යහපාලනයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට කඩිනමින් සාධාරණය ඉටුවනු ඇති බව උදය ගම්මන්පිල කියයි

යහපාලනයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට කඩිනමින් සාධාරණය ඉටුවනු ඇති බව උදය ගම්මන්පිල කියයි

*********************************************

යහපාලනයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට කඩිනමින් සාධාරණය ඉටුවනු ඇති බව උදය ගම්මන්පිල කියයි

(19.01.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මේ අතර යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය වෙනුවෙන් කඩිනමින් සාධාරණය ඉටුවනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

රන්ජන් රාමනායකට හිමි වූ බරපතල වැඩ සහිත සිර දඬුවම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළේ ‘හිරු ටී.වී. සළකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

***************************************

(19.01.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු තීරණය කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්ණායකයන්ට අනුකූලව බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

මෙවර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ඊට අදාළ අභියාචනා මාර්ගගත ක්‍රමයට ලබාගැනීමට අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවයි.

***************************************

(19.01.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුමට නිසි විසඳුමක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සූරියවැව, වල්සපුගල ප්‍රදේශයේදී ගොවි සංවිධාන රැසක නියෝජිතයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (19) දෙවන (2) දිනටත්ක්‍රියාත්මකයි.

සත්‍යග්‍රහය අතරතුර අලි මිනිස් ගැටුම හේතුවෙන් මියගිය අය මෙන්ම අලින් වෙනුවෙන්ද පිං පැමිණවීමක් සිදුකිරීම විශේෂත්වයක් වුණා.

***************************************

(19.01.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගත රැඳවියන් ඉදිරිපත් කර ඇති අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නව අභියාචනාධිකරණ හතරක් (4) කඩිනමින් ස්ථාපිත කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි සහ බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකදියි.

අභියාචනා තීරණය ලැබෙන තෙක් බන්ධනාගාරය තුළ රඳවාගෙන ඇති අභියාචනා සිරකරුවන්ගේ ප්‍රමාණය අධික වී ඇති බැවින් එම තත්වය මඟ හරවා ගැනීම සඳහා නව අභියානාධිකරණ ස්ථාපිත කිරීමටයි එහිදී අවධානය යොමුවී ඇත්තේ.

එමෙන්ම සුළු මත්ද්‍රව්‍ය හා අනෙකුත් වැරදි සඳහා බන්ධනාගාර ගතවන පුද්ගලයින් ප්‍රජාපාධක විශෝධන දෙපාර්තමේන්තුව යටතේ පුනරුත්ථාපනය කර සමාජ ගතකිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් සකස් කිරීම කෙරෙහිද අදාළ සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය වූ බවයි බන්ධනාගාර කළමනාකරණ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

(19.01.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කළේ යැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 3 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළා.

2017 වසරේ ජනවාරි මාසයේදී සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත් ශිෂ්‍යාවක් තමන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

එහිදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එම වසරේ අප්‍රේල් මාසයේ කොළඹ දී ප්‍රකාශයක් සිදුකර තිබුණා.

එමගින් අධිකරණයට අපහාස වූ බව පවසමින් මහාචාර්ය සරත් විජේසූරිය නඩුවක් ගොනු කළා.

අද (19) එම නඩුව කැදවූ අවස්ථාවේදී විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයා ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින බවයි ෴

***************************************

(19.01.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ අද (19) පැවති මාසික සභා රැස්වීම අතරතුර එහි විපක්ෂ නායක මින්සාර් මොහොමඩ්ට පහරදුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඉන්දික රුක්ෂාන් රාජපක්ෂ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (19) පැවැත්වුණේ සභාපති ලාල් සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා විපක්ෂ නායක අසුනේ වාඩිවී සිට ඇති අතර, එම අවස්ථාවේම සභා ගර්භයට පැමිණි විපක්ෂ නායක මින්සාර් මොහොමඩ් අදාළ මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ අසුනෙන් ඉවත්ව යන ලෙසටයි.

එම අවස්ථාවේ අදාළ පහරදීම සිදුව ඇති බව වාර්තා වනවා.

***************************************

(19.01.2021 – 16:02 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනුෂ නානායක්කාර පත් කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ බව අද (19) නිවේදනය කළේ මීට පෙර කාරක සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ එම ධුරවලින් ඉල්ලා අස්වීම හේතුවෙන් ෴

***************************************

(19.01.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිර දඬුවම් නියමකිරීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම සිදුවන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අද (19)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් රන්ජන් රාමනායක පිළිබඳව පාර්ලිමේන්තුවට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා රන්ජන් රාමනායකට ලැබුණු නඩු තීන්දුව පිළිබඳව මෙන්ම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධි විධාන පිළිබඳව ද දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියේ (ඈ) උප වගන්තිය අනුව ඡන්දදායකයෙකු වීමට නුසුදුස්සකු වීම ගැන ප්‍රථමයෙන් අමාත්‍යවරයා අවධානය යොමුකලා.

(උපුටා ගැනීම – ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව)

(ඈ) යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් කියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ ඡන්ද හිමියකු වීමේ අයිතිවාසිකම.

මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය : එසේ වුව ද, මේ ඡේදය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේ ය.

මේ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන්ගේ සිර දඬුවම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රන්ජන් රාමනායකට සිර දඬුවම ලබා දී ඇත්තේ මෙරට උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බවයි.

මේ හේතුවෙන් එම තීන්දුවට අභියාචනාවක් ඉදිරිපත් කරයි නම් එය “Privy Council” වෙත ඉදිරිපත් කළ යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ වෙතත් වර්ෂ 1972 සිට එවැන්නක් ඉදිරිපත් කර නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලබා දී ඇත්තේ ව්‍යවස්ථාවෙන් වන අතර ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දු ලබාදීම සඳහා ව්‍යවස්ථාවේ 105 වන වගන්තියේ 03 වන උප වගන්තියට අනුව අසීමාන්තික බලයක් ලබා දී ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(උපුටා ගැනීම – ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව)

(3) ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේ ය. අධිකරණයේ දී ම නැතහොත් අන් ස්ථානයක දී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින් ම හෝ දඬුවම් කිරීමේ බලය ද ඇතුළුව එබඳු අධිකරණයක සියලු බලතල ඒ අධිකරණයන්ට ඇත්තේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලබා දී ඇත්තේ පාර්ලිමෙන්තුවෙන්ම බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී M A සුමන්තිරන්ගේ අදහසට එකඟ වෙමින් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුතු වුවත් ඒ සඳහා මෙය අවස්ථාවක් නොවන බවයි.

එහිදී නැවත නැවතත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන්ට එරෙහි නඩු තීන්දුව ලබාදුන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙරට පවතින උපරිමාධිකරණය බවත් අදාළ නඩු තීන්දුව ලබාදීමට බලය සහිත බවත් එම බලය පාර්ලිමේන්තුව විසින්ම ලබා දී ඇති බවත්ය.

අධිකරණය යහපත් චේතනාවෙන් විවේචනය කළ හැකි අතර එහි සීමාවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබිය යුතු බවත් එසේ නොමැති වුවහොත් අධිකරණය නිහඬව නොසිටිනු ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

අධිකරණය, විධායකය සහ පාර්ලිමේන්තුව සතු ගරුත්වය රැකගතයුතු බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ.

නීතියට පටහැනිව කිසිවක් සිදුව නොමැති බවත් නීතිය ඉක්මවා යමින් කිසිවක් සිදුව නොමැති බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා සඳහන් කළේ සියල්ල සිදුව ඇත්තේ පාර්ලිමේන්තුවෙන් සකස් කළ ව්‍යවස්ථාවට අනුව බවයි ෴

++++++++++++++++

***************************************

(19.01.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ලුණුගම්වෙහෙර – 64 සිංහපුර ග්‍රාම නිලධාරීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (19) අත්අඩංගුවට ගනු ලැබුවා.

වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි එම කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය සඳහන් කළේ.

පැමිණිලිකරු ස්ථීර පදිංචිව සිටින ලිපිනය සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ඡන්ද හිමි නාම ලේඛනයේ නම ලියාපදිංචි වී ඇති බැවින් එය නිවැරදි කර ගැනීම සඳහා සැකකරු මෙම මුදල ලබාගෙන තිබෙනවා ෴

***************************************

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

(19.01.2021 – news.navy.lk)

2021 ජනවාරි 18 වන දින රාත්‍රී කාලයේ ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ අන්තර්ජාතික මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 8 ක් පමණ (කිලෝමීටර 15 ක් පමණ) දුරකින් සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සොයා, සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් පෙරදින රාත්‍රියේ සිට අඛණ්ඩව සිදු කරමින් සිටී.

අන්තර් ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළුව ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජනවාරි 18 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී. මෙහිදී නාවික හමුදා යාත්‍රා මඟහැර අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස නාවික හමුදා යාත්‍රාවක් සමඟ ගැටීමට සලස්වා පැනයාමට උත්සාහ කල එක් ධීවර යාත්‍රාවක් සමතුලිතතාවය ගිළිහී පෙරළී යාම හේතුවෙන් මුහුදේ ගිලී ගොස් අනතුරට පත්වී ඇත. එමෙන්ම මෙම ගැටීම හේතුවෙන් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවට ද අලාභහානි සිදුවී ඇති අතර, එය කංකසන්තුරය වරාය වෙත ආරක්‍ෂාකාරීව අළුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබේ.

අනතුරට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් සොයා, සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් පෙරදින රාත්‍රියේම (2020 ජනවාරි 18) ක්‍රියාත්මක කරන ලද අතර, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්ද ඇතුළුව නෞකාවන් හා යාත්‍රා මේ වන විටත් අදාල මුහුදු ප්‍රදේශයේ එම මෙහෙයුමේ නිරතව සිටී.

ශ්‍රි ලංකාවට අයත් මුහුදු කළාපය තුල අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා මෙලෙස ඉතා අනතුරුදායක සහ අවේගශීලී ලෙස යාත්‍රා හැසිරවීම පුන පුනා සිදුකරනු ලබන ක්‍රියාවක් ලෙස නිරීක්‍ෂණය කර තිබීම හේතුවෙන් ‍එලෙස යාත්‍රා හැසිරවීමේ ඇති අනතුරුදායක තත්වය පිළිබඳව එම ධීවරයින් දැනුවත් කරන ලෙස අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමටද කටයුතුකර ඇත. එමෙන්ම මෙම අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් අදාල ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ කටයුතු සිදුකෙරේ.

***************************************

(19.01.2021 – 18:12 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 13 සිට මෘත දේහ සකස් කරන දියණියක් පිළිබඳව පුවතක් ගාල්ල පරගොඩ ප්‍රදේශයෙන් වාර්තාවනවා.

එම දියණියගේ මවුපියන් දෙපළ ද ඔවුන්ගේ ජීවිකාව කරගෙන ඇත්තේ මෘත දේහ සකස්කිරීමයි.

“මට ලොකු ලොකු ප්‍රාර්ථනා නැහැ.මේ පැත්තේ මළ ගෙයක් වුණොත් මට තමයි ගොඩක් වෙලාවට කියන්නේ. මල ගෙදර අතරමඟදී වුවමනාවක් වුණොත් ඕන වෙලාවක මම ගිහින් ඒ අවශ්‍ය වැඩ කටයුතු කරලා දෙනවා. ඒ හැර අම්මාට තාත්තට උපකාර කිරනවා. ‘මගේ මගේ’ කියලා මොනම දෙයක්වත් බදාගෙන ජීවත් වෙන්නේ නැහැ. මේ ශරීරය දවසක අපිට නැතිවෙලා යනවා කියලා හොඳින්ම අවබෝධ කරගෙනයි මම ජීවත් වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව”

@@@@@@@@@@@@@@@@@@@@

(19.01.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 774 දෙනෙකු අද (19) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 46,594 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 6,886 ක් ෴

+++++++++++++++++++++

(19.01.2021 – 18:20 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 337 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ ගුරුවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමඟ එම පාසල සහ අදාළ ගුරුවරයාගේ බිරිඳ සේවය කරන බඹරවාන මහා විද්‍යාලය අද (19) තාවකාලිකව වසා දැමුණා.

දැනට හුදකලා කර ඇති අටළුගම, එපිටමුල්ල සහ බමුණුගම ග්‍රාම නිලධාරී වසම්වල පදිංචි පුද්ගලයන් 200 ක පමණ පිරිසක් එක්ව අද (19) සංවිධාන කිරීමට ගිය උද්ඝෝෂණයක් පොලීසියේ මැදිහත්වීමෙන් නවතා දැමුණු බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (19) උද්ඝෝෂණයක නිරතවුණේ තම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට වෛරසය ආසාදනය වුවහොත් රෝහල තුළම ප්‍රතිකාර ලබාගැනීමට ඉඩ සළසා දෙන ලෙස ඉල්ලමින් ෴

++++++++++++++++++++++

(19.01.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ජෛව ආරක්ෂිත බුබුළක් යටතේ මෙරට සංචාරයක නිරත යුක්ක්‍රේන ජාතිකයින් 45 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද (19) පොළොන්නරුව පූජා භූමියේ සහ මාතලේ ප්‍රදේශවල සංචාරයක නිරත වුණා.

ඒ සඳහා සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ද එක්ව සිටියා.

පොළොන්නරුවට පැමිණි යුක්‍රේන සංචාරකයින් පිළිගැනීමේ චාම් උත්සවයක්, පොළොන්නරුව පරාක්‍රමබාහු රාජමාළිගය ඉදිරිපිටදී සංවිධානය කර තිබූ අතර, අනතුරුව ඔවුන් පොළොන්නරුව පූජා භූමියට අයත් රාජසභා මණ්ඩපය, වටදාගෙය, අටදාගෙය, ථූපාරාමය, රන්කොත්වෙහෙර සහ ගල්විහාරය යන ස්ථානවල සංචාරයක නිරත වුණා.

ඇතැම් ස්ථානවලදී මෙම සංචාරකයින් නිරෝධායන නීති උල්ලංගණය කරමින් මුව ආවරණ පැළඳ නොසිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

පොළොන්නරුවේ සංචාරය නිම කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණියේ මාතලේ ප්‍රදේශයටයි.

+++++++++++++++++++++++

(19.01.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියනයකට ආසාදිතයන් 2,465 දෙනෙකු වාර්තාවන අතර, මිලියනයකට සිදුව ඇති මරණ සංඛ්‍යාව 12 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඉන්දියාවේ ජනගහණයෙන් මිලියනයකට වාර්තාවී ඇති ආසාදිත සංඛ්‍යාව 7,573 ක් වන අතර, මරණ 109 ක් ලෙස දැක්වෙනවා.

සිංගප්පූරුවේ මිලියනයකට ආසාදිතයන් 10,062 ක් සහ මරණ 5 ක් සිදුව ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ ජනගහණයෙන් මිලියනයකට ආසාදිතයන් 1,121 දෙනෙකු සහ මරණ සංඛ්‍යාව 93 ක් සිදුවන බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ දෛනිකව ආසාදිතයන් 600 ක් පමණ වාර්තාවීම ඉතා අවදානම් තත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.

නිරෝධායන නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම තුළ මෙම තත්වය උද්ගතව ඇති බවයි ඔහු කියා සිටියේ.

++++++++++++++++++++++++

(19.01.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරන තෙක් තමන් නිවසේ සිට ස්වයං නිරෝධායනය සඳහා යොමුවීමට තීරණය කළ බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව අනිද්දා ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වනු ඇති.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ රියදුරෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

හෙට (20) ඔහුටද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

මේ වනවිටත් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් හතරදෙනෙකුට (4) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, එම තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් ඇතුලු 943 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

එම පී.සී.ආර්. පරීක්ෂණවලින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සහ පිටත ආරක්ෂක රාජකාරිවලට අනුයුක්ත තුන්දෙනෙකු (3) කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *