දෙවනගල පුදබිමේ තවත් පුරාවිද්‍යා හානියක්

දෙවනගල පුදබිමේ තවත් පුරාවිද්‍යා හානියක්

*********************************************

දෙවනගල පුදබිමේ තවත් පුරාවිද්‍යා හානියක්

(17.01.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදබිම ආශ්‍රිතව තවත් ඉපැරණි භූමියක් කිසියම් පිරිසක් විසින් අද (17) උදෑසන ඩෝසර් කර තිබෙනවා.

ඒ දෙවනගල පුදබිම ආශ්‍රිත පුරාවිද්‍යා මැනුම් කටයුතු වල දෙවන (2) අදියර ආරම්භ වීමට නියමිත පසුබිමකයි.

කෙසේ වෙතත් ඩෝසර් කිරීම පිළිබඳව කරුණු සැලවීමත් සමඟ දෙවනගල පුදබිමේ භාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එහෙත් පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් අදාළ පිරිස ඩෝසරය ද රැගෙන පලාගොස් තිබූ බවයි දෙවනගල පුදබිමේ භාරකාර හිමියන් ප්‍රකාශ කළේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සෑම පුරා වස්තුවක්ම රැකගැනීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

ගල්කිරියාගම, මහඋරුලෑව ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් ඩෝසර් කිරීමේ සිද්ධියක් ගැන නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ඔහු මේ අදහස් පළ කළා.

මේ අතර මාවනැල්ල – ඓතිහාසික දෙවනගල පුදබිම ආශ්‍රිත තවත් ඉපැරණි ස්ථානයක් කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර තිබෙනවා.

***************************************

(17.01.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිළ සංචාරයක් සඳහා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතයි.

විදේශ අමාත්‍යාංශය සදහන් කළේ දිවයින පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දින 5 ක කාලයක් මෙරට රැදී සිටින බවයි.

2016 වසරේ එවකට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වූ නවාස් ෂරීෆ්ගෙන් පසු පාකිස්තාන නායකයෙකු ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණෙන පළමු අවස්ථාව මෙය බව සදහන්.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු අද (17) අලුයම දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත මෙම පිරිස පැමිණීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර නිරෝධායනය සඳහා යොමුකළ බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(17.01.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – පෝද්දල – කලේගාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25 යි මිලි ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි මෙම සැකකරු මාර්ගයේ ගමන්ගන්නා අවස්ථාවකදී ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ පෝද්දල පොලිසිය විසින්.

ඔහු මීට පෙර ද හෙරොයින් ලඟ තබා ගැනීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි අයෙකු වන අතර, පසුගිය දෙසැම්බර් 6 වැනිදා ඔහු නිදහස ලබා පැමිණ සිටියේ රැඳවියන්ට ලබාදුන් පොදු සමාව යටතේයි ෴

***************************************

(17.01.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

තිරප්පනේ පහළඅඹතලේ වීරමූකලාන රක්ෂිතය විනාශ කරමින් කලක් තිස්සේ බලහත්කාරයෙන් සිදුකරන බව කියන ඉඩම් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන් පිරිසක් තවත් ප්‍රදේශවාසීන් පිරිසකට චෝදනා එල්ල කරනවා.

එහි අක්කර 10 ක පමණ ප්‍රදේශයක් කිසියම් පිරිසක් විසින් හෙළි කර ඇති බවට ප්‍රදේශවාසීන් පිරිසක් චෝදනා කරනවා.

***************************************

(17.01.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

පුස්සතොට, කටුපිලලන්ද, නිල්මිනිගම, කල්අමුණ මාවත හා ගඟබඩ මාවත යන ගම්වල පදිංචි විශාල පිරිසක් තම ප්‍රධාන ජීවනෝපාය වන ගොවිතැන් කටයුතු සඳහා ජලය සපයාගන්නේ 90 දශකයේදී ඉදිකරන ලද ගොඩකවෙල ‘පුස්සතොට කෝන්කටුව’ වැවෙන්.

කෙසේ වෙතත් වැවෙහි පිටවාන මෙම වැව ඉදිකළ කෝන්කටුව ඔයට යළි හරවා නොදමා පුස්සතොට ගම්මානය මැදින් රැගෙන ගොස් කුඩා ඔය ගඟට එකතු කිරීමෙන් පුස්සතොට ග්‍රාමයේ වැසියන් විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා.

වසරක් පාසා අධික වර්ෂාව ඇදහැලෙන කාලයට පිටවාන උතුරා පිටාර ගැලීම හේතුවෙන් තම වගා බිම් සියල්ල විනාශවන බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.

මෙවරද අධික වර්ෂාව හේතුවෙන් කෝන්කටුව වැව උතුරා වාන් දැමීමෙන් ගෝවීන්ගේ වගාවන් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර විදුලියද විසන්ධි වී තිබෙනවා.

ගම්වැසියන් චෝදනා කරන්නේ මෙම ගැටලුව සඳහා පුස්සතොට ගමට පාලමක් සාදා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද මෙතෙක් එය ඉටු වී නොමැති බවයි.

දුක් මහන්සි වී වගා කරන අස්වැන්න තවදුරටත් විනාශවන්නට ඉඩ නොදී පුස්සතොට ග්‍රාමයේ වැසියන්ගේ ගැටලුවට බලධාරීන්ගේ නෙත ගැටෙන තුරු රතු මිනිත්තුව අවධානයෙන්.

***************************************

(17.01.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

පොරොන්දු වූ පරිදි දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරු වැටුප් අයිතිය සඳහා වන ව්‍යාපාරය හැටන් නගරයේ මල්ලිඅප්පුව මංසන්ධියේ දී අද (17) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

පසුගියදා වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කොළඹ පැවති සාකච්ඡාවේදී අවසන් එකගතාවකට පැමිණ නොමැති බවයි උද්ඝෝෂණයේ නිරත පිරිස් පෙන්වා දෙන්නේ ෴

***************************************

(17.01.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

වෙඩි වැදීමෙන් තුවල ලබා ගිරිතලේ, සුදුකන්ද ප්‍රදේශයේ වගා බිමක වැටී සිටින වන අලියෙකුට ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු වන ජීවී නිලධාරින් ප්‍රතිකාර කිරීම අද (17) ආරම්භ කළ බව අප වාර්තාකරු පැවසුවා.

වයස අවුරුදු 10 ක් පමණ වන මෙම වන අලියාගේ හිසට වෙඩි පහරක් එල්ල වී ඇති අතර වෛද්‍යවරු පවසන්නේ වෙඩි පහරින් සත්වයාගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවෙමින් පවතින බවයි ෴

***************************************

(17.01.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා.

එම ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්‍යාල වලට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අද (17) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ලබන මාර්තු මාසයේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි.

ජුනි මාසය වනවිට එම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා ෴

***************************************

(17.01.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

සමාජ ජාල මාධ්‍ය මඟින් සංවිධානය වී හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත් වූ සාදයක් අද (17) පස්වරුවේ වටලා තරුණ තරුණියන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 13 දෙනෙක් සහ තරුණයින් 39 දෙනෙකු සිටින බවයි මැදිරිගිරිය පොලිසිය පැවසුවේ.

ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා සහ උපත් පාලන කොපු සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස් අත්අඩංගුවට ගත් 52 දෙදෙනා අතරින් 49 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර කේරල ගංජා සන්තකයේ තබාගත් තිදෙනෙකු (3) තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

මොවුන් ලබන 19 වනදා හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@@@@@@@@

(17.01.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊයේ (16) සහ පෙරේදා (15) සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මේ වන විට පාලනය වී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

ඊයේ (16) මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 719 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 182 නෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (16) ආසාදිතයින් 152 නෙකු වාර්තා වී තිබෙනවා.

මහනුවරින් 75 දෙනෙකු, කළුතරින් 43 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් 37 දෙනෙකු, පුත්තලමෙන් 22 නෙකු සහ ගාල්ලෙන් 20 දෙනෙකු ලෙස ඊයේ (16) ආසාදිතයින් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, මීගමුව විවිධ සේවා සමූපකාරයේ ප්‍රධාන කාර්යාලයේ තවත් සේවකයින් 38 දෙනෙකුට ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර එම කාර්යාලයෙන් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුව තවත් සේවකයන් 140 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම නව පිරිස හඳුනාගෙන ඇති බවයි මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සඳහන් කළේ.

ගාල්ල – නෙළුව ප්‍රදේශයේ මීට පෙර හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100 කින් 13 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (17) හඳුනා ගැනුණා.

ගාල්ල – හබරාදූව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාටද කොරෝනා ආසාදනය වී ඇති අතර, ඔහුගේ පවුලේ සහ තවත් ආශ්‍රිතයන් පස්දෙනෙකු (5) ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ඊයේ (16) දිනය වන විට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1667 දක්වා වැඩි වී ඇති බව දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කළා.

මේ දක්වා දකුණු පළාත තුළ කොරෝනා මරණ 6 ක් සිදුව ඇති අතර ඉන් 4 දෙනෙකුම ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.

මේ අතර, ඉඳුරුව – තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර ග්‍රාම නිලධාරී වසම් අද (17) පෙරවරුවේ සිට හුදකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

එමෙන්ම මඩකලපුව – අරසඩි – 177 ග්‍රාම නිලධාරී වසමට මේ වන විට සංචරණ සීමා පනවා තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 5 දෙනෙකු අලුතෙන් හඳුනා ගැනීමත් සමඟයි.

මේ අතර, බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල බෞද්ධ හා කතෝලික දහම් පාසල් අද (17) සිට යළි විවෘත කළා.

ඒ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි. කෙසේ වෙතත්, අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ දහම් පාසල් රැසක සිසු සිසුවියන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බවයි.

++++++++++++++++++++

(17.01.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා ප්‍රදේශ ලෙසට නම්කර තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම සහ බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කෙරෙන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම්දෙන්නේ.

මීට අමතරව මාතලේ පොලිස් වසමේ වරකාමුර ග්‍රාම නිලධාරී වසම, (356) මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356B) සහ දෙහිගහපිටිය ග්‍රාම නිලධාරී වසමේ (356A) මාත්තාව ගම්මානය ද හුදෙකලා කෙරෙනු ඇති ෴

++++++++++++++++++++

(17.01.2021 – 15:04 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා බවෙන් නිදහස් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව දැනුම් දෙනවා.

කළුතර සහ බේරුවල පොලිස් වසම්වල හුදෙකලා කර තිබූ ග්‍රාම නිළධාරී වසම් කිහිපයක් මෙලෙස හුදෙකලා බවින් නිදහස් කෙරෙනවා.

මේ අතර මිනුවන්ගොඩ සහ මාතලේ ප්‍රදේශ කිහිපයක් අද (17) පස්වරුවේ හුදෙකලා කෙරුණා.

මිනුවන්ගොඩ නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම සහ බටහිර ගල්ඔලුව යන ග්‍රාම නිළධාරී වසම මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මීට අමතරව මාතලේ පොලිස් වසමේ වරකාමුර, මීදෙනිය සහ දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාත්තාව ගම්මානය මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

හුදෙකලා බවෙන් නිදහස් කරන ප්‍රදේශ :

+++++++++++++++++++

(17.01.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 425 දෙනෙකු සුවය ලබා අද (17) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 45,000 සීමාව ඉක්මවා ගියා.

සමස්ත ආසාදිතයින් 45,171 දෙනෙකු මේවනවිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6,886 ක් ෴

++++++++++++++++++++++

(17.01.2021 – 16:25 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකු අද (17) පස්වරුවේ එම ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ සිට කොවිඩ් වෛයිරසය ආසාදනය වී පසුගිය 07 වනදා ප්‍රතිකාර සඳහා එම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර සිටි රැඳවියෙකුයි මෙලෙස පලාගොස් ඇත්තේ.

වැලිකන්ද පොලිසිය පැවසුවේ පැනගිය ආසාදිතයා අසල වෙල්යායක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන සෞඛ්‍යාරක්ෂිතව නැවත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බවයි ෴

+++++++++++++++++++

(17.01.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් පස්දෙනෙකු ඇතුළු 09 දෙනෙකු කොරෝනා ආසාදිත බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

එහි සන්නිවේදන අංශය නිවේදනය කළේ ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු සහ පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂිත කලාපයේ ආරක්ෂක කටයුතුවලට අනුයුක්ත තුන්දෙනෙකුද මෙම ආසාදිතයන් අතර වන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට (3) වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ උපදෙස් මත පසුගිය 13 වනදා සහ 15 වනදා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළා.

එහිදී මන්ත්‍රීවරුන් 32 කු, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, අනෙකුත් කාර්යාංශ සහ අනුබද්ධිත කාර්යාංශ සහ ආරක්ෂක අංශවලට අයත් 943 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර තිබුණා.

කෙසේ වෙතත් ඉන් මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාදිත නොවන බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ.

මෙම තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ කිසිදු කාර්යාලයක් මේ වනවිට වසා දමා නොමැති අතර, අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විෂබීජහරණයට ලක් කර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

මේ අතර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී, කොරෝනා ආසාදනය වූ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම්ට හෝ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිසිවෙකුට වෛසරය වැළඳී නොමැති බවට අනාවරණ වී ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව අමාත්‍ය කාර්ය මණ්ඩලයේ වැඩකටයුතු සෞඛ්‍ය උපදෙස් මත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

(17.01.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 321 දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 52,634 ක් දක්වා ඉහළ ගියා.

එසේම ආසාදිතයන් 425 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 45,171 ක් ලෙසයි.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන්නේ නම් ඒ සඳහා ඉදිරියේදී තානාපති කාර්යාලයේ ලියාපදිංචිවීම අවශ්‍ය නොවන බව තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අබුඩාබි හෝ අල්අයින් කාර්යාල හා සම්බන්ධ වී ගුවන් ටිකට් පත් වෙන්කරවා ගැනීමෙන් යළි මව් රට බලා පිටත්වීමට හැකියාව පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ෴

කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ දේහය ආදාහනය කිරීමට මියගිය පුද්ගලයාගේ ඥාතීන් විරෝධය පළ කිරීමේ සිද්ධියක් වාර්තාවනවා.

දඹදෙණිය – මුම්මාන – ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි අදාළ පුද්ගලයා පෙරේදා රෝහල් ගත කර තිබුණේ හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්වයක් හේතුවෙන්.

කෙසේ වෙතත් රෝහල් ගත කිරීමේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ඊයේ (16) ලැබී ඇති අතර, එදින පෙරවරුවේ එම රෝගියා මියගොස් තිබුණා.

එහිදී මියගිය තැනැත්තාගේ ඥාතීන් ගිලන් රථයකින් රෝහලට ගෙන්වා තත්වය පැහැදිළි කිරීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය කටයුතු කළා ෴

++++++++++++++++++++

(17.01.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්ගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් ඇතුලු පස්දෙනෙකු (5) කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම රෝහලේ 36 වන වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනා.

මේ අතර, හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු හෝමාගම රෝහලට රැගෙන ඒමත් සමඟ අද (17) එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, එම රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බැවින් රෝගියා භාර ගැනීම රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි ෴

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේදී අද (17) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී බස් රථයක පැමිණි මගියෙකු ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් එම බස් රථයේ රියදුරු, කොන්දොස්තර ඇතුලු 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

එමෙන්ම උඩුගම සහ ඇල්පිටිය රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) ද වෛරසය ආසාදනය වී ඇති බව අලුතින් තහවුරු වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *