කිලෝ 22 ක් බර පළිඟු මැණික

කිලෝ 22 ක් බර පළිඟු මැණික

*********************************************

කිලෝ 22 ක් බර පළිඟු මැණික

(12.01.2021 – 19:08 +0530 – sinhala.adaderana.lk)

අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්‍රැම් 22 ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් හමුවී තිබේ.

එය පරික්ෂා කළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ එම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් (1,10,000) වන බවය.

එහි අභ්‍යන්තරයේ දිය බුබුළක් පිහිටා තිබීම හේතුවෙන් මෙම පළිඟු මැණික අනෙක් පළිඟුවලට වඩා දුර්ලභවන බව ඔවුන් පැවසීය.

මෙය දුර්ලභ පාෂාණයක් වන බැවින් එහි වටිනාකම ඉහළ අගයක් ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේය.

පළිඟු මැණිකෙහි මූල්‍යමය වටිනාකම තවමත් ගණනය කරමින් සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ‘අද දෙරණට’ පැවසීය.

මේ අතර ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයෙන් හමුවූ රත්‍රං නිධිය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.

එම නිධිය පිළිබඳ ව ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා :

“සේරුවිල ඔය කියන ප්‍රදේශය ගත්විට. ඔය කියන ග්‍රිඩ් ගත්තාහම. ඒ ග්‍රිඩ්වලින් සියයට 95 ක් අදාළ වන්නේ වනජීව කලාපය තුළට. පළමු පියවර ලෙස භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අපට ලබාදෙනවා මේ අපි කියන exploration කිරීම සඳහා ඒ ක්‍රමවේදය කුමක්ද කියලා. මෙය වනජීවි දෙපාර්මේන්තුවට සහ ඒ රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම්දීමක් කරනවා. මෙය explore කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දෙන ලෙස. එහිදි ඇත්ත වශයෙන්ම අපි කියන පාරිසරික ඇගයීම. ඒ අනුව ඔය කියන ප්‍රදේශවල කැණීම් කරලා එවැනි තත්ත්වයකින් පසුව පමණයි මොන ප්‍රමාණයකට රත්‍රං තියෙනවාද? මොන ප්‍රමාණයකට පස් තියෙනවාද කියන එක දැන ගැනීමට හැකි වන්නේ.”

***************************************

කෝප් කමිටුවේදී හෙළි වූ මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ පාඩුවක්

(12.01.2021 – 14:01 +0530 – sinhala.adaderana.lk)

මාර්ගගත ලොතරැයියකින් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673 ක් අහිමි වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අලෙවිකිරීමෙන් අනතුරුව එම පුද්ගලයා එමගින් උපයාගත් රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත නැවත ලබාදී නොමැති බව අනාවරණය වී තිබේ.

මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙසට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය හට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුනි ෴

***************************************

අතළොස්සක් වූ ආර්ථික ඝාතක නිළධාරීන් පිරිසක් විසින් මෙම ආණ්ඩුව විනාශ කරනවා – ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා

(13.01.2021 – 06:40 +0530 – lankaleadnews.com)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ සංවිධානය බිහි කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ; අතළොස්සක් වූ ආර්ථික ඝාතක නිළධාරීන් පිරිසක් විසින් මෙම ආණ්ඩුව හසුරුවමින් සිටින බවත් ඔවුන් විසින් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගෙන ඇති බවත්ය.

පසුගිය චන්ද්‍රිකා ආණ්ඩු සමයේ දී ද මෙම නිළධාරීන් වරාය සම්බන්ධ තීන්දු තීරණ ගත් බව ද මෙම පාවාදීම කලහොක් වරාය සම්බන්ධ ප්‍රශ්නය ඇතැම් විට මෙම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ ප්‍රකාශය :

+++++++++++++++

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි :

***************************************

ජිහාඩ් පොලීසියක් තනන්නට වලි කන අල-සබ්‍ ද්‍රෝහියාගේ අලුත්ම ජාතිවාදී පිම්ම

(12.01.2021 – LanLeaNew)

කොරෝනා මෘතදේහ භූමදාන ඉල්ලීමෙන් මුළු ආණ්ඩුවම අපකීර්තියට පත් කළ අල-සබ්‍ ඇමවරයාගේ අලුත්ම නාඩගම වී ඇත්තේ ලංකාවේ පොලීසිය හලාල් කිරීමට දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් කිරීමය.

දෙමළ භාෂාව කතා කළ හැකි වීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා නීතිඥයන් 150 ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගන්නට ජනාධිට යෝජනාවක් ඉදිරිපත් කිරීම මේ කුමන්ත්‍රණය වෙයි.

පොලිස් දෙපාර්තමේන්තුව මහජනයාට නීතිමය වශයෙන් ලබාදෙන සහය කාර්යක්ෂම කිරීම නමැති තර්කයට මුවාවී ඉදිරිපත් කර ඇති මේ යෝජනාවේ අපූර්වත්වය වන්නේ එසේ බඳවා ගන්නා නිලධාරීන් දෙමළ භාෂා හැකියාව විශේෂ සුදුසුකමක් ලෙස සලකා බඳවා ගැනීමය.

මේ ආකාරයට දෙමළ දන්නා නිලධාරීන් බඳවා ගනු ලබන්නේ බහුතරයක් දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල පුරප්පාඩු ආදිය සඳහා නම් එහි යම් සාධාරණත්වයක් ඇතැයි සිතිය හැකිය. එහෙත් මෙසේ බඳවා ගන්නා නිලධාරීන් දිවයිනේ පළාත් නමයම නියෝජනය කරන පරිදි පත් කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ ආකාරයට එක් භාෂාවක් දැනගැනීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා පත්වීම් ලබාදේ නම් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පවා පටහැනි කාරණයක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

සාමාන්‍ය පටිපාටිය අනුව දෙමළ වැනි දෙවන භාෂාවක් දැන සිටීම සුදුසුකමක් වන්නේ ස්ථීර කිරීම් සහ උසස්වීම් සඳහා මිස බඳවාගැනීම සඳහා නොවේ. ඒ නිසා මෙය අල-සබ් ගේ අමුතුම නීතියක් බව පැහැදිලි කරුණකි.

ප්‍රායෝගිකව මෙයින් සිදුවිය හැක්කේ පොලීසියේ ඉහළ තනතුරු රාශියකට තමන්ට හිතවත් මුස්ලිම් නිලධාරීන් පත්කරගැනීමට අල-සබ්‍ ලාට හැකියාව ලැබීමය. කාලයත් සමග ඔවුන්ට තවත් උසස්වීම් ආදිය ලැබීම සමග තව වසර කීපයක් ගතවන විට ලංකාවේ පොලිස් බල යාන්ත්‍රණය මුලුමනින්ම අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීම අනිවාර්යෙන්ම සිදුවන්නක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. අල-සබ්‍ මේ දැන් සිටම සූක්ෂමව දැල එලන්නේ ඒ අරමුණ කරා යාම සඳහාය.

හකීම් අධිකරණ ඇමතිවරයාව සිටි කාලයේ නීති විද්‍යාලයේ මහා පරිමාණ විභාග වංචාවක් සිදුකොට මුස්ලිම් සිසුන් අසාමාන්‍ය ප්‍රමාණයක් නීති විද්‍යාලයට බඳවා ගත් සිදුවීම අප මෙහිදී අමතක කළ යුතු නැත. අන්තවාදී ඇමැතිවරුන්ට රටේ වැදගත් තනතුරු හිමිවූ සෑම අවස්ථාවකම ඔවුන් කටයුතු කර ඇත්තේ ඉතා සූක්ෂමව හා දිගුකාලීනව තම අන්තවාදී අරමුණු ඉෂ්ට කරගැනීමටය.

ප්‍රශ්නය වන්නේ අන්තවාදයට එරෙහි සුරක්ෂිත ජනවරමක් පිළිබඳ ජනතා අභිලාෂය ඉස්මුදුනේ තබාගනිමින් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ පවා අද අන්තවාදීන් බඩ පිනුම් ගසන්නට පටන්ගෙන තිබීමය.

ඒ නිසා ජනාධි වහා මැදිහත් වී මේ අන්තවාදී සුනඛයන් බැඳ නොදමන්නේ නම් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය කෙතරම් භයානකදැයි අමුතුවෙන් කිව යුතු නැත.

එදා රිෂාඩ්ලා, අසාද් සාලිලා අමු අමුවේ වපුරන්නට වූ මුස්ලිම් අන්තවාදය අද ක්‍රියාත්මක වන්නේ සද්ධර්මරතනාවලිය කියවා ශික්ෂණය වූ බවට වහසි දොඩමින් ජනාධිට සමීප වූ අල-සබ්‍ නම් ද්‍රෝහී ඇමවරයා හරහාය.

ජනාධි මේ කාරණය ගැඹුරින් අවබෝධ කරගනු ඇතැයි අපි අපේක්ෂා කරමු ෴

***************************************

13-01-2021

***************************************

මමත් ධම්මික පැණිය බිව්වා; රෝගීන් මැද නිරෝගීව ඉන්න ඒකත් හේතුවක් විය හැකියි – අමාත්‍ය විමල් වීරවංශ

(13.01.2021 – 06:58 +0530 – lankaleadnews.com)

11 වන දින රාති‍්‍රයේ දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ 360 වැඩ සටහනට සහභාගී වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ තමන් ද ධම්මික පැණිය පානය කළ බවයි.

ලෝකයේ පැවතිය හැක්කේ එක දැනුම් පද්ධතියක් නොවන බවත්, පෙරදිගට විශේෂ වූ දැනුම් පද්ධතියක් ඇති බවත්, බටහිර විද්‍යාව සහ බටහිර දැනුම් පද්ධතිය පමණක් විශ්වාස කරන බොහෝ දෙනෙක් පැණිය දෙස උපහාසයෙන් බැලූවත්, තමන් එසේ නොකරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේ ය.

සිරිනිවාස රාමනූජන් නම් ඉන්දියානු තරුණයා; බටහිර ගණිත මහාචාර්යවරුන්ට පවා විසදීමට නොහැකි වූ ගණිත ගැටළු විසදීමට සමත් වූ බවත් එම ගැටළු විසදීමට තමන්ට දැනුම ලැබුණේ ලක්ෂ්මී දෙවියන්ගෙන් බව පවසා ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

ඒ අනුව; බටහිර දැනුම් පද්ධතියට අමතරව තවත් දැනුම් පද්ධතියක් ඇති බව තමන් විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

***************************************

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කළ පුද්ගලයෙක් බන්ධනාගාරයට

(13.01.2021 – 11:49 +0530 – sinhala.adaderana.lk)

මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර සංහිඳියාව බිඳ දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගත් ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු වූ මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියට පමුණුවනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම සැකකරු ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශව වලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත්කර තිබෙන බවය.

මේ තුළින් ඔහු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇති බව එම නිලධාරීන් සඳහන් කරයි.

ඊට අමතරව මෙම සැකකරු ව්‍යාපාර රැසක් බිඳවැටී තිබියදී විශාල ධනවතෙකු මෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව පෙන්වාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සැකකරුට කිසියම් නීති විරෝධී මාර්ගයකින් මුදල් ලැබෙන්නේ ද? යන්න පිළිබඳව විමර්ශන පවත්වන බව ද දැනුම් දුනි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමකළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද නියෝග කළේය ෴

***************************************

විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ට ඇප

(13.01.2021 – 12:14 +0530 – sinhala.adaderana.lk)

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ දේවිකා අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළේය.

ඒ අනුව සැකකාර අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහරින ලෙස නියෝග කළ අභියාචනාධිකරණය සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කරන ලෙස ද නියෝග කෙරිණි.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මින්මතුවට සාක්ෂිරුවන්ට බලපෑම් සිදුවෙන ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය හරහා නිකුත් නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙන බව ප්‍රකාශ කළේය.

ඊට අමතරව තම සේවාදායකයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම යන කරුණු සුවිශේෂ කරුණු සේ සලකා ඔහු ඇප මත මුදාහරින නියෝගයක් නිකුත්කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ද එකඟතාවය පළකර සිටියේය.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

ඉකුත් ජනවාරි මස කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් තරුණයන් එකොළොස් දෙනෙකු (11) පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කිරීම තුළින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත්කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර කළේය ෴

***************************************

(13.01.2021 – 07:07 +0530 – hirunews.lk/sinhala)

බලපිටිය – කොස්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 20 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් බෙදාහැරීමේ අරමුණින් මෙම මත්කුඩු තොගය සඟවා තබන්නට ඇතැයි සැක කරන බවයි.

එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර, රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අතුරුගිරිය බෝධිරාජ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුගේගොඩ කොට්ඨාස මත්ද්‍රව්‍ය ඒකකය ඊයේ (12) සිදු කළ වැටලිමකදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරු මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුගේ ප්‍රධානතම ගෝලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

***************************************

(13.01.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

දුෂ්කර පළාත්වල තෝරාගත් හින්දු කෝවිල් 100 ක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් රුපියල් දසදහසක් (10,000) වටිනා චෙක්පත් ප්‍රදානය කර තිබෙනවා.

හෙටට (14) යෙදී ඇති තෛයිපොංගල් දිනය සැමරීම සහ පූජා කටයුතු සඳහා ඊයේ (12) අරලියගහ මන්දිරයේදී මෙම චෙක්පත් ප්‍රදානය කෙරුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර හා ගම්පහ කෝවිල් සඳහා මෙම චෙක්පත් ප්‍රදානය කර තිබෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාගවන් හා අග්‍රාමාත්‍යතුමාගේ වැවිලි ක්ෂේත්‍ර සම්බන්ධීකරණ ලේකම් සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ෴

***************************************

(13.01.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්දික් නැමැත්තාගේ ගෝලයෙකු කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමඟ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගේ නිවසේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද බවට සැක කෙරෙන රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයකට (1,26,00,000) අධික මුදලක් සහ ස්වර්ණාභරණ තොගයක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, බලපිටිය – කොස්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 20 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් බෙදාහැරීමේ අරමුණින් මෙම මත්කුඩු තොගය සඟවා තබන්නට ඇතැයි සැක කරන බවයි.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

ඇමති වාසුගේ උපන්දින සාදය

(12.01.2021 – 18:30 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනුණු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය 5 වනදා සිය 82 වන ජන්ම දිනය නිමිත්තෙන් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබේ.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිට ඇති බව සඳහන් වේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඊයේ (11) දිනයේ දී කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනුණි.

අමාත්‍යවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති සාදයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ :

++++++++++

++++++++++++++++++++++

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අනුමැතිය ගත යුතු ක්‍රමවේදය

(12.01.2021 – 15:45 +0530 – sinhala.adaderana.lk)

මෙරටට පැමිණෙන සියලු ම දේශීය සහ විදේශීය ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයෙන් හෝ ඒ ඒ රටවල පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් අනුමැතිය ලබාගත යුතු බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

එලෙස අනුමැතිය ලද මගීන් පිළිබඳව තොරතුරු සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙත යොමු කළයුතුය.

පසුව ඔවුන් විසින් ගුවන් ටිකට්පත් නිකුත්කිරීම සඳහා ඒ ඒ ගුවන් සේවය වෙත තොරතුරු යැවීම සිදුකරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පැවසීය.

අනුමැතිය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා caaslpax@caa.lk යන ඊ මේල් ලිපිනය භාවිත කළ හැකිය ෴

+++++++++++++++++++++

යන යන තැන පුපුරණ උදයංග වීරතුංගගේ යුක්රේන ‘ජීව බුබුල’

(12.01.2021 – 22:03 +0530 – lankaleadnews.com)

උදයංග වීරතුංග සිය නියෝජිත ආයතනයක් මගින් යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීමේ ව්‍යාපෘතිය ගැන ආණ්ඩුව සඳහන් කර සිටියේ ඔවුන් ලංකාවේදී ක්‍රියාත්මක වන්නේ ‘ජීව බුබුල’ (Bio Bubble) ආකාරයට බවයි. ඒ අනුව එම යුක්රේන සංචාරකයින් මෙරටින් පිටව යන තුරු එම සංචාරකයින් සහ ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු කරන, ඔවුන්ට ආරක්ෂාව සපයන, මාර්ගෝපදේශනය ලබාදෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුත් මෙරට පුරවැසියන් සමග ආශ්‍රයක් සිදු නොකරන බවත්, එම ශ්‍රී ලාංකිකයන් පවා දින 14 ක් නිරෝධායනයට යොමු කරන බවත් ආණ්ඩුව අවධාරණය කළේය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ එම ප්‍රකාශයන් බොරු බවට පත්වුයේ යාල සංචාරයේදී එහි සෆාරි රියදුරන් මුහුණදුන් අත්දැකීම අනුවය. එවැනිම සිදුවීමක් (11) දින මහනුවරදී ද සිදුව තිබේ.

11 දින මහනුවර දළදා මාලිගාව නැරඹීමට ගිය යුක්රේන සංචාරකයින් දිවා ආහාරය සඳහා කුවීන්ස් හෝටලයට රැගෙන ගිය පසු දිවා ආහාරය හෝ නොමැතිව සිටි, එම යුක්‍රේනියානුවන්ගේ ප්‍රවාහන සහ ආරක්ෂක කටයුතු භාර හමුදා නිලධාරීන් සහ රියදුරන්, අවට කඩවල්වලට යමින් එමින් සිය දිවා ආහාර ලබාගෙන ඇත. එම ආපනශාලා තුළ සාමාන්‍ය ජනතාව හා සේවකයන් ගැවසෙන අතර ඔවුන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක් මේ නිසා ඇතිව තිබේ ෴

+++++++++++++++++++

යුක්‍රේන සංචාරක ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම උදයංග වීරතුංග විනාශ කළා – සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තිලක් වීරසිංහ

(13.01.2021 – 07:34 +0530 – lankaleadnews.com)

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තිලක් වීරසිංහ මහතා පවසා සිටියේ උදයංග වීරතුංග මහතා විසින් යුක්රේන සංචාරක ව්‍යාපෘතිය විනාශ කළ බවයි.

‘ටෘත් විත් චමුදිත’ නම් අන්තර්ජාල වැඩසටහනකට සහභාගි වෙමින් තිලක් වීරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය මුළු ලෝකයටම ලැජ්ජාවක් බවත් මීට වඩා පරෙස්සම් වී කළ යුතුව තිබූ බවත්ය.

එහිදී ඔහු පවසා සිටියේ :
“යුක්රේන සංචාරක ව්‍යාපෘතියට මගේ සම්බන්ධයක් නැහැ. එම සංචාරකයෝ භාවිත කරන්නේ මගේ බස් රථ නොවෙයි. මට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරය ලැබුණේ නාමල් රාජපක්ෂ මහතා මගේ බෑනා නිසා නෙවෙයි. සංචාරක මණ්ඩලයේ සභාපති ඉවත්කර තමන් එම පුටුවට ඒමට කිසිදු බලාපොරොත්තුවක නැහැ. මම නාමල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි කරන්නේ නැහැ.”

++++++++++++++++++++++

(13.01.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 588 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 49,537 ක් ලෙසයි.

නව ආසාදිතයින් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 45,770 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක තවදුරටත් වෛරසය ආසාදනය වූවන් 6,672 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ඊයේ (12) දිනයේදි 530 දෙනෙකු සුව ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 42,621 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක් ඊයේ (12) දිනයේදී වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 244 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ බහු ඉන්ද්‍රිය අක්‍රීය වීම සහ කොවිඩ් නියුමෝනියාවයි.

හංවැල්ලේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු හෝමාගම රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතු වී තිබෙනවා.

තෙල්දෙනිය මූලික රෝහලේදී 84 හැවිරිදි මාතලේ පදිංචි කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොවිඩ් ආසාදනය හේතුවෙන් හෘදයට රුධිර සැපයුම අඩාල වීම ඇයගේ මරණයට හේතුවයි.

ආඝාතය සහ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් වැල්ලම්පිටියේ පදිංචි 65 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ මුල්ලේරියාව මූලික රෝහලේදීයි.

එසේම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අද (13) සහ අනිද්දා (15) දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද අවශ්‍ය නම් ඒ සඳහා යොමුවිය හැකි බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා දැනුම් දුන්නේ.

වාසුදේව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද හඳුනාගෙන තිබුණා.

මීට පෙර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව, ඔහුගේ ආශ්‍රිතයන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

එම තත්ත්වයත් සමඟ මේ වනවිට ස්වයං නිරෝධායනයට උපදෙස් ලබාදී ඇති මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 31 ක්.

ඒ අනුවයි, මෙලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලබන්නේ.

පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරිම සඳහා අද (13) පස්වරු දෙකට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා ෴

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා යළිත් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව ස්ථාන 11 කදී මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවයි ඔහු කියා සිටියේ ෴

පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝවේ කොළඹ – මන්නාරම බස් රථයේ කොන්දොස්තරවරයා අහඹු පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ එම ඩිපෝවේ සේවකයන් 43 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝ කළමනාකරු එච්.එම්.සී.එච්. අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ඩිපෝවේ සියලුම බස් රථ මේ වනවිට විෂබීජහරණය කර ධාවනයට එක්කර ඇති බවයි ෴

ඊයේ (12) හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ ආසාදිතයින් 158 ක් ලෙසයි. මීට අමතරව, ඊයේ (12) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 ක් ද හඳුනා ගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඊයේ (12) දිනයේ හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 588 ක්.

මේ අතර, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 284 දෙනෙකු අද (13) පෙරවරුව වනවිට ගුවන් යානා 8 කින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බව ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *