වනවා.

ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා පොකුරද 44,082 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මෙතෙක් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එය 18,873 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 9,905 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 3,226 දෙනෙකුත් වාර්තාවී තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටද වෛරසය වැළඳී ඇති බවට තොරතුරු වාර්තා වුණා.

රාජ්‍ය අමාත්‍යවරයා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ තමා මේ වනවිට ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයකින් සිටින අතර, ඉක්මනින් සුවය ලබනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

තමා අමතා ඉක්මන් සුවය පැතූ සියල්ලන්ට ද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එහිදී ස්තූතිය පළ කළා.

එමෙන්ම මුන්දලම – මදුරන්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක සේවය කළ තුන්දෙනෙකුට (3) කොරෝනා ආසාදනය වීමත් සමඟ එම කර්මාන්තශාලාව තාවකාලිව වසා දමා තිබෙනවා.

එහි සේවකයන් 37 දෙනෙකුට ඊයේ (09) සිදුකළ ජෛව පටල සාම්පල් පරීක්ෂා කිරීමේදී මෙසේ ආසාදිතයන් තුන්දෙනෙකු (3) හමුවී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව එම සේවකයින් ආශ්‍රිතයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ දිවයින පුරා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල අඩුවීමක් සිදුකර නොමැති බවයි.

++++++++++++++++++++

(10.01.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී යුක්රේන ජාතිකයන් පමණක් නොව අනෙකුත් රටවල සංචාරකයන්ටද මෙරටට ඇතුළුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

බලංගොඩ – මොලමුරේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ඊයේ (09) පැවති සාකච්ඡාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

+++++++++++++++++++

(10.01.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි මේබව ප්‍රකාශකර ඇත්තේ.

තමා නිරෝධායන ක්‍රියාවලියට යොමුවන අතර ගතවූ දින 10 ක කාලය තුල තමා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසට ද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පසුගිය ජනවාරි 5 වනදා පැවති නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරයට ද සහභාගි වී ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියා.

ඒ අනුව පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරයාගේ සංචරණ ස්ථාන සොයා සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරමින් සිටින බවයි වේත්‍රධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයට යොමුවී සිටිනවා ෴

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කොරෝනා ආසාදිතයෙකු ලෙස වාර්තා වීමත් සමඟ, ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගන්නා ලෙසත්, ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසත් දැනුම්දී තිබෙනවා ෴

++++++++++++

(10.01.2021 – 16:09 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටින් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු (4) මේ වන විට හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, CCTV දර්ශන යොදා ගනිමින් මෙම මන්ත්‍රීවරුන් සිව්දෙනා (4) හඳුනාගෙන ඇති බවය.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල යන අය රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ පාර්ලිමේන්තුව තුළ සමීපව සිට ඇති බව වාර්තා වේ.

ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් දෙදෙනා (2) ද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ සමීපව කතාබහක නිරත වී ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති අතර ඔවුන් ඉදිරියේ දී පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බව ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අද (10) පෙරවරුවේ තහවුරු වූ අතර ඔහු ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණි ෴

++++++++++++++++++++++

(10.01.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාව, මත රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට උපදෙස් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවයි විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

කොරෝනා ව්‍යප්තියත් සමඟ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ යම් සීමා පසුගිය මාස කිහිපයේදී ක්‍රියාත්මක වුණා.

එහෙත්, හෙට (11) සිට ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාවය මත සියලුම සේවකයින් සේවයට කැඳවීමට හැකි අතර නිරෝධායනය වන පිරිස් ඊට අයත් වන්නේ නැහැ ෴

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(10.01.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබූ සැමරුම් ස්මාරකයක් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් හෙට (11) උතුර පළාත සහ නැගෙනහිර පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ද සිය සහයෝගය ලබාදෙන බව සඳහන්.

යුද්ධය අවසන් වී වසර 10 ක් ගතවද්දී 2018 වසරේ යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ මෙම ස්මාරකය ඉදිකර තිබෙනවා.

කෙසේ වෙතත්, පෙරේදා (08) රාත්‍රියේ මෙම ස්මාරකය ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කිරීමත් සමඟ ඇතිවූයේ නොසන්සුන්කාරී තත්වයක්.

මෙම සිද්ධිය පාලනය කර විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමටද පියවර ගැනුණා.

මෙම සිද්ධියට අදාළව විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු (2) පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරුණා.

තවදුරටත් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර, මාතලේ ප්‍රදේශයේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ අදාළ සිදුවීමට යුද හමුදාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් හෙට (11) උතුර නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සිය සහයෝගය ලබාදෙන බවයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකර තිබූ සැමරුම් ස්මාරකයක් ඉවත් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම සරසවියේ සිසුන් 5 දෙනෙකු මේ වනවිටත් උපවාසයේ නිරත වනවා.

ඉන් එක් සිසුවෙකු (1) මාරාන්තික උපවාසයක නිරත වන අතර අනෙක් සිසුන් සිව් දෙනා (4) ඔහුට සහය පළ කරමින් උපවාසයේ නිරත වන බව අප වාර්තාකරු සඳහන් කළා.

මීට විරෝධය පළ කරමින් හෙට (11) දිනයේ උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමටද තීරණය කර ඇති අතර ඊට දෙමළ ජාතික සන්ධානයද සිය සහයෝගය ලබාදෙන බව සඳහන්.

මෙම සිද්ධියට අදාළව විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු (2) පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරුණා.

යුද්ධය අවසන් වී දහවන (10) වසර සලකුණු කරමින් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ මෙම ස්මාරකය ඉදිකර තිබුණා ෴

+++++++++++++++

***************************************

(10.01.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ සිදුව ඇති මූල්‍ය වංචාවන්ට අදාළව බුද්ධි අංශ විසින් ලබාදී ඇති රහස්‍ය ලේඛන දෙකක් (2) ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මේ අතර, අනිද්දා (12) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය ඊයේ (09) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.

ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගින් පෙරේදා (08) දෙවන වරටත් (2) අත්අඩංගුවට ගැනුණා.

ඒ, ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව කියන රුපියල් බිලියන 6.4 කට අධික මූල්‍ය වංචාවකට අදාළවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවැති තැන්පතු මුදල් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ පෞද්ගලික සුඛ විහරණය සඳහා සාවද්‍ය පරිහරණය කර ඇති බවට ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා නිගමනය කර ඇත්තේ මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනාවලට අදාළව ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389 සහ 403 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇති බවටයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ ඒ අනුවයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් ඊ.ටී.අයි. හිටපු අධ්‍යක්ෂවරුන් ඊයේ (09) පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන අවස්ථාවේ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවකද නිරත වුණා.

පසුව තැන්පත්කරුවන් සිව්දෙනෙකුට (4) අධිකරණය තුළට යාමට අවස්ථාව හිමිවුණා.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කියා සිටියේ මෙහි විමර්ශන කටයුතු තවමත් සිදුකෙරෙන බැවින් ඇප ලබාදීම අදාළ විමර්ශනවලට බාධාවක් විය හැකි බවයි.

ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය සැකකරුවන් සිව් දෙනා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස නියෝග කළා.

ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදාද මෙම සිව් දෙනා (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා ෴

(10.01.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ මූල්‍ය වංචාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා (4) නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර ගත කරන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් මෙලෙස නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි.

ඒ අනුව, ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ, වැලිකඩ බන්ධනාගාරයේ මීට පෙර කාන්තා අංශය පැවති ස්ථානයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන දීපා එදිරිසිංහ, නිරෝධායනය සඳහා යොමුකර ඇත්තේ කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයේ ස්ථාපිත නිරෝධායනය මධ්‍යස්ථානය වෙතයි.

ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගින් පෙරේදා දෙවන (2) වරටත් අත්අඩංගුවට ගැනුණා.

ඒ, ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව කියන රුපියල් බිලියන 6.4 කට අධික මූල්‍ය වංචාවකට අදාළවයි.

මොවුන් සිව් දෙනා (4) අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (09) නියෝග කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවැති තැන්පතු මුදල් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ පෞද්ගලික සුඛ විහරණය සඳහා සාවද්‍ය පරිහරණය කර ඇති බවට ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴

***************************************

(10.01.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පැතිර යන ‘කැෆ්රි ෆොක්ස්’ නැමති වෛරස් ගණයට අයත් ගවයන්ට වැළඳෙන සමෙහි ගැටිති රෝගය හේතුවෙන් කිරි ගොවීන් මේ වනවිට දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

මේ වනවිට එම රෝගය දිස්ත්‍රික්ක 14 කින් පමණ වාර්තාවන බවයි පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි, බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.

මෙම ගව රෝගය පිළිබඳව සොයාබැලීම සඳහා පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි, බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සත්පුද්ගල කමිටුවක් ද පත් කරනු ලැබුවා ෴

***************************************

(10.01.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

ඝාතනයට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘මොරටු සමන්’ගේ සමීපතම ගෝලයෙකු වන ‘සුමිත්’ නැමැත්තාගේ රියදුරා ලෙස කටයුතු කළ අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මොරටුව – කටුබැද්ද ප්‍රදේශයේ ඊයේ (09) සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 05 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා මෙම අත්බෝම්බය ළඟ තබාගෙන සිටියේද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

***************************************

(10.01.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ – මීටියාගොඩ – මල්වැන්න ප්‍රදේශයේදී හෙදියකගේ රන්මාලය කොල්ලකෑ පුද්ගලයෙකු ඇළකට පැනීමෙන් අනතුරුව දියේගිලී මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේ අද (10) උදෑසන මල්වැන්න රේල් ගේට්ටුව අසලට යතුරුපැදියකින් පැමිණි මියගිය පුද්ගලයා බලපිටිය රෝහලේ සේවය කරන හෙදියකගේ රන්මාලය කොල්ලකා ඇති බවයි.

පසුව ප්‍රදේශවාසීන් පිරිසක් සැකකරු පසුපස හඹා ගොස් ඇති අතර එහිදී ඔහු අසල පිහිටි ඇලකට පැන ඇති බව සඳහන්.

පසුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව දියේ ගිලී සිටි සැකකරු ගොඩට ගෙන හික්කඩුව – ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව සඳහන් ෴

***************************************

(10.01.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

පදවිය ජලාශයේ වාන්දොරටු දෙකක් (2) අඩි දෙක (2) බැගින් විවෘත කිරීම හේතුවෙන් මාඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.ටී.සී. සුගීෂ්වර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මේ හේතුවෙන් මාඔය අවට ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

මීට අමතරව, රාජාංගනය, දැදුරු ඔය, යාන් ඔය ඇතුළු ජලාශ රැසකම වාන්දොරටු මේ වනවිට විවෘත කර තිබෙනවා.

එමෙන්ම, වසර 3 කට පසු පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු දහයම (10) විවෘත කර ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

වසර 3 කට පසු පරාක්‍රම සමුද්‍රයේ වානු දොරටු 10 ම විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව උපරිම මට්ටමට ළගා වෙමින් පැවතීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

වාන් දොරටු 10 න් 8 ක් අඩිය බැගින් සහ අනෙක් දොරටු දෙක (2) අඩි දෙක (2) බැගින් විවෘත කර තිබෙනවා. එමගින් තත්පරයකට මුදා හැරෙන ජල ධාරිතාව ඝණ අඩි 1620 ක්.

මේ හේතුවෙන් පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් අවධානයෙන් පසුවන ලෙසටයි පොළොන්නරුව කලාප වාරිමාර්ග නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් ප්‍රකාශ කළේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මාර්ගය අඩියකින් (1) පමණ ජලයෙන් යටවී ඇති බවයි.

++++++++++++++++

***************************************

(10.01.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුළු පාර්සලයක් බන්ධනාගාර නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (10) අලුයම 01:30 ට පමණ මෙම පාර්සලය බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකර ඇති බවයි.

එහි තිබී ජංගම දුරකථන 4 ක්, සිම්පත් 7 ක්, කේරළ ගංජා ග්‍රෑම් 10 ක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට් 2 ක් සහ දුම්කොළ 12 ක් බන්ධනාගාර නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

***************************************

(10.01.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිළිබඳ සොයාබැලූ පංච පුද්ගල කමිටු වාර්තාවේ අන්තර්ගත නිර්දේශ පිළිබඳව එහි සාමාජික ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද (10) කරුණු අනාවරණ කළා.

එම වාර්තාව පසුගිය දෙසැම්බර් 30 වැනිදා අධිකරණ අමාත්‍යවරයාට භාරදුන් අතර, අංශ තුනක් (3) යටතේ ඉන් ඉදිරිපත්කර තිබූ නිර්දේශ ගණන 39 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *