ආයතන තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳ සෙවීමට අද (17) සිට මෙහෙයුම්

ආයතන තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳ සෙවීමට අද (17) සිට මෙහෙයුම්

*********************************************

ආයතන තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳ සෙවීමට අද (17) සිට මෙහෙයුම්

(17.01.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයන් 719 දෙනෙකු ඊයේ (16) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 52,313 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (16) වාර්තාවූවන්ගෙන් 697 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයන් 18 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල ආසාදිතයන් 48,525 ක් දක්වා ඉහළ යනවා.

ඊට අමතරව කුවේට්, රුසියාව, එක්සත් අරාබි එමීර් සහ ඉතියෝපියාවේ සිට පැමිණි හතරදෙනෙකු (4) ද ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 7,311 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 44,746 ක්.

එමෙන්ම ඊයේ (16) වාර්තාවූ කොරෝනා මරණයත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 256 ක් දක්වා ඉහළ ගියා.

ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඊයේ (16) මියගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

ඇය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යැවුණා.

කොවිඩ්-19 සමඟ උග්‍රවූ හෘද රෝගී තත්වයක් මරණයට හේතුවී තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පසුගිය ඔක්තෝම්බර් මස 15 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ආයතන තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳ සෙවීමට පොලිස් පරිසර කොට්ඨාසයේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව අද (17) සිට බස්නාහිර පළාතේ මෙහෙයුම් ආරම්භ කරන බවයි ෴

***************************************

(17.01.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල රට පුරා ගවයින්ට වැළඳෙමින් පවතින වෛරස් රෝගය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ සත්පුද්ගල (7) කමිටුවේ වාර්තාව අනිද්දා (19) රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාට භාරදීමට නියමිතයි.

මෙම කමිටුව හරහා රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය ක්‍ෂණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කෙරෙනු ඇති.

‘කැෆ්රි ෆොක්ස්’ නැමති වෛරස් ගණයට අයත් ගවයන්ට වැළඳෙන සමෙහි ගැටිති රෝගයක් වන මෙහි වාහකයා වන්නේ මැස්සායි.

***************************************

(17.01.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කරන්නේ අදිසි හස්තයක් විසින් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

(17.01.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala)

අකුරණ ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට සිදුවූ කුරුල්ලන් අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු (3) වනජීවී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු හදිසි ඇමතුමකට අනුව අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 3 ක් පරීක්ෂා කිරීමේදී මෙම පක්ෂීන් හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මාල ගිරව් 53 ක් සහ වී කුරුල්ලන් 5 ක් හමුවී තිබෙනවා.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට මෙම පක්ෂීන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝනිගල ප්‍රදේශයෙන් එක් පක්ෂියෙකු රුපියල් 750 කට මිලදී ගෙන රුපියල් 1800 ක මිලකට අලෙවි කර ඇති බවටයි අනාවරණ කරගෙන ඇත්තේ.

අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානවල රඳවා සිටි මෙම පක්ෂීන් වනජීවී නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

මාතලේ රජ්ගම්මන වනජීවී නිලධාරී කාර්යාලයයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ, වන සතුන් කිසිදු වානිජ කටයුත්තකට යොදාගැනීම තහනම් අතර, සැකකරුවන් තුන්දෙනාට (3) රුපියල් 60,000 ක දඩ මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කළ බවයි රජ්ගම්මන වනජීවී කාර්යාල අඩවි ආරක්ෂක පී.එම්.බී. විජේකෝන් මහතා සඳහන් කළේ.

***************************************

(17.01.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගමින් ගමන් ආරම්භ කරන දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ අද (17) අලුයම සිට ධාවනයෙන් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

කෙටි ගමන් සේවා නැවතුම් ස්ථානවල තම බස් රථ නැවැත්වීමට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව පවසමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ ෴

***************************************

(17.01.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය – කළපළුවාව – අග්ගොන මාර්ගයේ ඉදිකිරීමක් සිදුකරන ස්ථානයක් අසළ පිහිටි පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) යටවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඉදිකිරීම සඳහා එක්ව සිටි කම්කරුවන් දෙදෙනෙකු (2) අද (17) උදෑසන මෙම අනතුරට ලක්ව ඇති බවයි.

ඉන් එක් අයෙකු මුදාගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා මුදාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා ෴

රාජගිරිය – කළපළුවාව – අග්ගොන මාර්ගයේ ඉදිකිරීමක් සිදුකරන ස්ථානයක් අසළ පිහිටි පස් කන්දක් කඩවැටීමෙන් යටවී සිටි අනෙක් පුද්ගලයාද මේ වනවිට බේරාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පස් කන්දට යටවී බේරාගත් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවයි.

අද (17) උදෑසන බැම්මක් සකස් කිරීමට යාමේදී මෙම පස් කණ්ඩිය කඩාවැටී තිබූ අතර, ඊට මෙලෙස යටවී තිබුණේ එහි ඉදිකිරීම්වල නිරතව සිටි කම්කරුවන් දෙදෙනෙක් (2) ෴

***************************************

(17.01.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම මත රන්ජන් රාමනායකට සිර දඬුවම් නියම වූ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කළ නොහැකි බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) උදෑසන විකාශය වූ හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.

***************************************

(17.01.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට පෙර මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව සොයාබැලීම සඳහා නව ජනාධිපති කොමිසමක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරි මාස දෙක (2) තුළ මෙම කොමිසම පත් කරනු ඇති බවයි.

අවසන් වරට ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වූ අවස්ථාවේදී යහපාලන රජය එකඟ වූ සම අනුග්‍රාහකත්ව යෝජනාවෙන් ඉවත් වන බව වත්මන් රජය එම කොමිසම වෙත නිල වශයෙන් දැනුම්දෙනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා රජය, ජිනීවා කොමිසම වෙත දැනුම් දුන්නේ නව කොමිසමක් පත් කරමින් මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සොයාබැලීමට කටයුතු කරන බවයි. ඒ අනුව පත් කෙරෙන නව ජනපති කොමිසම මගින් මීට පෙර පත් කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම මෙන්ම දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන්ද යළි අධ්‍යයනය කරනු ඇති.

එමෙන්ම අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමට පත් කළ පරණගම කොමිසමේ වාර්තාවද නව කොමිසම මගින් අධ්‍යයනය කිරීමට නියමිතයි. ඉන් අනතුරුවයි පුළුල් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට සැළසුම් කර ඇත්තේ.

මේ අතර යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට සුදුසු යාන්ත්‍රණයක් පිහිටුවන ලෙස ඉල්ලමින් දෙමළ පක්ෂ ඇතුලු සංවිධාන 11 ක් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යොමුකළ ලිපියේ පිටපත් එහි සාමාජික රටවල තානාපතිවරුන් වෙත යොමුකර තිබෙනවා.

එම ලිපියට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, දෙමළ ජාතික ජනතා පෙරමුණු නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් ඇතුලු පිරිසක් අත්සන් තබා තිබෙනවා.

එමඟින් සඳහන් කර ඇත්තේ වගවීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ ස්වයං යාන්ත්‍රණ ක්‍රියාවලිය අසාර්ථක බවයි.

ඒ සඳහා ස්වාධීන විමර්ශන යාන්ත්‍රනයකට සමාන යාන්ත්‍රණයක් ස්ථිර කාලරාමුවකට යටත්ව පිහිටුවන ලෙසද අදාළ ලිපිය මගින් ඉල්ලා තිබුණා ෴

@@@@@@@@@@@@@@@@@@@@

(17.01.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා බවින් නිදහස් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙනවා.

මේ අතර ගාල්ල – හබරාදූව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාටද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඔහුගේ පවුලේ සහ තවත් ආශ්‍රිතයන් පස්දෙනෙකු (5) ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(17.01.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් අද (17) සිට විවෘත කෙරෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා කියා සිටියේ මෙහිදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගනිමින් කොරෝනා මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බවයි.

ඊට සමගාමීව කතෝලික දහම් පාසල්ද අද (17) සිට ආරම්භ කෙරෙන අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ පාසල් ආරම්භ කිරීමේදී අනුගමනය කළ ක්‍රියාවලියම දහම් පාසල් පැවැත්වීමේදීද අනුගමනය කිරීමට සිසු දරු දැරියන් හා සියලු පාර්ශව කටයුතු කළ යුතු බවයි ෴

++++++++++++++++++++

(17.01.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී එහි තිබී කොරෝනා වෛරසය හමුවී ඇති අතර, ඒ හරහා මිනිසුන්ටද වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊසානදිග චීනයේ පිහිටි ටියැංජින් නගරයේ නිපදවන ලද අයිස්ක්‍රීම් සාම්පල තුනක් ඇසුරෙන් කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයේදී ඒ මත වෛරසය රැඳී තිබෙන බවට තහවුරු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම කර්මාන්තශාලාවේ සකස් කරන ලද අයිස්ක්‍රීම් පෙට්ටි 4,836 ක් වෛරසයට නිරාවරණය වී ඇති අතර, ඉන් ඇසුරුම් 2,086 ක් මේ වනවිට ගබඩාවල පවතිනවා.

අයිස්ක්‍රීම් ඇසුරුම් 1,812 ක් වෙනත් පළාත්වලට යවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ ෴

+++++++++++++++++++++

(17.01.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු අද (17) අලුයම දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත මෙම පිරිස පැමිණීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර නිරෝධායනය සඳහා යොමුකළ බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++++++++

(17.01.2021 – 10:38 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිදු කළ මෙහෙයුම්වලින් මුහුණු ආවරණ නොමැති සහ දුරස්ථ භාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා අදාළ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2578 ක් පමණ වන බවයි.

එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර මේවන විට කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ සහ දිවයිනේ විවිධ ග්‍රාම සේවා වසම් වීදි සහ මහල් නිවාස කිහිපයක හුදෙකලා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

එම ජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතව කටයුතු කරන ලෙසට.

එසේ කටයුතු නොකළ හොත් තවදුරටත් ආසාදිතයන් වාර්තාවීම හමුවේ හුදෙකලා කිරීම් නියෝග ඉවත් කිරීම කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

හුදෙකලා බව ඉවත් කළ ප්‍රදේශවල ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන නීතින්වලට අනුගතව කටයුතු කරන ලෙසටයි.

දීර්ඝ කාලයක් හුදෙකලා කිරීමෙන් අනතුරුව හුදෙකලා බවින් නිදහස්ව ඇති කොළඹ මධ්‍යම සහ කොළඹ උතුර සහ ප්‍රදේශවල ජනතාව ද විශේෂයෙන් මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු වනවා.

එසේ නොකල හොත් නැවතත් හුදෙකලා කිරීමට සිදුවීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ. මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වන අතර කණ්ඩායම් ලෙසට එක්රැස්වී කරන ක්‍රියාකාරකම්වලින් ද වැලකිය යුතුයි.

මේ අතර යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ විදෙස් ශ්‍රමිකයන් රැගෙන ඒම විධිමත් කරමින් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි.

සෑම දිනකම 500 ත් 700 ත් අතර ප්‍රමාණයක් රැගෙන එන අතර ඔවුන් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකරන බව ද ඔහු කියාසිටියා.

මේ දක්වා හැත්තෑ තුන්දහසකට (73,000) ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් මේ දක්වා දිවයිනට ගෙන්වාගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේ.

++++++++++++++++++++++

(17.01.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම්ට හෝ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිසිවෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.

ස්වේච්ඡා පළාත් නියෝජිතයින් ද පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ.

ඒ අනුව අමාත්‍ය කාර්ය මණ්ඩලයේ වැඩකටයුතු සෞඛ්‍ය උපදෙස් මත ආරම්භ කිරීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා ෴

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊයේ (16) සහ පෙරේදා (15) සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *