පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි

*********************************************

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි

(10.01.2021 – 22:49 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ ජනපති කොමිසමේ වාර්තාව ලැබුණු විගස එහි සාක්ෂිද අධ්‍යයනය කර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (10) හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළකරමින්.

***************************************

(11.01.2021 – 06:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි නිවේදනය කරන්නේ.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තදවැසි ද ඇතිවිය හැකයි.

උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් (40-50) දක්වා වැඩිවිය හැකි බවද දැනුම් දෙනවා ෴

***************************************

(11.01.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබූ සැමරුම් ස්මාරයක් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අද (11) උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් දියත් කෙරෙනවා.

ඊට දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ද සිය සහයෝගය පළ කළා.

යුද්ධය අවසන් වී වසර 10 ක් ගතවද්දී 2018 වසරේ යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ මෙම ස්මාරකය ඉදිකර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය 08 වනදා රාත්‍රියේ මෙම ස්මාරකය ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කිරීමත් සමඟ ඇතිවූයේ නොසන්සුන්කාරී තත්ත්වයක්.

මෙම සිද්ධිය පාලනය කර විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමටද පියවර ගැනුණා.

මේ අතර, මෙම ස්මාරකය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සිසුන් 05 දෙනෙකු ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි ෴

***************************************

තවත් පුරාවස්තු සංහාරයක්

(11.01.2021 – 07:25 +0530 – sinhala.adaderana.lk)

රටක අතීත ශ්‍රී විභූතිය අනාගත ලොවට රැගෙන යන්නේ ඒ රටේ ඇති පුරා විද්‍යාත්මක සාධකයි.

අපේ රටේ එම වටිනාකම්වලට හානි සිදුවූ සිද්ධි රැසක් පසුගිය දිනවල වාර්තා වුණි.

එහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ අනුරාධපුර ගල්කිරියාගම ප්‍රදේශයෙනි.

අනුරාධපුර පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම පොලිස් බලප්‍රදේශයට අයත් මහහුරුල්ලෑව පුරාවිද්‍යා භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් ඩෝසර් යොදා එළිපෙහෙළි කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ වගා කටයුතු සඳහා එම භූමිය බදු පදනම මත ලබාගත් අයෙකු එලෙස හානි කර ඇති බවය.

ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් මේ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ඩෝසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව ‘අද දෙරණ වාර්තාකරු’ පැවසීය.

මේ අතර කෑගල්ල වරකාපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වේරගල ඈගල්ලේ පිහිටි ඓතිහාසික ලෙන් විහාරයේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නටඹුන්වලට පසුගිය කාලය පුරා කිසියම් පිරිසක් හානි සිදුකර තිබේ.

එමෙන්ම විහාරයට යාබදව පිහිටි ගල්කොරියක් හේතුවෙන් මේ වන විට ලෙන් විහාරය අවදානමක පවතින බව විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීහු පවසති.

විහාරය වෙත පිවිසීමට තිබූ මාර්ගය ද එම ගල්කොරියේ හිමිකරු කම්බි ඇද වසාදමා ඇති බවට ඔවුන් චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහි පැමිණ තිබේ.

***************************************

අවසන් සටනට නායකත්වය දුන් එල්.ටී.ටී.ඊ. රාජන් බුදු දහම වැලඳගන බෞද්ධ පන්සලකුත් හදයි

(10.01.2021 – 19:16 +0530 – lankaleadnews.com)

2006 දී වයස 23 ක්ව තිබියදී සංවිධානයට බැඳුනු; යුද්ධයේ අවසානය දක්වා එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකුව සිටි යෝගරාජා තිරුබාකරන් නොහොත් රාජන් පවසන්නේ ලෝකය කොතරම් ලොකුදැයි දැක්කේ යුද්ධයෙන් පසුව බවයි.

සංවිධානයට බලෙන් බඳවාගත් වයස 16 ක ගැහැණු ළමයෙකු යුද්ධ කිරීම සඳහා තමාට බාර දී තිබූ බවත් අවසාන භාගයේදී ඇය හමුදාවට භාර වීමට යන අවස්තාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඇයව වෙඩි තබා ඝාතනය කළ බවත් එම සිදුවීමෙන් තමා සංවිධානය කෙරෙහි දැඩි ලෙස කළකිරුණු බවත් ඔහු තවදුරටත් පවසයි.

හමුදාවට බාර වෙන තෙක් සිංහළ මිනිස්සු එක්ක තිබුනෙ වෛරයක්. මේ ජාතිවාදය අවුලවන්නෙ දමිළ දේශපාලකයින්. ටී.එන්.ඒ. එකේ ඉන්නෙ ඔක්කොම බොරුකාරයො. මම හැකි හැම අයුරකින්ම ජනතාව දැනුවත් කරනවා යයි පවසන ඔහු තම වියදමින් වැලිඔය ප්‍රදේශයේ බෞද්ධ පන්සලක් සෑදීමට කටයුතු කරමින් සිටී.

***************************************

ගංජා ඖෂධයක් නොවෙයි, මත්ද්‍රව්‍යයක්; තහනම දිගටම තියන්න – විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර

(11.01.2021 – colombotoday.com)

ගංජා ඖෂධයක් නොවන බවත් එය මත්ද්‍රව්‍යයක් බවත් ශ්‍රී ලංකා අමධ්‍යප මහා සභාවේ උප සභාපති විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසනවා.

මේ වනවිට ගංජා ප්‍රවර්ධනය කිරීමක් සමාජය තුල දක්නට ලැබෙන බවත් එයට හසුවී මෙම මත්ද්‍රව්‍ය භාවිතා නොකරන ලෙස තරුණයින්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කර සිටි වෛද්‍යවරිය, ගංජාවලින් ආරම්භ වී පසුව කුඩු, අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද සඳහන් කර සිටියා.

ගංජා භාවිතයේ ඇති අවධානම පිළිබඳව කරුණු පැහැදිලි කල විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය :

***************************************

(11.01.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ලෝක ව්‍යසන තත්ත්වය තුළ රටේ සමස්ත වෙළඳපොල මනා කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ වත්මන් වෙළඳපොල තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කොරෝනා හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූවද, ඉදිරි සති කිහිපය තුළදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් සහිතව පාරිභෝගික ජනතාවට බෙදාහැරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ෴

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(10.01.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත හා හුදකලා කරන ලද ප්‍රදේශය හැර අනෙකුත් සියලු ප්‍රදේශවල පාසල් හෙට (11) සිට ආරම්භ කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කරමින් හා දරුවන් ද ආරක්ෂා කර ගනිමින් නව සාමාන්‍ය තත්ත්වය යටතේ පාසල් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව මෙලෙස ආරම්භ කිරීමට නියමිත බවයි.

මේ යටතේ ලබන 25 වනදා සිට බස්නාහිර පළාතේ හුදකලා ප්‍රදේශ හැර සෙසු පාසල් වල 11 වන ශ්‍රේණිය ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

එසේම නව වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පෙබරවාරි දෙවන සතියේ සිදුකෙරෙනු ඇති.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ද මෙලෙස අදහස් පළ කර තිබුණා.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේ හෙට (11) දිනයේ පාසල් විවෘත කිරීම සිදුවන්නේ දූදරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් සියලු පියවරයන්ට එළඹීමෙන් පසුව බවයි.

හෙට(11) සිට ආරම්භ වන පාසල්වල අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා පටිපාටියක් හඳුන්වාදීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා.

මේ අතර, නැගෙනහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල් 32 ක් හැර සෙසු පාසල්ද හෙට (11) ආරම්භ කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප්‍රකාශ කළා.

++++++++++++++++++++++

(10.01.2021 – 23:01 +0530 – hirunews.lk/sinhala)

අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ තුනක් (3) වාර්තා වනවා.

මෙම මරණ තුනත් (3) සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 232 ක් දක්වා ඉහළ ගියා.

අද (10) දිනයේ වාර්තා වන මරණ අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (2) සහ කාන්තාවක (1) වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඔවුන් 80, 64 සහ 62 හැවිරිදි වියේ පසුවූවන්.

++++++++++++++++++++++++

(11.01.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබූ මාලිගාවත්ත, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශ අද (11) අලුයම පහේ (05:00) සිට හුදෙකලාවෙන් නිදහස් කෙරුනා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ද අද (11) අලුයම පහේ (05:00) සිට හුදෙකලා භාවයෙන් මුදාහැරීමට කටයුතු කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාමනිලධාරි වසමේ දුව වත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ වෙඩිකන්ද ප්‍රදේශය සහ ‬ මීගමුව පොලිස් වසමේ තල්දුව ග්‍රාම නිලධාරි වසමේ MC නිවාස යෝජනා ක්‍රමය එම ප්‍රදේශයි ෴

++++++++++++++++++++++++

(11.01.2021 – 07:48 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 30 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ, ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිපදෙනෙකු අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බවය.

ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් අනතුරුව එම ආසාදිතයින් හඳුනාගෙන තිබේ ෴

++++++++++++++++++++++

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට කොවිඩ්

(10.01.2021 – 21:08 +0530 – sinhala.adaderana.lk)

තාවකාලිකව වසාදමා තිබූ අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සහ තානාපති කාර්යාලයේ 4 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබේ ෴

අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

ඒ මහතා ජනවාරි මස 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීපව ඇසුරු කළ ඇති බව වාර්තා වේ.

එම සමීපතමයින් සහ අදාළ අංශ ප්‍රධානීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

අදාළ ප්‍රදේශ විෂබීජානුහරණය සඳහා දැනටමත් පියවර ගෙන තිබේ ෴

++++++++++++++++++++

(10.01.2021 – 17:34 +0530 – lankaleadnews.com)

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක නොකළ හොත් ඉදිරි දෙසතිය රට පුරා කොරෝනා පාලන කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වීමට තීරණය කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය උපදෙස් නොපිළිපදමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණයකින් තොරව මෙරටට එන විදේශීය සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඇතැයිද එවන් වටපිටාවක මෙරට ජනතාවට නිරෝධායන නීතිය රකින්නැයි උපදෙස් දීමට නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය ෴

++++++++++++++++++++++

කොවිඩ් රෝග ලක්ෂණ වෙනස් වෙලා – අලුත්ම රෝග ලක්ෂණ මෙන්න – පර්යේෂකයින් කියති

(11.01.2021 – am.lk)

කොවිඩ්-19 රෝගයේ මේ වන විට රෝග ලක්ෂණ වල වෙනසක් පෙන්නුම් කරනු ලබන බව ඇමරිකානු, බි‍්‍රතාන්‍ය හා ඊශ‍්‍රායල වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කර ඇති නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

මෙම පර්යේෂණයට අනුව මුලින් කොවිඩ් ආසාදනයේදී පෙන්වූ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස හා තද උණ යන රෝග ලක්ෂණවලට වඩා මේ වන විට දක්නට ලැබෙන ප‍්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ රස හා ගඳ /සුවඳ නොදැනීම යි.

එම පර්යේෂකයන්ට අනුව කොරෝනා වෛරස් ආසාදනය සුළු වශයෙන් වැලඳී ඇති අයගෙන් සියයට 86 කටම ආහාර පානවල රස හා ආහාර පාන හෝ යම් ද්‍රව්‍යයක ගඳ /සුවඳ නොදැනීම දක්නට ලැබෙන බව සදහන්.

මීට අමතරව වැළදෙන උණ තත්වය අවම උණ තත්වයක් වන අතර දින තුනක් (3) හෝ හතරක් (4) උණ පවතින බව ප්‍රකාශ වනවා. මෙම උණ තත්වය සමග සිහිමද ගතිය, ආහාර අරුචිය සහ ඇඟේ පතේ වේදනාව මෙන්ම ඇඟට කිසිදු ප්‍රාණවත් ගතියක් නොමති වීමත් දක්නට ලැබෙන බව පර්යේෂකයන් පවසා සිටිනවා.

එලෙසම දක්නට ලැබෙන අනෙක් රෝග ලක්ෂණ අතර මාන්ශපේශිවල සිදුවන වේදනාව. ශරීරයේ යම් තැනක ක්ෂණිකව ඇතිවන වේදනාව දැවිල්ල හෝ ඉදිමුම මෙන්ම් හන්දිපත් අමාරුව ද ඇතිවිය හැකි අතර මානසික අව පීඩනය ද ඇතිවිය හැකි බවයි සදහන් වන්නේ.

අධ්‍යනය තුලදී සොයාගත් තවත් කරුණක් වන්නේ පෙර පැවති රෝග ලක්ෂණයක් වන කැස්ස සමග පපුවේ හිරවීමක් හෝ පපුවේ තද බවක් පෙන්නුම් කරන බවයි. එලෙසම උගුරේ හිරවීම මෙන්ම ගිලීමේ අපහසුතා ද ඇති වන බව සදහන්.

දිගින් දිගටම ඇතිවන ගැස්ට්‍රයිටීස් තත්වය මෙන්ම උදරයේ ඇතිවන අපහසුව, බඩ පිපුම වැනි තත්වයන් ද ආහාර අරුචිය සහ විජලනය තත්වය ද මෙහි දී ඇති වන තවත් රෝග ලක්ෂණයන් ලෙසයි පර්යේෂකයින් සදහන් කරන්නේ.

මෙසේ රස හා ගඳ /සුවඳ නොදැනීමේ තත්ත්වයකින් පෙළෙන කොරෝනා ආසාදිතයන්ට එම තත්ත්වයෙන් මිදීම සඳහා මාස හයක (6) පමණ කාලයක් ගත වන බව වෛද්‍ය පර්යේෂකයෝ කියා සිටිති. මෙවැනි නිව්මෝනියා රෝගය හෝ ස්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් නොකර රසය හා ගඳ /සුවඳ නොදැනීම පමණක් පෙන්නුම් කරන කොරෝනා ආසාදිතයන්ට නිවෙස් තුළදීම රෝගය සුවපත් කරගැනීමට හැකි බව මෙහිදී අනාවරණය වී තිබේ. සෙම්ප‍්‍රතිශ්‍යාව හා උණ රෝග වැලඳුණු විට ද රස හා ගඳ සුවඳ නොදැනීමේ තත්ත්වයක් හට ගැනීම නිසා එවැනි තත්ත්වයක් පවතී නම් තමන්ට නිශ්චිතව වැලඳී ඇත්තේ කොරෝනා වෛරස් ආසාදනය ද බව වෛද්‍යවරයකු මාර්ගයෙන් තහවුරු කරගැනීම වැදගත් බව පර්යේෂකයෝ කියා සිටිති.

යුරෝපයේ පිහිටි රෝහල් 18 ක ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් 2500 කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන මෙම නව අධ්‍යයනය සිදු කර තිබෙනවා.

https://timesofindia.indiatimes.com/life-style/health-fitness/health-news/coronavirus-symptoms-order-covid-symptoms-could-show-up-in-this-order-according-to-a-new-study/photostory/80170134.cms

+++++++++++++++++++++

(11.01.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 540 ක් හමුවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,380 දෙනෙකු දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 44,618 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (10) වාර්තා වූ ආසාදිතයින් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි පුද්ගලයින් 04 දෙනෙකුද වනවා.

මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා ආසාදිතයින් 6,823 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 41,325 ක් දක්වා ඉහළ ගියේ තවත් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා ඊයේ (10) රෝහල්වලින් පිටත්ව යාමත් සමඟයි.

මේ අතර, තවත් කොරෝනා මරණ 03 ක් ඊයේ (10) දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 232 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ 62 හැවිරිදි මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් මුල්ලේරියාව මූලික රෝහලේදී මියගොස් ඇති බවයි. කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

පිඹුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇත්තේ පිලිකා රෝගී තත්ත්වය සහ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්.

එමෙන්ම, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම, පොලොන්නරුව – ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වැනිදා අලුයම පළාගිය රැඳවියන් පස්දෙනා (5) ගෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ තුන් දෙනා (3) ගෙන් තවත් එක් අයෙකු (1) ඊයේ (10) සොයා ගත්තා. ඒ, නාරම්මල – බෝගහපිටිය ප්‍රදේශයේදීයි.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයින් ලෙස සැලකෙන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඔවුන් සියලුදෙනාට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගන්නා ලෙසට දැනුම් දී තිබෙනවා.

මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත්තේ පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූ සමගි ජනබලවේගයේ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම්, සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. රාසමානික්කම්, ෆයිසාල් කාසිම්, එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික් සහ නසීර් අහමඩ් ඇතුළු මන්ත්‍රීවරුන්.

එසේම, පාර්ලිමේන්තු සභා ගර්භයද ඊයේ (10) දිනයේදී විෂබීජහරණයට ලක් කෙරුණා.

එමෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු පසුගිය 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්.

ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස සභානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සහ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු (4) කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඇමරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අද (11) යළි විවෘත කරන බව එමඟින් නිවේදනය කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *