PCR පරීක්ෂාව සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාට කොරෝනා නෑ

PCR පරීක්ෂාව සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාට කොරෝනා නෑ

*********************************************

PCR පරීක්ෂාව සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාට කොරෝනා නෑ

(15.01.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

එදින පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් ඇතුළු 448 දෙනෙකුගේද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතර, එහි ප්‍රතිඵලද අද (15) දිනයේදී ලැබීමට නියමිතයි.

මේ අතර, අද (15) දිනයේද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙනවා.

මෙම PCR පරීක්ෂණ සිදු කෙරුණේ රාජ්‍ය ආමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොවිඩ්-19 ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසුවයි.

ඒ අනුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී PCR පරීක්ෂණ සිදුකිරීම පසුගිය 13 වනදා ආරම්භ වුණා.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 15 ක් සඳහා එදින PCR පරීක්ෂණ සිදුකෙරුනා ෴

+++++++++++++++++++

(15.01.2021 – 12:20 +0530 – hirunews.lk/sinhala)

රෝහල්වලට පැමිණෙන රෝගීන් අතරින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම මේ වනවිට සීග්‍ර ලෙස පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ මෙරට තුළ වෛරසය සමාජගතවීක් මේ දක්වා සිදුව නොමැති බවයි.

මේ අතර, පසුගියදා බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

අද (15) දිනයේද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙනවා.

ඊයේ (14) බදිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 670 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 214 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 දෙනෙකු වාර්තා වුණා.

මීගමුවෙන් ආසාදිතයින් 14 දෙනෙකු සහ වත්තලින් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර, දිවුලපිටියෙන්ද ඊයේ (14) ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගත්තා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ (14) හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 90 ක්.

වත්තේගමින් ආසාදිතයින් 20 දෙනෙකුත්, නාවලපිටියෙන් ආසාදිතයින් 18 දෙනෙකුත් එලෙස හමුවූ ආසාදිතයින් අතර වනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් පනස් දෙදෙනෙකු (52) ඊයේ (14) දිනයේදී හඳුනාගත්තා.

එහිදී දැරණියගලින් ආසාදිතයින් 26 දෙනෙකු සහ රඹුක්කනින් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීම විශේෂත්වයක්.

ඊයේ (14) දිනයේදී දිස්ත්‍රික්ක 22 කින් කොරෝනා ආසාදිතයින් හඳුනාගෙන තිබූ අතර, ආසාදිතයින් වාර්තා නොවූ දිස්ත්‍රික්ක වූයේ අනුරාධපුර, කිලිනොච්චිය සහ පුත්තලමයි.

එසේම, කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලා දෙකකින් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු (22) ඊයේ (14) හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එක් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට එහි කළමනාකාරීත්වය පියවර ගෙන ඇති බව සඳහන්.

එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 96 දෙනෙකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි කොග්ගල මහජන සෞඛ්‍ය පරීක්ෂක අචින්ත සමරසිංහ මහතා කියා සිටියේ.

මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,899 ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 43,747 ක්.

තවදුරටත් ආසාදිතයින් 6,901 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

හුදෙකලාබවින් නිදහස් කළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන්නේ නම් යළිත් එම ප්‍රදේශ හුදෙකලා කිරීමට සිදුවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා ෴

+++++++++++++++++

(15.01.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් 4282 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (15) පෙරවරුව වනවිට නව ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

එම ආසාදිතයින් අතර පිරිමි රැඳවියන් දෙදෙනෙකු (2) සහ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු (2) ඇතුලත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිත වූවන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 3868 ක් වනවා ෴

+++++++++++++++++++

(15.01.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ඉරුදින දහම් පාසල් අදාළ ප්‍රදේශවල පාසල් විවෘත කිරීමෙන් පසුව එළඹෙන ඉරිදා දිනයේ සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල දහම් පාසල් ජනවාරි 17 ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා.

අදාළ ප්‍රදේශවල රජයේ පාසල් ද පසුගිය 11 වනදා සිට ආරම්භ කෙරුණා ෴

+++++++++++++++++++++

(15.01.2021 – 16:29 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 493 දෙනෙකුගෙන් අද (15) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අතර, ආරක්ෂක අංශ සාමාජිකයින් ද වන බවයි.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුවයි මෙලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (15) දෙවන දිනටත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 459 දෙනෙකුගේ පෙරේදා (13) සිදුකෙරුණු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා.

එසේම, ස්වයං නිරෝධායනයට යොමුවී සිටි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරික්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බවයි.

මේ අතර අද (15) කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ විෂබීජහරණය සඳහා නාවලපිටිය නගරයේ වෙළඳසැල් අද (15) සහ හෙට (16) වසා දැමීමට නාවලපිටිය වෙළෙඳ සංගමය තීරණය කළා.

මේ අතර මොණරාගල ප්‍රාදේශීය සභාවේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග විෂබීජහරණයට ලක්කෙරුණු ප්‍රාදේශීය සභාව මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

එසේම, බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ලබන සඳුඳා (18) දිනය දක්වා ඇය සේවය කළ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ගෙන්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත නොවු එන්නතක් ගෙන්වීමට බලධාරීන් උස්සාහ කරමින් සිටින බවට සෞඛ්‍ය වාත්තීය සමිති චෝදනා කරනවා.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් වූ ‘රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය’ යටතේ, හිරු මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් විෂබීජහරණය කිරීමේ කටයුතු අද (15) සිට ආරම්භ වුණා.

ඒ බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේයි ෴

++++++++++++++++++++

(15.01.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 512 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44,259 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 50,899 ක් හමුවී ඇති අතර ඉන් 6389 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 251 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 320 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සටහන් වන්නේ 51,219 ක් ලෙසටයි.

අද (15) දිනයේ ආසාදිතයන් 512 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ද 44,259 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++

(15.01.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය නගරයේ වෙළදසැල් (16) හෙට සහ (17) අනිද්දා තාවකාලිකව වසා දැමීමට වෙළඳ සංගමය තිරණය කර තිබෙනවා.

නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරස අසාදිතයන් 16 දෙනෙකු හමුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වෙළඳ සංගමයේ සභාපතිවරයා සදහන් කළේ.

නාවලපිටිය නගරයේන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් කිහිපදෙනක් නාවලපිටිය නගරයේ වෙළඳසැල්වලට පැමිණීම හමුවේ සෞඛ්‍ය අංශ උපදෙස් මත මෙම තිරණය ගත් බව වෙළඳ සංගමයේ සභාපති ප්‍රකාශ කළා.

වසා දැමු නාවලපිටිය නගරයේ සියළුම වෙළඳසැල් සහ නගරය ලබන 18 දින විෂබීජහරණය කිරීමට නියමිතයි.

මේ අතර නගරයට පැමිණීම හැකිතාක් සීමා කරන ලෙසට නාවලපිටිය නගරාධිපති සසංක සම්පත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ෴

+++++++++++++++++++

(15.01.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

ඇහැලියගොඩ, පානදුර සහ බේරුවල පොලිස් වසම්වල හුදෙකලා ඇති ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට (16) උදෑසන 5 සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ ඇහැලියගොඩ පොලිස් වසමේ මින්නාන, බෝපත්ඇල්ල, විලේගොඩ, අස්ගඟුල සහ යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා තත්වයෙන් ඉවත් කෙරෙන බවයි.

පානදුර පොලිස් වසමේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම ද හෙට (16) උදෑසන 5 සිට හුදෙකලා බවින් නිදහස් කෙරෙනවා.

මේ අතර බේරුවල පොලිස් වසමේ මග්ගොඩ, නැගෙනහිර සහ මග්ගොන බටහිර ග්‍රාම නිලධාරී වසම් ද හෙට (16) උදෑසන 5 සිට හුදෙකලා බවින් නිදහස් වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ ෴

+++++++++++++++++++

(15.01.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 4 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 255 ක්.

මියගොස් ඇත්තේ අවුරුදු 90 ක කාන්තාවක් සහ අවුරුදු 60, 78 සහ 75 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක් (3).

+++++++++++++++++++

(15.01.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ සංචාරක එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් රැඳී සිටින ගාල්ල ලයිට් හවුස් හෝටලයේ මුළුතැන්ගෙයි සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන් වැලිගම සහ රත්ගම ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෝ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට කිසිදු බලබෑමත් ඇති නොවන බවයි.

එමගින් එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජෛව බුබුලට කිසිදු බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොරෝනා ආසාදිතයින් 320 දෙනෙකු අද (15) දිනයේදී මෙරටින් හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ සමග මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 51,219 ක් දක්වා ඉහළ ගියා.

එසේම, පුද්ගලයින් 512 දෙනෙකු අද (15) සුවය ලැබූ අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව සටහන් වන්නේ 44,259 ක් ලෙසයි.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 363 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සටහන් වන්නේ 51,594 ක් ලෙසටයි.

මෙතෙක් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 7080 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලැබූ 44,259 ක් නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 255 ක් ෴

++++++++++++++++++++

අලුත් කොරෝනා ප්‍රභේදය සුව වුවත් මානසික ව්‍යාකූලභාවයක් – ලාංකිකයෙක් එංගලන්තයේ විඳින දුක මෙසේ හෙළි කරයි

(16.01.2021 – 09:03 +0530 – truenews.lk)

අලුත් කොරෝනා ප්‍රභේදය ඉතා දරුණු අත්දැකීම් දෙන බව සඳහන්. එම වෛරසය කොතරම් දරුණුදැයි ලන්ඩන් රෝහලක සේවය කරන ලුම්බිණි විතාන එහි බරපතළකම ගැන මෙසේ පුවත්පතකට සඳහන් කර තිබුණා.

“මානසික රෝගීන් සිටින රෝහලක කොරෝනා රෝගීන් වෙනුවෙන්ම වෙන් කෙරුණු වාට්ටුවක රාජකාරි කරන මා හට මෙම දෙවැනි කොරෝනා රැල්ලේදී මා දුටු විශේෂිතම රෝග ලක්ෂණය වන්නේ ආසාදනය වූ රෝගීන් සමූහයක් confuse (අවුල්) තත්ත්වයට පත්වීමත් ආසාදිත භාවයෙන් මිදුණු පසුත් එම රෝගීන් තුළ තවදුරටත් එම ව්‍යාකූලභාවය පැවැතීමය. එය හරිම කනගාටුදායක තත්ත්වයක්.

සමහර රෝගීන්ට ඔවුන් කවුද කොහෙද ඉන්නේ කියාවත් මතක නැති තත්ත්වයකට පත්වීම හරිම දුකක්. මම මීට කලිනුත් පළමු කොරෝනා රැල්ලේදීත් කොරෝනා වැලඳුණු රෝගීන් සමඟ වැඩ කළත් මේ රෝගීන් අතර ඇතිවූ ව්‍යාකූලභාවය මීට පෙර කොරෝනා රැල්ලේදී නුදුටු දෙයක්.

දැන් UK රෝහල්වල තත්ත්වය බරපතළයි. උදේ කොරෝනාව හැදිල රෝහලට ගේන සමහර වැඩිහිටි ලෙඩ්ඩු අපිත් එක්ක වේදනාව මැද්දේ හොඳට කතා කර කර ඉන්නවා අපි බෙහෙත් දෙනකොට. නමුත් හැන්දෑවේ හිටපු ගමන් අපි බලාගෙන ඉඳිද්දි එයාලා මිය යනවා. මේ මෝචරියට ගෙනියන්නේ දැන් අපිත් එක්ක කතා කර කර හිටපු සුන්දර ආත්තම්මා කියලා හිතනකොට අපිට දරා ගන්නත් බැරි දුකක් ඇතිවෙනවා. සමහර දවස්වල මම ගෙදර යන්නේ අඬ අඬා.

කොරෝනාව හැදී හොඳටම අමාරු වී මා දෙවරක්ම ඇතුළු කරන ලද අපේ ‘කෙන්ට් ඇශ්ෆඩ්’ (Kent Ashford) නගරයේ මහ රෝහල දැන් කොරෝනා රෝගීන් භාර නොගන්නේ ඇඳන් හා කොරිඩෝර ලෙඩුන්ගෙන් පිරී ඉතිරී ඇති නිසාය. අලුතින් රෝහලට ගෙන එන රෝගීන්ට රථගාලේ සිට නැති නම් ගිලන් රථ තුළම ප්‍රතිකාර කිරීමට අප රෝහලේ වෛද්‍යවරුන්ට සිදුවී තිබේ.

අනිකුත් බොහෝ මහ රෝහල්වල අද තත්ත්වයද මෙයයි. මේ අන්දමට කෙන්ට් කොරෝනාව තව තවත් රට පුරා බිහිසුණු ලෙස පැතිරුණහොත් රෝහලට ගෙනෙන කොයි රෝගියාගේ ජීවිතය බේරා ගන්නවාද කොයි ලෙඩාට මැරෙන්න ඉඩ හරිනවාද යන හද සසල කරවන තීන්දුව ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවන දිනය එතරම් ඈත නොවේ” ෴

+++++++++++++++++++

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට මාධ්‍ය අපහාස කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල වුවමනාවට – GMOA

(16.01.2021 – 08:38 +0530 – lankaleadnews.com)

තම සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිරෝධායන ක්‍රියාවලිය මඟහරිමින් සැඟවී සිටි බවට අසත්‍ය පුවත් නිර්මාණය කරමින් අපහාස කරන තැනට ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් පත්ව ඇති අතර ඔවුන් එසේ කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාවන් අනුව බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ එසේ අපහාස කළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම සංගමය මේ වනවිට නීති උපදෙස් ලබාගනිමින් සිටින බවයි.

“අපි මේ මොහොත වෙනකොට ඉතාම තීරණාත්මක ලෙස මැදිහත් වෙලා ඉන්නවා මේ රටින් දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට. ඒ මැදිහත්වීම ම සමහර මාධ්‍ය ප්‍රධානීන්ට කරදරයක් වෙලා තියෙනවා. තමන්ගෙ ජාවාරම්වලට වදිනකොට සමහරුන්ට තරහා යනවා. එතකොට අපේ සංගමයේ ප්‍රධානියා වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා හැංගිලා කියලා ප්‍රචාරය කරන තරමටම පහත් මට්ටමට ගිහිල්ලා තියෙනවා.

මේ සියලුම අය හිතනවා නම් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට පහරදීලා, ඔහු හැංගිලා කියලා ප්‍රචාර හදලා, ඒ හරහා කිරිපිටි සමාගම්වල වුවමනාව, දුම්කොළ සමාගම්වල වුවමනාව, මත්පැන් සමාගම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාව ඉෂ්ඨ කරලා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නතුකරගන්න, ඒක ඔවුන්ට දවල් සිහිනයක් පමණයි.

ඒ වගේම අපි මේ වෙනකොට නීතීඥ සහාය ලබාගනිමින් ඉන්නවා මේ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඔහු ගෙදර නොසිටි වෙලාවක ඔහු ලයිට් නිව්වා දොරවල් ලොක් කළා කීම සම්බන්ධව, මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියව දැනුවත් කළාද යන්න සම්බන්ධව, ඒවගේම ආශ්‍රිතයකුගේ තොරතුරු මේ ආකාරයෙන් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධව මේ සියල්ලටම නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (15) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි ෴

@@@@@@@@@@@@@@@@@@@@@

(15.01.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ආරක්ෂක කටයුතු වෙනුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සුනඛයින් 20 ක් අද යෙදවීමට කටයුතු කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සුනඛයන් පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි විශේෂ හැකියාවකින් යුක්ත වන බවයි.

සුනඛයින්ට පුහුණුව ලබාදී ඇත්තේ අස්ගිරිය පොලිස් පුහුණු පාසලෙන්.

කටුනායක ගුවන්තොටුපලට යොදා ඇති ගුවන් හමුදාවේ සුනඛ බලකාය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම සුනඛයින් කණ්ඩායම යෙදවීමට තීරණය කර තිබෙනවා ෴

(සුනඛයා = බල්ලා)

***************************************

(15.01.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

සමනල වැව ජලාශය ඇතුළු ප්‍රදේශ කිහිපයක පරිසර හානි ඇති වන ආකාරයට පල්ලෙබැද්ද – කොස්වැටිය කන්දේ අනවසරයෙන් ඛනිජමය පාෂාණයක් වන කැල්සයිට් කැණීම් කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසින් මොවුන් අත්අඩංගුවට ගත් බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

බලංගොඩ ප්‍රදේශයේ පොලව යට සිදුකරන ගැඹුරු කැණීම් සහ වෙඩි බෙහෙත් යොදා සිදුකරන පිපිරවීම් භූ කම්පන වලට හේතුව වී ඇති බව ඊට අදාළව පත් කළ විශේෂඥ කමිටුව ද පෙන්වා දී තිබුණා ෴

***************************************

(15.01.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාවට ඉඩ ලබා නොදුනහොත් මෙරට ආර්ථිකයට සහ වරාය කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව මහාචාර්ය රොහාන් සමරජීව පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වරාය ගැටලු‍ව සම්බන්ධයෙන් ආරක්ෂාකාරීම පියවර, ඉන්දියාව සමඟ හවුල්ව ආයෝජනය කිරීම බවයි.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වන පිරිස් පවසන්නේ මෙය හිතළුවක් පමණක් බවයි.

මේ අතර, නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ රැස්වීමක් අද (15) කොළඹදී පැවැත්වුණා.

මීටර් 1200 ක දිගින් යුතු නැගෙනහිර පර්යන්තයේ මීටර් 440 ක කොටසක් මේ වනවිට සංවර්ධනය කර තිබෙනවා.

නැගෙනහිර පර්යන්තයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 500 ත් 800 ත් අතර ආයෝජනයක් අවශ්‍ය වනවා.

ඒ අනුව 2019 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර අන්තර් අවබෝධතා ගිවිසුමකට එළැඹී තිබුණේ මෙම නැගෙනහිර පර්යන්තයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම සඳහායි.

අදාළ ගිවිසුම අනුව නැගෙනහිර පර්යන්තයේ සියයට 100 ක්ම භූමියේ හිමිකාරීත්වය පැවරෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතටයි.

ගිවිසුමට අනුව එහි මෙහෙයුම් කටයුතුවලදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51% ක කොටසක් හිමිවන අතර ජපානයට සහ ඉන්දියාවට හිමිවන්නේ 49% ක කොටස් ප්‍රමාණයක්.

අදාළ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට 0.1% ක පොළියක් යටතේ ණය ලබාදීමට ද ජපානය යෝජනා කර තිබුණා.

කොළඹ වරාය සංවර්ධන කටයුතුවල දිගු ඉතිහාසයකට සහ වැඩිම වෙළෙඳ නෞකා ප්‍රමාණයකට හිමිකම් කියන ජපානයත්, 2025 වසර වනවිට ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන බවට බලාපොරොත්තු වන ඉන්දියාවත් සමඟ ශ්‍රී ලංකාව මෙම ආයෝජනයට මුල පිරීම සම්බන්ධයෙන් මහාචාර්ය රොහාන් සමරජීව මෙලෙස අදහස් පළ කළා.

කෙසේ වෙතත්, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු‍ව පිළිබඳ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදුදීමක් සිදු නොකරන බවයි.

51% ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගනිමින් ඉතිරි 49% ඉන්දියාවේ ආධානි සමාගමටත් වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුන්නා.

රට තුළ සිදුකෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබුණා.

කෙසේ වෙතත්, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මේ සම්බන්ධයෙන් සිදු කල විමසිමේදි කියා සිටියේ ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබානොදුනහොත් එරට අයෝජන අහිමි වන වන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවයි.

(15.01.2021 – 22:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට මැණික් වෙළෙඳාම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ජාත්‍යන්තර මැණික් කුලුණක් ස්ථාපනය කිරීමේ කටයුතු රත්නපුරයේදී ආරම්භ වුණා. ඒ අනුව එම මැණික් කුලුණ සඳහා අද මුල්ගල් තැබුණා.

මෙරට මැණික් ව්‍යාපාරය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුවයි රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කුලුණක් ස්ථාපනය කිරීම සිදුවන්නේ.

‘මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුණ ලෙස නම් කර ඇති මහල් 19 කින් යුත් මෙම කුලුන ජාත්‍යන්ත කෞතුකාගාරයක්, මැණික් සායනාගාරයක්, මැණික් ව්‍යාපාරකයින් සඳහා වෙළෙඳ කුටි, හෝටල් සංකීර්ණයක්, ජාත්‍යන්තර බැංකු පද්ධතියක්, හෙලිකොප්ටර් අංගනයක් ඇතුළු අංග සම්පූර්ණ ජාත්‍යන්තර මැණික් වෙළෙඳ මධ්‍යස්ථානයකින් සමන්විත වනු ඇති.

මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 5 ක්.

මුල්ගල් තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වුණා ෴

***************************************

(15.01.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ බස් සේවාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (15) ආරම්භ වුණා.

කොළඹ නගරය ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ බස් සේවාව පළමු අදියරයි කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින්.

මෝටර් රථයෙන් හා යතුරුපැදි වලින් කොළඹට පැමිණෙන මගීන් සඳහා සුවපහසු ආරක්ෂක පොදු ප්‍රවාහන බස් සේවාවක් වන මෙය, ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යන අතර, අය කෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක්.

එහිදී පෙරවරු 6 සිට 8 දක්වා සහ පස්වරු 4 සිට රාත්‍රි 9 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කෙරෙනවා.

පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා කාලය තුළ පමණක් බස් රථ ධාවනය කෙරෙන්නේ විනාඩි 25 කට වරක් පමණයි.

ඒ අනුව දිනකට බස් රථ ගමන්වාර 64 ක් සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

***************************************

(15.01.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 193 ක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට මෙවර ශිෂ්‍යත්ව සමතුන් ඇතුලත් කර ගැනීමේ අවම ලකුණු සීමාව වන්නේ 192 ක්.

සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව දක්වා ඇත්තේ 194 ක් ලෙසටයි.

කොළඹ දේවී බාලිකා විද්‍යාලයට සිසුවියන් ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 191 ක්.

එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන් මිශ්‍ර පාසල් වෙත ඇතුලත් කර ගැනීමේ අවම ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට සිසු සිසුවියන් ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 186 ක් වන අතර හොරණ තක්ෂිලා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 185 ක්.

කුරුණෑගල මලියදේව විද්‍යාලයට සිසු සිසුවියන් ඇතුලත් කර ගැනීමට දක්වා ඇති අවම ලකුණු සංඛ්‍යාව 185 ක්.

***************************************

පෙබරවාරි 08 ගිවිසුම මැයි 15 දක්වා කල් දැමීමට WhatsApp තීරණය කරයි. ‘ටෙලිග්‍රෑම්’ (Telegram App) ට බය වෙලා?

(16.01.2021 – 14:02 +0530 – lankaleadnews.com)

WhatsApp විසින් සිය රහස්‍යතා ප්‍රතිපත්තිය (Privacy Policy) ලබන පෙබරවාරි 08 වැනිදාට යාවත්කාලීන කිරීමට තීරණය කර තිබුණද ඒ පිළිබඳව නවතම නිවේදනයක් සිය නිල ට්ව්ටර් ගිණුම හරහා නිකුත් කරමින් WhatsApp සමාගම පවසන්නේ එම යාවත්කාලින කිරීමේ කටයුතු ලබන මැයි 15 වැනිදා දක්වා කල් දැමූ බව ය.

WhatsApp සිය මව් සමාගම වන Facebook සමග බෙදාගන්නා දත්ත පිළිබඳව විශාල ව්‍යාකූලත්වයක් ඇතිවීමෙන් පසු එහි රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට පසුගියදා තීරණය කළ අතර ලබන පෙබරවාරි 08 න් පසුව යෙදුම දිගටම භාවිතා කිරීම සඳහා පසුගිය මාසයේදී WhatsApp විසින් යාවත්කාලීන කරන ලද සේවා කොන්දේසි සහ රහස්‍යතා ප්‍රතිපත්තියට පරිශීලකයින් එකඟ විය යුතු විය.

Facebook සමග එකතු කරන සහ බෙදා ගන්නා පරිශීලක දත්ත මොනවා ද? යන්න පිළිබඳව සහ ඒ හේතුවෙන් සිය පෞද්ගලිකත්වයට හානි වන බවට පරිශීලකයින් අතර දැඩි ව්‍යාකූලත්වයක් හටගෙන තිබුණි.

එම ව්‍යාකූලත්වය හේතුවෙන් ‘ටෙලිග්‍රෑම්’වැනි තරඟකාරී යෙදුම්(App) වෙත මේ වනවිට විශාල පරිශීලකයින් ප්‍රමාණයක් යොමු වී ඇති බැවින් මෙම කල් දැමීම සිදුකර ඇතැයි වාර්තාවේ.

පසුගිය සති කිහිපය තුළදී ප්‍රධාන රාජ්‍ය නායකයින් විශාල පිරිසක් Telegram භාවිතා කිරීම ආරම්භ කර ඇති බව එහි ප්‍රධාන විධායක පාවෙල් දූරොප් (Pavel Durov) මහතා ප්‍රකාශ කරයි. එම රාජ්‍ය නායකයින් අතර තුර්කිය, බ්‍රසීලය, යුක්‍රේනය, මෙක්සිකෝ, උස්බෙකිස්ථාන් රටවල ජනාධිපතිවරුන්ද තායිවානය, ඊශ්‍රායලය, ඉතියෝපියාව, සිංගප්පූරුව යන රටවල අගමැතිවරුන් ද ඇති බව වාර්තාවේ.

ඩිජිටල් ලෝක ඉතිහාසයේ විශාලතම ආගමණය පසුගිය සති කිහිපය තුළ සිදුවී ඇති බව ද මේ වනවිට ලෝක ජනගහනයෙන් 7% කට වැඩි ප්‍රමාණයක් (මිලියන 500) ‘ටෙලිග්‍රෑම්’ භාවිතා කරන බව ද වාර්තාවේ ෴

Telegram : a new era of messaging
https://telegram.org/

***************************************

අදානි සමාගම කොළඹ වරාය අධිකාරියේ ඉහළ තනතුරකට ඔත්තුකරුවෙකු රිංගවයි

(16.01.2021 – 13:07 +0530 – lankaleadnews.com)

2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අදානි සමාගම තම සමාගම සමඟ සබඳතා පවත්වමින් සිටි ඒ වන විට මැලේසියාවේ වරායක රැකියාව කළ වරායේ හිටපු උසස් නිළධාරියෙකු ඉහළම පුටුවට පත්කිරීම සඳහා ප්‍රභල මෙහෙයුමක් දියත් කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත.

මෙම නිළධාරියාට අදානි සමාගම විසින් පවරන ලද වගකීම වී ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය විසින් ඉදිකිරීම කල් දැමීම බව ද වාර්තා වේ. ඒ අනුව වසර තුනක් (3) තුළදී තමාට ලැබුණු කොන්ත්‍රාත්තුව ඉටු කළ මෙම නිළධාරියා නැවත විදේශගතව ඇත. ඉන්පසුව වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු නැවතත් එම නිළධාරියා ඉහළම පුටුවකට පත්කිරීම සඳහා යම් ඉහළ නිළධාරියෙකු යොදාගත් බවටද සාක්ෂි ඉදිරිපත් වේ. දැන් ඔහුගේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි කොටස ඔහු විසින් ඉතා මැනවින් ඉටුකරමින් ඉටු කරමින් වරායේ කොටස් අදානි සමාගමට විකිනීම සඳහා බළධාරීන් පෙළඹවීමට ඔහු සමත් වී ඇත.

(ගෞතම් අදානි )
අදානි සමාගම පුද්ගලයන් මිළදී ගැනීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන සමාගමකි.

***************************************

සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නෙ බටහිර වෙදකමේ පමණක් අමාත්‍යාංශයක් නො වෙයි – මහාචාර්‍යය නලින් ද සිල්වා

(16.01.2021 – 17:03 +0530 – lankaleadnews.com)

බටහිර දැනුම් ආධිපත්‍යයේ රඟ දැන් සමහර අයට වැටහෙනවා. අඩු තරමෙන් දැනුම් පද්ධති රාශියක් ලෝකයේ තිබෙන බවත් ඉන් කිහිපයක් හරි ලංකාවට ආවේණික බවත් දැන් ඇතැමුන් පිළිගන්නවා. බටහිර දැනුම් පද්ධතිය එක ම දැනුම් පද්ධතිය නො වන බව රූපවාහිනී සාකච්ඡාවල නිතර ප්‍රකාශ වෙනවා. දැනුම් පද්ධති කියන වචන ටිකවත් කලකට පෙර අහන්න තිබුණේ නැහැ.

එහෙත් මෙයින් කියැවෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය පරාජය වී ඇති බව නො වෙයි. එය තාමත් මෙරටත් වෙනත් රටවලත් ආධිපත්‍යය දරණවා. එය යටත්විජිතවාදයක්. ඒ යටත්විජිතවාදය බිඳ දැමීම පහසු කටයුත්තක් නො වෙයි. අද ධම්මික වෙද මහතාගේ පැණියට සිදු වී ඇත්තේ කුමක් ද? ඒ ගැන රාජ්‍ය ඇමතිවරුන් වූ චන්න ජයසුමන හා සිසිර ජයකොඩි ප්‍රකාශයක් කරනවා ද? එහෙමත් නැත්තන් ඇමතිනි පවිත්‍රා දේවී වන්නිආරච්චි ප්‍රකාශයක් කරනවා ද?

අප දන්නේ පැණිය සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවලින් එය සමත් වූ බවයි. එහි වසක් විසක් නැති බව බටහිර විද්‍යාව අනුව කරන ලද පරීක්‍ෂාවලින් තහවුරු වී තියෙනවා. මා එයින් අදහස් කරන්නේ ඒ බටහිර විද්‍යා පරීක්‍ෂා පිළිගන්න බවක් නො වෙයි. අවාසනාවකට බටහිර වෙදකමේ ආධිපත්‍යය නිසා ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර විද්‍යාවේ හා බටහිර වෛද්‍ය විද්‍යාවේ පරීක්‍ෂාවලට යටත් කරන්න සිදු වුණා. එය කිසිසේත්ම කළ යුතුව තිබුණු දෙයක් නො වෙයි.

බුදුදහම ක්‍රිස්තියානි දහම අනුව පරීක්‍ෂා කළ යුතු යැයි යමකු කීවොත් බෞද්ධයන් එය පිළිගන්නවා ද? ඔවුන් ඒ නොපිළිගත්තත් බුදුදහම විද්‍යාත්මක යැයි කීමට නම් බොහෝ දෙනා පෙරට ඒවි. බටහිර විද්‍යාවේ අද කියන දේ බුදුහාමුදුරුවන් අවුරුදු දෙදහස් හයසීයකට පමණ පෙර දේශනා කර ඇතැයි කීමට ඔවුන් ඉදිරිපත් වේවි. ඒ කතා පැත්තකින් තියල අඳුරු ද්‍රව්‍ය හරි අඳුරු ශක්තිය හරි ගැන බුදුදහමේ කියා ඇත්තේ කුමක් ද කියා බුදුදහම හා විශ්වවේදය සංසන්දනය කරන පඬි පෝතිකාවන් කියනවා ද?

අඳුරු ශක්තිය හා අඳුරු ද්‍රව්‍යය ගැන බටහිර විද්‍යාවට කියන්න කිසිවක් නැහැ. එවැන්නක් තියෙන බවක් කියනවා. තියෙනවා ද කියන එකත් හරිහැටි පැහැදිලි නැහැ. මා කියන්නේ බටහිර විද්‍යාව, විශ්වවේදය ඒ ගැන කිසිවක් කීමට පෙර බුදුදහම බටහිර විද්‍යාව සමග සංසන්දනය කරන පඬි පෝතිකාවන් අඳුරු ද්‍රව්‍යය හා අඳුරු ශක්තිය ගැන බුදුදහමේ ඇති දේ ප්‍රකාශ කළ යුතු බවයි. අඳුරු ද්‍රව්‍යය හා අඳුරු ශක්තිය කියා දේ නැත්නම් අඩු තරමෙන් ඒ බවවත් කියනවා ද? බටහිර විද්‍යාව ඒ ගැන යමක් කී පසු බුදුදහමේත් මෙහෙම තියෙනවා කියා කීම බටහිර විද්‍යා ආධිපත්‍යයට බුදුදහම යට කිරීමක් පමණයි.

බුදුදහමේ ඇති බටහිර විද්‍යාවක් නැහැ. බටහිර විද්‍යාව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූවක්. බුදුදහමත් පදනම් වී ඇත්තේ ඒ චින්තනයේ ද? සමහරු හිතන්නේ මා මේ කරුණු කියන්නේ දැන් කියායි. එසේ කියන්නන්ට කිසිම අලුත් අදහසක් ඇති වෙලා නැහැ. ඔවුන් අනුන්ගේ අදහස් වමාරන්නන් පමණයි. මේ කරුණු විදුසර ලිපිවල පමණක් නොව මගේ ලෝකයෙහිත් කියැවෙනවා. බුදුදහමේ ඊනියා විද්‍යාත්මක බව ගැන මා ලිපි රාශියක් ලියා ඇති. විශේෂයෙන් ම කාලෝ ෆොන්සේකා සමග ඇති වූ සංවාදවල මේ ගැන ප්‍රකාශ කර ඇති.

ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර වෛද්‍ය විද්‍යාවේ පරීක්‍ෂාවලට ලක් කිරීමත් සම්පූර්ණයෙන් ම වැරදියි. එහෙත් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය නිසා එසේ කරන්න සිදු වුණා. එහි දී මා කලින් සඳහන් කළ පරිදි එහි වසක් විසක් නැති බවට ද ඊනියා පරීක්‍ෂාවකින් තහවුරු වුණා. එපමණක් නො වෙයි. එයට අර බටහිර වෛද්‍ය විද්‍යාවේ කියැවෙන ආචාරධාර්මී අවසරය ද ලැබුණා. ඉන් පසු බටහිර වෙදකමේ රෝහලක පැණිය රෝගීන්ට දී ඊනියා සායනික නැහැසුම් (පරීක්‍ෂා) කිරීමද පටන් ගත්තා. අපේ ප්‍රශ්නය මේ නැහැසුම්වලට සිදු වුණේ කුමක් ද කියන එකයි.

ඒ පරීක්‍ෂා දවසකින් දෙකකින් කරන්න බැරි බව කියාවි. රෝගීන් දහසකටවත් නැහැසුම් පවත්වන්න ඕන කියාවි. දැනට රෝගීන් කී දෙනකු සම්බන්ධයෙන් නැහැසුම් කෙරී ඇත් දැයි පවිත්‍රා දේවී ඇමතිවරිය අපට කියනවා ද? ඒ පිළිතුරෙන් ඔය නැහැසුම්වලට තව කොපමණ කලක් ගත වේවි දැයි අපට හිතාගන්න පුළුවන් වේවි.

ඊනියා නැහැසුම්වලට කලක් ගත වෙනව නම් කළ යුත්තේ ඇමතිනි පවිත්‍රා දේවිට බැරි නම් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පැණිය බෙදා හැරීමට වැඩ පිළිවෙළක් සකස් කිරීමයි.

පැණිය ඖෂධයක් ලෙස නිෂ්පාදනය කළ හැකි බවට ආයුර්වේද සූත්‍ර කමිටුව තීරණය කර තියෙනවා. ධම්මික වෙද මහතාගේ ඖෂධාගාරයේ එය නිෂ්පාදනය කළ හැකි බවට ආයුර්වේද කොමසාරිස් සහතිකයක් දී තිබෙනවා. පැණිය නිෂ්පාදනය කිරීමේ ප්‍රශ්නයක් නැහැ. එමෙන් ම එය ආහාර පරිපූරකයක් ලෙසත් අනුමත වෙලා තියෙනවා. පැණිය අවශ්‍ය අයට බෙදා හැරීමට වැඩ පිළිවෙළක් සකස් කරන්න පුළුවන්. ඒ සඳහා අර නැහැසුම් ප්‍රතිඵල බලා ඉන්න ඕන නැහැ.

මා හිතන්නේ ඒ නැහැසුම් අවශ්‍ය වන්නේ බටහිර වෙද මහතුනට පැණිය ඖෂධයක් ලෙස බටහිර රෝහල්වල හා ඔවුන්ගේ බෙහෙත් ශාලාවල නියම කිරීමටයි. ආයුර්වේදයේ හා හෙළ වෙදකම ද ඇතුළත් පාරම්පරික වෙදකමේ පැණිය බෙදා හැරීමට ප්‍රශ්නයක් නැහැ. ආයුර්වේදය හා පාරම්පරික වෙදකම බටහිර වෙදකමේ නැහැසුම් පරීක්‍ෂා අවසන් වන තුරු ඉන්න ඕන නැහැ. රෝගීන් හා වෙනත් අය පැණිය ඉල්ලනවා. වසක් විසක් නැති ඖෂධයක් වූ පැණිය බෙදා හැරීමට සුදුසු වැඩ පිළිවෙළක් සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නෙ බටහිර වෙදකමේ පමණක් අමාත්‍යාංශයක් නො වෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *