ආයෝජකයින් කැඳවිය යුත්තේ අපට කළ නොහැකි කාර්යයක් කිරීම සඳහායි.. අවුරුදු 2 න් නැඟෙනහිර ජැටිය හදල දෙන්නම්.. වරාය ඉංජිනේරුවෝ ජනපතිට කියති

ආයෝජකයින් කැඳවිය යුත්තේ අපට කළ නොහැකි කාර්යයක් කිරීම සඳහායි.. අවුරුදු 2 න් නැඟෙනහිර ජැටිය හදල දෙන්නම්.. වරාය ඉංජිනේරුවෝ ජනපතිට කියති

*********************************************

ආයෝජකයින් කැඳවිය යුත්තේ අපට කළ නොහැකි කාර්යයක් කිරීම සඳහායි.. අවුරුදු 2 න් නැඟෙනහිර ජැටිය හදල දෙන්නම්.. වරාය ඉංජිනේරුවෝ ජනපතිට කියති

(19.01.2021 – 06:01 +0530 – lankaleadnews.com)

ආයෝජකයින් කැඳවිය යුත්තේ අපට කළ නොහැකි කාර්යයක් කිරීම සඳහා බව ශ්‍රී ලංකා වරාය ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු ආර්.පී.පී. ක්‍රිෂාන්ත මහතා පවසයි.

මේ වන විටත් නැඟෙනහිර පර්යන්තයෙන් 1/3 ක් වරාය අධිකාරිය මගින් සාදා නිමකර ඇති බවත් එමගින් වසරකට ඩොලර් මිලියන 50 ක ආදායමක් ලබාගත හැකි බවත් ඔහු අනාවරණය කරයි. එය ඉදිරියේ දී ඩොලර් මිලියන 250 දක්වා ඉහළ නැංවිය හැකි බවත් ඔහු සඳහන් කරයි.

සංවර්ධනය කිරීමට යැයි 2002 ඉන්දියාවට තිරිකුණාමල තෙල් ටැංකි කිහිපයක් ලබා දීම නිසා ඉතිරි තෙල් ටැංකි ටික පවා රටට ලබාගත නොහැකි පසුබිමක ඉන්දියාව වරායට වද්ද නොගත යුතු බවට ඔහු අනතුරු අඟවයි.

මේ නිසා ඉන්දියාව අප සමග තරහ නොවන බවත් තරහ වන්නේ නම් පාඩු ඔවුන්ට ම බවත් ඔවුන්ගේ විශාල භාණ්ඩ ප්‍රමාණයක් අපේ රටට ගෙන එන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

වසර දෙකහමාරක් (2½) ඇතුළත නැඟෙනහිර පර්යන්තය ඉදිකිරීමට වරාය ඉංජිනේරුවන්ට හැකි බවත් ඒ සඳහා ඩොලර් මිලියන 600 ක ණයක් උවමනා නැති බවත් ඩොලර් මිලියන 100 ක ණයක් හොඳට ම ප්‍රමාණවත් බවත් ඔහු අනාවරණය කරයි.

අදානි සමාගම විසිංජම් වරායට විශාල ආයෝජනයක් සිදුකර කොළඹ වරායට සුළු ආයෝජනයක් රැගෙන එන්නේ අපට ආදරයට නොවන බවත් කොළඹ වරාය දියුණු කර තම විශාල ආයෝජනය අසාර්ථක කර ගැනීමට ඔවුන් කටයුතු නොකරන බවත් එහි කමිටු සාමාජික ඉංජිනේරු ලක්මාල් අබේසිංහ මහතා සඳහන් කළේ ය.

මේ වන විට වරාය අධිකාරියේ සභාපති ධුරයේ කටයුතු කරන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් අයකු බවත් ලෝකයේ සෙසු වරායවල ආයෝජනය කළ හැකි මට්ටමට වරාය අධිකාරිය දියුණු කිරීමේ වගකීම ඔහුට ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේ ය ෴

***************************************

නැගෙනහිර පළාතේ හුදකලා හිමිවරුන්ට මරණ තර්ජන

(19.01.2021 – 13:18 +0530 – lankadeepa.lk)

(පාෂාණ පබ්බත විහාරය)

නැගෙනහිර පළාතේ පැරණි බෞද්ධ විහාරස්ථානවල හුදකලාව වැඩසිටින භික්‍ෂුන් වහන්සේලාට විවිධ ප්‍රදේශවලින්, විවිධ වෙස්ගෙන පැමිණ සිටින අපරාධකරුවන් සහ පැරණි කොටි සාමාජිකයන්ගෙන් මරණ තර්ජන එල්ලවෙන බව නැගෙනහිර පළාතේ ලංකාපටුන විහාරස්ථානයේ විහාරාධිකාරී හම්බෙගමුවේ අස්සජි හිමියෝ පවසති.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ ‘ස්වර්ණම් බේස්’ කඳවුර පිහිටා තිබු ඊච්චලම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙරුගල්හි පාෂාණ පබ්බත විහාර විහාරයේ වැඩසිටි 70 හැවිරිදි වියේ පසුවු උඩුහාවර ධම්මරත්න හිමියන්ට මීට දින කිහිපයකට පෙර පිරිසක් පහරදීම හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගත කරන්නට සිදුවු බවද අස්සජි හිමියෝ පවසති. කොටිහඬ ගුවන් විදුලියේ නැගෙනහිර පළාතේ සම්ප්‍රේෂණාගාරය පිහිටා තිබුණේ මෙම පාෂාණ පබ්බත විහාරස්ථානයේය.

නැගෙනහිර පළාතේ කොටි නායකයෙක්ව සිටි තැනැත්තෙකු, නැගෙනහිර පළාතේ වෙරුගල් ප්‍රදේශයේ පදිංචි වර්තමානයේ දේශපාලන කටයුතුවල නිරතවන පැරණි කොටි සාමාජිකයන් සමග සම්බන්‍ධකම් පවත්වන පිරිසක් සමග කැලණිය ප්‍රදේශයේ මැර පිරිසක් එම විහාර භූමියට ගිය අවස්ථාවේ, භික්‍ෂුන් වහන්සේලාගේ වේශයෙන් පෙනිසිටි දෙදෙනෙකු සමග මැරයන් තිදෙනෙකු ධම්මාරාම හිමියන් වැඩ සිටි කුටියට ගොස් විහාරස්ථානයෙන් පිටවන්නැයි බලකර පහරද ඇතැයි ද අස්සජි හිමියෝ කියති.

පාෂාණ පබ්බත විහාරස්ථායේ මීට පෙර වැඩ වසමින් එහි දියුණුවට වැඩකළ, දිගින් දිගමටම මරණීය තර්ජන එල්ලවී සිටි රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියන් මීට මාස දෙක හමාරකට පෙර ආවාස කුටියේදි අපවත්වී සිටි බවද උන්වහන්සේ සඳහන් කරති. උන්වහන්සේගේ මරණය සියදිවි නසා ගැනීමක් යැයි තීරණය කර සිද්ධිය මේ වනවිට යටපත්ව ඇතත් එය සිය දිවි නසා ගැනීමක් ද යන්න සැකයක් බවද අස්සජි හිමියෝ පෙන්වා දෙති. දේවානන්ද කිත්ති හිමිගේ මරණින් පසු එම දේපල අධිකරණය සතු එකක් බවට ව්‍යාජ ලේඛන අලවා එහි ඇතුලුවීම තහනම් බවට යම් පාර්ශවයක් දැන්වීම් අලවා තිබූ බව ද අස්සජි හිමියෝ කියති. ධම්මරත්න හිමියන්ට පහරදුන් පිරිසට අයත් සිවුරු දරන පුද්ගලයන් දෙදෙනකු මේවනවිට තවත් මැරපිරිසක් සමග පාෂාණ පබ්බත විහාරස්ථානය දැන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවද අස්සජි හිමියෝ අවධාරණය කරති.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මැරක්‍රියා කරන ඇතැම් අපරාධකරුවන් ආරක්‍ෂක අංශවලින් බේරීමට නැගෙනහිර පළාතේ බෞද්ධ විහාරස්ථානවලට ගොස් හරිහමන් දානයක්වත් නැතිව ඒ බෞද්ධ නටඹුන් රකිමින් සිටින භික්‍ෂූන් වහන්සේලාට උපකාර කරන මුවාවෙන් නැවතී ඒවායේ පුරාවස්තු කොල්ලකෑමට සැලසුම් සකක් කරන බවද ලංකාපටුන විහාරස්ථානයට මීට වසරකට පමණ පෙරදී මැර පිරිසක් පහරදුන් බව ද අස්සජි හිමියෝ පවසති.

පුරාවස්තු කොල්ලකෑමට වඩා යුද සමයේ කොටි කදවුරු පැවති බෞද්ධ සිද්ධස්ථාන ඉඩම්වල කඳවුරු අතහැර යාමේදී කොටිසංවිධානය සතුව තිබූ සාමාන්‍ය වැසියන්ගෙන් කොල්ලකන ලද රත්‍රං සහ කොටි සංවිධානය සතු ආයුධ වළදමා ඇති තැන්වලින් ගොඩගැනීම, ඒවායේ වැඩ වසන භික්‍ෂූන් පන්නා දැමීමේ කුමන්ත්‍රණයන් පිටුපස ඇතිබවට සැකකරන්නේ යැයිද අස්සජි හිමියෝ පවසති.ඇතැම් අවස්ථාවල කූට ලෙස සැකසූ ලේඛන රැගෙන මෙම විහාරස්ථානවලට මැරකල්ලි සමග පැමිණෙන භික්‍ෂු වෙස්ගත් පුද්ගලයන් ඒවායේ වැඩවසන භික්‍ෂූන් එළවා දැමීමට ගන්නා උත්සාහය යට ඇත්තේ වෙනත් ප්‍රබල බලපෑමක් යැයි සැකකරන බවද අස්සජි හිමියෝ පෙන්වා දෙති.

(මැරයන්ගේ බලපෑම් හමුවේ අපවත්වූ දේවාවන්ද හිමි)
(විහාරස්ථානයේ ඇති සෙල්ලිපිය පෙන්වන අපවත්වු හිමියන්)
(පහරකෑමට ලක්වූ ධම්මරතන හිමි)

= අජිත්ලාල් ශාන්තඋදය =

***************************************

සාෆිගෙන් වඳවූ සිංහල මව්වරු සහ වඳනොවූ මුස්ලිම් මව්වරු ? නීතිඥ චානක අබේවික්‍රම (18-01-2021)

***************************************

අවුරුදු පන්දාහකට කලින් ඉන්දියාවේ ඉපදී සිටි, රුඩොල්ෆ් බර්නාඩ් ලෙස ලංකාවට ආ පූජ්‍ය ඕලන්දේ ආනන්ද හාමුදුරුවො (11-01-2021)

***************************************

ඩී.එස්. ගුණසේකර සමාගමට සිගරට් ගන්න ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 31,500 ක් දීලා – අනුර කුමාර දිසානායක

(19.01.2021 – colombotoday.com)

ඩී.එස්. ගුණසේකර සමාගමට සිගරට් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 31,500 ක් ලබා දී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකරන ලදි.

අදාළ අනාවරණය :

***************************************

(19.01.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත (2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතනය පනත) සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළා.

ඒ, අනුව අවම වැටුප සියයට 25 කින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴

***************************************

(19.01.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

කලාබලලුවැව රක්ෂිතය කිසියම් පිරිසක් විසින් විනාශ කිරීම සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මෙම රක්ෂිතය ඩෝසර් කරමින් එහි තිබූ වටිනා ගස් කපා දැමීම සම්බන්ධයෙන් පසුගියදා හිරු ප්‍රවෘත්ති අංශය ඔස්සේ අනාවරණය කළ අතර ඒ පිළිබඳව මේ වනවිට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ස්වභාවික වශයෙන් ඉතාමත් වැදගත් හා ඓතිහාසික පසුබිමක් සහිත කලාබලලුවැව රක්ෂිතයේ පිහිටි ගස් කපා දැමීම සම්බන්ධයෙන් ඊට වගකිව යුතු පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර මැණික් ගඟට හානි කරනු ලබන ප්‍රභවයන් 10,377 ක් පරිසර අමාත්‍යාංශය කළ අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.

එහිදී මැණික් ගඟ ඉවුර ඛාදනය වන ස්ථාන 60 කට වැඩි ප්‍රමාණයක්ද, අනවසර වැලි හා මැණික් කැණීම් සිදුකරන ස්ථාන 55 ක්, නාගරික කැලිකසළ ඇතුලු අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 31 ක් සහ මළඅපද්‍රව්‍ය ගඟට බැහැර කරන ස්ථාන 10 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා, භූ විද්‍යා හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදී ඇත්තේ මැණික් ගඟට අපද්‍රව්‍ය බැහැර කිරීම හා නීතිවිරෝධී වැලි කැණීම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ෴

***************************************

(19.01.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායකට සිර දඬුවම් නියම වීම සහ ඔහුගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි.

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක (4) බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමවී සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා.

එම දැනුම්දීම ඊයේ (18) පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමුකළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය කියා සිටියේ.

කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් ලබාදී ඇති තීරණය කථානායකවරයා පිළිගන්නා බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම්දීමක් කළහොත් මන්ත්‍රි ධුරය පුරප්පාඩු බවට වන ගැසට් නිවේදනය නිකුත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා, අප කළ විමසීමකදී සඳහන් කළේ.

@@@@@@@@@@@@@@@@@@@

(19.01.2021 – 09:53 +0530 – hirunews.lk/sinhala)

කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 297 දෙනෙකු ඊයේ (18) රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින මෙරට වැසියන් ගෙන්වාගැනීමේ වැඩසටහන යටතේ මොවුන් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරිවරයා සඳහන් කළේ.

මොවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++

(19.01.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

සති දෙකකට (2) වැඩි කාලයක් හුදකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ, වානිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයන්ට එම කාලසීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස හයක (6) සහන කාලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම සහන කාලය තුළ විදුලි සැපයුම විසන්ධි නොකිරීමටද තීරණය කර ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්පල වලට අදාළව පසුගිය වසරේ මාර්තු මස 01 වනදා සිට මේ වසරේ පෙබරවාරි 28 වනදා දක්වා කාලය තුළ විදුලි බිල්පත් සහ ජල බිල්පත් සමාන වාරික 12 කින් නිරවුල් කිරීම සඳහාද අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව සඳහන්.

එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාශාලා සඳහාද පසුගිය වසරේ මාර්තු මස සිට දෙසැම්බර් දක්වා විදුලි බිල්පත් සමාන වාරික 12 කින් ගෙවීමටද අවස්ථාව සළසා දී තිබුණා ෴

++++++++++++++++++++++

(19.01.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala)

බොරලැස්ගමුව නගරසභා සේවකයෙකුට කොරෝනා ආසාදනය වීමෙන් එම නගර සභා පරිශ්‍රයේ වරිපනම් අංශ තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම අංශයේ 17 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ආසාදිත පුද්ගලයා වේරහැර පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයාගේ මව මිය යාමෙන් පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මොහුටද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි බොරලැස්ගමුව නගරසභාවේ සභාපති කේ. ඩී. අරුණ ප්‍රියශාන්ත මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++++

(19.01.2021 – 11:25 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය විසි හතරක (24) කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පුද්ගලයින් 378 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඉන් 91 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා වෙත සහ කුවේට් රාජ්‍යය සඳහා 47 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

එම කාලසීමාව තුළ එක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්ද දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 538 දෙනෙකු ගුවන් යානා 9 කින් දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(19.01.2021 – 11:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ කිහිපයක් ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් හඳුනාගෙන තිබෙනවා.

එහි ප්‍රධානි වෛද්‍ය ටිම්ස් පෙක්ටර් ප්‍රකාශ කළේ එම රෝග ලක්ෂණ අතර දිව ආසාදනයට පත්වීම විශේෂ බවයි.

තුවාල, රත් පැහැති බිබිලි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට දක්නට ලැබීම මෙම ලක්ෂණ අතර වනවා.

එමෙන්ම හිසරදය සහ සමේ කුෂ්ඨ ඇති වීමද මෙහි නව ලක්ෂණ බවයි එම විශේෂඥයින් ප්‍රකාශ කළේ.

මේ අතර කොරෝනා වෛරසයට නිපදවා ඇති එන්නත් නිවැරදි ක්‍රමවේදයකට අනුව බෙදා හැරීම සිදු නොවුණහොත් සංවර්ධනය වෙමින් පවතින රටවල් දැඩි අර්බුදයකට මුහුණ දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

එහි ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩ්නම් ගෙබ්‍රියේසස් කියා සිටියේ සංවර්ධිත රටවල් 49 කට එන්නත් මිලියන 39 ක් බෙදී යනවිට සංවර්ධනය වෙමින් පවතින රටකට ලබාගත හැකි වන්නේ එන්නත් 25 ක් පමණක් බවයි.

මේ ආකාරයෙන් පැවතියහොත් සංවර්ධනය වෙමින් පවතින රටක දස දෙනෙකුගෙන් (10) එක් අයෙකුට (1) පමණක් මෙම එන්නත් ලබා ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය වන බවද ඔහු කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *