ඇමති වාසුදේවටත් කොවිඩ් ආසාදනය වෙයි

ඇමති වාසුදේවටත් කොවිඩ් ආසාදනය වෙයි

*********************************************

ඇමති වාසුදේවටත් කොවිඩ් ආසාදනය වෙයි

(11.01.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

(වයස අවුරුදු 82 යි)

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ පසුගිය දින කිහිපයේදී ඔහු පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වී ඇති බවයි.

ඒ අනුව, සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගමන් කළ ස්ථාන පරීක්ෂාවට ලක් කෙරෙනවා.

මීට පෙර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට වෛරසය ආසාදනය වී තිබුණා.

අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව, ඔහුගේ ආශ්‍රිතයන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++

(11.01.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලකට කොවිඩ්-19 වෛයිරසය ආසාදනය වී නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ඒ ඔහුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකට අනුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කෝවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හඳුනා ගැනීමෙන් අනතුරුවයි ඔහු මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වී ඇත්තේ.

මේ අතර මන්ත්‍රී රවුෆ් හකීම්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගත් තලතා අතුකෝරල සහ එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන්ටද කොවිඩ්-19 ආසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++

(11.01.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා ආරම්භ වූ පාර්ලිමේන්තු සතියේ දින 04 ම පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර, ඒ හේතුවෙන් සී.සී.ටී.වී. දර්ශන යොදා ගනිමින් ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම, මීට පෙර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව, ඔහුගේ ආශ්‍රිතයන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

එම පිරිස අතරින් ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරාල සහ එම්.ඒ.සුමන්දිරන් යන මන්ත්‍රීවරුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත්තේ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුවයි.

මේ අතර, ඊයේ (10) දිනයේදී මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 540 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ ආසාදිතයින් 217 දෙනෙකු වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

බොරැල්ලෙන් ආසාදිතයින් 69 දෙනෙකු, මට්ටක්කුලියෙන් ආසාදිතයින් විසි දෙදෙනෙකු (22) සහ අවිස්සාවේල්ලෙන් හඳුනාගත් ආසාදිතයින් 21 දෙනෙකු ඒ අතර වනවා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 85 දෙනෙකු ඊයේ (10) හඳුනාගත් අතර, ඉන් වැඩිම සංඛ්‍යාව වූ 26 දෙනෙකු වාර්තා වී තිබුණේ කටුනායක ප්‍රදේශයෙන්.

එසේම, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොරෝනා දෙවන (2) රැල්ල ආරම්භ වූ ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට විසිදහසේ සීමාවට ආසන්න වී තිබෙනවා.

එම සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 19,980 ක් ලෙසින්.

එසේම, කොරෝනා දෙවන (2) රැල්ලට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවද මේ වනවිට දසදහසේ (10,000) සීමාව ඉක්මවා ගොස් 10,215 ක් ලෙස සටහන් වනවා.

කොරෝනා දෙවන (2) රැල්ලට අදාළව මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,208 ක් වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1085 ක්.

මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 48,380 දෙනෙකු වාර්තා වන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6,823 දෙනෙකු පමණයි.

සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 41,325 ක්.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ කොරෝනා එන්නතක් දිවයිනට ලැබීමෙන් පසු එය ජනතාවට ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කරමින් සිටින බවයි.

එසේම, වෙළඳ ආයතන, සාප්පු සංකීර්ණ සහ රජයේ කාර්යාල පවත්වාගෙන යාමේදී රජය නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා අද සිට විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසනවා.

දුරස්ථභාවය පවත්වා ගැනීම, විෂබීජහරණ ක්‍රියාවලිය ඇතුළු සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ පසුගිය ඔක්තෝම්බර් 15 වැනිදායී.

මේ අතර, චීනයෙන් ඊයේ (10) දිනයේදී නව කොරෝනා වෛරස් ආසාදිතයන් 103 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය පසුගිය ජූලි 30 වනදා එනම්, මාස 5 කට පසු වාර්තා වූ ඉහළම අගයයි.

ඉන් 18 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර අනෙක් 85 දෙනා රට තුලින්ම හඳුනාගෙන තිබෙනවා.

චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ නව ආසාදිතයන් අසූ දෙදෛනෙකුම (82) හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ ආරම්භය වාර්තා වූයේද හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් ෴

+++++++++++++++++++

(11.01.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන සංචාරකයින් කණ්ඩායමක් අද (11) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වූවා.

ඒ රජයේ නිරෝධායන නීතිරීති වලට අනුව හා දැඩි පරීක්ෂාවකින් අනතුරුවයි.

ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ සංචාරය කිරීම සදහා එම කණ්ඩායමට අවස්ථාව හිමි වීමත් සමඟ ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙම සංචාරක පිරිස් හට වෙනම ස්ථානයකින් පරිශ්‍රයට ප්‍රවේශ වීමට පහසුකම් සළසා දී තිබෙනවා.

එමඟින් දේශීය බැතිමතුන්ට සිය වන්දනාමාන කටයුතු සාමාන්‍ය ලෙස සිදුකර ගැනීමටද අවස්ථාව උදාවූවා.

විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කරමින්, පැමිණි සියළුම සංචාරකයින්ගේ අනන්‍යතාවය තහවුරු කර ගනිමින්, කටයුත්ත සිදුකෙරුණු බවයි දළඳා මාලිගාවේ මාධ්‍ය ඒකකය පවසන්නේ.

[ සේයාරූ ]

+++++++++++++

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(11.01.2021 – 10:41 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

මෙම පැමිණිල්ල අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් ඉදිරියේ කැඳවනු ලැබු අතර, එහිදී රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් පස් දෙනෙකුට (5) කොරෝනා ආසාදනය වී තිබෙන බව ද එම නිලධාරියා අධිකරණයට දන්වා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගණනාවකට ඉකුත් දිනවල කොරෝනා ආසාදනය වීම නිසා මෙම විමර්ශනයට අදාළව බාහිර පුද්ගලයින් ගෙන්වා ප්‍රශ්න කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදු නොවූ බව පෙන්වා දුන් එම නිලධාරියා, සිද්ධියට සම්බන්ධ විමර්ශන මේ වනවිට යළි ආරම්භ කර තිබෙන බවද දැනුම් දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වාහන 10 ක් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති බවත් ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයා අධිකරණය හමුවේ පැවසුවා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියේ 16 වන සැකකරු ලෙස නම් කර සිටින ජනක රුවන් අල්විස් සහ 17 වන සැකකරු ලෙස නම් කර සිටින රනිල් ශ්‍යමන්ත අප්පුහාමි යන අය මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බව දැනුම් දුන්නා.

මෙම සැකකරුවන් දෙදෙනා (2) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටුකරුවන් බවයි එම නිතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ.

උසස් පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතාවය මත මොවුන් අදාල මත්ද්‍රව්‍ය තොග බෝට්ටු මාර්ගයෙන් ප්‍රවාහනය කර තිබෙන බව සඳහන් කළ ජනක රුවන් අල්විස් නමැති සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වසන්ත පිටිගල එම සැකකරු මේ සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් දීමට සූදානමින් සිටින බව දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ ලබා දීමට සූදානමින් සිටින එම සැකකරුවන් දෙදෙනා මීළඟ දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළා.

අනතුරුව පැමිණිල්ල ලබන 25 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින දක්වා සැකකරුවන් 17 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ ෴

***************************************

(11.01.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය හරහා ගැනුම්කරුවන් සපයා ගැනීම සදහා වෙබ්අඩවිවල දැන්වීම් පළකරමින්, ගල්කිස්ස ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (10) ගල්කිස්ස පොලිසිය විසින් වටලා තිබෙනවා.

වෙබ් අඩවිවල පලකර තිබූ දැන්වීම් වලට අනුව උපාය දුතයෙකු යොදා ගනිමින් සිදුකළ වැටලීමකදී සැකකාරියන් තිදෙනෙක් (3) අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්කිස්ස පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තවත් සැකකාරියන් නවදෙනෙකු (9) අත්අඩංගුවට ගත බවයි පොලිසිය සදහන් කළේ.

මෙම සැකකාරියන් වයස අවුරුදු 25 ,28, 30 යන වයස්වල පසුවන්නන්.

මොවුන් වැලිමඩ , බණ්ඩාරගම, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර කොළඹ රැකියාවකට යන බව නිවාස වලට පවසමින් පැමිණ මෙම වෘත්තීයේ නිරතව තිබෙනවා .

පන්දහසකට (5000) වැඩි මුදලකට අලෙවි වන මෙම සැකකාරියන් ගල්කිස්ස දෙමහල් ගොඩනැගිල්ලක කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

අදාළ සැකකාරියන් අද (11) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

(11.01.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)

වනසංරක්ෂණ නිලධාරීන් විසින් වැල්ලවාය, රණ්දෙනිය, 16 ගම ප්‍රදේශයේදී ඊයේ (10) සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් තේක්ක දැව තොගයක් නීති විරෝධී අයුරින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැව ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුවන බවට ලද තොරතුරක් මතයි වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු රණ්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු සහ දැව තොගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(11.01.2021 – 12:17 +0530 – hirunews.lk/sinhala)

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු 7 දෙනෙකුට මීගමුව මහාධිකරණයේදී අද (11) අධි චෝදනා 90 ක් යටතේ නඩු පවරනු ලැබුවා.

මීගමුව මහාධිකරණ විනිසුරු එන්.එස්. හපුආරච්චි ඉදිරියේ චෝදනා භාර දීමෙන් පසු ඔවුන්ට ඇප නියම කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කළේ.

ඒ අනුව, මීළඟ නඩු දිනය ලබන මාර්තු 02 වනදාට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙක (2) බැගින් ඇප නියම කළා.

කූඨ ලේඛන සැකසීම, බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ගෙන යාම, හා ඊට අදාළ අනුබලදීම ඇතුළු චෝදනා 90 ක් සැකකරුවන්ට විරුද්ධව ගොනුකර තිබෙනවා.

සැකකරුවන් අතර, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් 05 දෙනෙකු සහ රැඳවියන් දෙදෙනෙකු (2) ද වනවා.

එක් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් ඔහු හැර සෙසු සැකකරුවන් අද (11) අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා ෴

***************************************

(11.01.2021 – 12:37 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව මහාධිකරණයට අද දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළව චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු ඇප මත මුදා හැරුණේ පසුගිය වසරේ නොවැම්බර් 24 වනදායි.

2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට ලක්වුණා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 09 වැනිදායි ෴

***************************************

(11.01.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මාතර දිස්ත්‍රික්කයේ – කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරවක්කන්ද ගම්මානය ඉතා සුන්දර පරිසරයකින් සමන්විත ගම්මානයක්.

මෙම ගම්මානයේ වෙසෙන ජනතාවට ප්‍රධාන ගැටලුව වී ඇත්තේ නිසි මාර්ග පද්ධතියක් නොමැතිකමයි.

කොටපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මොරවක පාසල් මාවතේ සිට මොරවක්කන්ද හරහා පොල්ගස්විල දක්වා වූ කිලෝමීටර් හය හමාරක් (6½) දක්වා දිවෙන මාර්ගය මෙම ගම්වාසීන් ගමනාගමනය සඳහා යොදා ගන්නා ප්‍රධාන මාර්ගයයි.

එහෙත් දශක ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එහි ගමන් ගන්නා ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

***************************************

(11.01.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

රට ආරක්ෂා කර ගැනීමට පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක පවසනවා.

ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ පැවති ‘සොරි කවුද දිනුම්’ සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

(11.01.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල රට පුරා ගවයින්ට වැළඳෙමින් පවතින වෛරස් රෝගය පිළිබඳ අද විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා ගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා.

එහිදී පශු වෛද්‍යවරුන්ගෙන් එම රෝගී තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා විසින් කරුණු විමසීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, මෙම කුර රෝගය පිළිබඳ සොයාබැලීම සඳහා පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සත්පුද්ගල කමිටුවක් ද මීට පෙර පත් කෙරුණා.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විසින් පත් කර ඇති මෙම කමිටුව මගින් රෝග ව්‍යාප්තිය, එය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍ෂණික ක්‍රියාමාර්ග මෙන්ම රෝගය වැළඳීම නතර කිරීම සඳහා පළාත් මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කළ යුතුයි.

ඒ අනුව සතියක් ඇතුළත ඊට අදාළ වාර්තාව තමා වෙත ලබාදෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා අදාළ කමිටුවට දැනුම්දී ඇත්තේ.

‘කැෆ්රි ෆොක්ස්’ නැමති වෛරස් ගණයට අයත් ගවයන්ට වැළඳෙන සමෙහි ගැටිති රෝගයේ වාහකයා මැස්සන් වන අතර රෝගයට ගොදුරු වූ සතුන්ගේ ශරීරය පුරා සමෙහි ගැටිති ඇතිවීම, සතුන් උදාසීන වීම, උණ ගතිය, ආහාර අරුචිය, ඇස් හා නාස්වලින් ශ්‍රාවය පිටවීම ප්‍රධාන රෝග ලක්ෂණ වනවා ෴

***************************************

(11.01.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභා නියෝජිතයින් අතර, විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදීයි.

අද (11) පෙරවරු 10 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂ වලට වැදගත් කරුණු රැසක් පිළිබඳව අවධානය යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඒ අනුව, ඡන්ද හිමි නාම ලේඛනවලට අදාළ ප්‍රතිශෝධන කටයුතු පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුකරනු ඇති.

ඊට අමතරව, වාර්ෂික ගිණුම් වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීම ද මෙම සාකච්ඡාවේදී සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(11.01.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම නිසා කරුවලගස්වැව – වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිට ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම නිසා කලාඔය භාවිත කිරීම ද අනතුරුදායක වන අතර, කලාඔය නිම්න ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව, ඉදිරි පැය 6 තුළ කරුවලගස්වැව – වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

(11.01.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ කුවේර ද සොයිසා නාම යෝජනා භාර දී තිබෙනවා.

ඔවුන් දෙදෙනා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා මෙලෙස අද නාම යෝජනා භාර දුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙවර නිලවරණය ලබන මස 24 වනදා පැවැත්වීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *