චීන සිනොවැක් එන්නත මෙරටට ලබාගැනීමේ සාකච්ඡා සාර්ථකයි – චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන

චීන සිනොවැක් එන්නත මෙරටට ලබාගැනීමේ සාකච්ඡා සාර්ථකයි – චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන

*********************************************

චීන සිනොවැක් එන්නත මෙරටට ලබාගැනීමේ සාකච්ඡා සාර්ථකයි – චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන

(19.01.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව චීනයේ නිපදවූ සිනොවැක් එන්නත මෙරටට ලබාදීම සඳහා චීන සමාගම් කැමැත්ත පළ කර තිබෙනවා.

අදාළ එන්නත් ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා වෙත යොමුකළ ලිපිය එරට බලධාරීන්ට භාරදීමට කටයුතු කළ බවයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා කියා සිටියේ.

ඒ අනුව අදාළ එන්නත නිෂ්පාදනය කරන සහ බෙදාහැරීම සිදුකරන සමාගම් ඇතුලු සියලු පාර්ශව සමඟ මේ වනවිටත් සාකච්ඡා සිදුකර ඇති අතර, එම සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමක පවතින බවද ඔහු කියා සිටියා.

කොරෝනා වෛරසයට එරෙහිව චීනය නිපදවූ සිනොවැක් එන්නත සියයට 78 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව මීට පෙර වාර්තාවුණා.

මේ අතර ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා ඊයේ මෙම එන්නත ලබාගාන්නා ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන්ම තුර්කි ජනාධිපති රිසෙප් තායි අර්ඩවාන් මහතා ද ප්‍රකාශ කළේ තමන්ද එම එන්නත ලබාගත් බවයි ෴

+++++++++++++++++++

(19.01.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තවත් 60 දෙනෙකුට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

ඊයේ (18) මෙම පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල අද (19) ලැබීමට නියමිතයි.

මීට පෙර ද මැති ඇමතිවරුන් ඇතුලු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ 943 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබුණා.

ඒ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් එම පී.සී.ආර්. පරික්ෂණවලදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකුට (5) සහ පිටත ආරක්ෂකයින් සිව්දෙනෙකුට (4) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

මේ අතර කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (18) හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පසුගියදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඊයේ (18) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

රාජ්‍ය අමාත්‍යවරයාට මෙන්ම ඔහුගේ බිරිඳට සහ දියණියට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

තමන් ඇතුලු පිරිස කොග්ගල පිහිටි හෝටලයක නිරෝධායනය වෙමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (18) සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් සිය පුතුට, රියදුරාට, ආරක්ෂක නිලධාරීන්ට සහ ලේකම්වරුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි ඔහු කියා සිටියේ.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද ඊයේ (18) සිට ස්වයං නිරෝධායනයට යොමුවුණා. ඒ ඔහු රාජ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන්.

මෙවන් පසුබිමක මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට (2) සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව ඊයේ (18) තීරණය කළා.

ඒ අනුව අද (19) සහ හෙට (20) සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙනු ඇති.

අද (19) පෙරවරු 10 ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක් සහ රේගු ආඥාපනත යටතේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න 10 කට පමණක් සීමා කර තිබෙනවා ෴

++++++++++++++++++++

(19.01.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

නව මරණ හයක් (6) සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගියා.

කොළඹ තුන (3) ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය 17 වනදා මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර දියවැඩියාවයි.

එමෙන්ම කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය 15 වනදා මියගොස් තිබෙනවා.

එම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය 15 වනදා මෝදර ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වැඩිහිටි නිවාසයකදී මියගොස් ඇති අතර, මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාවයි.

දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද පසුගිය 14 වනදා කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වන්නේ කොවිඩ් නියුමෝනියාව, හෘද රෝගී තත්වය සහ උග්‍ර දියවැඩියා තත්වයයි.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්ද මරණයට පත්ව ඇති අතර, ඔහු මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමෙන් පසු ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යැවීමෙන් අනතුරුවයි මෙලෙස මියගොස් ඇත්තේ.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් 19 ආසාදනය නිසා ඇතිවූ බ්‍රොන්කෝ නියුමෝනියාවයි.

රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යැවූ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්ද ඊයේ (18) මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොවිඩ් නියුමෝනියාව එම මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

මේ අතර ඊයේ (18) දිනයේ නව ආසාදිතයන් 674 ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 53,750 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (18) වාර්තාවූවන්ගෙන් 627 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 47 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු කර ගැනුනා.

මොවුන්ගෙන් 45 දෙනෙකු සයිප්‍රසයේ සිටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දෙදෙනෙකුත් (2) මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 7,660 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 53,750 ක් ෴

+++++++++++++++++++

(19.01.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය නිර්දේශ හා නිරෝධායන නීති නිසිපරිදි අනුගමනය නොකළ බස්නාහිර පලාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 126 කට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන 1004 ක් ඊයේ (18) දිනය වනවිට පරීක්ෂාවට ලක් කළ බවයි.

එහිදී ආයතන 848 ක් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇති අතර, උපදෙස් අනුගමනය නොකළ ආයතන 126 ක් හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

+++++++++++++++++++

(19.01.2021 – 09:53 +0530 – hirunews.lk/sinhala)

කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 297 දෙනෙකු ඊයේ (18) රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින මෙරට වැසියන් ගෙන්වාගැනීමේ වැඩසටහන යටතේ මොවුන් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරිවරයා සඳහන් කළේ.

මොවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා ෴

++++++++++++++++++

(19.01.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

සති දෙකකට (2) වඩා හුදෙකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ සහ කර්මාන්ත ආයතනවල විදුලි බිල සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා ෴

++++++++++++++++++++

(18.01.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය මූලික රෝහලේ කොරෝනා සැකකටයුතු රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටුවේ සිටි කාන්තාවක් අද (18) උදෑසන එම වාට්ටුවෙන් පළාගොස් තිබේ.

අදාළ කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇතැයි ඇති වු සැකය මත රෝහලේ කොරෝනා සැකකටයුතු වාට්ටුව වෙත ඇතුළත් කර පී.සී.ආර් පරීක්ෂණ ලැබෙන තෙක් එහි රඳවා සිට ඇත.

එම වාර්තා අද දින ලැබීමට නියමිතව තිබී ඇති අතර එම ප්‍රතිඵල ලැබීමට පෙර අදාළ කාන්තාව මෙලෙස පළාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

එම කාන්තාව රෝහලේ ඉදිපස ගේට්ටුවෙන් පැන ප්‍රධාන මාර්ගය වෙත ගොස් පසුව කෙල ගසමින් පාර පුරා දිව ගොස් තිබේ.

පසුව වහාම ක්‍රියාත්මක වූ රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශ එම කාන්තාව අල්ලාගෙන රෝහලේ වාට්ටුව වෙත නැවත ඇතුළත් කර ඇත.

එම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස 31 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ පී.සී.ආර් ප්‍රතිඵලය ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇති බව වැල්ලවාය රෝහලේ ප්‍රකාශයක් පැවසීය.

++++++++++++++++++++

(18.01.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

“මේ රෝගයේ මූලික ලක්ෂණය ලෙස පෙන්නුවේ හිසරදය. ඊට පස්සේ උණ ගත්තා. ඒක තමයි මේ රෝගයේ එක ලක්ෂණයක්. ඇත්තට මම ඉල්ලන්නේ කිසිම අවස්ථාවක දී මහජනතාව ගැවසෙන තැන්වලට යන්න එපා.”

ඒ ඉල්ලීම කළේ රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ධර්මසිරි ද සිල්වා මහතා ය.

ඔහුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

ධර්මසිරි මහතා මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ‘අද දෙරණ වාර්තාකරු’ පැවසීය.

සිය ජංගම දුරකථයෙන් පටිගත කළ වීඩියෝවක් ඔහු අප වෙත එවා තිබුණි.

++++++++++++++++++

නිරෝධායන බස්රිය අනතුරක – ඕමාන් සිට පැමිණි රීටා ට අතක් අහිමි වෙයි

(18.01.2021 – 16:21 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ බොහෝ අභියෝගයන්ට මුහුණ දුන් පිරිසක් ලෙස විදෙස්ගත ශ්‍රමිකයින් හැඳින්විය හැකිය.

පුත්තලම මදාර උයන ප්‍රදේශයේ පදිංචි රීටා වයලට් පෙරේරා මහත්මියත් එවැනි අභියෝග රැසකට මුහුණ දී සිටින කාන්තාවකි.

ඇයට ඕමාන් හි සේවයට ගොස් වසර දෙකකට වැඩි කාලයක් එහි ගතකර නැවතත් මෙරටට පැමිණීමට සිදුවන්නේ, පවතින කොරෝනා වසංගතය හේතුවෙනි.

පසුගිය නොවැම්බර් මස 26 වන දින මෙරටට පැමිණි ඇය නිරෝධායනය සඳහා බස්රථයකින් යාපනයට රුගෙන යමින් සිටිය දී පලෙයි ප්‍රදේශයේ දී ඉතා අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණ පෑවේය.

එම අනතුරින් රීටා මහත්මියගේ වම් අත දරුණු ලෙස හානි වී තිබු අතර හිස, මුහුණ හා ශරීරය පුරා බරපතළ තුවාල කිහිපයක්ම සිදුව තිබේ.

අනතුරින් පසු රීටා මහත්මිය පලෙයි රෝහලට ඇතුළත් කර පසුව ඇයගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් යාපනය මහ රෝහලට මාරු කර යවා තිබුණි.

යාපනය රෝහලේ දී අනතුරින් බරපතළ හානි සිදුව තිබු ඇගේ වම් අත ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබුණේ, රීටාගේ ජීවිතය බේරා ගැනිමේ අරමුණින් බව පැවසේ.

තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම ඇය මෙලෙස අප සමග බෙදා ගත්තාය.

“අපි කලිනුත් නිරෝධායනය ගැන විස්තර දැනගෙන හිටියා. මම බලාපොරොත්තු වුණේ නෑ මෙහෙම දෙයක් මට වෙයි කියලා. නිරෝධායනයට අරන් යද්දි පාන්දර 03:30 වෙනකල් මම ඇහැරලා හිටියා. ඊට පස්සේ කිසිම දෙයක් මම දන්නේ නෑ. පස්සේ දෙවැනි දවසේ මම ICU එකේ සිහිනැතුව ඉදලා තියෙනවා. එතකොට ඩොක්ටර්ගෙන් මම ඇහුවා ඇයි මහත්තයෝ මම රට ඉදලා ආවේ කියලා. මම නිරෝධායන බස් එකේ හිටියේ ඇයි මම මෙතෙන කියලා. ඩොක්ටර් මට කිව්වා අම්මේ ඔයා ඇක්සිඩන්ට් වුණා කියලා. අනතුරින් පස්සේ වම් අත යාපනය රෝහලේ දී අයින් කරලා ආපසු පුත්තලමට දෙසැම්බර් 12 එව්වා. පුත්තලමේ දී ප්‍රතිකාර කරලා ආයේ කුරුණෑගල මහ රෝහලට මාව යැව්වා තවත් සත්කමකට. කුරුණැගල ප්‍රතිකාරවලින් පස්සේ දෙසැම්බර් 22 දා කෙලින්ම මාව ගෙදරට ගෙනත් දැම්මා. දැන් මගේ වම් අත කපා දමලා දකුණු අත අස්ථි බිඳිලා එල්ල ගෙන ඇඟ පුරාම තිබුන තුවාල දැන සුවයි. නමුත් මේ සිද්ධිය මට දරා ගන්න බැහැ. මගේ පුතාට දැන් මගේ වැඩත් කරන්න වෙලා. අද මම මගේ එකම දරුවා එක්ක අසරණ වෙලා. මේ සිද්ධිය බලන්න කිසිම කෙනෙකු ආවේ නැහැ. ඇත්තටම පුදුම දුකක් ඇති වෙන්නේ. අපි ගැන කිසිම කෙනෙකු බලන්නේ නැහැ. විදේශ සේවා එකෙනුත් මොනවත් කරන්න බැහැ කියනවා. අතක් නැතිව මම ජීවත් වෙන්නේ කොහොමද ?”

@@@@@@@@@@@@@@@@@

(19.01.2021 – 07:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ ‘C City’ වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ඊයේ (18) නැවත ආරම්භ කළා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ මෙම වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනවා.

මෙම වෙළඳ සංකීර්ණය ඉදි කිරීමෙන් පසු පාරිභෝගික ජනතාවට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලුම අමුද්‍රව්‍ය, භාණ්ඩ හා සේවා එකම ස්ථානයකින් ලබා ගැනීමට අවස්ථාව උදා වනවා ෴

***************************************

(19.01.2021 – 07:15 +0530 – hirunews.lk/sinhala)

මෙවර නිදහස් දින සමරු උළෙල සෞඛ්‍ය නීතිරීතින්වලට අනුකූලව අභිමානවත්ව සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවකදියි.

මෙහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම නිදහස් දින සැමරුමේ පෙළපාලි සඳහා සහභාගි කරගන්නා ආරක්ෂක නිලධාරීන් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවකින් පසුව ඒ සඳහා සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බවයි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද එක්ව සිටියා.

එහිදී ඔහු කියා සිටියේ මෙවර නිදහස් දින උත්සවය අවම සහභාගීත්වයකින් යුතුව පැවැත්වීමට කටයුතු කරන බවයි.

පෙබරවාරි 04 වනදා බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික වතාවත් ඒ ඒ ස්ථානවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, නිදහස් දින පෙරහුරු කටයුතු පෙබරවාරි 01 වනදා සිට 03 වනදා දක්වා පැවැත්වෙනු ඇති ෴

***************************************

(19.01.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක ස්ටැන්ලි පෙරේරා නැමැත්තා සේවය අතහැර ගියා සේ සළකා ඔහුව සේවයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි යැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව වහාම සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

එමෙන්ම එවක පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාර හිටපු අධ්‍යක්ෂ කමල් සිල්වා ඇතුලු පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට (4) සිය පෞද්ගලික මුදලින් රුපියල් 25,000 බැගින් පෙත්සම්කරුට වන්දි ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ඊට අදාළ පෙත්සම ඊයේ (18) කැඳවූ අවස්ථාවේදියි.

හිටපු පොලිස් පරික්ෂක ස්ටැන්ලි පෙරේරා විසින් ගොනුකළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අමතරව පෙත්සම්කරුට රුපියල් 50,000 ක නඩු ගාස්තු ගෙවන ලෙසටයි රජයට නියෝග කෙරුණේ.

එමෙන්ම 2017 වසරේ මාර්තු මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙත්සම්කරුට හිඟ වැටුප්, වැටුප් වර්ධක සහ සියළු දීමනා සහිතව යළි සේවයේ පිහිටුවීමට පියවර ගන්නා ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියම කළේ ෴

***************************************

(19.01.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදි සොරකම් කිරීමේ ප්‍රවනතාවක් මේ දිනවල දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඊයේ (18) දිනයේදීත් යතුරුපැදි සොරකම් සම්බන්ධ පැමිණිලි 06 ක් පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සොරකම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති අතර තම යතුරුපැදිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යතුරුපැදි හිමියන්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙනවා.

***************************************

(19.01.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

සීදූව – කොටුගොඩ ප්‍රදේශයේදී කසළ තේ කිලෝග්‍රෑම් 29,000 ක් සමඟ සැකකරුවන් හත්දෙනෙකු (7) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව ඊයේ (18) මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී කසළ ප්‍රවාහනයට යොදාගත් කන්ටේනරයක් සහිත ට්‍රක් රථයක්ද භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා තේ යන ලේබලය යටතේ මේවා මැදපෙරදිග රටවලට අපනයනය කිරීම සඳහා සැළසුම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴

***************************************

(19.01.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා එහි වාර්තාව සහ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එය අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2015 ජනවාරි මස 08 වන දින සිට 2019 නොවැම්බර් මස 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සේවකයින්, සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පරීක්ෂණ කොමිසන් සභාව පත්කර තිබුණා ෴

***************************************

ෆේස්බුක් අන්තවාදියා ෆසාල් නිසාර්ගේ බැංකු ගිණුමෙන් රුපියල් කෝටි 7 ක් සංසරණය වෙලා..

(19.01.2021 – colombotoday.com)

ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොත මගින් ප්‍රචාරය කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ව්‍යාපාරිකයකුගේ බැංකු ගිණුමක ඉතා කෙටි කලක් තුළදී රුපියල් කෝටි 7 කට ආසන්න මුදලක් සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ඊයේ (18) දින කරුණු වාර්තා කළේය.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆසාල් නිසාර් නමැති මෙම සැකකරු අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර් ජාලයෙන් සිදුකළ ක්‍රියාවන් රාශියක තොරතුරු පොලිස් භාරයේ ඇති ඔහුගේ පරිගණක උපාංග සහ දුරකතනවලින් හෙළි වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

‘ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීම’ යනුවෙන් ඉකුත් වසරේ දෙසැම්බර් මස 12 වැනිදා ඔහුගේ මුහුණු පොතේ පළ කර ඇති මෙම සැකකරු එයින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළන ආකාරයේ මෙන්ම අන්තවාදය ප්‍රවර්ධනය කිරීමේ තොරතුරු ප්‍රචාරය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

‘මම මුස්ලිම් අන්තවාදියෙක් වෙමි’ යන මැයෙන් ඉකුත් 07 වැනිදා ද සිය මුහුණු පොතෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති ඔහු ‘විදේශයේ සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් යොදා ගනිමින් ඉදිරියේදී දැවැන්ත ක්‍රියාකාරකම් රාශියක් සම්බන්ධයෙන් වන හෙළිදරව්ව’ යන ශීර්ෂයෙන් ද, අන්තවාදය ප්‍රවර්ධනය කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

‘අධර්මිෂ්ට සිංහලයන් සත්‍ය ඉදිරියේ දණ ගැසෙන කාලය එළැඹ ඇත’ , ‘පෞද්ගලික වාසි සොයා දේශපාලනයේ නියැලෙන, රාජපක්ෂලාට කඩේ යන, සිවුරක් පොරවා ගත් සැණින් තමා භික්ෂු නමක් බවට රටම අන්දවන පිරිසගේ අවධානය පිණිසයි’ යනුවෙන්ද සඳහන් කරමින් මෙම සැකකරු මුහුණු පොත හරහා වීඩියෝ පටයක් ද ප්‍රචාරය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සැකකරු 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 03 (1), ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය, 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 06 (1) යන පනත්වලින් වරදක් සිදුකර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 11 වැනිදාය. ඒ අනුව සැකකරු ඊයේ (18) දින වන තෙක් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබිණි.

මෙම සැකකරුට අයත් පෞද්ගලික බැංකු ගිණුමක රුපියල් කෝටි 7 කට ආසන්න මුදලක් ඉකුත් 2020 වර්ෂයේදි සංසරණය වී ඇති බවත් අධිකරණ නියෝග මත කැඳවා ඇති ඔහුගේ අනෙක් බැංකු ගිණුම් 6 ක විස්තර වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පැහැදිලි ආදායම් මාර්ගයක් පෙනෙන්නට නොමැති මෙම සැකකරු විසූ අංක 46, 4/2, පීටර් පටුමග, දෙහිවල ලිපිනයෙහි පිහිටි නිවාස සංකීර්ණයක නිවසකට කුලිය වශයෙන් රුපියල් 80,000 ක මුදලක් ද, කුලී පදනම මත ලබාගත් වාහනයක් සඳහා මාසිකව රුපියල් 50,000 ක මුදලක් සහ සේවකයන් දෙදෙනකු (2) සහිතව පවත්වාගෙන යන ව්‍යාපාර ආයතනයක කුලිය වශයෙන් මාසිකව රුපියල් 1,25,000 ක මුදලක් ද ලබා දෙන බවට කරුණු හෙළිවී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම කරුණු හේතුවෙන් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරු දින 90 ක කාලයක් තම දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව රඳවා තබා ගැනීමේ නියෝගයක් ද අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වහාම භාරදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි ෴

***************************************

අධිකරණ ඇමති අලි සබ්‍රි තනතුරෙන් ඉවත් කළ යුතුයි – සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව

(19.01.2021 – 05:53 +0530 – lankaleadnews.com)

කැබිනට් මණ්ඩලයට අධිකරණ අමාත්‍යවරයා යෝජනා කරන ලද දෙමළ භාෂාව කථාකරන නීතීඥවරුන් 150 ක් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට ගත තීරණය තුලින්, පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධූරය වැනි තනතුරුවලට යම් ජන කණ්ඩායමක් සැලසුම් සහගතව පත්වී, පොලිස් දෙපාර්තමේන්තුවේ බලය අන්තවාදී බලවේග විසින් පාලනය කරන තත්වයක් ඇති වුවහොත්, එය මෙරට ජාතික ආරක්‍ෂාවට මහත් තර්ජනයක් ඇති කරණ බව සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව පවසයි.

තවද එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ මෙවැනි යෝජනා මගින් අධිකරණ අමාත්‍යවරයා, එක් ජනවර්ගයකට විශේෂ සැලකීම සහ නීතිය ඉදිරියේ සියළු දෙනා සමානය යන මූලධර්‍මයට පිටුපා ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදයට, ජාතික ආගමික සහජීවනයට කර ඇති බරපතල තර්ජනයක් සහ බධාවක් එල්ල කරන බවයි.

ඒ අනුව අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස අතිගරු ජනාධිපති තුමාට බලකිරීම සඳහා පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණය පසුගිය ඉරිදා (17) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පවත්වනු ලැබිය. නිරෝධායන නීති වලට ගරුකරමින් සීමිත පිරිසක් සහභාගි වූ මෙම උද්ඝෝෂණය සඳහා වර්තමාන රජය බලයට පත්කිරීම සඳහා කැපවූ 69 ලක්ෂයක් ජනතාව නියෝජනය කරමින් සිංහලේ ජාතික ඒකාබද්ද එකමුතුවේ සාමාජිකයින් පිරිසක්ද සහභාගී විය.

උද්ඝෝෂණයෙන් අනතුරුව එම පිරිස, අස්ගිරිය සහ මල්වතු මහනායක ස්වාමින් වහන්සේලා සහ අනු නායක ස්වාමින් වහන්සේලා වෙත ‘අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස අතිගරු ජනාධිපති තුමාට බලකිරීම’ සඳහා වූ සංදේශයක් භාරදෙන ලදී.

එම සංදේශය පහතින් අමුණා ඇත.

අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මහනාහිමිපාණෝ,
මල්වතු මහ විහාරය,
මහනුවර.

අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහානායක මහනාහිමිපාණෝ,
අස්ගිරි මහ විහාරය,
මහනුවර.

අතිපූජ්‍ය ගෞරවනීය මහනායක මහානාහිමියනි,

කැබිනට් අමාත්‍ය අලි සබ්රි මහතා ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශ කිරීම සම්බන්ධව

වත්මන් රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අලි සබ්රි මහතා කොවිඩ්-19 තත්වය සම්බන්ධයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදුනහොත් මුස්ලිම් ජාතිකයින් ආයුධ අතට ගැනීමට ඉඩ ඇතැයි ඉඟි කරවන ප්‍රකාශ නිකුත් කිරීම රටේ සාමයට එල්ල කරන ලද බරපතල තර්ජනයක් බව අප විශ්වාස කරමු.

සියළුම ජාතීන් ආගම් භේදයකින් තොරව රජයේ ගැසට් නියෝග අනුව කටයුතු කරද්දී මුස්ලිම් ජාතිකයනට පමණක් නීතිය ඉදිරියේ සුවිශේෂී වරප්‍රසාද ඉල්ලීම තුල රට තුල අන්තවාදී මත දරන පිරිස් එවැනි ප්‍රකාශ මගින් උත්තේජනය වන බව නොරහසකි.

‘පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය මිනිසුනට සාධාරණයක් ඉටු කිරීම වස් වගඋත්තරකාරයන්ට දඬුවම් දීම’ පසෙකලා වත්මන් අධිකරණ අමාත්‍යවරයා අන්තවාදී මත වෙනුවෙන් පෙනී සිටීම වත්මන් රජයට ලක්‍ෂ 69 ඡන්දය ලබා දුන් ජනතාවගේ බලාපොරොත්තුව නොවන බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ බලවත් අවධානයට යොමු විය යුතු කාරණයකි.

මෙවන් වාතාවරණයක් තුල අලි සබ්රි මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි කරුණකි.

එසේ පත්වූ අමාත්‍යවරයා නීතිය ඉදිරියේ සියළු දෙනා සමානය යන මූලධර්‍මයට පිටුපා කරන ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදයට, ජාතික ආගමික සහජීවනයට බරපතල තර්ජනයකි. බාධාවකි.

2021/01/11 දින කැබිනට් මණ්ඩලයට අධිකරණ අමාත්‍යවරයා යෝජනා කරන්නේ දෙමළ භාෂාව කථාකරන නීතීඥවරුන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වශයෙන් 150 ක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගත යුතුය යන්නයි.

අප සිහිපත් කරනුයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැක පිට අත් අඩංගුවේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා වැනි පිරිස් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධූරය වැනි තනතුරුවලට පත්ව, පොලිස් දෙපාර්තමේන්තුවේ බලය අන්තවාදී බලවේග විසින් පාලනය කරන තත්වයක් ඇති වුවහොත්, මෙරට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් වගකියන්නේ කවුරුන්ද යන්න සේම සාධාරණ සැකයක් මතුකරවන ප්‍රශ්ණයකි.

වත්මන් රජයේ අධිකරණ අමාත්‍යවරයාගේ වැඩ සහ හැසිරීම කිසිසේත්ම ලක්‍ෂ 69 ක් බලය ලබා දුන් බහුතර ජනතාව අනුමත නොකරන අතර අධිකරණ අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කළ යුතුය යන්න බහුජන මතය සහ අපගේ පොදු විශ්වාසයයි.

අතිපූජ්‍ය ගෞරවනීය මහනායක මහානාහිමිපාණෙනි,

ඉහත කාරණය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ බලවත් අවධානයට යොමු කරවා අධිකරණ අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර සුදුසු පුද්ගලයෙකු එකී තනතුරට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්‍ග ගන්නා මෙන් මහජනතාවගේ පොදු ඉල්ලීමත්, නීතියේ රැකවරණයත්, සර්ව සාධාරණත්වයත් අගයන මහජනතාවගේ ඉල්ලිම අති ගෞරවනීය මහා සංඝරත්නය වෙත මෙයින් ඉදිරිපත් කරන්නෙමු.

චානක බණ්ඩාර ගුණතිලක

ලේකම්,
(ජාතික සංවිධායක),
සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *