වරාය වෘත්තිය සමිති අනතුරු අඟවයි

වරාය වෘත්තිය සමිති අනතුරු අඟවයි

*********************************************

වරාය වෘත්තිය සමිති අනතුරු අඟවයි

(16.01.2021 – 12:33 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් බලධාරීන් වැරදි තීන්දුවක් ගතහොත් තමන්ට දැඩි තීන්දු ගැනීමට සිදුවන බව වරාය වෘත්තිය සමිති අනතුරු අඟවනවා.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට ජනාධිපතිවරයා පත්කළ අනුකමිටුව සමග සාකච්ඡාවකට අද (16) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී වෘත්තිය සමිති නියෝජිතයින් මේබව අවධාරණය කළා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයාබැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් හත්දෙනෙකු (7) ගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පසුගියදා පත්කරනු ලැබුවා.

එම අනුකමිටුව හා වරාය වෘත්තිය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් මේවන විට වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.

සාකච්ඡාව සඳහා පැමිණි වෘත්තිය සමිති නියෝජිතයින් එම සාකච්ඡාවට පෙර මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා.

***************************************

(16.01.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ ෴

***************************************

(16.01.2021 – 12:26 +0530 – hirunews.lk/sinhala)

ගොවිතැන කෙරෙහි තරුණ තරුණියන්ගේ අවධානය යොමු කරවීමට තම රජය පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘ගම සමඟ පිළිසදරක්’ වැඩසටහනට පොළොන්නරුව – මැදිරිගිරිය – බිසෝපුර ප්‍රදේශයේදී එක්වෙමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනේ 6 වැනි අදියර අද (16) ක්‍රියාත්මක වූයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිසෝපුර ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්.

බිසෝපුර හා ඒ අවට ගම්මාන රැසක ජනතාවගේ ජන ජීවිතයට බලපාන ගැටලු සඳහා විසඳුම් ලබාදීම මෙහි අරමුණ වනවා.

වැඩසටහන ආරම්භ කිරීමට පෙර බිසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීම සිදුවුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියා.

***************************************

(16.01.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රබලම බලපෑම එල්ලවූ එක් ක්ෂේත්‍රයක් වූයේ මෙරට සංචාරක ව්‍යාපාරයයි.

ඒ, මෙම කුරිරු බෝම්බකරුවන් මෙරට ප්‍රමුඛ පෙළේ තරු පන්තියේ සංචාරක හෝටල් කිහිපයකම බෝම්බ පුපුරුවාහැරීම හේතුවෙන්.

ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණදුන් කොළඹ තරු පන්තියේ හොටලයක් වසර දෙකකට (2) ආසන්න කලකට පසු සිය භෝජනාගාරය නැවත මහජනයා සඳහා විවෘත කළා.

මෙම කුරිරු ප්‍රහාරයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තැප්‍රොබේන් අවන්හලට බරපතළ හානි සිදුවුණේ ජීවිත ගණනාවක් අහිමි කරමින්.

ඒ සමග වසා දැමුණු මෙම භෝජනාගාරය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර අද (16) සිට නැවත දෙස්විදෙස් සංචාරකයින් සඳහා සිය සේවාවන් සපයනවා.

‘ප්ලේට්ස්’ (PLATES) යන නව නාමයෙන් විවෘත කෙරෙන මෙම අවන්හල දවසේ පැය 24 පුරා සේවාව සැපයීමට සැරසී සිටිනවා.

එමෙන්ම මෙම අවන්හලෙන් සැපයෙන ස්වයං සේවාවන් හරහා යුරෝපීය, ශ්‍රී ලාංකික, ඉන්දීය, චීන සහ ජපාන ආහාරයන්ගේ රසපහස විඳ ගැනීමට හැකියි.

ඊට අමතරව, ඉතාලි, අරාබි, මධ්‍යධරණීය විශේෂ කෑම වට්ටෝරුවල රසයද ඔබට මෙම අවන්හලේදී විඳගත හැකිවනවා.

නව භෝජනාගාරය තුළ එක්වර පුද්ගලයින් 163 දෙනෙකුට ආහාර ලබා ගැනීමේ පහසුකම් සපයා ඇති අතර, කොවිඩ්-19 මාර්ගෝපදේශයන්ට අනුකූලව අද

රාත්‍රියේ සිට තරුපන්තියේ සුපවේදීන්ගේ ආහාර රසපහස විඳගන්නා ලෙසයි හෝටල් පාලනාධිකාරිය ඉල්ලා සිටින්නේ.

***************************************

(16.01.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබූ නඟුල්එළිය ගම්මානය මුහුදු ඛාදනයට ලක්වීමත් සමග ගම්වැසියන් විකල්ප ස්ථානයක පදිංචි කෙරුණා.

ගම්මානයේ ජීවත්වූ පවුල් 26 ක් පමණ වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 3 ක් පමණ ඇතුළත ප්‍රදේශයක මෙලෙස පදිංචි කෙරුණේ නව නඟුල්එළිය ගම්මාන නමින්.

කෙසේ වෙතත් මෙසේ විතැන්කළ ගම්වාසීන් පවසන්නේ තමන්ට හිසට සෙවණක් ලැබුණද දරුවන්ගේ අධ්‍යාපනයට තිබු පහසුකම් මේ සමග අහිමිවී ඇති බවයි.

නව නඟුල්එළිය ගම්මානයේ ජීවත්වන දරුවන්ට නිදහස් අධ්‍යාපනයක උරුමය තිබුණද ඒ සඳහා යායුතු මඟනම් සුවපහසු එකක් නොවේ.

මුතුපන්තිය කලපුවෙන් අල්ලා ගන්නා මසුන් අලෙවි කිරිමෙන් දිවි සරි කරගන්නා මේ ගම්වැසියන්ගේ එකම අරමුණ සිය ගම්මානයට නිසි මාර්ග පහසුකමක් ලබා ගැනීමයි.

අධිවේගී මාර්ග, ගුවන් පාලම්, උමං මාර්ග පිළිබඳ පුරාජේරු කතා කියමින් සංවර්ධනයේ අරුමය කියාපාන්නට උත්සාහ කරනා බලධාරීන්ට එය නිසි ලෙස බෙදීගොස් නැති බවට නව නඟුල්එළිය ගම්මානයේ මාර්ග පහසුකම් කදිම උදාහරණයක්.

නව නඟුල්එළිය ගම්මානයේ වැසියන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් බලධාරීන්ගේ අවදානය යොමුවන තෙක් ‘හිරු රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(16.01.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

දැනට වසර 13 ක් ක්‍රියාත්මක පාසල් අධ්‍යාපනය වසර 12 ක් දක්වා අඩු කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු මාස ගණනාවක් ප්‍රතිඵල ලැබෙනතුරු බලා සිටීමට සිදුවීම වැනි කරුණු සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී පැවැත්වීම කෙරෙහි මෙන්ම, උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදී පැවැත්වීම කෙරෙහි ද, මෙහිදී අවධානය යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම, මෙම විභාගවල ප්‍රතිඵල මසක් වැනි කාලයක් ඇතුළත සිසුන්ට ලබාදීමටද සැලසුම් කෙරෙනවා ෴

***************************************

(16.01.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ දෙසැම්බර් පළවනදා (01) සිට අද (16) දිනය දක්වා සිරකරුවන් සහ සැකකරුවන් 12,329 දෙනෙකු නිදහස සහ ඇප ලබා තිබෙනවා.

ඒ අනුව, සිරකරුවන් 1126 ක් බන්ධනාගාර වලින් නිදහස ලබා පිටව ගොස් ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මීට අමතරව, සැකකරුවන් 11,203 දෙනෙකු ඇප ලබා පිටව ගොස් තිබෙනවා ෴

***************************************

(16.01.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

කැබිතිගොල්ලෑව පැරණි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ආසන්න ප්‍රදේශයේදී නිධන් වස්තු සෙවීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ (15) රාත්‍රී 08:30 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් ස්කෑනර් යන්ත්‍රයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා කැබිතිගොල්ලෑව පොලිසියට භාරදී තිබෙනවා.

අදාළ ස්කෑනර් යන්ත්‍රය ග්‍රයින්ඩර් යන්ත්‍රයක් මෝටර් රථයක් සහ ජංගම දුරකථන දෙකක් (2) ද අත්අඩංගුවට ගැනුනා.

***************************************

නාවික හමුදාව මගින් අපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

(16.01.2021 – news.navy.lk)

සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව 2021 ජනවාරි 15 වන දින කටයුතු කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් 2021 ජනවාරි මස 13 වන දින සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් (ලියාපදිංචි අංක OFRP –A-2657 PTM) එහි සිටි ධීවරයින් දෙදෙනා (2) සමඟ අතුරුදන් වී ඇති බවත් එම යාත්‍රාව සොයා ගැනීම සඳහා සහාය වන ලෙසත් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කරන ලදී. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව අදාල ඩිංගි යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර, නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් ‍මෙම අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳව ඉන්දියාවේ චෙන්නායි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය ද දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

ඒ අනුව, එම ඩිංගි යාත්‍රාව එහි පිටත දහන යන්ත්‍රයේ ඇතිව තිබූ කාර්මික දෝෂයක් හේතුවෙන් අන්තර්ජාතික මුහුදු සීමාවෙන් (IMBL) ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසා ගෙන ගොස් තිබියදී ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් මගින් සොයා ගන්නා ලද බව ‍ඉන්දියාවේ චෙන්නායි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය විසින් කොළඹ නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය දැනුවත් කරන ලදී. පසුව එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් අන්තර්ජාතික මුහුදු සීමාවට (IMBL) රැගෙනඒමට ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් කටයුතු කළ අතර ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්‍ෂා නෞකාව විසින් එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (2) අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාව වෙතින් භාරගෙන ගොඩබිම වෙත ආරක්‍ෂිතව ගෙන ඒමට 2021 ජනවාරි 15 වන දින කටයතු කරන ලදී.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති සියළු උපදෙස් අනුගමනය කරමින් මෙම සෙවීම් හා මුදවා ගැනීමේ මෙහෙයුම සිදු කිරීමට කටයුතු කරන ලදි. තවද, නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් 2020 වර්ෂයේදී සහ මෙම වසරේ ගතවූ කාලසීමාව තුලදී පමණක් ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීමේ කළාපය තුල විවිධ ආපදාවන්ට ලක් වූ වෙළඳ නෞකා 48 ක් සහ ධීවර යාත්‍රා 123 ක් එම ආපදාවන්ගෙන් මුදවා ගැනීමට සම්බන්ධීකරණයවී කටයුතු කර ඇත. එමෙන්ම එම කාලසීමාව තුල මුහුදේදී ඇති වූ හදිසි ආපදා හා රෝගාබාධ හේතුවෙන් ජීවිත අවදානමට ලක්ව සිටි නාවිකයින් සහ ධීවරයන් 98 දෙනෙකුගේ ජීවිත මුදවා ගැනීමටද අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

***************************************

(16.01.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු අද (16) අලුයම පලාගොස් තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ඔහු, ගාල්ල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිට ගෙළ වැළලාගෙන දිවි හානිකර ගැනීමට තැත් කිරීමේදී ඉන් මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ අයෙකු බවයි.

වැලිගම – පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල රැඳවියා සොරකම් කිරීමේ චෝදනාවකට වසර 5 යි මාස 3 ක සිරදඩුවම් නියමව සිටි අයෙකු වනවා.

පලාගිය රැඳවියා සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(16.01.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ සංවිධානය විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස තවදුරටත් නම් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සිය විදේශීය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ ඇගයීමක් සහ සංශෝධන රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් පසුගිය 14 වනදා ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි විදේශීය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් රඳවා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ මුම්බායි ප්‍රහාරයේ සැලසුම්කරු ලෙස සැලකෙන පාකිස්ථානය කේන්ද්‍ර කොටගත් ‘ලෂ්කාර් ඊ ටයිබා’ සංවිධානය ද එක්සත් ජනපද ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ තවදුරටත් රඳවාගෙන ඇති බවයි.

ලාහෝර් නුවරදී 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ ‘ලෂ්කාර් ජාන්ග්වි’ සංවිධානය ද එලෙස තවදුරටත් ඇමෙරිකාවේ ත්‍රස්ත සංවිධානයක් වනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙලෙස එරට විදේශීය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ ඇගයීමක් සිදුකර ඇත්තේ ජනපති ට්‍රම්ප්ගේ පාලනයේ අවසන් ඇගයීම ලෙසයි.

එහි එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස මුලින්ම නම් කෙරුණේ 1997 වසරේ අගෝස්තු 10 වනදායි ෴

***************************************

(16.01.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ගජමුතු ජාවාරම් කිරීමක් සම්බන්ධයෙන් මුලතිව් නගරය ආසන්නයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරුවෙකු විසින් එම ගජමුතු ගිලදමා තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ඊට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු (2) ද අදාළ වැටලීමේදී අත්අඩංගුවට ගත් බවයි.

විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳවුරේ නිලධාරින් ඊයේ (15) පස්වරුවේ මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

අදාළ පුද්ගලයා මේ වනවිට මාන්චෝලේ දිසා රෝහලට ඇතුළත් කර සිටිනවා ෴

@@@@@@@@@@@@@@@@@@

(16.01.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (18) සිට දුරගමන් දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුවේ සිට මහනුවර සහ බදුල්ල දක්වා දුම්රිය ධාවනය සිදුකෙරෙනු ඇති.

උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වාද, මඩකලපුව මාර්ගයේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ද ධාවනය සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම, මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා ද, දුරගමන් දුම්රිය සේවා ආරම්භ කෙරෙනවා.

මෙලෙස දුරගමන් දුම්රිය සේවා ආරම්භ වන්නේ පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතය හමුවේ රට හුදකලා කිරීමෙන් පසුව වීම විශේෂත්වයක්.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ ධාවනය කටයුතු පසුගියදා ආරම්භ වූ අතර එය සාමාන්‍ය පරිදි අඛන්ඩව සිදුකරන බව ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන් ප්‍රකාශ කරන්නේ පාඩු ලබන තත්ත්වයෙන් සිය සේවාව පවත්වාගෙන ගිය ද රජයෙන් ලබාදිය යුතු සහන මේ වනතෙක් ලැබී නොමැති බවයි.

ඊට විරෝධය පළ කරමින් ලබන සඳුදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මීට පෙර තීරණය කර තිබුණා.

එහෙත් විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

++++++++++++++++++

(16.01.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා අවදානම හමුවේ පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ කොරෝනා වසංගතය අවසන් වන තෙක් රාජකාරී නතරකරගෙන සිටිය නොහැකි බවයි.

එබැවින් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන ලෙසට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මෙන්ම මැති ඇමතිවරුන්ට ද උපදෙස් ලබාදී ඇති බව කතානායකවරයා කියාසිටියා.

පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යා හැකි පරිදි මන්ත්‍රීවරුන් ඇතුලු සියලුදෙනා දාකත්වය ලබාදිය යුතු බව ද කතානායකවරයා මෙහිදී අවධාරණය කළා.

+++++++++++++++++

(16.01.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 487 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 44,746 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 51,594 ක් හමුවී ඇති අතර ඉන් 6593 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 255 ක් ෴

+++++++++++++++++++

(16.01.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මස 25 වනදා සිට උපකාරක පංති පැවැත්වීමට අවසර ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාදවන බවයි ඔහු සඳහන් කළේ.

උපකාරක පන්ති පැවැත්වීමට අවශ්‍ය චක්‍රලේඛණය ද ඊයේ (15) නිකුත් කළ බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියා.

එම චක්‍රලේඛයට අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීමට ජනවාරි 25 වනදා සිට අවසර හිමිවන අතර එක් පන්තියකට සහභාගී කරගත හැක්කේ ඉඳගැනීමට ඇති පුටු ප්‍රමාණයෙන් සියයට 50 ක් සහ උපරිම ළමුන් සංඛ්‍යාව 100 ක් දක්වා පමණයි.

මෙම උපකාරක පන්ති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටින්නේ.

අනතුරුව රටේ පවතින තත්වය සමග අනෙක් උපකාරක පන්ති විවෘත කළ හැකි බව ඔහු කියාසිටියා.

උපකාරක පන්ති පවත්වාගෙන යායුත්තේ කෙසේ ද, පැවැත්විය යුතු කාලය, පන්ති පිරිසිදු කිරීම යන ක්‍රියාවලීන්ට අදාළ මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම සියලු කරුණු චක්‍රලේඛයේ අඩංගු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

එම උපදෙස් අනුව කටයුතු කරන ලෙසට ද ඔහු උපකාරක පන්දු ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළා.

පන්දු සඳහා දිස්ත්‍රික්ක හරහා පැමිණීමට අවසර නොමැති අතර දිස්ත්‍රික්ක තුල ළමුන්ට සහ ගුරුවරුන්ට පමණක් පන්ති පවත්වාගෙන යාමට හැකියාව පවතිනවා.

මේ අතර බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම තවදුරත් ප්‍රමාද වන අතර බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර සති දෙකකට (2) පමණ පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් එම සියලු දේ තීරණය කිරීමේ හැකියාව පවතින්නේ රටේ පවතින තත්වයන්ට අනුව බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

කිසියම් ප්‍රදේශයක් හුදෙකලා කර හෝ සංචරණය සීමා කර ඇත්නම් එම පළාතේ ඇති උපකාරක පන්ති පැවැත්විය නොහැකි බව ද ඔහු කියාසිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *