හරීන්ගේ බොරුව හෙළිවෙයි, විනිසුරු පද්මිණීට රන්ජන් ඇමතුම් දුන්නේ නඩු තීන්දුවට පෙර

හරීන්ගේ බොරුව හෙළිවෙයි, විනිසුරු පද්මිණීට රන්ජන් ඇමතුම් දුන්නේ නඩු තීන්දුවට පෙර

ගම්පහ මූල්‍ය ආයතනයකින් කෝටි 04 ක මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කයි

*********************************************

හරීන්ගේ බොරුව හෙළිවෙයි, විනිසුරු පද්මිණීට රන්ජන් ඇමතුම් දුන්නේ නඩු තීන්දුවට පෙර

(16.01.2021 – gossip.hirufm.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් බළලා මල්ලෙන් එළියට පැමිණ නැවත මල්ල තුළටම රිංගා ගත්තේය.

අප ජීවත් වන්නේ 21 වැනි සියවසේ තෙවැනි දශකයේය. මේ යුගයේ සියල්ල විවෘතය. කිසිවකුට කිසිවක් සැඟවිය නොහැකිය. කිනම් අරමුණක් අරබයා හෝ යමෙක් යමක් සඟවන්නට හෝ වැරැදි අර්ථකථන දෙන්නට හදනවා නම් ඊට ඉඩ දියයුතු නැත. එය නිර්දය ලෙස ජනතාවට හෙළිකර පහදා දීම මාධ්‍යයේ වගකීමය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා – භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධව මරණීය දණ්ඩනය ලැබ සිරගතව සිටීම සරල පැහැදිලි කරුණක් නොවේ. වෙඩි තිබ්බා. නඩු ඇසුවා. මරණ දඬුවම් නියම කළා යනුවෙන් පහසුවෙන් නිර්වචනය කළ හැක්කක්ද නොවේ.

එය එසේ වන්නේ දුමින්දගේ නඩු විභාගය තුළ නීතිගරුක මිනිසුන් විමතියට පත්කරවන, දේශපාලන අත පෙවීම්, අධිකරණයට සිදුකළ අනීතික බලපෑම් ගණනාවක් මේ වනවිට එළියට පැමිණ ඇති නිසාය.

දුමින්ද – රංජන් – හරීන්

හරීන් ප්‍රනාන්දු සිය පාර්ලිමේන්තු කතාවේදී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය එම කූට දේශපාලන රංගනයේ තවත් එක් අවස්ථාවකි. බළලා මල්ලෙන් එළියට පැමිණ නැවත මල්ල තුළටම රිංගා ගත් බව සඳහන් කළේ හරීන්ගේ යටි අරමුණ කුමක් හෝ පදනමක් නැති බොරුවක් එළියට දමා ජන මනස නොමඟ යවා දුමින්දට සාධාරණය ඉටුවීමේ ඉඩකඩ අසුරා දැමීම බව අප දන්නා නිසාය.

නමුත් සත්‍යය පාගා මඩේ ඔබා සැඟවිය නොහැකිය.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් කළ සංසිද්ධියකි. එය එසේ වූයේ අධිකරණ ක්‍රියාවලිය තුළ සිදුවූ ජුගුප්සාජනක සිදුවීම් ගණනාවක් කරණකොට ගෙනය. රටේ ජනතාව තුෂ්ණීම්භූත වූයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වී කෙටි කලකට පසු නඩුව පිටුපස සිදුවූ විස්මිත නාටකය එළියට පැමිණීමෙනි.

මේ කතාව දිග හැරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක සන්තකයේ තිබී පොලිසිය සොයාගත් හඬපට එළියට පැමිණීමෙන් පසුය.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව විභාග කළේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.

විනිසුරු මඬුල්ලේ ප්‍රධාන විනිසුරු ශිරාන් ගුණරත්න වූ අතර පද්මිණි රණවක විනිසුරුවරිය හා චමත් මොරායස් සෙසු විනිසුරෝ වූහ.

දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 2016 සැප්තැම්බර් 8 වැනි දිනය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා 2021 ජනවාරි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙසේ පැවැසීය.

“පද්මිණි රණවක මහත්මිය රන්ජන් රාමනායකත් එක්ක කතා කළේ එතුමිය විශ්‍රාම ගියාට පස්සෙ. සමාවෙන්න තීන්දුව දුන්නට පස්සෙ. තීන්දුව දෙන්න ඉස්සෙල්ල රන්ජන් රාමනායකට කතා කරලා තිබුණා නම් අන්න එතැන වරදක් තියෙනවා.”

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මෙහිදී සිදුකරන්නේ හිතාමතා කරුණු විකෘති කිරීමකි. ඔහු සිය කතාව ආරම්භයේදී මෙවැනි පූර්විකාවක්ද ඉදිරිපත් කළේය. එය ඇසූ විට හරීන්ගේ අරමුණ පැහැදිලි වේ.

“මේ කාලෙ ජනාධිපති සමාව දෙන රැල්ලක් පටන්ගෙන තියෙනවා. ඔය රැල්ල එන්නේ මොන පොල් පැළේ කන්නද කියන එකත් අපි හොඳට දන්නවා. මේ දඟලන්නේ, දත කන්නේ මොන පොල් පැළේ කන්නද කියන එක අපිට හොඳට තේරෙනවා.”

හරීන් කියන්නේ පද්මිණි රණවක විනිසුරුතුමිය නඩු තීන්දුව දීමට පෙර රන්ජන් සමඟ කතා කළා නම් එය වැරැදි බවය.

ඊට වඩා වැඩි පැහැදිලි කිරීමක් නොකරම ඔහු ආරම්භ කළ මාතෘකාව එතැනම අතහැර වෙන කරුණකට මාරු වන්නේ ඉතා සූක්ෂ්ම හා කපටි ලෙසය.

හරීන් සත්‍යය වසන් කළේ කරුණු නොදැන යැයි අපි නොසිතමු.

හොඳයි අපි හරීන්ගේ වාසියට බර තබා ඔහු නොදන්න තිත්ත ඇත්ත මෙසේ සඳහන් කරමු.

දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කරමින් භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ 2016 සැප්තැම්බර් 8 වැනි දිනය.

නමුත් එවකට නියෝජ්‍ය ඇමැතිවරයකු වූ රන්ජන් රාමනායක සහ විනිසුරු පද්මිණි රණවක අතර නඩු විභාගය සම්බන්ධ සාකච්ඡාව සිදුවන්නේ 2016 ජූලි මස 14 වැනි දින රාත්‍රි 09:33 ටය.

එහිදී රන්ජන් ඇයට පවසන්නේ නඩු විභාගය ගැන රටම බලා සිටින බවත් රන්ජන් ඇතුළු බොහෝ දෙනකුගේ ටාගට් එක එකක්ම බවය.

රන්ජන් වැඩිදුරටත් පවසන්නේ දුමින්දට එරෙහිව තීරණ ගන්නා තැන පද්මිණි සිටීම සතුටක් බවය.

රන්ජන් _ පද්මිණි

(විනාඩි 1 යි තප්පර 20 යි) 2016-07-14 වේලාව රාත්‍රි 09:33

පද්මිණි – හෙලෝ….

රන්ජන් – ගරු මැතිනිය, මේ වෙලේ කතා කළාට තරහා වෙන්න එපා…

පද්මිණි – අ… ඔව්….

රන්ජන් – මම රන්ජන් රාමනායක….

පද්මිණි – ආ… ඔව්… (රන්ජන් අනේ) මිස්ටර් රාමනායක….

රන්ජන් – අනේ මේ … මේ.. කරදරයක්ද දන් නෑ… පොඩ්ඩක් කතා කරන්න කතා කළේ. පුළුවන්ද?

පද්මිණි – ඔව්… ආශ්‍රය වෙන්න කමක් නෑ….

රන්ජන් – ආ… රයිට්… අනේ….

පද්මිණි – පොඩ්ඩක් ඉන්ඩ, කවුද එනවා. පොඩ්ඩක් ඉන්න…

(පද්මිණි, නිවෙසේ සිටින අයකුට… ‘රංජිත් කවුද එනවා රංජිත් බලන්ඩ’)

හෙලෝ ඔව්….

රන්ජන් – මම ගෙදර ඉන්නේ… මම, මම විතරයි. මම විතරයි ඉන්නේ, මේ මේ…. මම බොහොම ගෞරවයෙන් කතා කරන්නේ… රටම බලන් ඉන්නවා ඔබතුමියලගේ මේ මේ මම අද පත්තරේ දැකලා කතා කළේ. දැනුත් ටී.වී. එකේ ගියා… මේ… අර නඩු තීන්දුව ගැන ලොකු සාධාරණයක් වෙයි කියලා රටම බලාපොරොත්තුවෙන් ඉන්නවා. බොහොම ස්තුතියි…. මේ….. මේ… විනිසුරු මඬුල්ලේ ඔබතුමිය ඉන්නවා කියන එක ලොකු සතුටක්… මේ….

පද්මිණි – හරි… හරි…

රන්ජන් – හහ්…හා… හොඳ දෙයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා… අ… මේ… මේ…

පද්මිණි – හරි… හරි…

රන්ජන් – දෙවි පිහිට ලැබේවා කියලා… ආ… ශක්තිය ලැබේවා කියලා කියන්නයි කතා කළේ….

මේ සුරතලයෙන් නිවැරැදි මිනිසකුගේ ගෙලට තොණ්ඩුව වැටෙනවා නම් එය බරපතළ අපරාධයකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පමණක් නොව ලෝකයේ සෑම රාජ්‍ය සභාවක්ම සැලකෙන්නේ බොරු නොකියන ස්ථාන ලෙසය.

අසත්‍ය ප්‍රකාශ නොකිරීමට මන්ත්‍රිවරු උපරිමයෙන් සැලකිලිමත් වෙති.

හරීන් ප්‍රනාන්දු මේ අසත්‍යය තහවුරු කිරීමට වෑයම් කළේ සමගි ජන බලවේගයේ වෙනත් අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිසදැයි අපි නොදනිමු.

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර අතර භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව ගැන සංවාදය සිදුවන්නේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර දිනය.

දිනය – 2016 සැප්තැම්බර් 7

රන්ජන් – ගුඩ් ඊවිනින් කොහොමද හෙට අපට බෑඩ් නිවුස් එකක් එයිද?

ශානි – අනිවාර්යයෙන්ම ගුඩ් නිවුස් එකක් එනවා. සර් උසාවි එනවා නේද?

රන්ජන් – අනේ ඒක ඔයා වෙනස් කරන්න නම් එපා. අපේ හිත කඩන්න නම් එපා.

ශානි – නෑ නෑ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඩෙෆිනීට්ලි. හැබැයි මැද එක්කෙනා නිදහස් වෙන්න ලියන්නෙ.

රන්ජන් – අම්මට සිරි කවුද මැද එක්කෙනා කියන්නේ.

ශානි – චෙයාමන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. අපට දෙකක් ඉන්නවා.

රන්ජන් – පද්මිණි හරි නේද?

ශානි – ඔව්. හරි හරි.

රන්ජන් – සුප්‍රිම් කෝට් යයිද.

ශානි – කොහොමත් සුප්‍රිම් කෝට් යනවනේ. සර් උසාවි එනවද?

රන්ජන් – මම එන එක හරිද? අපි වැඩෙත් එක්ක ඉන්නවා වගේ පෙනෙයිද?

ශානි – හැම දූෂණ එකකටම එනවා නම් මේකට ආවම මොකද?

රන්ජන් – මම කෝල් එක දීපු එක අහුවෙයිද?

ශානි – එහෙම වෙන්නේ නැහැ. ඔයා එන්නකෝ හරීන්ට ඉස්සරහා දීල සර් මොකටද තිරය පස්සට යන්නේ.

රන්ජන් – ෂුවර් නේද?

ශානි – ෂුවර්, ෂුවර්, ආයෙ දෙකක් නැහැ.

රන්ජන් – මම ආයෙත් කියන්න ඕන නැහැනේ.

ශානි – නැහැ නැහැ, වැඩේ ඉවර වුණාට පස්සේ බලමු.

රන්ජන් – තැන්ක් යූ කියමු. මැද එක්කෙනා හදාගන්න බැරිද?

ශානි – අවශ්‍ය නැහැ දෙකක් තියෙනවනේ. මැජෝරටි තියෙනවා නේ.

රන්ජන් – හරි හෙට උදේ අපිව කලකිරවන්නේ නැහැනේ.

ශානි – කලකිරවන්න තිබුණු එක පස්සේ හැදුණා.

රන්ජන් – හොඳයි, හොඳයි, දෙයියන්ගේ පිහිටයි.

ශානි – සර් එන්න. ඔය වගේ දවසකවත් නැත්නම් වැඩක් නැහැනේ.

අපි ඔබේ හෘද සාක්ෂියෙන් මෙසේ ප්‍රශ්න කරන්නෙමු.

අධිකරණයේ විභාග වන නඩු තීන්දුවක් සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධරයකු සහ රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු මෙසේ සංවාදයක යෙදෙනු ඔබ මෙයට පෙර අසා තිබේද? නඩුවේ විනිසුරන් සමඟ සිදුකළ ගනුදෙනු ගැන මෙලෙස රහසේ සංවාදයක යෙදෙන අවස්ථාවක් ඔබ දැන සිටියාද? නඩුවේ තීන්දුවට සිදුව ඇති අගතිය හා බලපෑම ගැන ඔබේ අදහස කුමක්ද? දුමින්ද සිල්වා නිදහස් කළ යුතු යැයි අපි කියන්නේ ඉහත කරුණු පදනම් කරගෙනය.

යුක්තිය පසෙකින් තබමු.

නීතිය සෑම පුරවැසියකුටම සමානව බල පැවැත්විය යුතුය.

රන්ජන් රාමනායක විසින් භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විනිසුරු පද්මිණි රණවකට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට දෙන ලද දුරකථන ඇමැතුම් මඟින් නඩු තීන්දුවට කර ඇති අගතිය අතිමහත්ය.

ඔවුන් අතර දුරකථන සංවාද 22 ක් සිදුව ඇති බව අධිකරණයට වාර්තා විය.

2016.07.14 සිට 2019.09.11 අතර එම සංවාද සිදුව තිබේ.

රන්ජන් සහ ශානි අබේසේකර අතර පහත සඳහන් දුරකථන සංවාදය සිදුවී තිබෙන්නේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව විභාග වෙමින් පවතිද්දී 2016 මැයි 10 වැනි දිනය.

මේවාට හරීන්ලා පවසන්නේ කුමක්ද? මේ සෑම සංවාදයක්ම නඩු තීන්දුව අවශ්‍ය පරිදි ලියවා ගන්නට දත කන ඒවාය.

හරීන්ලා තොත්ත බබාලා සේ හැසිරෙන්නේ සත්‍ය හා නිවැරැදි කරුණු අගතියට පත්වූවන් උදෙසා පෙළගැසී තිබෙන පසුබිමකය.

රන්ජන් – ශානි – විනාඩි 21 තත්පර 27 – 2016.05.10 – ප.ව. 12:46

රන්ජන් – හලෝ.. ශානි, ශානි මහත්තයද?

ශානි – ඔව්.

රන්ජන් – මම රන්ජන් රාමනායක කියලා එක්කෙනෙක්.

ශානි – ආ… සර්, ගුඩ් ආෆ්ටර්නූන්.

රන්ජන් – කොහොමද? අනේ මේ විෂ් කරන්න, සුබ පැතුම් එක්කරන්න කතා කළා. කෝ මගේ නොම්බරේ දාගෙන නෑ නේද?

ශානි – නෑ… මේ නොම්බරේ සේව් කරලා තියෙන්නේ.

රන්ජන් – මේ නොම්බරේ සේව් කරලද තියෙන්නේ?

ශානි – ඔව්. ඔව්. සර් ඔව්… සර් මට දුන්නේ සර්…

රන්ජන් – ආ… එදා ඊයේ පෙරේදත් කතා කළා. දැන් එස්.එස්.පී. මහත්තයෙක්ද? එස්.පී.ද?

ශානි – ඔව්. සර්. එස්.පී.

රන්ජන් – එස්.පී. ආනේ. බොල සන්තෝෂයි. සන්තෝෂයි. ඔයාව මතක් වුණේ මේ මේ කවුරුත්, කතා කරන්න පුළුවන්ද ඔතැන?

ශානි – පුළුවන්, පුළුවන්, සර් පුළුවන්.

රන්ජන් – මේ බාර් එක දැක්කා මොකද වෙන්නේ අවුලක් නෑනේ. නඩුව ඉවරයිනේ.

ශානි – නෑ. නෑ. කිසි අවුලක් නෑ 9ක් යනව සර්.

රන්ජන් – (සිනා) ඔයා එදා කිව්ව වචනෙන් මං හරි සන්තෝෂෙන් හිටියේ. මං මේ අද දැකලා බැලුවා සේරම වාචික මොනාද… ඉවරයි මොකද්ද එහෙම කියලා ලංකාදීපේ දැක්ක මුකුත්.

ශානි – ඔව්. මේ… මේ මේ සාක්ෂි ඉවරයි සර්. දැන් දේශන.

රන්ජන් – දේශන නේද?

ශානි – ඔව්. මේ… වාචික දේශනයි. ලිඛිත දේශනයි ජජර්ස්ලා ඉල්ලුවොත් දෙන්න… ඩේට් එකක් දෙයි. 24 වැනිදාට ආපසු ගන්නවා සර්.

රන්ජන් – ආ. එතකොට මේ මේ බය වෙන්න දෙයක් නෑනේ තීන්දුව නේද?

ශානි – නෑ. නෑ. සර්. කිසිසේත්ම බය වෙන්න දෙයක් නෑ…. වගේ ඒක හරි

රන්ජන් – ශානි

(විනාඩි 28 තත්පර 39 යි) – 2016.07.25 වේලාව දහවල් 12:12

ශානි – සර්.

රන්ජන් – කොහොමද…

ශානි – සර්.

රන්ජන් – ඔව්.

ශානි – සර්, හදිසියක් කතා කරන්න පුළුවන්ද?

රන්ජන් – පුළුවන්.

ශානි – සර්. වඳින්නම් අර නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනකුට කතා කරන්න එපා. ලොකු ප්‍රශ්නයක් වෙනවා.

රන්ජන් – ඇත්තද..?

ශානි – ඔව්…. බුදු අම්මේ වැඳලා කියන්නම් සර්…

රන්ජන් – ඔව්.

ශානි – කිසිම තැනකට සර්ගේ කටවත් අරින්න එපා. දැන් හොඳම තත්ත්වෙකට ඇවිල්ලා තියෙන්නේ.

රන්ජන් – ආ…. හා… හා…

ශානි – ඔව්. දැන් ඔය සර් කතා කරපු එකක් ලොකුවට පත්තු වෙලා යන්න හදන්නේ… අපි ඒක බැලන්ස් කර ගන්නම්…

රන්ජන් – ඔව්…

ශානි – සර් වඳින්නම්, කිසිම කෙනකුට කතා කරන්න එපා. සර් දන්න දෙයක්වත් කියන්න එපා සර්.

රන්ජන් – රයිට්, රයිට් මං කාටවත් කිව්වේ නෑ… අද ජනාධිපතිතුමා හම්බුවෙනවා පහහමාරට…

ශානි – එපා එපා සර්… වඳින්නම් මොකුත් කියන්න එපා. දැන් ප්‍රශ්නේ හරි…

රන්ජන් – ප්‍රශ්නේ හරිද…?

ශානි – හරි හරි ප්‍රශ්නේ හරි සර්,

(රන්ජන් _ හ්ම්ම්)

මෙයින් සනාථ වන්නේ රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටින උදවිය සවිඥානිකව ප්‍රශ්නයක් තේරුම් බේරුම් කර නොගෙන වළං කඩේට පැනපු ගොනා සේ හතර අතට බැට දෙනා බවය.

අධිකරණයට මේ සා දරුණු ලෙස බලපෑම් කළ අවස්ථාවක් මෙරට ඉතිහාසයේ නැත.

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තර්කය මේ කරුණු මත මුළුමනින්ම බිඳ වැටේ.

නඩු තීන්දුව දෙන්නට පෙර දේශපාලන අංශ විනිසුරුවරිය සමඟ දිගින් දිගටම සංවාදයේ යෙදේ. එයින් විත්තිකාර දුමින්ද සිල්වාට මහත් අගතියක් සිදුව තිබේ.

එය නිවැරැදි කළ හැක්කේ දුමින්ද නි‍දොස් කොට නිදහස් කිරීමෙන් පමණි ෴

(2021-01-17 මව්බිම පුවත්පත)

*****************************************

ගම්පහ මූල්‍ය ආයතනයකින් කෝටි 04 ක මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කයි

(16.01.2021 – 07:01 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් ඊයේ (15) පස්වරුවේ කොල්ලකෑමකට ලක්වුණා.

එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) එහි තිබූ රුපියල් කෝටි 04 ක් පමණ වටිනා ස්වර්ණාභරණ සහ මුදල් පැහැරගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05 ක් යොදවා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

+++++++++++++

***************************************

‘ෆුට් නෝට් කල්ලියට ළඟදී ම නඩු’ – රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර

(16.01.2021 – mawbima.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටු) වාර්තාවට පාද සටහන් (foot note) එක්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සත් දෙනෙකු (7) සම්බන්ධයෙන් සමාජය තුළ බරපතළ සැකයක් මතුවී ඇති නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා කඩිනමින් ම රජයේ අවධානය යොමුකරන බව ගුදම් පහසුකම්, බහාලුම් අංගණ, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළේ ය.

බැඳුම්කර වංචාකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම පාද සටහන් යොදා තිබෙන බවත් මෙම පාද සටහන්, සටහන් කළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් දුරකතනයෙන් කතා කර ඇති බවත් සමහරුන්ට රුපියල් මිලියන ගණනින් ලබාදී ඇති බව සනාථ වී තිබෙන නිසා බැඳුම්කර හොරුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම පාද සටහන් යොදා ඇති බවට සාධාරණ සැකයක් මතුවන බව ද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

මෙම පාද සටහන් එක්කරන ලද එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇලෝසියස්ලා ආරක්ෂා කරගැනීම සඳහා පොතක්ද ලියා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම පාද සටහන් එක්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී කිසිදු පරීක්ෂණයක් සිදුනොකෙරුණු නිසා එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සත් දෙනා ගැන නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉදිරියේදී ඉල්ලා සිටින බවත් මේ ගැන ඉදිරි ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කරන බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාවට පාද සටහන් එක් කරන ලද ජනතා නියෝජිතයන් සත් දෙනා වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ යන මහත්වරුන් ය ෴

***************************************

‘අවන්ති දේවි’ ළමා නිවාසයේ මල් කැකුළු දඩයම

(16.01.2021 – mawbima.lk)

අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ රඳවා සිටින බාලවයස්කාර දැරියන්ට කෲරත්වයෙන් සැලකීම හා ලිංගික හිරිහැරවලට ලක් කිරීම ඇතුළු චෝදනා රැසක් පිළිබඳ විමර්ශනයක් කරන පොලිසිය මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ ප්‍රධාන පෙළේ පරිවාස නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට සැරසෙයි.

මෙම ළමා නිවාසයේ දැරියන් 20 දෙනෙකු පමණ ලිංගික හිරිහැරවලට ලක් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඒ අතරින් දැරියන් 12 දෙනෙකු මේ වනවිටත් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

ලිංගික හිංසනයට, කෲරත්වයට අමතරව අවන්තිදේවි ළමා නිවාස භූමියට පිටස්තරයන් ඇතුළු වීමට සැලැස්වීම, මත්පැන් පානය කරමින් සාද පැවැත්වීමට ඉඩකඩ සැලැස්වීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මෙම පරිවාස නිලධාරියා ඉදිරි දිනයකදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට කීය.

මේ සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කීවේ, අවන්ති ළමා නිවාසය තුළ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය හා ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් මේ වනවිටත් විමර්ශන දෙකක් (2) ආරම්භ කර ඇති බවය. මේ විමර්ශනවලට අනුව තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ඉදිරි දිනවලදී අත්අඩංගුවට පත්වනු ඇතැයි හෙතෙම සඳහන් කළේ ය.

මෙම ළමා නිවාසයේ බාලවයස්කාර දැරියන්ට පහරදීමේ හා හිංසනයට පත්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් 14 දා ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව ද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ළමා නිවාසයේ දැරියන් පස්දෙනකු (5) ගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබාගෙන තිබූ අතර ඉන් දැරියන් හතරදෙනකු (4) දුන් ප්‍රකාශ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. දැරියන්ට අතින් පයින් පහරදීම්, ප්ලාස්ටික් හා පොලුවලින් පහරදීම් හා ඔවුන්ගේ කාමර තුළ සිරකර ගෙන කළ පහරදීම් රැසක් මෙම විමර්ශනවලදී හෙළි වී තිබේ.

මේ අනුව, ජාතික ළමා හා ආරක්ෂක අධිකාරිය යටතේ පාලනය වන සියලු ම ළමා නිවාස දිනපතා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට කටයුතු යොදා ඇතැයි කියවේ.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ අධීක්ෂණයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ මෙහෙයවීම මත අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

***************************************

ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් ගත් තීරණය ගැන නියාමන කොමිසම මහජන අදහස් විමසයි

(15.01.2021 – mawbima.lk)

තම දුරකතන අංක ග්‍රාහකයන්ට වෙනත් ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව ඇති කිරීම (Number Portability) පිළිබඳව ගත් තීරණය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඊට අදාළව මහජන අදහස් විමසීමේ පත්‍රිකාවක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.trc.gov.lk තුළ පළ කර ඇත.

මේ පිළිබඳ මහජන අදහස් 2021 පෙබරවාරි 12 දින හෝ ඊට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත තැපැල් මගින් හෝ nw@trc.gov.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ යොමු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජංගම දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව පවතින අංකය ම භාවිත කරමින් වෙනත් සමාගමක සබඳතාව ලබා ගැනීමේ පහසුකම සැලසීම සඳහා වන මූලික ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, ජංගම දුරකතන සේවා සමාගම් අතර තරගකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවය.

මෙය Number Portability යනුවෙන් හැඳින්වේ.

මෙහිදී, තමන් භාවිත කරන දුරකතන සබඳතාව වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් තමන්ගේ පවතින දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව අවශ්‍ය සමාගමකින් සබඳතා ලබා ගත හැකි වනු ඇත.

ඒ අනුව, ඒ ඒ ජංගම දුරකතන සබඳතා සඳහා මේ වන විට භාවිත වන අංකන ක්‍රම (උදා: 071, 077, 072, 075) පොදු අංක බවට පත් වන බවත් ඒවා ඕනෑ ම සබඳතාවක් සඳහා භාවිත කළ හැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවලදී ජංගම දුරකතන සේවා සමාගම් මේ සඳහා කැමැත්ත පළ කළ බව ද ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේ සම්බන්ධයෙන් මහජන මත විමසුමක් ද කිරීමට අපේක්ෂා කරන අතර මෙය සම්පූර්ණයෙන් ස්ථාපනය කිරීම සඳහා ගත වන කාලය නිශ්චිත වශයෙන් කිව නොහැකි බවය ෴

***************************************

(16.01.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාල සම්බන්ධයෙන් සොයන බුද්ධි තොරතුරු ජාලය ඉතා සක්‍රීය අන්දමින් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පොලිස් මූලස්ථානයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා ෴

@@@@@@@@@@@@@@@@@@@@@

(16.01.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ඇහැලියගොඩ, පානදුර සහ බේරුවල පොලිස් වසම්වල ග්‍රාම සේවා වසම් කිහිපයක් අද (16) උදෑසන 5 සිට හුදකලාභාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ ඇහැලියගොඩ පොලිස් වසමේ මින්නාන, බෝපත්ඇල්ල, විලේගොඩ, අස්ගඟුල සහ යකුදාගොඩ යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදකලාභාවයෙන් ඉවත් කළ බවයි.

පානදුර පොලිස් වසමේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරි වසම සහ බේරුවල පොලිස් වසමේ මග්ගොන නැගෙනහිර සහ මග්ගොන බටහිර මෙලෙස අද (16) උදෑසන 5 ට හුදකලාභාවය ඉවත් කෙරුණු අනෙක් ග්‍රාම සේවා වසම් වනවා ෴

++++++++++++++++++++

(16.01.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 695 දෙදෙනෙකු ඊයේ (15) දිනයේදී හඳුනා ගැනීමත් සමඟ, මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 51,594 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 47,810 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක තවදුරටත් වෛරසය ආසාදනය වූවන් 7,080 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.

ඊයේ (15) දිනයේදී 512 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 44,259 ක් ලෙසයි.

එමෙන්ම, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක් ඊයේ (15) දිනයේදී වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 255 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 90 ක කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් රෝහල් ගතකර සිටියදී කොවිඩ් නියුමෝනියාව සහ වෙනත් ආසාත්මිකතා හේතුවෙන් මියගොස් ඇති බවයි.

එමෙන්ම, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75 ක පුද්ගලයෙක් නිවසේදී මියගොස් ඇති අතර, ඔහුගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව ලෙස පසුව හඳුනා ගැනුණා.

එසේම, කොරෝනා වෛරසය වැළඳෙන ආසාදිතයින්ට වෙන් කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශයටම වෙන් වූ ස්ථානවලට රැගෙන ගොස් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා ෴

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකළ ආයතන 213 කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම, ඊයේ (15) සිදුකළ මෙම වැටලීමේදී පරීක්ෂා කළ මුළු ආයතන සංඛ්‍යාව 1,311 ක් ෴

+++++++++++++++++++

(16.01.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 695 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව ඊයේ (15) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එහි වැඩිම සංඛ්‍යාව වූ 41 දෙනෙකු මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 දෙනෙකු ඊයේ (15) හඳුනා ගනු ලැබුවා.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ මරදානෙන් වන අතර, එම සංඛ්‍යාව 21 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *