ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 51,937 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 51,937 දක්වා ඉහළට

*********************************************

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 51,937 දක්වා ඉහළට

(16.01.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 343 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 51,937 ක්.

එසේම, රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 487 දෙනෙකුද අද (16) සුවය ලබා පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 44,746 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6,936 ක් පමණයි.

මේ අතර, සීදුව – රද්දොලුගම පොලිසියේ නිලධාරීන් අඩකටම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පොලිසියේ නිලධාරීන් 29 දෙනෙකු රාජකාරියේ නිරත වන අතර, ඉන් 15 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

ඒ අනුව රද්දොලුගම පොලිස් ස්ථානය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව එහි රාජකාරී සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් මේ වනවිට අනුයුක්ත කර තිබෙනවා.

අතුරුගිරිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකුටද කොරෝනා ආසාදිත බව හඳුනා ගැනීම හේතුවෙන් එම පොලිසියේ රථ වාහන අංශයේ සේවය කල නිලධාරීන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

එසේම, වවුනියාව නගරයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ සමඟ එම ප්‍රදේශයෙන් පසුගිය දින කිහිපයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ බවට පසුගියදා තහවුරු වූ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලී අද (16) ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන අතරතුර එංගලන්ත ක්‍රීඩා විවේකාගාරයට පැමිණ තිබුණා.

+++++++++++++++++++

(16.01.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 256 ක්.

මියගොස් ඇත්තේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්.

ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු බෝවන රෝග විද්‍යා ආයතනයට මාරුකර යවා තිබුණා.

එහිදී අද (16) මියගොස් ඇති මෙම කාන්තාවගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග උග්‍රවූ හෘද රෝගයක්.

මේ අතර මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 372 ක් ද වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 52,309 ක් ලෙසටයි ෴

++++++++++++++++++

(16.01.2021 – 22:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා මෙරට යටිතල පහසුකම් මේ වනවිට සකස් කරමින් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර, කොවිඩ් 19 මර්දනය සඳහා වන ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන ඉන්දියාව අද ආරම්භ කළා.

++++++++++++++++++

විශේෂඥ වෛද්‍ය පාදෙණියගේ සිද්ධිය ගැන වෛද්‍ය සංගමයෙන් අදත් (16) ප්‍රකාශයක්

(16.01.2021 – 19:56 +0530 – sinhala.adaderana.lk)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් වෙත සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව ඔවුන් කොවිඩ්-19 ආසාදිතයන් නොවන බවට තහවුරු වී තිබේ.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නිරෝධායනයට යොමුකිරීම සම්බන්ධයෙන් මතුවු තත්ත්වය පිළිබඳ අද (16) පැවති උත්සවයකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළේය.

“ජනතාව නිරෝගී කරනවා කියන එක අපි හිතනවාට වඩා අමාරුයි. නිරෝගී කරන්න ගියාම සෑහෙන්න මඩ කන්න වෙනාව. පහුගිය දවස් දෙක තුන බැලුවාම පේනවා. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කොරෝනා රෝගයට බයවෙලා හැංගිලා කියලා මතවාදයක් පවා ජනගත කරන්න උත්සහයක් දැක්කා. ඒවාවලට අපි සැලෙන්නේ නෑ. එතුමාගේ PCR පරීක්ෂණ ප්‍රතිඵලයත් ආසාදිත නොවන බවට තියෙන්නේ.”

වෛද්‍ය පාදෙණිය මහතා කොවිඩ් ආශ්‍රිතයකු වීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විවේචනයට ලක්විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පැවසුවේ “අපි මේ මොහොතවන විට ඉතාම තීරණාත්මක ලෙස මැදිහත් වෙලා ඉන්නවා මේ රටෙන් දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ වැඩපිළිවෙලකට. ඒ මැදිහත්වීමම සමහර මාධ්‍ය ප්‍රධානින්ට කරදරයක් වෙලා තියෙනවා.”

@@@@@@@@@@@@@@@@@@

(16.01.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala)

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීන්ට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

‘ගම සමග පිළිසඳර’ 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවීන් මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමිනුයි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.

අද (16) පෙරවරුවේ පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාමයේදී ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනට පැවැත්වුණා.

පාරම්පරික වගා කටයුතුවලට බාධා නොකරන ලෙසටයි වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ඔහු නියෝග කළේ.

එසේ වුවද කිසිවෙකුට අලුතින් කැලෑ එළි කර වගා කිරීමට කිසිදු අවසරයක් නොමැති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබෙනවා.

පොළොන්නරුව වන අලි තර්ජනයට මුහුණදෙන ප්‍රධානතම දිස්ත්‍රික්කයක් වන අතර ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින මෙම ගැටළුව නිසි ලෙස අවබෝධ කරගෙන ස්ථීර විසඳුමක් ලෙස අගල් සහ විදුලි වැට ඉදිකිරීම යන ක්‍රම දෙකම ක්‍රියාත්මක කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

දිස්ත්‍රික්කයේ පාසල් රැසක සංවර්ධන වැඩ කටයුතු ඇණ හිට තිබීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපනයට සිදුව ඇති හානිය ජනතාව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබෙනවා.

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ දිවයිනේ සියලු පාසල්වල අතරමග නතර කර ඇති සියලු සංවර්ධන වැඩ කඩිනමින් නිම කරන ලෙසටයි.

එමෙන්ම අත්‍යාවශ්‍ය පහසුකම් පවා රහිත වෙඩිකච්චිය ග්‍රාමයේ දැන් තිබෙන නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දෙන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ගැමියන් දීර්ඝ කාලයක සිට මුහුණ දුන් වගා ගැටළුවට විසඳුමක් ලෙස ඇල වේලි සහ වැව් කඩිනමින් පිළිසකර කර කන්න දෙකටම වගා ජලය සැපයීමට පියවර ගන්නා ලෙසට දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට හා නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මැදිරිගිරිය – වටදාගෙය ප්‍රදේශයේ වගාවන්ට මුවන්ගෙන් වන හානිය පිළිබඳවද ජනතාව ජනාධිපතිවරයාට පෙන්වා දෙනු ලැබුවා.

ඊට පිළියම් ලෙස මුවන් ජිවත් වන වෙසෙන කැලෑ ප්‍රදේශය කොටුකර දැල් වැටක් ඉදිකිරීමට තිරීණය කෙරුණු අතර ඊට ප්‍රතිපාදන සැලසීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා එකඟ වුනා.

උසස් පෙළ විභාගය අවසන් කරන ළමුන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා උදා කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

විෂය භාර රාජ්‍ය අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් දැනුවත් කර වෘත්තීය පුහුණු අවස්ථා ඇති කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක්වුනා.

කවුඩුල්ල වැව ආශ්‍රිතව ජල පවිත්‍රාගාරයක් ඉදිකර, ජල නල එලා පවුල් දස දහසකට ජලය සැපයීමට ආරම්භ කර ඇති ව්‍යාපෘතිය 2021 වසර අවසන්වීමට පෙර නිම කරන ලෙසටයි ඔහු උපදෙස් ලබාදී ඇත්තේ.

විදුලි බිල්පත් ගෙවීමට නොහැකි පාසල් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ‘සූර්ය බල විදුලි පද්ධති’ සම්පාදනය කර නොමිලේ සපයන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුලිබල නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම ප්‍රදේශයේ පාසල්වල සහ රෝහල්වල පවතින අඩු පාඩු සම්පූර්ණ කිරීමට, ප්‍රධාන සහ අතුරු මාර්ග රැසක සංවර්ධන කටයුතු කඩිනම් කිරීමටත් නියම කෙරුණා.

‘ගම සමග පිළිසඳර’ වැඩසටහනට සමගාමීව මැදිරිගිරිය, බිසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීමටද ඔහු එක්වූ අතර විද්‍යාලය ඉදිකිරීමට මුලිකත්වය ගෙන කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එය විවෘත කරන ලෙසට ජනාධිපතිවරයා ඇරයුම් කිරීම විශේෂත්වයක්.

2020 සැප්තැම්බර් මස 25 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන ආරම්භ වූ අතර මාතලේ, රත්නපුර, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන් 05 ක් සංවිධාන කෙරුණා.

***************************************

(16.01.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 4 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනා (2) සොයා පොලිස් කණ්ඩායම් 8 ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් නුවර පාර ඔස්සේ පලාගිය බවට තොරතුරු වාර්තා වන බවයි.

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන ආරක්ෂක හිස්වැසුම් සහ කළු ජැකට් පැළඳි පුද්ගලයින් දෙදෙනෙකු (2) ඊයේ (15) පස්වරු 02:10 ට පමණ යතුරුපැදියකින් මෙම මූල්‍ය ආයතනයට පැමිණ තිබුණා.

මූල්‍ය ආයතනයට පිවිසි ඔවුන් ආයතන නිලධාරීන්ගෙන් විවිධ තොරතුරු විමසා ඇති අතර කොල්ලකෑම සිදුකර ඇත්තේ ඉන් අනතුරුවයි.

ගිනි අවියක් පෙන්වා සේවකයින් බියවද්දමින් මෙලෙස මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා තිබුණා.

+++++++++++

ගම්පහ – මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනය :

Orient Finance PLC
Gampaha Branch
No. 309/B, Colombo Road,
Gampaha

T.P. : 033 757 7571
email : info@orient.lk
Web : https://orientfinance.lk

***************************************

(16.01.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට ජනාධිපතිවරයා පත් කළ අනුකමිටුව සමඟ අද (16) පෙරවරුවේ වරාය වෘත්තීය සමිති එකමුතුව පැවැත්වූ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.

මේ අතර, නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමට විකිණීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අද (16) ඔන් ලයින් පෙත්සමක් අත්සන් කළා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට ජනාධිපතිවරයා පත් කළ අනුකමිටුව සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුක්ත වනවා.

එම කමිටුව සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වුණේ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේදීයි.

මේ අතර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති එකමුතුව මීට අදාළව ඔන්ලයින් පෙත්සමක් ද අත්සන් කිරීම අද (16) සිදුකළේ දෙහිවලදීයි.

+++++++++++++++++

***************************************

(16.01.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් පිහිටුවන ලෙස ඉල්ලමින් දෙමළ පක්ෂ ඇතුළු සංවිධාන 11 ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඊට අත්සන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ජී.ජී. පෙන්නම්බලම්, දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී.වී.විග්නේෂ්වරන් ඇතුළු අදාළ සංවිධානවල නායකයන්.

එමගින් ප්‍රකාශ කර තිබෙන්නේ වගවීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ ස්වයං යාන්ත්‍රණ ක්‍රියාවලිය අසාර්ථක බවයි.

ඒ අනුව, අදාළ චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි රැස් කිරීම සඳහා සිරියාවට අදාළව පත් කර ඇති ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයට සමාන යාන්ත්‍රණයක් ස්ථිර කාල රාමුවකට යටත්ව පිහිටුවන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ ෴

***************************************

(16.01.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ පණිවුඩයක් ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් පවසනවා.

ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

+++++++++++

***************************************

“ඇමතිකමක් හම්බ උනා කියල ගොන් වැඩ කරන්න එපා ” – සරත් වීරසේකරට දෝස්මුරයක්

(16.01.2021 – am.lk)

මහරගම පමුණුව පදික වෙළඳුන් තමන් ව්‍යාපාරික කටයුතු කරනු ලබන නගර සභා බුමියෙන් ඉවත් කිරීම නිසා ඇතිවූ නොසන්සුන් කාරී තත්වය තවමත් පහව ගොස් නැහැ. ඔවුන් මුහුණදී සිටින අසීරු තත්වය සැලකිල්ලට ගණිමින් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා බාධා නොකරන ලෙස මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කරන ලද යෝජනාවක් සම්මත කර තිබියදී මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර කැරළි මර්දන පොලිස් බලකායක් යෙදවීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කිරීම ඊයේ (15) දිනයේත් දක්නට ලැබුනා.

ඊයේ (15) පෙරවරුවේ මේ සම්බන්ධයෙන් පදික වෙළඳුන් ඇතුළු විශාල පිරිසක් සරත් වීරසේකර ඇමතිවරයාට බරපතල චෝදනා එල්ලකරමින් විරෝධතාවයක නියැලී සිටියහ. එහිදී ඔවුන්ගේ පොදු විරෝධය එල්ල වී තිබුනේ එම ඇමතිවරයාට ආධාර කළ එක් අයෙකු වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ලබාදී එම වරප්‍රසාද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැරළි මර්දන පොලීසිය යොදවා ඇති බවය.

අම්පාර දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණ ඡන්දය ලබාගෙන මහජන ආරක්ෂක ඇමති වූ පසු තම සාධාරණ ඉල්ලීම් නොතකා කැරළි මර්දන පොලිසිය යෙදවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධව මෙම විරෝධය දැක්වූහ.

දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී, කොවිඩ් වසංගත තත්වය සලකා මෙම පදික වෙළඳුන්ට සහනයක් ලබාදීමට කළ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම නොතකා හැර මහජන ආරක්ෂක ඇමතිවරයා ඔහුගේ බලතල ක්‍රියාත්මක කර තිබේ.

***************************************

Siwhela TV : පිළිකා රෝගයෙන් මිනිසුන් බේරා ගන්නා හෙළ ඉසිවරයාණෝ (15.01.2021)

***************************************

(17.01.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පතිවරයාගේ ඥාතීන් හෝ මිතුරන් බවට පවසමින් පොලිස් ස්ථානවල සිදු කෙරෙන විමර්ශණවලට බලපෑම් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම තමාගේ ඥාතීන් හෝ සමීප මිතුරන් බවට පවසමින් ලබාදෙන ඇමතුම්වලට අදාළව ක්‍රියා නොකරන ලෙසට සහ සියලු විමර්ශණ අපක්ෂපාතීව සිදුකරන ලෙසටයි පොලිස්පතරයා දැනුම්දී ඇත්තේ.

ඇතැම් පුද්ගලයන් විසින් මෙලෙස වංචනිකව විමර්ශණ නිලධාරීන් නොමග යවන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

එලෙස යම් දුරකථන ඇමතුමක් ලබාදුන හොත් ඒ පිළිබඳ සොයා බලා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

පොලිස් ස්ථාන හෝ විශේෂ පොලිස් ඒකක මගින් සිදුකරන විමර්ශණ සඳහා බලපෑම් කිරීමට පොලිස්පතිවරයා විසින් කිසිදු ඥාතියෙකුට හෝ මිතුරෙකුට ඉඩ ලබාදී නොමැති බව පොලිස්පතිවරයා ප්‍රකාශකර තිබෙනවා.

එබැවින් එලෙස පොලිස්පතිගේ මිතුරෙකු හෝ ඥාතියෙකු බවට පවසමින් විමර්ශණවලට බලපෑම් සිදුකරන්නේ නම් ඉහළ නිලධාරීන්ට දැනුම්දෙන ලෙසටයි පොලිසිය දැනුවත් කර ඇත්තේ.

***************************************

(17.01.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – වනාතමුල්ල සිරිසඳ උයන නිවාස සංකීර්ණය අසළදී අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් ලද තොරතුරකට අනුව එම නිවාස සංකීර්ණයේ නිවසක සඟවා තිබූ හෙරොයින් තොගයක් සහ මුදල් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (16) මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ පස්වන (5) මහලේ වසා තිබූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසක් සෝදිසි කිරීමේදී එහි අල්මාරියක් තුළ සඟවා තිබූ මෙම හෙරොයින් සහ මුදල් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මෙම කාන්තාව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහායිකාවක් ලෙසට කටයුතු කර ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සැකකාරියට මෙම මත්ද්‍රව්‍ය තොගය ලැබුනු ආකාරය සහ ලබාදුන් පුද්ගලයා පිළිබඳව ද විමර්ශණ ක්‍රියාත්මකයි.

ඇය මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර ගම්පහ – මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 4 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ දෙදෙනා (2) සොයා ගැනීම සඳහා බුද්ධි අංශයේ සහය ලබා ගැනීමට නියමිතයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 8 ක් විමර්ශන ක්‍රියාත්මක බව ගම්පහ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

සැකකරුවන් නුවර මාර්ගය ඔස්සේ පලාගිය බවට තොරතුරු වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පෙරේදා (15) මුහුණු ආවරණය වන ආරක්ෂිත හිස් වැසුම් සහ කළු ජැකට් පැළඳි පුද්ගලයින් දෙදෙනෙකු (2) යතුරුපැදියකින් මෙම මූල්‍ය ආයතනයට පැමිණ ගිනි අවි පෙන්වා සේවකයින් බියවද්දා මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා තිබුණා ෴

***************************************

(17.01.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද කහ කිලෝ 1559 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මහනුවර මඩවල සහ වත්තල මාබෝල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

ඊයේ (16) රාත්‍රී 10:30 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ දෙමටගොඩ බේස්ලයින් පාර ප්‍රදේශයේදීයි.

කහ තොගය, ඒවා ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා දෙමටගොඩ පොලිසියට භාරදී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *