කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 50,000 ට ආසන්න වෙයි

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 50,000 ට ආසන්න වෙයි

*********************************************

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 50,000 ට ආසන්න වෙයි

(18.01.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෙවන කොරෝනා රැල්ලෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50,000 සීමාවට ආසන්නවී තිබෙනවා.

ඉන් 36,572 කුම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තාවන ආසාදිත සංඛ්‍යාව 21,141 ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර ඊයේ (17) වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 763 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාවක් යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

එනම් ආසාදිතයන් 241 දෙනෙකු ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 210 දෙනෙකු, මාතරින් 41 දෙනෙකු, ගාල්ලෙන් 29 දෙනෙකු, වවුනියාවෙන් 28 දෙනෙකු සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු වශයෙන් ඊයේ (17) ආසාදිතයන් වාර්තාවී තිබෙනවා.

අලුත්ගම පොලීසියේ නිලධාරීන් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වුණා.

අධිකරණ කටයුතු සඳහා සහභාගිවන පොලිස් නිලධාරීන් පිරිසක් මෙලෙස ඊයේ (17) සහ පෙරේදා (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කළා.

විශේෂ දැනුම්දීමක් කරමින් දළදා මාළිගාව සඳහන් කළේ එම පොලිස් ස්ථානයට අයත් සියලු නිලධාරීන් මේ වනවිට නිරෝධායනයට යොමුකර පොලිස් ස්ථානයේ රාජකාරි ආවරණය සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවයි.

එමෙන්ම දළදා මාළිගයේ කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී නොමැති අතර, දෛනික තේවාවන් සහ පුදපූජා වත් පිළිවෙත්, මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි චාරිත්‍රානුකූලව සිදු කෙරෙන බවද දළදා මාළිගාව නිවේදනය කළා.

මාළිගාවට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙලද අඛණ්ඩව සිදු කෙරෙන බවද එහි දැක්වෙනවා.

එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ කිහිපයකින් කොරෝනා ආසාදිතයන් වාර්තාවී තිබෙනවා.

මොණරාගල – කොළඹ අධිවේගී මාර්ගයේ ඊයේ ධාවනය වූ තණමල්විල ඩිපෝවේ බස් රථයක රිය සහයකයාට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබුණා.

එමෙන්ම අංගොඩ ඩිපෝවෙන් ද ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් 19 දෙනෙකු නිරෝධායනයට යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමඟ නවතා දැමුණු දුර ගමන් දුම්රිය සේවා මාස 3 කට පසු අද (18) සිට ආරම්භ කෙරුණා.

ඒ අනුව ප්‍රධාන මාර්ගය, උතුරු මාර්ගය, මඩකලපුව මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ නවතා දැමුණු දුරගමන් වාර 14 ක් ආරම්භ වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පිට පළාත්වල සිට ධාවනය වන අනෙකුත් දුර ගමන් දුම්රිය සේවා ද නියමිත වේලාවන්ට ක්‍රියාත්මක වූ අතර, බදුල්ල සිට කොළඹ බලා පෙරවරු 08:30 ට පොඩි මැණිකේ සීග්‍රගාමී දුම්රිය ගමන් ආරම්භ කරනු ලැබුවා.

මේ අතර කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ සංචරණ සීමා පනවා තිබූ වවුනියාවේ ප්‍රදේශ කිහිපයක් අද (18) යළි විවෘත කෙරුණා.

වවුනියාව නගරයේ බසාර් වීථිය, ධර්මලිංගම් වීථිය, මාර්කට් වීථිය, කන්දසාමි කෝවිල් වීථිය, මිල් වීථිය හැර සෙසු මාර්ග අද (18) යළි විවෘත කෙරුණු බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවූ වවුනියාව පට්ටන්චිචූර් ගම්මානයද යළි විවෘත කෙරුණු අතර, එහි නිවාස කිහිපයක් පමණක් තවදුරටත් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මෙම තත්වය හමුවේ වසා දැමුණු වවුනියාවේ පාසල්ද අද (18) යළි විවෘත කෙරුණේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්.

නිරෝධායන නීති කඩකරමින් මැදිරිගිරිය ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් වටලා 54 දෙනෙකු මත්ද්‍රව්‍ය ද සමඟ ඊයේ (17) අත්අඩංගුවට ගත්තා.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයින් 39 දෙනෙකු සහ තරුණියන් 13 දෙනෙකු මෙන්ම සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරු මෙන්ම කළමනාකරු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

කැළණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර මේ මස 27 වනදා රාත්‍රියේ මහජන සහභාගීත්වයකින් තොරව උඩමළුව පරිශ්‍රය තුළ පමණක් පැවැත්වීමට උපදෙස් ලබා දී ඇති බව කැළණිය පොලිසිය සඳහන් කළා.

මේ අතර ලන්ඩන් නුවර කොරෝනා රෝහලක සේවය කළ ලාංකික වෛද්‍යවරයෙකු ඊයේ (17) වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අයෙක්.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එරටදී සිදු කෙරුණු බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

අද (18) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් 183 දෙනෙකු ගුවන් යානා 6 කින් දිවයිනට පැමිණ තිබෙනවා.

එලෙස කටුනායකින් මෙරටට පැමිණි පිරිස අතර සෞදි අරාබියේ සිට 75 දෙනෙකු, සිංගප්පූරුවේ සිට 67 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට 28 දෙනෙකු ද සිටින බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, අදාළ කාලසීමාව තුළ ශ්‍රී ලාංකිකයින් 627 දෙනෙකු ගුවන් යානා 08 කින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

+++++++++++++++++++++

ධම්මික පැණිය පානය කර කොරෝනා වැළදුණු, කෑගල්ලේ මන්ත්‍රී හිරුට කතා කරයි

(18.01.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා ප්‍රකාශ කළා.

මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන ඇඹිලිපිටියේ පිහිටි යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශය සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, කෑගල්ල ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකු ද ධම්මික බණ්ඩාර නැමැත්තාගේ කොරෝනා වෛරසයට එරෙහි පැණිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පල කළා.

ඔහු කියා සිටියේ රුපියල් දස දහසක මුදලක් ගෙවා පැණි බෝතලයක් මිලදී ගෙන පානය කළ ද තමා ඇතුලු පවුලේ සියළු දෙනාට කොරෝනා වෛරසය වැළදුණු බවයි ෴

++++++++++++++++++++

(18.01.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 420 ක ආදායමක් ලැබී ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (18) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදියි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලබන 21 වන දා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට විදේශීය සංචාරකයන්ට විවෘත කෙරෙන බවයි ෴

++++++++++++++++++++

(18.01.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

මාතර – කඹුරුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ අනුව එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 34 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.

ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා හෙට (19) දිනයේ යොමුකිරීමට නියමිත අතර, පොලිස් ස්ථානය විෂබීජහරණයට ලක් කර තිබෙනවා.

මාතර කොට්ඨාස පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් අනුයුක්ත කොට කඹුරුපිටිය පොලිස් ස්ථානයේ කටයුතු සාමාන්‍ය පරිදි අද (18) දහවල් ආරම්භ කර ඇති බව සඳහන් ෴

++++++++++++++++++

(18.01.2021 – 15:25 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණ සිටින යුක්ක්‍රේන ජාතික සංචාරක 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (18) දින සීගිරිය නැරඹීම සඳහා පැමිණියා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් විසින් ඔවුන් පිළිගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් හට පොලීසිය සහ යුද හමුදාවේ ආරක්ෂාව ද සපයා තිබෙනවා.

කණ්ඩායම් දෙකකට (2) බෙදී එම පිරිස සීගිරිය නැරඹීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ එක්වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

යුක්ක්‍රේන සංචාරකයින් මීට පෙර සීගිරිය සහ පොළොන්නරුවේ සංචාරය කිරීමට නියමිතව තිබූ නමුත් එය අවලංගු කෙරුණා.

[ සේයාරූ ]

++++++++++++++++++

(18.01.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (18) තහවුරු වුණා.

ඒ අනුව වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතර (4) දක්වා ඉහළ යනු ඇති.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට මෙන්ම ඔහුගේ බිරිඳට, දරුවන් දෙදෙනාට (2) සහ එක් පුත්‍රයෙකුගේ බිරිඳට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමා කොරෝනා ආසාදිතයෙකු බවට අද (18) උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී තහවුරු වූ බැවින් ප්‍රතිකාර සඳහා කොග්ගල පිහිටි හෝටලයකට ඇතුළත් වූ බවයි.

පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.

ඒ ඔහු රාජ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන්.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මෙන්ම තවත් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු කොරෝනා වෛරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණියද පානය කර තිබුණා.

එසේම රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (17) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර ශාලාවේ පැවති කෑගල්ල දිස්ත්‍රික් සඳහා වන සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට ද එක්වුණා.

එසේම ඔහු කළුතර දිස්ත්‍රික්කයේ පසුගියදා පැවති තවත් රාජ්‍ය රැස්වීම් කිහිපයක් සඳහා ද සහභාගිවුණා.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවීමට පෙර අද (18) උදෑසන බේරුවල පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.

මීට පෙර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ආසාදිතයින් බවට තහවුරු වුණා.

එසේම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 9 දෙනෙකුටද වෛරසය වැළඳී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද ඔස්සේ පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

හෙට (19) පෙරවරු 10 ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක් (6) සහ රේගු ආඥාපනත යටතේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතයි.

පෙරවරු 10 සිට 11 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාචික ප්‍රශ්න ඇසීම සඳහා වෙන් කෙරෙන අතර, එහිදී අසනු ලබන ප්‍රශ්න 10 කට පමණක් සීමා කර තිබෙනවා.

++++++++++++++++++

(18.01.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටින ගාල්ල – දඩල්ල පිහිටි හෝටයේ තවත් සේවකයින් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ ගාල්ල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි හෝටල් සේවකයින් දෙදෙනෙකුටයි (2).

පසුගිය 14 වන දා අදාළ හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එහි සේවකයන් 98 දෙනෙකු සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදියි මොවුන් දෙදෙනාට (2) ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ෴

තවත් කොරෝනා ආසාදිතයන් 649 දෙනෙකු අද (18) දිනයේදී පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 45,820 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6992 ක් ෴

අද (18) දිනයේත් නව ආසාදිතයන් 332 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53,408 දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිතව සිටි 649 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 45,820 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ද කොරෝනා ආසාදිතයන් අටදෙනෙකු (8) හඳුනාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් 77 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග අංශයේ සහ තවත් අංශයක පුද්ගලයන් අටදෙනෙකු (8) මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා ෴

+++++++++++++++++

(18.01.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එය සමාජගතවීමක් හෝ සමාජ සම්ප්‍රේෂණයක් ලෙස සැලකිය නොහැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.

බස්නාහිර පළාතේ සහ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කළ ද මෙරට තුළ ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවනතාවයෙහි කිසිදු වෙනසක් නොමැති බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තවදුරටත් කොරෝනා වෛරසය සමාජගත වී නොමැති බවට ප්‍රකාශ කළ නොහැකි බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අභයාරාමයේදි අද (18) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එහි අනුශාසක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් චෝදනා කර සිටියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වන විට තනි පුද්ගලයෙකුගේ පාලනයට යටත්ව ඇති බවටයි.

තවත් කොරෝනා ආසාදිත මරණ 06 ක් වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා අසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 270 ක් දක්වා ඉහලගොස් ඇතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 295ක් වාර්තා වී ඇතිබව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@@@@@@@

(18.01.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද (18) වාර්තා කළා.

දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7922.66 ක් ලෙසින් දැක්වුණු අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 188.09 ක ඉහල යාමක්.

මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය 2011 වසරේ පෙබරවාරි මස 14 වනදා වාර්තා වූ අතර එම අගය ඒකක 7811.8 ක් ලෙස දැක්වුණා ෴

***************************************

(18.01.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

ගවයින් අතර ව්‍යාප්ත වෙමින් පවතින වෛරස් රෝගය පිළිබදව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව හෙට (19) එළිදැක්වීමට නියමිතයි.

පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ වෛරසය පිළිබඳ සොයා බලා ඊට අදාළ විසදුම් ඉදිරිපත් කිරීම සඳහායි.

දැනට දිස්ත්‍රික්ක 14 කට වැඩි ප්‍රමාණයක අදාළ වෛරස් රෝගය ව්‍යාප්ත වී තිබෙනවා ෴

***************************************

අනුරාධපුර අවන්තිදේවි ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව යළි රිමාන්ඩ්

(18.01.2021 – 16:25 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටින දැරියන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන පාලිකාව යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඇප ලබාදෙන ලෙසට ඇගේ නීතීඥවරුන් කළ ඉල්ලීම ඉවත දමමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ නියෝග කළේ සැකකාරිය ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ළමා නිවාසයේ දැරියන් 52 කුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඉන් දැරියන් 11 දෙනෙකුම, සැකකාර පාලිකාව විසින් කෲරත්වයට පත් කර ඇති බවට ප්‍රකාශ කර ඇති බවයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ.

එමෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අදාළ ළමා නිවාසයේ දැරියක් තම නිවසට රැගෙන ගොස් ලිංගික අතවර කිරීම සහ එම ළමා නිවාසයේ දැරියන්ට මනෝ උපදේශනය ලබාදෙන මුවාවෙන් ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුද මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අද (18) මෙලෙස බන්ධනාගාර ගත කරනු ලැබුවේ උතුරුමැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ හිටපු ආරක්ෂක කළමනාකරුවෙකු වන 46 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු අනුරාධපුර සහිරා දෙමළ ජාතික පාසලේ පුටු පැහැරගෙන ගොස් උපකාරක පන්තියකට අලෙවි කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුද වනවා.

මේ අතර අදාළ ළමා නිවාසයේ දැරියන් කෲරත්වයට පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් උතුරුමැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සහ උතුරුමැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා, සෞඛ්‍ය හා සත්ව නිෂ්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ලේකම්වරුන්ගේ සංචිතයට වහාම මාරුකර යවා තිබෙනවා.

ඒ, පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ලබාදුන් නියෝගයකට අනුවයි ෴

++++++++++

***************************************

(18.01.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

වාලම්පුරියක් අලෙවි කිරීමට උත්සහ කළ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් බියගම, කඩුවෙල සහ කටුනායක යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් අතර කාන්තාවක්ද සිටින බවයි සඳහන් වන්නේ.

මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් වාලම්පුරියක් මෙලෙස කෝටි දෙකක (2) මුදලකට අලෙවිකිරීම සදහා සැකකරුවන් විසින් අම්බලන්තොට ප්‍රදේශයේ ලගුම්හලකට රැගෙන ආ අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී වාලම්පුරිය සහ සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථය ද STF භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+06%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

***************************************

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ජාතික පාසල් අභියාචනා භාරගැනීම පෙබරවාරි 15 සිට මාර්තු 14 දක්වා

(18.01.2021 – 18:04 +0530 – hirunews.lk/sinhala)

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ජාතික පාසල්වලට ඇතුලත් වීම සඳහා අභියාචනා පෙබරවාරි 15 වනදා සිට මාර්තු 14 දක්වා කාලය තුළ මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

***************************************

(18.01.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ පොල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක ගෙඩියේ බර අනුව පොල් අලෙවි කිරීමට ඇතැම් වෙළඳුන් කටයුතු කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් අසීරුතාවට පත්ව ඇති බවට තොරතුරු වාර්තාවනවා.

අම්බලන්තොට, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල මෙලෙස බර අනුපාතය අනුව පොල් අලෙවි කරන බවටයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ අනුව කිලෝ ක්‍රමයට පොල් ගෙඩියක් අලෙවි කිරීමට ඔවුන් පියවර ගෙන ඇති අතර, පොල් කිලෝවක් රුපියල් 120 ත් 140 ත් අතර මිලකට අලෙවි කරන බවටයි වාර්තාවන්නේ.

සාමාන්‍ය පොල් ගෙඩියක බර කිලෝවකට වැඩි වන අතර, කටුව සමඟ පොල් ගෙඩියේ බරට මුදල් ගෙවීමට සිදුවී ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොල් සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමකදී එහි සැකසුම් අධ්‍යක්ෂ පී. එදිරිමාන්න මහතා කියා සිටියේ වෙළදපොලේ පැවතිය යුතු ක්‍රමවේදය මෙය වන බවයි.

කිලෝ ක්‍රමයට පොල් මිලදී ගැනීම සුදුසු බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් පොල් මිල ඉහළ ගිය අවස්ථාවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කිරීමටයි පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගනු ලැබුවේ.

එමෙන්ම ගෙඩි වර්ගීකරණය සඳහා පොල් වළල්ලක් ද හඳුන්වා දෙනු ලැබුවා ෴

***************************************

(18.01.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවල් වෙත පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අද (18) පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වුණා.

මෙම සාකච්ඡාවට විෂය භාර අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නද එක්වූ අතර, එහිදී මත්ද්‍රව්‍ය වැටලීම් සහ ඊට අදාළ නඩු කටයුතු කඩිනම් කිරීම පිළිබඳ අවධානය යොමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීමේ චෝදනාවකට අදාළව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු අද අනුරාධපුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

43 හැවිරිදි සැකකරු සතුව තිබී දුරකථන 5 ක් ද සොයාගෙන ඇති අතර, ඒවායේ විශේලේෂණ වාර්තා ලබාගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනුනා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සැකකරු අද (18) අනුරාධපුර මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක (7) රැඳවුම් නියෝග ලබාගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බවයි ෴

***************************************

(18.01.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධියට මුල් වූ රැදවියන්ට එරෙහිව බන්ධනාගාර විනිශ්චය සභාව ගොනු කර තිබූ නඩුව ගම්පහ දිසා අධිකරණයේදී අද (18) කැඳවනු ලැබුවා.

පොදු දේපළ විනාශ කිරීම, කැරළි ගැසීම, පළා යාමට තැත් කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම මුල් කර ගනිමින් රැඳවියන් 120 දෙනෙකුට එරෙහිව බන්ධනාගාර විනිශ්චය සභාව විසින් අදාළ නඩුව ගොනු කර තිබෙනවා.

ගම්පහ දිසා විනිසුරු රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර ඉදිරියේ නඩුව කැදවූ අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ රැඳවියන් සාක්ෂි ලබාදුන්නා.

මේ අතර, ගම්පහ දිසා අධිකරණය ඉදිරිපිට අද (18) නිහඬ විරෝධතාවක් ද සංවිධානය කර තිබූ අතර බන්ධනාගාරගත රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් ඊට එක්ව සිටියා.

***************************************

(18.01.2021 – 20:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදෙස් ආයෝජකයන්ගේ සහය ලබා ගැනීම පිළිබඳව තමන් සතුටු වන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

කෙසේවෙතත්, වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය අද (18) පැවති ප්‍රවෟත්ති සාකච්ඡාවකදී පැවසූවේ එලෙස විදෙස් ආයෝජකයින්ට ඉඩ ලබා දීම තුලින් දැඩි පාඩුවක් සිදුවන බවයි.

***************************************

(18.01.2021 – 21:02 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වසර 4 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් හිමිවීම සම්බන්ධයෙන් සහ පසුගිය ආණ්ඩු සමයේ අධිකරණයට සිදු කෙරුණු බලපෑම් පිළිබඳව දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළ වුණා.

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමවී සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා.

එම දැනුම්දීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමුකළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් නියම වූ රංජන් රාමනායක නිරෝධායනය සඳහා පසුගියදා රැගෙන ගියා.

ඒ, මීගමුව – පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙතයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාල නඩුවේ තීන්දුව සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය 12 වනදා ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඒකමතික තීන්දුවක් ලෙසින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *