කොළඹ කොරෝනා ආසාදිතයින් 20,000 ඉක්මවයි – සමස්ත රෝගීන් 53,000 පනී

කොළඹ කොරෝනා ආසාදිතයින් 20,000 ඉක්මවයි – සමස්ත රෝගීන් 53,000 පනී

*********************************************

කොළඹ කොරෝනා ආසාදිතයින් 20,000 ඉක්මවයි – සමස්ත රෝගීන් 53,000 පනී

(18.01.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 08 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගියා.

මියගිය අය අතර අවුරුදු 27 ක තරුණයෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි මොහු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී පසුගිය 15 වන දා මියගොස් ඇති අතර කොරෝනාත් සමඟ ඇතිවූ පෙනහළු ආසාදනයක් මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ පෞද්ගලික රෝහලක සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනය වෙත මාරු කර යැවීමෙන් අනතුරුව ඊයේ (17) මියගියා.

මරණයට හේතුව ලෙස ලේ විෂවීම සහ බහු ඉන්ද්‍රීය අක්‍රිය වීම සමඟ ඇති වූ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය දක්වා තිබෙනවා.

උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේදී ඊයේ (17) මියගොස් තිබෙනවා.

අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මොහු මෙලෙස මාරු කර යවා ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ශ්වසන පද්ධතියේ උග්‍ර ආසාදනය, කොවිඩ් නිව්මෝනියාව සහ හෘද රෝගී තත්ත්වයක්.

එමෙන්ම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු ජාතික බෝ වන රෝග විද්‍යා ආයතනයේදී ඊයේ (17) ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොරෝනා ආසාදනයක් සමඟ ඇති වූ උග්‍ර අක්මා ආසාදනය සහ ලේ විෂවීමයි.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේදී පෙරේදා ජීවිතක්ෂයට පත්වූයේ කොරෝනා ආසාදනයත් සමඟ ඇති වූ බ්‍රොන්කයිටීස් තත්ත්වය සහ හෘද රෝගී තත්ත්වයකින්.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි අයෙකුද පෙරේදා හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්වී ඇති අතර, මරණයට හේතුව ලෙස කොවිඩ් නිව්මෝනියාව සහ හෘද රෝගි තත්ත්වයක් දැක්වෙනවා.

ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගැනීමෙන් පසු මුල්ලේරියාව රෝහලට මාරු කර යවා ඇති මොහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ පසුගිය 14 වනදායි.

කොවිඩ් නිව්මෝනියාව සහ අධි රුධිර පීඩනය මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

එමෙන්ම, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් පසුගිය 13 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, ඊයේ (17) තවත් කොරෝනා ආසාදිතයින් 763 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව 53,076 දක්වා ඉහළ ගියා.

පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 747 දෙනෙකු සහ බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් දෙදෙනෙකු (2) මෙන්ම ලෙබනනයේ සිට පැමිණි 11 දෙනෙකු සහ ඊශ්‍රායලයේ සිට පැමිණි 3 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස තහවුරු කරගෙන තිබෙනවා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 20,439 දෙනෙකු වාර්තා වනවා.

වසංගත රෝග විද්‍ය අංශය සදහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10,853 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 3569 දෙනෙකු වාර්තා වන බවයි ෴

ගතවූ පැය 24 ක කාලය තුළ මුව ආවරණ නොපැළදි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් 27 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාළය තුළ අත්ඩංගුවට ගත් සංඛ්‍යාව 2605 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා ෴

++++++++++++++++++++

(18.01.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

රාගම රෝහලේ හෙදියන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති වට තහවුරු වීමත් සමග එම රෝහලේ එක් වාට්ටුවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායනය නීති අනුගමනය නොකරන වෙළදසැල් සහ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

එසේම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුර ගමන් දුම්රිය සේවා අද (18) සිට ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

(18.01.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වන්නේ දැයි තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව අද (18) පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ දැනට නිකුත් වී ඇති පී.සී.ආර්. ප්‍රතිඵලවලට අනුව පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් සහ කාර්ය මණ්ඩලය අතර කොරෝනා ව්‍යාප්තිය අවම මට්ටමක පවතින බවයි. එය සුබවාදී තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් පස්දෙනෙකු (05) ඇතුළු 09 දෙනෙකු කොරෝනා ආසාදිත බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

එහි සන්නිවේදන අංශය නිවේදනය කළේ ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු සහ පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂිත කලාපයේ ආරක්ෂක කටයුතුවලට අනුයුක්ත තුන්දෙනෙකු (03) ද මෙම ආසාදිතයන් අතර සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු (03) ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ උපදෙස් මත පසුගිය 13 වනදා සහ 15 වනදා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළා.

එහිදී මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකු (32), පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, අනෙකුත් කාර්යාංශ සහ අනුබද්ධිත කාර්යාංශ මෙන්ම ආරක්ෂක අංශවලට අයත් 943 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර තිබුණා.

කෙසේ වෙතත් ඉන් මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාදිත නොවන බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ.

මේ අතර වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ද පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ඔහුට එම වෛරසය වැලදී නොමැති බව තහවුරු වී ඇති බවයි ෴

(18.01.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින 02 ක් පමණක් පැවැත්වීමට අද (18) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙනු ඇති.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අවසන් තීරණයක් ගැනීම සඳහා අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස්වුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ජයන්තිපුර පිවිසුමේ සිට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් තවදුරටත් පුළුල් කිරීමට තීරණය කෙරුණු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කළා.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 09 දෙනෙකු කොරෝනා ආසාදිත බවට ඊයේ (17) වන විට තහවුරු වුණා.

එසේම අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට මේ වන විට කොරෝනා වැළදී තිබෙනවා.

+++++++++++++++++++++

(18.01.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

අද (18) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් 183 දෙනෙකු ගුවන් යානා 6 කින් දිවයිනට පැමිණ තිබෙනවා.

එලෙස කටුනායකින් මෙරටට පැමිණි පිරිස අතර සෞදි අරාබියේ සිට 75 දෙනෙකු, සිංගප්පූරුවේ සිට 67 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට 28 දෙනෙකු ද සිටින බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, අදාළ කාලසීමාව තුළ ශ්‍රී ලාංකිකයින් 627 දෙනෙකු ගුවන් යානා 8 කින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් පිටව ගොස් ඇත්තේ මැදපෙරදිග රටවල් වලටයි ෴

අලුත්ගම පොලීසියේ නිලධාරීන් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් 4 දෙනා මේ වන විට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත යොමු කර ඇති බවයි.

එමෙන්ම, අලුත්ගම පොලීසියේ අනෙකුත් නිලධාරීන් අද (18) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණයකට ද ලක් කිරීමට නියමිතව තිබෙනවා ෴

කොරෝනා මර්දන කටයුතුවලදී අනියම් සහ ආදේශක සෞඛ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටළු ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල් 20 ක් ඉදිරිපිට හෙට විරෝධතා පැවැත්වීමට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පියවර ගෙන තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කළේ පානදුර, ඇල්පිටිය මූලික රෝහල් මෙන්ම ගම්පොළ ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි ෴

+++++++++++++++++++

(18.01.2021 – 11:45 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ශ්‍රී දළදා මාලිගාව නිකුත්කළ නිවේදනය පහතින්..

++++++++++++++++++++

(18.01.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

මානසික අවපීඩනය හේතුවෙන් කොවිඩ්-19 මර්දන එන්නත්වල කාර්යක්ෂමතාව අඩු විය හැකි බවට ඉන්දියානු විද්‍යාඥයින් විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නව පර්යේෂණයකින් මෙය ආනාවරණය කරගෙන ඇති අතර මානසික අවපීඩනය, ආතතිය තුළින් එන්නත්වල ප්‍රතිශක්තිකරන ශක්තිය හීනවන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

ඒ අනුව එන්නත් භාවිතයට පෙර පැය 24 ක් තුළ ව්‍යායාම කිරීම සහ සුව නින්දක් ලබාගැනීම සුදුසු බවයි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබෙන්නේ ෴

++++++++++++++++++

(18.01.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

සියළු ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සති දෙකක් (2) තුළ මාර්ගෝපදේශ සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ පාසල් ආරම්භ කළ හැකි වාතාවරණයක් මේ වන විට බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලින් නිරීක්ෂණය වන බවයි ෴

@@@@@@@@@@@@@@@@

(18.01.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

පවතින මිලට වඩා රුපියල් 30 ක් පමණ අඩුවෙන් සතොස හරහා විකිණීම සඳහා නිකුත් කර තිබූ තේ කොළ පැකට් විශාල සංඛ්‍යාවක් බෙදා හැරීම සිදු නොකර බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ රෙදි සෝදන සබන් සමඟ ගබඩා කොට තිබියදී සොයා ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එහි කළමනාකරුගේ වැඩ තහනම් කරන ලෙසයි සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා නියෝග කර ඇත්තේ.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටද ඔහු දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ සතොස සභාපතිවරයා ඊයේ (17) පස්වරුවේ බූස්ස සතොස තොග ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණයකට එක්වූ අතර එහිදී මෙම නියෝගය සිදුකර ඇත්තේ ෴

***************************************

(18.01.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලසීමාව තුළ වාර්තා වී ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවලට හානි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් සිදුකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහි අවසන් වාර්තාවක් සතියක් තුළ සකස් කිරීමටයි එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

මේ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සෑම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන රැකගැනීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ගල්කිරියාගම – පලාගල – මහඋරුලෑව පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (17) එහි ගිය අවස්ථාවේදීයි.

පසුගිය 09 වනදා මෙම පුරාවිද්‍යත්මක ස්මාරක සහිත භූමිය ඩෝසර් කිරීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා ෴

***************************************

(18.01.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

මෝදර ධීවර වරාය බදු දීමේදි රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුලු තුන්දෙනෙකුට (3) කොළඹ මහාධිකරණය හමුවේ අද (18) අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබුවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ මෙම අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව මොවුන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ නම් කර තිබෙනවා.

2014 වසරේ අගෝසතු මස පළමුවනදා (01) සහ එම වසරේ නොවැම්බර් මස පළමුවනදා (01) අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යු.කේ. ප්‍රයිවට් ලිමිටඩ්’ නමැති සමාගම වෙත අඩු මුදලකට බදුදීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධි චෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.

මෙම ක්‍රියාව තුලින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සඳහන් දූෂණය නමැති වරද සිදු කර ඇති බවයි මෙම අධිචෝදනා පත්‍රයේ දැක්වෙන්නේ.

මෙහි සාක්ෂිකරුවන් ලෙස 17 දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛණ 55 ක් ද නම් කර තිබෙනවා.

මේ අතර, මහර බන්ධනාගාර ගැටුමට අදාළ නඩුව අද ගම්පහ අධිකරණයේ විභාගයට ගැනීමට නියමිත අතර, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සහ බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා.

***************************************

(18.01.2021 – 12:04 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීමේ චෝදනාවකට අදාළව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු අද (18) පෙරවරුවේ අනුරාධපුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ 43 හැවිරිදි සැකකරු සතුව තිබී දුරකථන 5 ක් ද සොයාගත් බවයි.

ඒවායේ දත්ත පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීමේ සිද්ධියකට මොහු සම්බන්ධ බවට අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු පිරිසක් අද (18) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා ෴

***************************************

(18.01.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

හඳුනා නොගත් දිලීරයක් පැතිර යාම හේතුවෙන් මඤ්ඤොක්කා වගාව විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව ගොවීන් පවසනවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ බෝහිටිය, පහතඅරාව, ඇතිමලේ, කොටියාගල, කහම්බාන යන ගම්මානවල වැසියන් ප්‍රධාන ජීවනෝපාය ලෙස සිදුකරන්නේ මඤ්ඤොක්කා වගාවයි.

මීට පෙර එම ප්‍රදේශයේ බඩඉරිඟු වගාවට සේනා දළඹු උවදුරෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර ඒ අනුවයි ඔවුන් වැඩි වශයෙන් මඤ්ඤොක්කා වගාවට යොමුව ඇත්තේ.

ඒ අනුව ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගැටළුවලට අවධානය යොමු කර කඩිනම් විසදුම් ලබාදෙන ලෙසයි.

***************************************

(18.01.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටියාගල, ඇතිමලේ ප්‍රධාන මර්ගයේ අලුත්වැඩියා කටයුතු අතරමඟ නවතාදැමීම හේතුවෙන් එය මේ වන විට මඩ වගුරක් බවට පත්ව තිබෙනවා.

ඇතිමලේ 22 කොටස, කරගහඇල්ල, කොටියාගල ආදී ප්‍රදේශවල ජීවත්වන පවුල් 5000 ක පමණ ජනතාව මෙම මාර්ගය භාවිතා කරන අතර පාසල් ළමුන්ද ඇතුළුව දෛනිකව 500 කට වඩා වැඩි පිරිසක් මෙහි ගමන් ගන්නේ දැඩි දුෂ්කරතා මධ්‍යයේයි.

***************************************

(18.01.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

පාසලක් විවෘත කිරීම හිරගෙවල් 10 ක් වසා දැමීමට සමාන බව කියවුණත් විවිධ හේතු මත වැසී යන පාසල් පිළිබඳවත් නිරන්තරයෙන් තොරතුරු වාර්තාවනවා.

හිරු ප්‍රවෘත්ති සිදුකරන මේ අනාවරණය එලෙස වැසී ගිය මහනුවර ප්‍රදේශයේ පාසලක් සම්බන්ධවයි.

***************************************

(18.01.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ධාතුසේන රජතුමා ඉදිකළ බව කියන කලා බළලුවැව ආසන්නයේ පිහිටි රජයේ රක්ෂිතයේ මහා පරිමාණ වන විනාශයක් ක්‍රියාත්මක වන බවට ප්‍රදේශය භාර වනජීවි නිලධාරීන් පවසනවා.

කලා බළලුවැව සහ දික්ඇදියාව ඉස්මත්තේ පිහිටි අලිමංකඩ ද මේ වන විටත් ඩෝසර් කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් අලින්ගේ ගමනාගමනයට ද බාධා වී ඇති අතර, වටිනා ඉපැරණි ශාඛ කපා ඒවා කුට්ටි කර පවතින බවයි වනජීවි නිලධාරීන් සමග එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු කාංචන කුමාර ආරියදාස මහතා සදහන් කළේ.

මෙම රක්ෂිතය හෙළිපෙහෙළි කළ ප්‍රදේශයට ආසන්නව තවත් පිරිසක් පලාගල ප්‍රාදේශීය සභාවෙන් අවසර දුන් බව සදහන් කරමින් අනවසර ඉදිකිරීමක් සිදුකරමින් පවතිනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම ස්ථානයේ සිදුකරන මහා පරිමාණ පරිසර විනාශය පිළිබදව පලාගල ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම ගල්කිරියාගම පොලීසිය ඇතුලු බලධාරීන් දැනුවත් කළ ද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

මේ අතර බණ්ඩාරවෙල රාවණාඇල්ල වනජීවි කලාපයට අයත් ඇල්ල හිඹිලියගොල්ල ප්‍රදේශයට පවුල් 15 ක පමණ පිරිසක් පැමිණ ඉඩම් අත්පත් කරගනිමින් පදිංචි වී තිබෙනවා.

ඔවුන් පවසන්නේ තමන් 2014 වසරේදී නාය යාමට හසුව ඉඩම් අහිමි වූ පුද්ගලයන් බවයි.

රාජ්‍ය නිලධාරීන් තමන්ට ඉඩම් ලබානොදීම හේතුවෙන් මෙලෙස වනජීවි කලාපයේ පදිංචියට පැමිණි බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් හපුතලේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා වනජීවි නිලධාරීන් මැදිහත්ව දින දෙකක් (2) ඇතුළත මෙම පිරිසට අදාළ ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට දැනුම් දුන්නා.

***************************************

(18.01.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ඇතුළු සැකකරුවන් දස දෙනෙකු (10) වහාම අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් අද (18) නියෝග කළා.

ඒ, 2018 වසරේ දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

2018 වසරේ ඔක්තෝම්බර් 28 වනදා මෙම කලහකාරී සිද්ධිය ඇති වූ අවස්ථාවේ හිටපු අමාත්‍ය අරජුණ රණතුංගගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබූ අතර පසුව ගම්පොළ – ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත් වුණා ෴

***************************************

(18.01.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 18 ඉක්මවූ සියලුදෙනාට හමුදා පුහුණුව ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

විනයක් සහ හික්මීමක් නොමැති කම හේතුවෙන් රට තුළ බොහෝ අපරාධ සිදුවීම හේතු කොටගෙන මෙලෙස හමුදා පුහුණුවක් ලබාදීමට යෝජනා කරන බවයි ඔහු කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *