තාවකාලිකව අවලංගු කරන ලද දුම්රියන් කිහිපයක් යළි ධාවනයට එක්කෙරේ

තාවකාලිකව අවලංගු කරන ලද දුම්රියන් කිහිපයක් යළි ධාවනයට එක්කෙරේ

*********************************************

තාවකාලිකව අවලංගු කරන ලද දුම්රියන් කිහිපයක් යළි ධාවනයට එක්කෙරේ

(11.01.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින කොරෝනා වසංගත තත්වයත් සමඟ තාවකාලිකව අවලංගු කරන ලද දුම්රියන් කිහිපයක් නැවත ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම දුම්රියන් පහතින් :

++++++++++++++++++++++

(11.01.2021 – 16:40 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් (3) කොවිඩ්-19 වෛරසය අසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසී අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධමිමික දසනායක මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ ඉදිරිවැඩකටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ වනවිට කෝවිඩ්-19 ආසාදිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටී සහ ගමන් ගත් ස්ථාන සියල්ල විෂබීජානුහරණයට ලක් කර අවසන් බවද එම නිවේදනයේ සඳහන්.

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය අහඹු ලෙස තෝරා ගනිමින් පී.සී.ආර්. (PCR) පරීක්ෂණ පවත්වන බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඉදිරි දින කිහිපය තුළදී කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීම පී.සී.ආර්. (PCR) පරීක්ෂණයන්ට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සමග කටයුතු යොදා තිබෙන බවද ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉතා දැඩි ලෙස සෞඛ්‍ය රෙගුලාසි පවත්වාගෙන යමින් රාජකාරි කටයුතු සිදු කරන බවත් ඔවුන් ඉදිරියටත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සූදානමින් සිටින බවත් අදාළ නිවේදනයේ සඳහන්.

මේ අතර, මීළඟ පාර්ලිමේන්තු රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වැනිදා පස්වරු 2 ට රැස්වීමට නියමිතයි.

එහිදී කථානායකවරයා සහ පක්ෂ නායකයන් ගනු ලබන තීරණ අනුවපාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට කාර්යමණ්ඩලය සූදානමින් සිටින බවද දසනායක මහතා අදාළ නිවේදනය මගින් ප්‍රකාශ කර තිබෙනවා ෴

+++++++++++++++++++

(11.01.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 766 ක් සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 42,000 ඉක්මවාගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42,091 ක් ෴

+++++++++++++++++++

(11.01.2021 – 17:34 +0530 – hirunews.lk/sinhala)

ස්වයං නිරෝධායනයට ලක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇති බව එහි ආරංචි මාර්ග පවසනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු වී ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබෙනවා.

අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා ආරම්භ වූ පාර්ලිමේන්තු සතියේ දින 04 ම පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර, ඒ හේතුවෙන් සී.සී.ටී.වී. දර්ශන යොදා ගනිමින් ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සිදුකෙරුණා.

වාසුදේව අමාත්‍යවරයා පෙත්සම් පිළිගැන්වීම සිදුකරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ඔහු සමීප ආසනයේ රැඳී සිටියේ අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතායි.

ඉන් පසු වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන අවස්ථාවේදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා අසල රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා රැඳී සිටියා.

එසේම, වාසුදේව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ මස 13 වැනිදා සහ 15 වැනිදා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන අතර, අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඒ සඳහා යොමුවිය හැකි බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දෙන්නේ.

එසේම, මීට පෙර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව, ඔහුගේ ආශ්‍රිතයන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

එම පිරිස අතරින් ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරාල සහ එම්.ඒ.සුමන්දිරන් යන මන්ත්‍රීවරුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත්තේ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුවයි.

ඒ අනුව, මේ වනවිට ස්වයං නිරෝධායනයට උපදෙස් ලබාදී ඇති මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 31 ක්.

මේ අතර, ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳව තීරණය කිරීම සඳහා අනිද්දා (13) දිනයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

එදින පස්වරුවේ කැඳවා ඇති මෙම පක්ෂ නායක රැස්වීමේදී දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හමුවේ ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත්, ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට මෙම තත්ත්වය බාධාවක් නොවන බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

එසේම, ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කොට උපදෙස් ලබාගත් බවත්, මේ වනවිට කොරෝනා ආසාදිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටි සහ ගමන්ගත් ස්ථාන සියල්ල විෂබීජහරණය කර අවසන් බවත් පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා.

මේ අතර, අද (11) දිනයේදී කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 766 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 42,000 ඉක්මවා තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එය 42,091 ක් ලෙස සටහන් වන බවයි.

එසේම, ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙරටට කොරෝනා එන්නතක් ගෙන්විය හැකි වනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වයස අවුරුදු 60 ට වැඩි ජනතාව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දැඩි අවධානමකට ලක්ව ඇති බවයි.

මේ අතර, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලු පොලිස් ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන අද ආරම්භ වුණා.

එසේම, කොරෝනා තත්ත්වය හමුවේ තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුම්රිය ගමන්වාර 51 ක් හෙට සිට යළි ධාවනය සඳහා එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව, දෛනිකව ධාවනය කරවනු ලැබූ සියලුම දුම්රිය සේවා වාර ලබන 25 වනදා සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, අද (11) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 285 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

තවත් කොරෝනා ආසාදිතයන් 285 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 48,665 දක්වා ඉහලගොස් තිබෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 283 ක් තහවුරු වී තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(11.01.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශ හැර සෙසු පළාත්වල නව වසර සඳහා පළමු පාසල් වාරය අද (11) ආරම්භ වුණා.

ඒ දෙවන (2) ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වායි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ සිසුන්ගේ පැමිණීම සියයට 51 ක ප්‍රතිශතයක පැවති බවයි.

ගුරුවරුන්ගේ පැමිණීම සියයට 88 ක් ලෙස පැවතියා.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පළමු (1) ශ්‍රේණියේ සිසුන් පෙබරවාරි දෙවන (2) සතියේ පාසල්වලට ඇතුළත් කර ගන්නා බවයි.

ඌව පළාතේ සිසුන් සියයට 71 ක ප්‍රතිශතයක් ද, නැගෙනහිර සහ උතුර පළාත්වල සියයට 37 ක ප්‍රමාණයක් ද, උතුරුමැද සියයට 47 ක්, මධ්‍යම සියයට 55 ක්, දකුණ සියයට 46 ක්, වයඹ සියයට 64 ක් සහ සබරගමුව සියයට 54 ක් ලෙස සිසුන්ගේ පැමිණීම වාර්තා වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.

+++++++++++++++++++++++++

(11.01.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව සිනමා කර්මාන්තය වසර 2 ක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++++

(11.01.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙරටට කොවිඩ් එන්තක් ගෙන්වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

+++++++++++++++++++

(11.01.2021 – 22:49 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා අසාදිත මරණ 08 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 45, 51, 52, 57, 61, 67 හැවිරිදි පිරිමි පුද්ගලයන් 06 ක් සහ 36 සහ 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු (2) බවයි සඳහන් වන්නේ.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(11.01.2021 – 16:36 +0530 – hirunews.lk/sinhala)

උතුරු, උතුරු-මැද, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට තව දුරටත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

මේ අත‍ර උතුරු සහ උතුරු-මැද පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර අගයක් ගනු ඇති බවයි එහි සඳහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරුව අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අදාළ නිවේදනයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

***************************************

(11.01.2021 – 16:50 +0530 – hirunews.lk/sinhala)

නීතිඥවරුන් 150 ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

ජනපතිවරයාගේ ඉල්ලීමකට අනුව මහජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සඳහා මෙම පියවර ගන්නා බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර, ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියා.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඔවුන් පොලිස් සේවයට බදවා ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ.

එම නිළධාරීන්ට දක්ෂතාවය අනුව උසස්වීම් ලබා ගැනීමේ හැකියාව පවතින අතර බඳවා ගැනීමෙන් පසුව දිවයිනේ පළාත් නවයම (9) ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිත බවත් ඔවුන්ට නීතිය හා පොලිස් සේවය පිළිබදව විශේෂ පුහුණුවීම් ලබාදීමට නියමිත බවත් සඳහන්.

එම පුහුණුවීම් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව ද එකග වී ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බදවා ගනු ලබන මෙම නීතීඥවරුන් දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකම් ලෙස සලකා බැලිය යුතු බවත්, ඒ තුළින් දෙමළ භාෂාව කථා කරනු ලබන ජනතාව දිනා ගැනීමේ හැකියාව පවතිව බවත් අධිකරණ අමාත්‍යවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

තාක්ෂණය පිළිබදව දැනුම ඔවුන්ට පැවතීම අවශ්‍ය වන බවද එහිදී සඳහන් වී ඇති අතර අදාළ පුහුණුවීම් නිම වීමෙන් අනතුරුව ඔවුන්ව සේවා අවශ්‍යතාවයන් අනුව අනුයුක්ත කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ ෴

***************************************

(11.01.2021 – 20:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය ලබන සඳුදා (18) වන තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මෙම තත්ත්වයත් සමඟ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට තවදුරටත් මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

අද (11) පෙරවරු 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මඩකලපුව – නවකිරිආරු ජලාශය ආශ්‍රිත ප්‍රදේශයෙන් වාර්තා වනවා. එහි අගය මිලිමීටර් 140 ක්.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 න් 20 ක් මේ වනවිට වාන් දමමින් පවතිනවා.

ජලාශ රැසක් වාන් මට්ටමට පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පරාක්‍රම සමුද්‍රය, රාජාංගනය, තබ්බෝව, කලාවැව, කවුඩුල්ල, දැදුරු ඔය ඇතුළු ජලාශ රැසක් වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ.

එමෙන්ම, රාජාංගනය ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම නිසා කරුවලගස්වැව – වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම නිසා කලාඔය භාවිත කිරීම ද අනතුරුදායක වන අතර, කලාඔය නිම්න ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

කලාඔය ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම සිට මන්නාරම දක්වා වන මාර්ගය එළවන්කුලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජනතාව නායයාම් අවදානම පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

***************************************

(11.01.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන බලපෑම් මත සිරගත කෙරුණු පුද්ගලයින්ට සාධාරණයක් ඉටුවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පවසනවා.

මේ අතර, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අදත් (11) විවිධ අදහස් පළවුණා.

***************************************

(11.01.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

CID ය භාරයේ සිටින නීතීඥ හිජාස් සිස්බුල්ලා තවත් මාස 03 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

***************************************

(11.01.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබී ඉවත් කළ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය යළි ඉදි කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා අද (11) මුල්ගල් තබා තිබෙනවා.

ඒ සමග සිසුන් 5 දෙනෙකු ආරම්භ කර තිබූ උපවසාය අවසන් කෙරුණා.

මේ අතර ස්මාරකය කඩා දැමීමට එරෙහිව උතුරේ ස්ථාන රැසක අද (11) හර්තාල් සංවිධාන කර තිබූ අයුරුද දක්නට ලැබුණා ෴

***************************************

(11.01.2021 – 23:09 +0530 – hirunews.lk/sinhala)

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සේවා විශ්‍රාම වැටුප කප්පාදු කර ඇතැයි අවුරුදු 12 ට පෙර විශ්‍රාම ගිය ආබාධිත රණවිරුවන් පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් චෝදනා කළා.

‘ජාතික රණවිරු බලවේගය’ ලෙස කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කළේ තම පාරිතෝෂිත දීමනා ද මෙතෙක් නිසි පරිදි ගෙවා නොමැති බවයි.

***************************************

(11.01.2021 – 23:11 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් ETI අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඇප ලබා නොදෙන ලෙස ETI තැන්පත්කරුවන් ඉල්ලා සිටිනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේබව සඳහන් කළා.

***************************************

අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ නීතිවිරෝධී ක්‍රියා ගැන නීතිමය පියවර

(11.01.2021 – 20:02 +0530 – sinhala.adaderana.lk)

‘අද දෙරණ උකුස්සා’ගේ අනාවරණයෙන් පසුව බලධාරීන්ගේ අවධානය යොමු වූ අනුරාධපුර ‘අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ’ සිදුකළ නීතිවිරෝධී ක්‍රියාවන්ට වගකිව යුතු සියලුම නිලධාරීන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

මේ අතර ‘පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ’ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහ මහත්මිය පැවසුවේ මෙහි නීතීවිරෝධී ක්‍රියාවන් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

අනුරාධපුර ‘අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ’ දැරියන්ට මුහුණදීමට සිදුවූ ලිංගික අඩත්තේට්ම් සහ විෂමාචාරයන් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ පසුගිය දින කිහිපය පුරා රට හමුවේ අනාවරණය කළේය.

ඒ සමග ජනාධිපතිවරයාගේ අවධානය ද ඊට යොමුවූ අතර විෂයභාර බලධාරීන්ද ඒ පිළිබඳව සොයාබැලීමට කමිටු 04 ක් පත්කළේය.

අද (11) විකාශය කළ ‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩ සටහනේ අවධානය ද යොමුවුයේ ඒ පිළිබඳවය.

එහිදී අදහස් දැක්වූ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා :

ප්‍රශ්නය :

“ඔබතුමා මේ ස්ථානයට යනවා අපි දැක්කා ප්‍රවෘත්ති පළවෙලා පැය 24 ක් තුළ. මොනවද නිරීක්ෂණය කළේ ?”

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා :

“ඔය ඔබ කියපු කාරණා කිහිපයම අපි අධ්‍යයනය කරා. සැබෑ ලෙසම දෙරණ විකාශනය කළ දේවල් සනාථ වෙනවා. දැනටත් කමිටු කිහිපයක් ඇතිකරලා තියෙනවා. මම හිතන්නේ වාර්තාවත් එළියට එනකොට හිතාගන්න බැරි ඛේදනීය තත්ත්වයන් අපට දැනගන්න ලැබෙනවා.”

ප්‍රශ්නය :

“අපි මේක ඒකපාර්ශිකව වාර්තා කළේ නෑ. මේ සම්බන්ධයෙන් විමසීමක් කරනවා උතුරුමැද පළාත් පාරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගෙන්. අපි බත් පිඟානක් ගැන විමසීමක් කරනවා දංකුඩ ලබාදීම සම්බන්ධයෙන් දරුවන්ට. එය ප්‍රතික්ෂේප කරනවා. අපි සතුව දර්ශන තිබෙනවා. ඊට පස්සේ බීමත්ව මේ භූමිය තුළ හැසිරෙමින් මත්පැන් සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අපි එතුමාගෙන් ප්‍රශ්න කරනවා. එතුමා ඒකත් වගකීමෙන් කියනවා ‘නෑ’ කියලා. මේ සියල්ල වහන්නත් උත්සාහ කරනවා වගේ අපිට පැහැදිලිවම නිරීක්ෂණය වෙන්නේ…”

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා :

“පැහැදිලිවම ඒ කොමසාරිස් ගැන කනගාටුයි. ඒක අනෙක් රාජ්‍ය සේවකයන්ටත් කරපු අගෞරවයක් ඔය නිලධාරීයා හැසිරුන ආකාරය. ගැලවෙන්න බැහැ. පැහැදිලිවම කොමසාරිස්වරයා වගකීමෙන් තොරව කටයුතු කරලා තියෙනවා. තවත් නිලධාරීන් විශාල පිරිසක් – ඉඩම් කොමසාරිස්ගේ .. ඉඳලා තියනවා. ලේකම්වරයෙක් ඉඳලා තියෙනවා. මෙතන පිරිමි නිලධාරීන් විතරයි. මම ඒකයි කියන්නේ දෙරණ පැහැදිලි ලෙසම සනාථ කරන්න පුළුවන් සාක්ෂි එක්ක ඉදිරිපත් කරලා තියෙනවා. ඛේදනීය තත්ත්වය උදාකරන්නට කටයුතුකරපු සියලුම නිලධාරීන්ට පැහැදිලිවම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහ මහත්මිය :

“මේ විමර්ශනවලට බාධා කරා කියලා. දරුවෝ මුල් අවස්ථාවේදී කිව්වා ‘පාලක පක්ෂයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ’ කියලා. නමුත් ඇමතිවරයා පිවිසීමෙන් පසුව ළමයිට ආත්ම විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ පොලිස් නිලධාරීන්ට විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශ ලබාදීලා තිබෙනවා. විශේෂයෙන්ම නීතිවිරෝධී ක්‍රියාකරකම් සිදුව ඇති බවට අපට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.”

+++++++++++++

[ http://www.amarasara.info/wp1/?p=38606#%E0%B6%8B%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F ]

***************************************

(11.01.2021 – 13:54 +0530 – sinhala.adaderana.lk)

අම්පාර – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ පිහිටි මෝටර් රථ අලෙවිසැළකට අද (11) අලුයම පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අලුයම 03:00 ට පමණ ස්වයංක්‍රීය ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇතැයි අම්පාර පොලීසිය පවසයි.

පොහොර උරයක් තුළ ගිනි අවිය සඟවා ගෙන පැමිණි පුද්ගලයෙක් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර එම ස්ථානයෙන් පළා යන අයුරු සීසීටිවී කැමරාවක ද සනිටුහන්ව තිබුණි.

වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර, අම්පාර පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කර සිටියේ, වෙඩි තැබීමෙන් එම මෝටර් රථ අලෙවිසැළේ ඉදිරිපස වීදුරු සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇති බවත්, අලෙවි කිරීමට තිබු මෝටර් රථයකට හා ලොරි රථයකට ද වෙඩි වැදී ඇති බවත්ය.

https://www.youtube.com/watch?v=Hwc7Npki8WY#t=6

***************************************

අපි දහඩිය හෙලා පත්කර ගත්තේ වෙන්දේසි සමාගමක්දැයි සිතෙනවා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(11.01.2021 – 21:26 +0530 – lankaleadnews.com)

අපි දහඩිය හෙලා පත්කර ගත්තේ වෙන්දේසි සමාගමක්දැයි අපට සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම ඇතුලු රජයේ විජාතිකකරණ වැඩපිළිවෙලට එරෙහි දැවැන්ත බළවේගයක් ගොඩනගමින් එක් රැස් වූ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව අමතමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කර සිටියේය.

වරායට අනුබද්ධිත වෘත්තීය සමිති 23 ක්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, ජාතික සංවිධාන එකමුතුව, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු දේශපාලන පක්ෂ රැසක් ද ජාතික ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක් ද මෙම නව ජාතික ව්‍යාපාරයට සහය පළ කර සිටී.

එහිදී මෙම නව ජාතික ව්‍යාපාරයේ පැවිදි අනුශාසනාව සිදු කරමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් තවදුරටත් මෙසේ ද ප්‍රකාශ කර සිටියේය :

“අපේ රටේ ස්වභාවික සම්පත් වලට අපි කිව්වේ ජාතික සම්පත් කියල. වරාය කියන්නෙ සාංඝික දේපළක් වගේ රැක බලා ගත යුතු දේපළක්. සාංඝික දේපළක් වගේම මේක ජනතාව සතු දේපළක්. සාංඝික දේපළක් කවුරුවත් කන්නෙ නැහැ.

මේ සම්පතට පමණක් නෙවෙයි, දැන් අපේ ජල සම්පතට, අපේ වන සම්පතට, අපේ භූමි සම්පතට, අපේ පොස්ෆේට් නිධියට, මන්නාරම් ද්‍රෝණියේ අපේ තෙල් සම්පතට ආදී වශයෙන් අපේ සම්පත් කොල්ල කෑමේ තර්ජන රැසක් දැන් එල්ල වෙලා තියෙනව.

අපි කවුරුත් දන්න ප්‍රධාන වෙන්දේසිකරුවො දෙන්නෙක් ඉන්නව ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම හා ඩන්ස්ටන් ඇන්ඩ් කෙලාර්ට්. ඒගොල්ල වෙන්දේසි කරනකොට අඩුගානෙ ඝන්ඨාරයක් ගහනව. ඒ උනාට අපේ පාළකයො මේව වෙන්දේසි කරන්න යන්නෙ කිසිම සද්දයක් නැතිව, බොහොම රහසිගතව.

කෙසේ වුවත් අපේ මව්බිමට එරෙහිව කිසියම්ම කුමන්ත්‍රණයක් වෙනව නම් ඒ පිළිබඳ තොරතුරු කෙසේ හෝ පන්සලට ගෙනත් දෙන දේශහිතෛෂීන් ඕනෑ තරම් තවමත් සිටිනව.

විදේශීය රටවල් වලට සිනාවක් දෙන අතරෙ අපේ රටේ මිනිස්සුන්ට කඳුලක් දෙන ආකාරයට හැසිරෙන්න එපා කියල අපි මේ රජයට අවධාරණය කර සිටිනව.”

***************************************

දෙරණ රුපවාහිනියට විරුද්ධව නඩු !

(12.01.2021 – am.lk)

දෙරණ රූපවාහිනී නාලිකාවෙන් පසුගිය දිනවල විකාශයවූ ‘පොදු’ නැමති ටෙලි නාට්‍යයෙහි විකාශයවූ ඇතැම් දර්ශන තුළින් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය සඳහා ප‍්‍රචාරයක් ලබාදුන් බවට පවසමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ සභාපති ගෞරව ශාස්ත‍්‍රපති පූජ්‍ය යහමුල්ලේ අනුරවංශ හිමි සහ දම්පල් දරුවෝ ගිහි අනුශාසක ආචාර්ය ප‍්‍රීති කුලතුංග, මහේෂ් රංගන ජයරත්න, නියෝජ්‍ය ලේකම් මාධව සංජීව විජයරත්න යන අය විසින් මෙම පැමිණිල්ල පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ල ගොනු කළා.

ඔවුන් පවසන්නේ දෙරණ මාධ්‍ය ආයතනය සහ ‘පොදු’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ විධිවිධානයන් උල්ලංඝනය කර ඇති බවයි.

ඔවුන් පවසා සිටින්නේ ඕනෑම මාධ්‍ය ආයතනයක් තමන්ගේ නිෂ්පාදන කටයුතු යම් කිසි සදාචාරාත්මක රාමුවක, පවතින නීතියට අනුකුලව කල යුතු බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *