තාප්පයකට යටවූ ජීවිත දෙක ගලවාගත් හමුදා මෙහෙයුම

තාප්පයකට යටවූ ජීවිත දෙක ගලවාගත් හමුදා මෙහෙයුම

*********************************************

තාප්පයකට යටවූ ජීවිත දෙක ගලවාගත් හමුදා මෙහෙයුම

(17.01.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

තලංගම ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකු (2) අද (17) පෙරවරුවේ පස් කන්දකට යටවීමෙන් අනතුරට ලක්වුණා.

ඔවුන් දෙදෙනා (2) බේරාගැනීමට සමත්වුණේ යුද හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.

තලංගම – අංගොඩ මාර්ගයේ හීනටිකුඹුර හන්දිය අසළ නිවසක තාප්පයක් ඉදිකරමින් සිටි දෙදෙනෙකු (2) මෙම අනතුරට මුහුණ දුන්නේ අද (17) පෙරවරු 9 ට පමණ.

එහිදී අඩි 20 ක් පමණ උසැති පස් කන්දක් පෙරළීමෙන් ඔවුන් දෙදෙනා (2) ඊට යටවී තිබුණා.

පසුව යුද හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා (2) මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා.

සුවසැරිය ගිලන් රථ සේවකයන්ද කඩිනමින් එම ස්ථානයට ලගා වූ අතර මුදාගැනීමේ මෙහෙයුම සිදුවන අතරවාරයේ පස් කන්ද තුළට ඔක්සිජන් සැපයීමටද කටයුතු කළා.

අනතුරුව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පස් ඉවත්කර ඊට යටවූ පුද්ගලයන් දෙදෙනා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මුදාගැනීමෙන් පසු රෝහල්ගත කෙරුණා.

***************************************

(17.01.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ තවත් පුවතක් දංකොටුව – මැදගෝනවිල – නැදුන්වැටිය ප්‍රදේශයෙන් වාර්තාවනවා.

තම ස්වාමියා සමඟ ඊයේ (16) උදෑසන මාර්ගයේ ගමන් කරමින් සිටියදී එම පුද්ගලයාගේ අසල්වැසියෙකු විසින් මෙම සත්ත්වයාට වෙඩි තැබීම සිදුකර ඇති බවටයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත්, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අද (17) උදෑසන දංකොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් පවත්වාගෙන යන ගොවිපළේ සිටින ඌරන්ට සුනඛයින්ගෙන් පීඩා එල්ල වන නිසා මෙම වෙඩි තැබීම සිදුකළ බවයි.

පසුගිය 14 වන දා ද ගල්කිරියාගම – දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසක කූඩුවක සිටි සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කර තිබූ අතර පසුව හෙළි වුණේ මෙම සුනඛයා දරුවෙකු සපා කෑම හේතුවෙන් මෙලෙස ඝාතනය කර ඇති බවයි ෴

***************************************

(17.01.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

අයථා අන්දමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම මේ දිනවල සිදුකරන බවට ගුරු සංගම් චෝදනා කරනවා.

කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා කියා සිටියේ මෙලෙස සිසුන් ඇතුළත් කිරීම ශිෂ්‍යත්ව කඩ ඉම් ලකුණු ඉහළ යාමට ද හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ දේශපාලන සාධක මත මේ වසරේ ළමුන් පාසල් සදහා ඇතුළත් කර නොමැති බවයි.

එමෙන්ම ජනප්‍රිය පාසල් වලට සිසුන් තෝරා ගැනීමට නිශ්චිත ලකුණු මට්ටමක් තීරණය කිරීම සදහා පදනම් කරගෙන ඇති නිර්ණායක සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකරන බව කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, පසුගිය දා නිකුත් කළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෴

***************************************

(17.01.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

විදේශගතව සිටින තම බිරිඳ මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් පැය 24 ක කාලයක් ගම්පහ – උඩුගම්පොළ ප්‍රදේශයේ අඩි 200 ක් පමණ උසැති දුරකථන සන්නිවේදන කුළුණක නැගී පුද්ගලයෙකු ආරම්භ කළ උපවාසය අද (17) දහවල් අවසන් කෙරුණා.

මීගමුව – පිටිපන ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා සඳහන් කළේ ජෝර්දානයේ රැකියාවේ නිරත තම බිරිඳ දැනට මාස 09 ක සිට එරට සිරකදවුරක රදවා සිටින බවයි.

කෙසේ වෙතත්, උපවාසයේ නිරත වූ ඔහු ප්‍රදේශවාසීන්, පොලීසිය සහ මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීම මත සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට මෙම ගැටළුව සම්බන්ධයෙන් දැනුම් දෙන බවට ලබාදුන් පොරොන්දුව මත එය අත්හරිනු ලැබූ බවයි අප වාර්තාකරු කියා සිටියේ ෴

***************************************

(17.01.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අද (17) මෙලෙස අදහස් පළ කළා.

***************************************

(17.01.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වසර 04 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් හිමිවීම සම්බන්ධයෙන් සහ පසුගිය ආණ්ඩු සමයේ අධිකරණයට සිදු කෙරුණු බලපෑම් පිළිබඳව දේශපාලන වේදිකාවේ අදත් (17) විවිධ අදහස් පළ වුණා.

***************************************

(18.01.2021 – 07:04 +0530 – sinhala.adaderana.lk)

බූස්ස සතොස ගබඩාවේ කළමණාකරුගේ වැඩතහනම් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියමකර තිබේ.

අමාත්‍යවරයා ඊයේ (17) පස්වරුවේ බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ නීරික්ෂණ චාරිකාවකට එක් ව ඇත.

එහිදී වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 30 ක් පමණ අඩුවෙන් සතොස අලෙවිසැල් සඳහා අලෙවියට නියම කර ඇති දේශිය තේ පැකට් තොගයක් අලෙවි සැල් සඳහා බෙදා නොහැර රෙදි සෝදන සබන් අතර සඟවා තිබියදී සොයාගත් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

එමඟින් පාරිභෝගිකයන්ට ලබාදුන් සහන ලබා නොදී කඩාකප්පල් ක්‍රියාවක් සිදුකර ඇති බව අමාත්‍යවරයා පවසයි.

ඒ හේතුවෙන් බූස්ස සතොස ගබඩාවේ කළමනාකරුගේ වැඩතහනම් කර මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර තිබේ.

එමෙන්ම එහිදී වරදකරුවන් වන සියලු දෙනාට තරතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදුන් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර, පෙබරවාරි මස 01 වනදා සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 කට අධික සංඛ්‍යාවකට ස්ථාවර මිලක් පැනවීමට කටයුතු කරන බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරයි.

එය මාස 06 ක් සඳහා වංලගු වන බව අමාත්‍යවරයා පැවසීය.

බදු පැනවීමක් හෝ විදේශ විනිමයේ වෙනස් සිදුනොවුනහොත් එම මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය ෴

***************************************

සිංහරාජයේ වන විනාශයක් – ‘අද දෙරණ උකුස්සා’ හෙළිකරයි

(17.01.2021 – 19:34 +0530 – sinhala.adaderana.lk)

අලි මිනිස් ගැටුමට මග පාදන සිංහරාජයේ මහා පරිසර විනාශයක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණය විය.

ජෛව විවිධත්වයෙන් අනූන සිංහරාජ වැසි වානාන්තරයට අයත් රක්වාන බෝවිටියා තැන්න ප්‍රදේශයේ පරිසරය විනාශ කරමින් සිදුකළ ව්‍යාපෘතියක් මීට පෙර නවතා දැමුණේ ‘උකුස්සා’ සිදුකළ අනාවරණයෙන් පසුවය.

යළි එවැනි අනතුරක් මේ ප්‍රදේශය වෙලාගනිමින් සිටින බවට ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු වාර්තා විය.

එහි ගිය අපට දැකගත හැකිවූයේ සිංහරාජයේ සිටින අලි දෙදෙනා (2) ගමන් ගන්නා අලිමංකඩ හරහා කම්බ් වැටක් ඉදිකර ඇති අයුරු ය.

එමෙන්ම ජල පෝෂක ඇළමාර්ග අවහිර කරමින් එහි සංවර්ධන කටයුතු සිදුකර තිබේ.

සංවර්ධනයට මුවා වූ ව්‍යාපෘතියේ හිමිකරුවා මෙම වැසි වනාන්තරයේ ඇති වටිනා ගස් වැල් බිම හෙළා තිබුණේ පරිසරයේ වටිනාකම පිළිබඳව කිසිදු තැකීමක් නොකරමිනි.

අලි මිනිස් ගැටුමට මගපාදන මහා පරිසර විනාශය වැළැක්වීමට බලධාරීන් කටයුතු කරන්නේ ද ?

‘අද දෙරණ උකුස්සා’ අවධානයෙනි.

https://www.youtube.com/watch?v=0RPpatydW7Y#t=6

***************************************

භාණ්ඩ හුවමාරු ක්‍රමයට මත්කුඩු බෙදාහැරි අයෙක් අත්අඩංගුවට

(17.01.2021 – 17:12 +0530 – sinhala.adaderana.lk)

භාණ්ඩ හුවමාරු ක්‍රමයට මත්කුඩු බෙදාහැරි පුද්ගලයෙකු රාජාංගනය යාය 18 ප්‍රදේයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රාජාංගනය පොලීසියට ලද තොරතුරකට අනුව ය.

පොලීසිය පැවසුවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 200 ක්ද සොයාගත් බවය.

සැකකරගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට සැකකරු එක් එක් පුද්ගලයන්ට මත්කුඩු ලබාදී ඇති බවය.

හෙරොයින් ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් ඔහුට ලබාදුන් අත්ඔරලෝසු 06 ක් සහ ජංගම දුරකථන 20 ක්ද පොලිස්භාරයට ගෙන තිබේ.

28 හැවිරිදි වියේ පසුවන සැකකරු මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකි.

***************************************

වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් දඩයම් කිරීම සඳහා ආණ්ඩුවේ සැලැස්මක්?

(18.01.2021 – 07:05 +0530 – lankaleadnews.com)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ සිදුකර; කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගැනීමේ සටනේ නිරත වන වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් දඩයම් කිරීම සඳහා ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමටත්, ඉන්පසු වරාය අධිකාරියෙන් ඉවත් කිරීමටත් වන සැලැස්මක් මේ වනවිට දියත් වෙමින් පවතින බවත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම වරාය ඇතුළු අනිකුත් වෘත්තිය සමිතිවල අරගලය නැගෙනහිර පර්යන්තය විකිණීමෙන් එළියට ගෙන ගොස් වෙනත් දිශාවන් ඔස්සේ ගමන් කරවීමද එම වැඩපිළිවෙළේ කොටසක් බවට පත්ව ඇති අතර එමගින් අනෙකුත් වරාය සේවකයන් බියවද්දා වෘත්තිය සමිති අරගලය කඩාකප්පල් කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් ප්‍රකාශ වේ.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව වරාය වෘත්තීය සමිති විසිතුනක් (23), නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ අරගලයට මේ වනවිට උරදී සිටී ෴

@@@@@@@@@@@@@@@@@@@@

(17.01.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

අද (17) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 428 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව අද (17) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 749 ක් ෴

++++++++++++++++++++++

(17.01.2021 – 21:13 +0530 – hirunews.lk/sinhala)

අද (17) දිනය තුල කොවිඩ්-19 ආසාදිත මරණ 08 ක් වාර්තා වනවා.

මෙම මරණ 08 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ 264 ක් දක්වා ඉහළ ගියා.

අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 08 පිළිබඳ විස්තර පහතින් :

+++++++++++

++++++++++++++++++++++

(18.01.2021 – 06:34 +0530 – hirunews.lk/sinhala)

අද (18) දිනයේ සිට දුරගමන් දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පසුගිය සති අන්තයේ නිවේදනය කළා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුවේ සිට මහනුවර සහ බදුල්ල දක්වා දුම්රිය ධාවනය සිදුකෙරෙනු ඇති.

උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වාද, මඩකලපුව මාර්ගයේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ද ධාවනය සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම, මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා ද, දුරගමන් දුම්රිය සේවා ආරම්භ කෙරෙනවා.

මෙලෙස දුරගමන් දුම්රිය සේවා ආරම්භ වන්නේ පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතය හමුවේ රට හුදකලා කිරීමෙන් පසුව වීම විශේෂත්වයක්.

++++++++++++++++++++

(18.01.2021 – 06:47 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ පස්දෙනෙකුට (5) කොවිඩ් වෛයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනෙකුට (4) සහ පරිපාලන අංශයේ එක් සාමාජිකයෙකුට මෙලෙස කොවිඩ් වෛයිරසය ආසාදනය වී ඇති බවයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *