රන්ජන් ගැන බුකියේ කඳුළුවලට අත්තනගල්ලෙන් පිළිතුරක්

රන්ජන් ගැන බුකියේ කඳුළුවලට අත්තනගල්ලෙන් පිළිතුරක්

*********************************************

රන්ජන් ගැන බුකියේ කඳුළුවලට අත්තනගල්ලෙන් පිළිතුරක්

(19.01.2021 – 20:54 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, දේශපාලන පළි ගැනීම් හේතුවෙන් දඩුවමට ලක්වූ දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බවට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේදී අද (19) යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

එය ඉදිරිපත් කළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා විසින්.

මේ අතර ප්‍රාදේශීය සභා සැසිවරයේදී උණුසුම් තත්ත්වයක් ඇති වූයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් රන්ජන් රාමනායකගේ දඬුවම සම්බන්ධයෙන් මුහුණු පොතේ තබා තිබූ සටහනක් හේතුවෙන්.

***************************************

(19.01.2021 – 20:59 +0530 – hirunews.lk/sinhala)

කෝපායි ප්‍රදේශයෙන් හමුවූ ‘කැෆ්රි ෆොක්ස්’ නැමති වෛරස් ගණයට අයත් ‘ගවයන්ට වැළඳෙන සමෙහි ගැටිති රෝගය’ විදෙස් රටකින් මෙරටට පැමිණ ඇති බවට හෙළි වී තිබෙනවා.

මෙම වෛරසය පිළිබඳව සොයාබැලීමට පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සත් පුද්ගල (7) කමිටුවක් පත් කළ අතර, එහි වාර්තාව අද (19) අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා වෙත භාරදුන්නා.

එමගින් දක්වා ඇත්තේ දකුණු අප්‍රිකාවේ තිබූ මෙම රෝගය මැදපෙරදිග සිට නේපාලය හා ඉන්දියාව හරහා මෙරටට පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත් රෝගය මර්දනය සඳහා පළමු අදියර ලෙස අවශ්‍ය එන්නත් එංගලන්තයෙන් ගෙන්වීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියා සිටියේ ෴

***************************************

(19.01.2021 – 21:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන්, සිය මතය එළැඹෙන සිකුරාදා රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ‘කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ පවසනවා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (19) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් මෙම අදහස් පළ කලා.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව සම්පත් විකිණීමක් සිදුනොකරන බවයි.

+++++++++++++++++

(20.01.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය මුල් කර ගනිමින් ජාතික වශයෙන් බරපතල මට්ටමේ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව වෘත්තීය සමිති 09 ක් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම පර්යන්තයේ කොටසක් සංවර්ධනය කර ඇති අතර, ඉතිරි කොටස සංවර්ධනය කිරීම සඳහා ඇස්තමේන්තු කළ මුදල ඩොලර් මිලියන 486 ක්.

වෘත්තීය සමිති ඒකාබද්ධ ප්‍රකාශය මගින් දක්වා ඇත්තේ මෙම කොටස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, දැනුම මෙන්ම අත්දැකීම් ද වරාය සතු වන බවයි.

එසේ තිබියදී මෙම පර්යන්තයේ සියයට 49 ක කොටසක් අවුරුදු 35 ක කාලයකට ඩොලර් මිලියන 700 ක් සඳහා ඉන්දියාවේ අදානි හා ඔවුන් සමඟ සම්බන්ධ වන වෙනත් සමාගමකට විකුණා දැමීමේ යෝජනාවේ කිසිදු ආර්ථික වැදගත්කමක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුව නිසා රජය අදාල යෝජනාව ඉවත් කර ගත යුතු බවයි වෘත්තීය සමිති ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වෙන්නේ ෴

***************************************

(19.01.2021 – 21:42 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර ගැන සොයන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් (19) අවසන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ වාර්තාව ජනවාරි 31 වන දින ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ ෴

***************************************

(19.01.2021 – 22:46 +0530 – hirunews.lk/sinhala)

අයුතු ලෙස වත්තකට ඇතුළුවී පොල් ගෙඩියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (19) අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසයි ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (19) නියෝග කළේ.

මෙසේ ඇප හිමිවූයේ මල්වතුහිරිපිටිය, නීලමහර ප්‍රදේශයේ පදිංචි අයෙකුට බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඔහුට මාර්තු මස 18 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ ෴

***************************************

(20.01.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබා ගත් ‘බැරල් සංඛ’ නැමැත්තා පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) අත්අඩංගුවට ගත් මොහු වසර කිහිපයකට පෙර ‘ඩී. මංජු’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියට ද සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ ෴

***************************************

(20.01.2021 – 07:30 +0530 – sinhala.adaderana.lk)

ලිංගික අතරවරයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇප මත මුදාහැර තිබේ.

කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ප්‍රාදේශිය ළමා ආරක්ෂණ නිලධාරිනියක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ, අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (19) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහැර ඇති බවය.

ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරිනිය විසින් පසුගිය 15 වන දා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරිඇල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ ෴

***************************************

ඡන්ද හිමි නාමලේඛනයේ කටයුතු අප්‍රේල් මාසයේ දී නිමකරනවා – මැතිවරණ කොමිසම

(20.01.2021 – 07:14 +0530 – sinhala.adaderana.lk)

මෙම වසරට (2021) අදාළ ඡන්ද හිමි නාමලේඛනය සඳහා අත්සන් තැබීම අප්‍රේල් මස 30 වැනිදා වන විට සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතීඥ නිමල් ජි.පුංජිහේවා මහතා සදහන් කළේ ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සියයට 80 ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවය.

ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා මේ වන විට පරීක්ෂා කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මන්නාරම සහ වව්නියාව ප්‍රදේශවලට පමණක් විරෝධතා ගොනුකිරීම සඳහා තවත් දින 10 ක කාලයක් ලබාදීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ (19) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම දීර්ඝ කිරීම සිදුකළ බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

කිසියම් පුද්ගලයෙකුට මෙම වර්ෂය (2021) සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ තම නම ඇතුළත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.

http://www.slelections.gov.lk/

***************************************

අධිකරණයට ගිය ඩිජිටල් තාක්ෂණය

(19.01.2021 – 16:39 +0530 – sinhala.adaderana.lk)

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදුකිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව අභියාචනාධිකරණයේ අධිකරණ කාමර 205, 110, 107 යන කාමරවලදී එම කටයුතු ඊයේ (18) දිනයේ දී සිදුකර ඇත.

වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල සිට අන්තර්ජාලය හරහා අවශ්‍ය සම්බන්ධතාවයන් සිදුකර තිබේ.

මේ අතර, අභියාචනා සිරකරුවන්ගේ නඩු ඇසීමට අභියාචනා අධිකරණ 04 ක් ඉතා කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා පවසයි.

බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.

බන්ධනාගාර ගත කරන ලද සිරදඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති අභියාචන තීරණය ලැබෙන තෙක් බන්ධනාගාරය තුළ රඳවා ගෙන ඇති අභියාචන සිරකරුවන්ගේ සිර ග්‍රහණය අධික වී ඇති බැවින් එම තත්ත්වය මඟහරවා ගැනීමට හැකි වන පරිදි අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නව අභියාචනා අධිකරණ 04 ක් ඉතා කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිතය.

මීට අමතරව එම හමුවේ දී අවධානය යොමු වී ඇති කරුණු කිහිපයක් පහතින් වේ :

• 1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය සිරදඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඬුවම ලිහිල් කිරීමට කටයුතු කිරීමට ද මෙහිදී අවධානය යොමුව තිබේ.

• 1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩන සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ මරණීය දණ්ඩනය ලිහිල් කර ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ලිහිල් කිරීම.

• සිරකරුවන්ගේ තදබදය අවම කිරීම සඳහා සුළු මත්ද්‍රව්‍ය හා අනෙකුත් වැරදි සඳහා බන්ධනාගාර ගත වන පුද්ගලයින් බන්ධනාගාර ගත කිරීම වෙනුවට ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව යටතේ පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් සකස් කිරීම.

• මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර කඩිනමින් ක්‍රියාවට නැංවීමට හැකි කරුණු ක්‍රියාත්මක කිරීම.

• බන්ධනාගාර තදබදය අවම කිරීම හා සිරකරුවන් විධිමත් පුනරුත්ථාපන ක්‍රමවේදයකට යොමු කිරීමට පවතින බන්ධනාගාර පද්ධතිය යාවත්කාලීන විය යුතු බැවින් කොළඹ බන්ධනාගාර පරිශ්‍රය විතැන් කර හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත බන්ධනාගාර පද්ධතිය ඉදිකිරීම් කඩිනම් කිරීම හා එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් සංචාරය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදන කිරීම ෴

***************************************

අදානි සමාගමද? ආණ්ඩුවද? යන්න ආණ්ඩුව තීරණය කළ යුතුයි – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව

(20.01.2021 – 11:07 +0530 – lankaleadnews.com)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රටේ යෝජනාව එළඹෙන සිකුරාදා (22) දින ආණ්ඩුවට භාර දීම සඳහා වන ජනතාවගේ අත්සන් ලබාගැනීම ඊයේ (19) දින කටුනායක ආයෝජන කළාපයේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් සිදු කරන ලදී.

මේ අතර මහා සංඝරත්නය, වෘත්තීය සමිති 08 ක සහ සිවිල් සංවිධාන 13 ක සහභාගිත්වයෙන් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (20) පළමු වරට රැස්වූ අතර එහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි, වෘත්තීය සමිති නායකයින් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා විසින් මෙසේ අදහස් පළකර සිටියේය.

මේ ආණ්ඩුව ජනතාව පත්කර ගත්තේ ජාතික සම්පත් සුරකිනවා යැයි වත්මන් පාළකයින් සපථ කර සිටි නිසා වුව ද ඒ පිළිබඳ විශ්වාසය මේ වනවිට කඩවෙමින් ඇති නිසා විශ්වාසය ඇති කරගැනීමට නම් ජාතික අපරාධයක් වන මෙවැනි පාපකර්මවලට අත නොගසා සිටීමට ආණ්ඩුව වගබලා ගතයුතු බවට ඉල්ලා සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් ප්‍රකාශ කර සිටියේය.

දැනට ලාභ ලබන ආයතන දේශීය හෝ විදේශ ආයෝජකයින්ට ලබාදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ජාතික සම්පතක් වන නැගෙනහිර පර්යන්තය රැකගෙන ඉදිරියට සංවර්ධනය කිරීම සඳහා වන තාක්ෂණය, මානව සම්පත් සහ ප්‍රතිපාදන රට සතුව පවතින බවත් ආයෝජන යෝජනාවට විකල්ප රටේ යෝජනාව මහා සංඝරත්නයේ අනුශාසනාවෙන් එලඹෙන සිකුරාදා දින රජයට බාර දෙන බවත් මෙන්ම වෘත්තීය සමිති නායකයින් සහ ක්‍රියාකාරිකයින් දඩයම දැනටමත් පටන්ගෙන ඇතැයි ද වෘත්තීය සමිති නායකයින් සඳහන් කර සිටියේය.

තවදුරටත් ඔවුන් සඳහන් කර සිටියේ ආණ්ඩුව මෙම ප්‍රශ්ණයට මුහුණ දීමට සූදානම් වන්නේ එම ආකාරයට නම් ඔවුන් ද ඒ සඳහා සූදානම් බවත් නැගෙනහිර පර්යන්තය 100% ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු විය යුතු බවත් ඉන් මෙහා නවතින සටනක් ඔවුනට නැති බවත්ය.

වත්මන් පාළකයින් විපක්ෂයේ සිටියදී හම්බන්තොට වරාය සම්බන්ධව පෙළපාලි ගියේ උද්ඝෝෂණය කළේ වරාය ‘විකුණුවා’ කියමින් බවත් අද එයට ‘ආයෝජනය’ යැයි කියමින් කබරගොයා තලගොයා කිරීමට උත්සාහ කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ‘අදානි සමාගමද? ආණ්ඩුවද?’ යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවත් අදානි සමාගම තෝරාගතහොත් එය ආණ්ඩුව කරනා සියදිවි නසාගැනීමක් වන බවත්ය ෴

***************************************

කොළඹ නැව් තටාකාංගණය ගැඹුරු මුහුදේ සන්නිවේදන රැහැන් එළීම සඳහා වන දෙවන (2) නෞකාවත් නිපදවීම අරඹයි

(20.01.2021 – 09:04 +0530 – lankaleadnews.com)

2019 වසරේදී කොළඹ නැව් තටාකාංගණය විසින් ජපානය සඳහා නිපදවන ලද නෞකාව ජාත්‍යන්තරයේ අවධානයට ලක්විමේ ප්‍රතිඵලයක් ලෙස අන්තර් මහාද්වීපික විදුලි සන්නිවේදන සබඳතා ඇතිකිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන ප්‍රංශයේ Orange Marine සමාගම වෙනුවෙන් ගැඹුරු මුහුදේ සන්නිවේදන රැහැන් එළීම සහ අලුත්වැඩියාව මූළික අරමුණ කරගත් මීටර් 100 ක් දිග අධිතාක්ෂණික නෞකාවක් නිපදවීමේ කටයුතු කොළඹ නැව් තටාකාංගණය විසින් මේවනවිට අරඹා ඇත.

නාවික සැතපුම් 14.5 ක වේගයෙන් යාත්‍රා කළහැකි ටොන් 1800 ක ධාරිතාවයක් ඇති පරිසර හිතකාමී මෙය ඉන්ධන මගින් මෙන්ම විදුලි බළයෙන් ද ක්‍රියාකළ හැකි දෙමුහුන් නෞකාවක් වීම විශේෂත්වයකි.

2019 වසරේදී ජපානය සඳහා නිපදවන ලද නෞකාවේ වීඩියෝව පහතින් :

***************************************

අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ යෝග ගුරු තවදුරටත් රිමාන්ඩ්

(20.01.2021 – aruna.lk)

අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ දරුවන් කෲරත්වයට පත්කිරීම, අතවර සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාවට (නිවාස මාතා) හා බරපතළ ලිංගික අතවර, ස්ත්‍රී දූෂණය ඇතුළු චෝදනාවන්ට ලක්ව සිටින යෝග ගුරුවරයා බව කියන සැකකරුට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඔවුන් තවදුරටත් මේ මස 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව වන අනුරාධපුර තම්මැන්නාකුලම ලිපිනයේ පදිංචි 43 හැවිරිදි අමරා වීරසිංහ හා අනුරාධපුර උදය මාවතේ පදිංචි යෝග හා මනෝවිද්‍යා උපදේශකවරයකු යැයි කියාගන්නා පන්නිමුල්ල සිල්වත් නුවන් කැලුම් සේනානායක යන අයයි.

කෲරත්වය පෑම, ලිංගික අතවරයන්ට හා ස්ත්‍රී දූෂණයන්ට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා එකොළහක් (11) සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකාර ප්‍රධාන පාලිකාවට එරෙහිව චෝදනා ගොනුකර තිබෙන අතර ඇය සමග නඩු හයකට (6) යෝග හා මනෝවිද්‍යා උපදේශකවරයා බව කියාගන්නා සැකකරු සම්බන්ධ බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුකෙරුණි.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ළමා හා කාන්තා නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් දයානන්ද මහතා කියා සිටියේ සැකකාරියට එරෙහිව තවත් පැමිණිල්ලක් ලැබී තිබෙන බවයි.

ඇය විසින්, ළමා නිවාසයේ, අධිකරණ නියෝග මත රඳවා තිබෙන දැරියන්ට අමානුෂික අන්දමින් ප්ලාස්ටික් බටවලින්, අතින් පහරදී බොරලු පොළොවේ දණ ගස්සවා ඇති බවට දැරියන් ප්‍රකාශ දෙමින් පැමිණිලි කර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

බුද්ධික මහේෂ් – අනුරාධපුර නැගෙනහිර

@@@@@@@@@@@@@@@@@

(19.01.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

අද (19) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අශෝක අබේසිංහ චෝදනා කර සිටියේ ගුවන් තොටුපල කාර්ය මණ්ඩල සඳහා කොරෝනා පැණිය මිලදී ගන්නා ලෙස දන්වා විද්‍යුත් තැපෑල හරහා පණිවුඩයක් හුවමාරු වන බවටයි.

කෙසේ වෙතත් ගුවන් තොටුපල හා ගුවන් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා තහවුරු කළේ එවැනි කිසිදු තීරණයක් ගුවන් තොටුපල හෝ ගුවන් සමාගම මගින් ගෙන නොමැති බවයි.

කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් බව පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා නිපදවූ පැණිය සම්බන්ධයෙන් වන සායනික පරීක්ෂණ ආරම්භ කර අදට (19) දින 10 ක් ගතවනවා.

කෙසේ වෙතත් එම පැණිය පානය කළ පුද්ගලයන්ටද වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය කියා සිටියේ සායනික පරීක්ෂණවලින් තහවුරු කිරීමට පෙර එය කොරෝනා ඖෂධයක් ලෙස භාවිත කළ හැකි බවට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවයි ෴

+++++++++++++++++++++

(19.01.2021 – 21:59 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 323 ක් වාර්තාවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අද (19) දිනයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 660 ක්.

මෙම නව ආසාදිතයන් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 54,410 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඇෆ්ගනිස්ථානයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ මේ වනවිට වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 54,278 ක් ලෙස සඳහන් වන අතර එරට වාර්තාවන මරණ සංඛ්‍යාව 2,354 ක්.

ඒ අනුව මේ වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 93 වන ස්ථානය හිමිව තිබෙනවා.

මේ වනවිට ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 96,222,720 ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2,055,696ක් ලෙසයි ෴

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා අසාදිත මරණ 3 ක් වාර්තාවන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 273 ක්.

+++++++++++++++++++

(20.01.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා දෙවන (2) රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ආසාදිතයින් 14 දෙනෙකු පැනගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වාලච්චේන පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි කොලොන්නාව – මීතොටමුල්ල – විහාර මාවත ප්‍රදේශයේ පදිංචි ආසාදිතයෙකු ඊයේ (19) පැනගොස් ඇති බවයි ෴

වාලච්චේන – පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා ඇහැලියගොඩ – පැල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් අනුවයි මොහු අද (20) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු කොලොන්නාව – මීතොටමුල්ල – විහාර මාවත ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.

එහි සිටියදී පළා ගිය මෙම පුද්ගලයා ගමන් ගත් මාර්ගය පිළිබදව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

++++++++++++++++++++

(19.01.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ පසුගිය වසරේ මාර්තු 19 වනදා සිට වසා දැමුණු ගුවන් තොටුපළ හෙට (20) සිට යළි සංචාරකයින්ට විවෘත වනවා.

මේ අතර සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන ජාතිකයන් පිරිසක් මෙරටට පැමිණි අතර, ඉදිරියේදී පැමිණෙන සංචාරකයින්ට පවතින නීති රීති ලිහිල් කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම, මෙරටට පැමිණීමට පැය 72 කට පෙර සංචාරකයින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය බවද අමාත්‍යවරයා කියා සිටියා ෴

++++++++++++++++++++

(20.01.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

රුසියාව විසින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහි දෙවන එන්නත සියයට සියයක (100%) සඵලතාවකින් යුක්ත බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මෙම එන්නතෙහි අත්හදා බැලීම් ආරම්භ කර ඇති අතර, විශාල වශයෙන් එන්නත් නිෂ්පාදනය කිරීම ලබන මාසයේදී සිට ආරම්භ කිරීමට නියමිතයි.

කොරෝනා වෛරසයට එරෙහිව මීට පෙර නිෂ්පාදනය කළ ඔක්ස්ෆර්ඩ් එන්නතේ මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ එය සියයට 70 ක සඵලතාවකින් යුක්ත බවටයි. එහෙත්, ෆයිසර් – බයෝ ඇන්ඩ් ටෙක් සහ මොඩර්නා එන්නත් සියයට 95 ක සඵලතාවක් පෙන්නුම් කළා.

ඇස්ට්‍රාසෙනෙකා ප්‍රධානියා සඳහන් කරන පරිදි පූර්ණ අධ්‍යයන වලින් පසු ඔක්ස්ෆර්ඩ් එන්නත ද ඊට සමාන සඵලතාවක් අත්කර ගනු ඇති බවයි.

කෙසේ වෙතත් රුසියාව විසින් නිෂ්පාදනය කර එපිවැක් එන්නත සියයට සියයක සඵලතාවකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++++

(20.01.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත ප්‍රතිපාදනයක් ලෙස භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවල් වෙත බෙදා හැරීම අද (20) සිට ආරම්භ කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අදාළ එන්නත ලබාදීම සඳහා එම රටවල ඖෂධ නියාමන, නිශ්කාෂණ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවත් එම නිවේදනයේ සදහන්.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු සදහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊට අදාළ වාර්තා සකස් කරමින් සිටින අතර ලබන සඳුදා අනුමැතිය සඳහා එය ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කරන බවයි. ඉන් අනතුරුව කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා ඉන්දීය රජය සමග එන්නත ලබා ගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ (19) එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ එළඹෙන මාර්තු මාසය වන විට කොරෝනා වෛරසය සඳහා නිපද වූ එන්නතක් මෙරට ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බවයි ෴

++++++++++++++++++++++

කොවිඩ් පැණි වෙළෙන්දා අත්අඩංගුවට ගන්න කෑගල්ල SSP සුදානම් – විමර්ශනය ඇරඹේ

(20.01.2021 – 11:09 +0530 – truenews.lk)

කොරෝනා වෛරසයට එරෙහිව පැණියක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තාට එරෙහිව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයට එරෙහිව පේරාදෙණිය පොලිසියට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම පැණිය ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් සමග ධම්මික බණ්ඩාර නමැත්තා ඇතිකරගෙන ඇතැයි කියන ගැටුමක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් වී තිබෙනවා.

ධම්මික බණ්ඩාර නමැත්තා මෙම ගැටුම ඇතිකරගෙන ඇත්තේ පැණිය ලබාගැනීමට පැමිණි බටහිර වෛද්‍යවරයෙකු සමග බවයි වරකාපොල පොලිසිය සඳහාන් කළේ.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පැවැත්වෙන මෙම විමර්ශනයෙන් අනතුරුව ධම්මික බණ්ඩාර බොහෝදුරට පොලිස් අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති බවද වාර්තාවනවා.

කෙසේ වෙතත් අද (20) දිනයේ ද විශාල ජනතාවක් මෙම පැණිය ලබාගැනීමට ධම්මික බණ්ඩාර නමැත්තාගේ නිවස ඉදිරිපිට රැස්ව සිටින බවයි සඳහන් වන්නේ ෴

කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් පහරදීමක් සිදු කළේ යයි පේරාදෙණිය පොලිසිය වෙත වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් සෙන් පැමිණිලි කර තිබෙනවා.

ධම්මික බණ්ඩාර හමුවීමට ඔහුගේ නිවසට පැමිණි මෙම වෛද්‍යවරයා ඇතුළු පිරිසට බැණ වැදීමෙන් පසු පහරදී ඇතැයි පැමිණිල්ලේ සඳහන්.

වෛද්‍යවරයා විසින් එම සිදුවීම ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටියදී මෙම සිදුවීම සිදුවී තිබෙනවා.

පසුව නිවසේ සිටි පිරිස විසින් මෙම වීඩියෝව මකා දමා ඔවුන් නිවසේ හිරකර තබා ගැනීමට කටයුතු කර ඇතැයි ද සදහන් ෴

+++++++++++++++

පැණි බාස් වෙදකම අතහැර පාතාල වැඩට බහී; දත් දොස්තර කෙනෙක් ඇතුළු පිරිසකට ගෙට දාගෙන පහර දීලා…!

+++++++++++++++++++

ජනප්‍රිය ක්‍රිකට් තරුවටත් ඇසුරු කළ වෛද්‍යවරියටත් කොරෝනා

(20.01.2021 – mawbima.lk)

කොරෝනා ආසාදිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයයෙකු ඇසුරු කළ හලාවත මහ රෝහලේ වෛද්‍යවරියකට කොරෝනා ආසාදනය වී ඇති අතර දෙදෙනා (2) ම බිංගිරිය කොවිඩ් ඒකකය වෙත ඇතුළු කර ඇති බව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ කපිල මල්ලවආරච්චි මහතා පැවසීය.

මේ ක්‍රිකට් ක්‍රීඩකයා විදෙස් සංචාරයකට යෑමට නියමිතව තිබීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකදී පී.සී.ආර්. පරීක්ෂණයක් කරගෙන ඇති අතර පසුව එම රෝහලෙන් මේ ක්‍රීඩකයාට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව දැනුම් දී තිබේ.

මේ සමග ක්‍රියාත්මක වූ වෛද්‍යවරිය හලාවත රෝහල් බලධාරීන් දැනුවත් කර තම මිත්‍රයාට කොරෝනාවෛරසය ආසාදනයවී ඇති බව දැනුම් දී ඇත. ඒ අනුව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත්තේ වෛද්‍යවරියට ඇගේ පෞද්ගලික වාහනයෙන් හලාවත රෝහලට පැමිණෙන ලෙසයි.

එහිදී වෛද්‍යවරිය කුලියට ලබාගත් වාහනයක් භාවිත කරමින් හලාවතට පැමිණ ඇති අතර එහිදී කුලී රථ රියැදුරුට ඒ බව නොදන්වා ඇති බව ද මේ වන විට වාර්තා වේ. වෛද්‍යවරිය ලබාගත් දුරකතන ඇමැතුමක් පිළිබඳ සැක සිතී කුලී රථයේ රියැදුරු කීපවිටක් ම කොරෝනා ආසාදිත දැයි විමසා ඇතත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබේ. වෛද්‍යවරිය කුලී වාහනයේදී පවා සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරී නොමැති අතර මුඛ ආවරණයක් ද පැළඳ නොසිටි බව අනාවරණය වී තිබේ.

වෛද්‍යවරිය පැමිණි මෝටර් රථයේ රියැදුරුගේ දරුවා ආබාධිතයෙකු වන අතර රියැදුරු ඒ බව ද දන්වා යළිත් ඒ ගැන විමසා ඇතත් ඇය කිසිවක් ප්‍රකාශ කර නොමැත.

මේ පිළිබඳව කළ විමසීමේදී හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි මහතා කියා සිටියේ, මේ වෛද්‍යවරිය හලාවත රෝහලට පැමිණ වහා ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයක් සිදුකර කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු කර ගත් බවයි.

වෛද්‍යවරිය මේ වන විට රෝගී තත්ත්වයේ පසුවන බැවින් මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා නොගත් බව පැවැසූ හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂවරයා, සුව වී පැමිණි වහා ප්‍රකාශයක් ලබාගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පැවැසීය.

මේ පිළිබඳව කළ විමසීමේදී පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, මේ වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය සමස්ත වෛද්‍යවරුන්ට ම කළ අවමානයක් බවයි.

ඒ හේතුවෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන බව ද ඇය වැඩිදුරටත් පැවැසුවා ය ෴

+++++++++++++++++++++

මේ වෙලාවේ අපිට තියෙන එකම විසඳුම පස්පංගුවයි – අසෝක හෙට්ටිගොඩ (සිද්ධාලේප)

(19.01.2021 – mawbima.lk)

කොරෝනා වසංගතයත් එක්ක දේශීය වෙදකම පිළිබඳ පෙර නොවූ විරූ කතිකාවතක් ඇති වෙලා තිබුණත් ප්‍රසිද්ධියේ එය පිළිගැනීම පිළිබඳ යම් වික්ෂිප්තභාවයක් සමාජයේ තියෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස?

මේක අසෝක හෙට්ටිගොඩ ගේ හෝ සිද්ධාලේප එකේ වෙදකම නෙමෙයි. දේශීය වෙදකම කියන්නේ මේ රටේ උරුමයේ කොටසක්. ඉන්දියාවේ රාමායනයේදී රාවණ රජ්ජුරුවන්ගේ වික්‍රමයන් ගැන කතා වෙනවා. නමුත් මේ රටේ මිනිස්සු කියනවා, ඒක මිථ්‍යාවක් කියලා. නමුත් ඉන්දියාවේ ඒක මිථ්‍යාවක් නෙවෙයි. ඉන්දියාවේ රාම දෙවි කෙනෙක් විධියටත් රාවණා විනාශකාරී පුද්ගලයෙක් විදිහටත් සලකනවා. නමුත් එහිම සඳහන් වෙනවා රාවණා කියන්නේ අති දක්ෂයෙක් විදිහට. ඔහු අංශ දොළහකට දක්ෂයි. විශ්වකර්මයෙක්.

ඔහුගේ දක්ෂතාවන්ගෙන් එකක් තමයි වෙදකම කියන්නේ. එයාගෙ සීයා, පුලතිසි. එයා වෛද්‍ය සමුළුවලට පවා සහභාගි වෙලා තියෙනවා. අපේ වෙදකමේ එන ප්‍රධානම මූලධර්ම ටික ආරම්භ කරන්නේ රාවණාගෙන්. ඒ වගේම මේ රටේ විතරමයි වෙදකමට අදාළ පුද්ගලයෙක් රජ වෙලා තියෙන්නේ. ඒ තමයි බුද්ධදාස රජ්ජුරුවෝ. ඒත් ඒ නිකම්ම නෙමෙයි. එතුමා ගෙඩි වෙදකමට විශේෂඥයෙක්. එතුමා සාරාර්ථ සංග්‍රහය කියලා වෛද්‍ය ග්‍රන්ථයක් රචනා කළා. වෙදකම් පිළිබඳ එහෙම කෙනෙක් ඉන්දියාවේවත් නෑ.

අපි සමහර වෙලාවට අපේ තියෙන අඩුපාඩු සියල්ල අධිරාජ්‍යවාදීන්ගේ පිට පටවනවා අධිරාජ්‍යවාදයේ තමයි සියල්ල කළේ කියලා. අපි හිත හදා ගන්නවා. නමුත් අධිරාජ්‍යවාදීන් දැන් නෑ. දැන් අවුරුදු හැත්තෑවකට අධික කාලයක් තිස්සේ මේ රටේ අධිරාජ්‍යවාදීන් හිටියේ නෑ. අධිරාජ්‍යවාදීනුත් නැත්නම් ඇයි අපට තීරණ ගන්න බැරි වෙලා තියෙන්නේ. ඇයි අපිට අපේ දේ වෙනුවෙන් පෙනී සිටින්න බැරිවෙලා තියෙන්නේ. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය.

මම මේ ළඟදී දේශනයකට ගිහිල්ලා ඇහුවා මෙතැන කවුරුහරි ඉන්නවද ඉඟුරු, කොත්තමල්ලි, සුදු ලූනු එහෙමත් නැත්නම් පස්පංගුව පානය නොකළ කෙනෙක් ඉන්නවාද කියලා. එය හරියට කිසාගෝතමිය නොමළ ගෙයකින් අබ සෙව්වා වගේ. නොබීපු කෙනෙක් නෑ. මම ඉන්පසුව ඇහුවා අද පස්පංගුව නොබී ආපු කෙනෙක් ඉන්නවාද කියලා. ඒ වගේ තමයි අද හැමෝම කාටවත් නොකිව්වට හැම ගෙදරකම ඉඟුරු, කොත්තමල්ලි, පස්පංගුව, ලක් පේයාව තම්බනවා. එහෙම වෙලත් ඊට දවසකට පස්සේ මම රජයේ උත්සවයකට සහභාගි වුණහම අපට දුන්නේ හොඳට සීනි දාලා හදපු කිරි තේ එකක්.

අපි කන කෑම බීම, අපේ ජීවන පැවැත්ම මේ සියල්ල නිර්මාණය වෙලා තිබුණේ සෞඛ්‍ය ආරක්ෂාව, පැවැත්ම, නිරෝගිකම වර්ධන වන ආකාරයට, අපේ ප්‍රතිශක්තිකරණය වැඩිවෙන ආකාරයට. අපේ ආගම කුමක් වුවත් හැමෝටම කියලා දීලා තියෙනවා මානසික ශක්තිය ඇති කර ගැනීමට විවිධ භාවනාවන් (meditation) ශාරීරික මානසික චෛතසික ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීමේ දැනුම නිසඟයෙන්ම අපේ ජනතාවට අපේ උරුමයත් එක්ක ලැබී තිබෙනවා.

කොරෝනා වසංගතයේ ආරම්භක අවධියේ සිද්ධාලේපවල ඉල්ලුම එක පාරටම වැඩි වුණා. මිනිස්සු සිද්ධාලේප දාලා දුම් අල්ලන්න පටන් ගත්තා. දෙහි කොළයක් සිද්ධාලේප ටිකක් දාලා දුම් අල්ලන්න අපි අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. මිනිස්සු දන්නවා ඒවයේ කිසිම වසක් විසක් නැහැ කියලා. මේවා එච්චරටම ප්‍රත්‍යක්ෂයි.

සිද්ධාලේප ව්‍යාපාරය කොරෝනා නිසා නැවැත්තුවේ නෑ. සේවකයනුත් ආරක්ෂා කරගෙන කොරෝනාවට මුහුණ දෙන්න ඔබ ආයතනය කළේ මොනවාද?

2019 දෙසැම්බර් වන විට අපි දැක්කා, චීනයේ වූහාන්වල මෙවැනි වයිරස් එකක් පැතිරෙනවා කියන එක අපිට මාධ්‍යවලින් අනාවරණය වුණා. අපේ ආයතන දවසකට සීනි දාපු කිරි තේ දෙකක් ලබා දෙනවා. මම මගේ පියාගෙන් ඇහුවා අපිට බැරිද මේ කිරි තේ දෙකෙන් එක කිරි තේ එකක් වෙනුවට සිද්ධාලේප ලක් පේයාව අපේ කාර්ය මණ්ඩලවලට ලබා දෙන්න කියලා.

පියා එය අනුමත කළා. ඉතින් මම ලිපියකින් දැනුම් දුන්නා එන සතිය සඳුදා සිට උදෑසන කිරි තේ එක වෙනුවට සිද්ධාලේප ලක් පේයාව පානය සෑම සේවකයකුට ලබාදෙන බවට. මේ සම්බන්ධයෙන් මගේ පියාට පෙත්සම් පවා ගැහුවා. සිද්ධාලේප ආයතනය වියදම් සීමා කිරීමට අපිට දීපු කිරි තේ එක කපා හැරලා කියලා. නමුත් එදා මං මගේ පියාට කියල තීරණය ගත්ත නිසා පියා බොහොම පැහැදිලිව කිව්වා කාට හරි බොන්න අවශ්‍ය නැත්නම් නොබී ඉන්න කියලා.

සමහර පිරිස් හිතුවේ බටහිර බෙහෙතක් තියාගෙන ඒ දේ ලබාදීමට වෙයි කියලා සිද්ධාලේප ලක් පේයාව දෙන්න පටන් ගත්තා කියලා. නමුත් මාස දෙක යනකොට මේ පුරුද්ද ශරීරවල වැඩ කරන්න පටන් ගත්තා. මාස දෙක යනකොට විරුද්ධ වූ පිරිස් ප්‍රසාදය පළ කරන්න පටන් ගත්තා. මෙහි ප්‍රතිඵල ලැබෙනවාද ඔවුන්ට දැන් ඕනිද සතුටෙන් මෙය අගය කරමින් පානය කරනවා. ඒ වගේම ඉතාම සහනදායි මිලකට අපේ සේවකයන්ගේ පවුල්වල අයට මේ පේයාව ගෙනියන්න අවස්ථාව ලබාදීලා තියෙනවා. ඔවුන් ඒකෙනුත් ප්‍රයෝජන ගන්නවා.

එය ආයතනයේ ඵලදායිතාවට බලපෑවේ මොන විදිහටද?

අවුරුද්දකට පස්සෙ අපි පර්යේෂණයක් සිදු කළා. සාමාන්‍යයෙන් අපේ ආයතනය අවුරුද්දකට නොපැමිණීමේ දින බැලුවොත් එය 70% ක් නොපැමිණීමේ හේතු තමයි සාමාන්‍යයෙන් වැලඳෙන උණ හෙම්බිරිස්සාව. එදා සිට අද වන තුරු උණ හෙම්බිරිස්සාව නිසා නොපැමිණීම 0% ට ළඟයි. හෙම්බිරිස්සාව ටිකක් තියෙන්න ඇති. හැබැයි ඒක රැකියාවට වාර්තා නොකිරීමට තරම් ගැටලුවක් වෙන්න නැතිව ඇති. හැමදාම කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කරනවා නම් එය ආයතනයේ කාර්යක්ෂමතාවට, ආයතනයේ සුබ සිද්ධියටත් හොඳයි. වැය වන මුදල ගත්තත් දැන් කිරි තේ එකක් 50 ක් හෝ 60 ක් වුණාට සිද්ධාලේප ලක් පේයාව සඳහා වැය වෙන්නේ රුපියල් 30 ක් වගේ මුදලක්.

කිරි තේ එක අයින් කිරීම සම්බන්ධයෙන් විවේචන පැමිණි නිසා අපි කිරි තේ එකේ ගුණය පිළිබඳ විශේෂඥයන්ගෙන් ලිපි ගෙන්නගෙන බැලුවා, මොකක්ද ඇත්තටම මේ කිරි තේවල තියෙන ගුණය කියලා. එහිදී දැනගන්නට ලැබුණා පිළිකා රෝහලේ පිළිකා රෝගීන්ගෙන් වැඩි දෙනෙක්ට එය වැලඳෙන්න එක් හේතුවක් තමයි මේ පිටිකිරි පානය කිරීම.

සෞඛ්‍ය සම්පන්න සේවකයන් පිරිසක් ඇති කිරීමට ආයතනයක් වශයෙන් සුළු හෝ ක්‍රියාමාර්ගයක් අපිට ගන්න පුළුවන් වුණා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඊට අමතරව අද රටේ බහුල වශයෙන්ම තියෙන ප්‍රශ්නයක් තමයි දියවැඩියාව. අපි මේ පේයාව පානය දුන්නේ හකුරු හෝ සීනි නැතිව. සීනි නිසා පීඩාවට පත්වෙච්ච අයටත් එය යම් කිසි සහනයක් වුණා. හවසට දෙන කිරි තේ එක වෙනුවටත් බෙලි මල්, රණවරා, පොල්පලා දෙන්න පුළුවන් බවත් සතියටම එක දවසක් කිරි තේ එකක් ලැබෙන්න පුළුවන් කියලා කිව්වත් අද කිසිවෙක් විරුද්ධ වුණේ නෑ.

මෙම වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. තවමත් නිසි ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. මේ අතරතුර එන්නතක් ගෙන්වන බව කියනවා. අපි තවදුරටත් එන්නත ගෙන්වන තුරු බලා හිඳිය යුතුද?

ඇයි අපිට කොහේ හරි රටකින් එන්නතක් (vaccine) එනකන් බලන් ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි මගේ දුක. මේ එන්නතේ (vaccine) කාලය හෝ මෙහි ඔරොත්තු දීම තාමත් ප්‍රශ්නකාරී. ඒක හරියටම තාම නිර්ණය කරලා නෑ. ඒ වගේම තවත් මතයක් තියෙනවා එන්නත ශරීරගත කළත් එය ඇඟට ඇවිත් තියෙනවා නම් ඒ වයිරස් එක තව කෙනෙක්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා කියලා. එහෙම බැලුවම එන්නතේ තියෙන වටිනාකම මට නම් තේරෙන්නේ නෑ. ඒක තාම ප්‍රශ්නකාරීයි. අද වෛද්‍ය සංගමයයි, ලෝක වෛද්‍ය සංවිධාන කියනවා එන්නත ආවත් තමන්ගෙ ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීම තමයි කළ යුතු හොඳම දෙය කියලා. මොකද මේ එන්නත ක්‍රියා කරන්නේ කොවිඩ්-19 කියන වයිරසයට විතරයි. හෙට අනිද්දා වෙද්දී වෙනත් වයිරසයක් ආවොත් නව ප්‍රභේද ඇති වුණොත් ඒ අලුත් ප්‍රභේදවලට මේකෙ තියෙන සංඝටක ක්‍රියා කරන්නේ නැහැ කියලා.

නව වයිරසවලින් ආරක්ෂා වීමට ජනතාවක් ලෙස අපි කළ යුත්තේ කුමක්ද?

වැදගත්ම දේ තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඇති කරගැනීම. මොකද තමන්ගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය තියෙනවා නම් මේ කිසිම වයිරස් රෝගයක් තමට වැලඳෙන්නේ නෑ. තමන් සම්ප්‍රේෂකයෙක් වෙන්නෙත් නෑ. වයිරසය ඇඟට ආවත් ඇඟේ ප්‍රතිශක්තිකරණය තියෙන නිසා දවසින් දෙකෙන් ඒක ඉවර වෙලා යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා තව අවුරුදු දෙක තුනක්වත් අපට මේ වයිරස් එකත් එක්ක ජීවත් වෙන්න වෙයි කියලා.

මේ වෙලාවේ අපට තියෙන එකම දේ තමයි පස්පංගුව පේයාව. විවිධ පර්යේෂණ සිදු කරමින් අපේ වෙදකම තුළින් කොරෝනා හොඳ කරන්න උත්සාහ කිරීම ඉතා හොඳයි. ඒ ගැන මට හරිම සතුටුයි. ඒ පර්යේෂණවල ගුණ – අගුණ පැහැදිලි වනතුරු අපට ඇයි බැරි පස්පංගුව බොන්න කියලා මිනිස්සු අතර මතයක් හදන්න. පස්පංගුව බොන්න කියා නියෝගයක් දෙන්න. ඇයි අපිට බැරි රජයේ කාර්යාලයක, පෞද්ගලික කාර්යාලවල, අධ්‍යාපන ආයතනවල තේ එක, කිරි එක වෙනුවට පස්පංගුව බීමට පුරුද්දක් ඇති කරන්න. ඇයි අපිට බැරි කොත්තමල්ලි, තිප්පිලි, වෙනිවැල්ගැට, පත්පාඩගම්, කටුවැල් බටු මේවා ගන්න කොළඹට ආ යුතු නෑ. මේ පස්පංගුව නොදන්න කෙනෙකුත් නෑ. සිද්ධාලේප පේයාවම ගත යුතුත් නෑ.

අවුරුදු දහස් ගණනක් තිස්සේ අත්දුටු පස්පංගුව බිව්වා කියලා කිසි කෙනෙක් මැරුන් නෑ. මේකෙ තියෙන ගුණාත්මකභාවය පිළිබඳ විරුද්ධව කතා කරන කෙනෙක් තාමත් අපිට හම්බෙලා නැහැ. බටහිර හෝ දේශීය වෙදකමේ වෙදකමට හරි තැන දීලා, අපේ දේශීය වෙදකමට හොඳ තත්ත්ව පාලනයක් දීලා එය රැකගත්තොත් මේ රටේ සෞඛ්‍යසම්පන්න සමාජයක් බිහි කිරීමේ ප්‍රධාන දායකත්වය අපේ වෙද ක්‍රමෙන් කරන්න පුළුවන්.

පස්පංගුව සමස්ත ශරීරය උත්තේජනය කරමින් ශරීරයට අවශ්‍ය ප්‍රතිදේහ නිර්මාණය කරමින් ප්‍රතිශක්තිය වැඩි කරනවා. එහෙම වුණොත් එන අවුරුදු දෙක තුනට මේ රටේ ලෙඩ රෝගවලින් තුරන්වෙලා ශීඝ්‍ර දියුණුවක් අත් කරගැනීමට හැකි වෙයි.

එවන් තත්ත්වයක් උදෙසා ජනතාව මෙහෙයවීමට ඔබ යෝජනා කරන්නේ කුමන වැඩපිළිවෙළක්ද?

මේ රට දියුණු කරගන්නවා කියන එක බොහොම අමාරු වැඩක්. මේ රටේ හැම මනුස්සයාම අඩු වැඩි වශයෙන් කරන්නේ මේ රට පිටරටවල්වලට දෙන්න කටයුතු කිරීම. අපේ දේශීය වෙදකම පිළිබඳ පර්යේෂණයක් කළොත් එහි තියෙන චිකිත්සක ක්‍රම, එහි තියෙන මූලයන්, අපේ රටටම ආවේණික සංඝටක දෙස් – විදෙස් සංයෝජන ඉන්දියාවෙන් ආවක්ද? එහි මූලය අපේ වෙදකමේ තිබුණාද යන්න විග්‍රහ කරන්න පුළුවන්. නමුත් මේ පස්පංගුව කියන වචනය සංස්කෘත භාෂාවේ නෑ. හින්දි භාෂාවෙත් නෑ. මෙය අපේ දෙයක්. අපේ මිනිස්සු රැකුණේ මේ පස්පංගුවෙන්.

අද අපේ රටේ හැම ගෙදරකම මේ පස්පංගුව බීල ඇඟ තුළ ප්‍රතිශක්තිකරණයක් ඇති වෙලා තියෙන නිසා තමයි මේ වයිරසය මේ තරම් දුරට හෝ පාලනය වෙලා තියෙන්නේ. මෙය මාස්ක් එකෙන් විතරක් පාලනය කරන්න පුළුවන් රෝගයක් නම් මාස්ක් අඳින රටවල්වල මේ තරම් මරණ සිදු වෙන්න විදිහක් නැහැ.

මාස්ක් ඇඳිය යුතුයි. දුරස්ථභාවය තබාගත යුතුයි. දෑත් පිරිසුදු කර ගත යුතුයි. ඇස, කට, නාසය ඇල්ලීමෙන් වැළකිය යුතුයි. නමුත් ඒකෙන් විතරක් ප්‍රතිශක්තිය හැදෙන්නෙ නෑ. අපේ වෙදකම හැදෙන්නේ බෙහෙත්වලින් පමණක් නෙවෙයි. කෑම බීම ඇවතුම් පැවැතුම් චර්යා ආදී සියල්ලෙන්මයි. වත්තේ හැදෙන අල බතල කොළ ටික කාලා මිනිස්සු ජීවත් වුණා. වස විස නැති පලතුරු කෑවා. ඇත්තටම මම හිතන්නේ මේ රටේ අද තිබෙන ගැටලුව අපේ රටේ උරුමය පිළිබඳ අපේ රටේ මිනිසුන් තුළ ලැජ්ජාවක් තියෙනවා. අපේ උරුමය ගැන අපේ මිනිස්සු තුළ කිසිම විශ්වාසයක් නැති වෙලා තියෙනවා. මේ උරුමය රැකගෙන අපට ඉදිරියට යෑමයි මා දකින වැඩපිළිවෙළ.

දේශීය වෙදකම, අපේ උරුමය ගැන යම් දැනුමක් මිනිසුන් තුළ තිබෙනවා නම් ඇයි ජනතාව අපේ වෙදකමට යොමු නොවෙන්නේ. අපේ රටේ උරුමය රැක ගන්න අපි මොනවද කළ යුත්තේ?

මේ වෙදකමේ දැනට මුදල් නෑ. මේවගෙන් කාටවත් මුදල් හම්බ කරන්නත් බෑ. මුදල් හම්බ වෙන්නෙත් නෑ. මේකෙ මුදල් හම්බ වුණත් එය හැම මනුස්සයට බෙදිලා යනවා. වාසිය දෙන්නෙක් තුන්දෙනෙක් අතට බෙදලා යනවා නම් තමයි යම් දෙයක් ජනප්‍රිය වෙන්නේ. මේ උදාවෙලා තියෙන්නේ, අපේ උරුමය රැකගන්න, එය ජාත්‍යන්තරය දක්වා ගෙන යන්න ඉතා හොඳ අවස්ථාවක්. විදේශිකයෝ අපේ රටේ තෙල්වලට කවදාවත් ගඳයි කියන්නෙ නෑ. හැබැයි අපේ මිනිස්සු අපේ තෙල්වලට ගඳයි කියනවා.

විදේශිකයන් අපේ රටට එන්නේ අපේ බෙහෙත්වල තිබෙන ගුණාත්මකභාවය බලන්න. රට මේ තත්ත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් අපට ඉංග්‍රීසි ජාතිකයන්ට පමණක් ‍දොස් කියන්න බෑ. උදාහරණයක් විදිහට මගේ මුත්තට සුදු ජාතිකයන් බෙහෙත් කරන්න තහනම් කළා. එතකොට මගේ මුත්තා සිද්ධාලේපවලට අනුමැතිය ගත්තේ ස්විට්සර්ලන්තයට ගිහිල්ලා. ඒ කාලේ දැන්වීමක සඳහන් වෙලා තියෙන්නේ ‘ස්විට්සර්ලන්තයේ අනුමත එකම ආයුර්වේද බෙහෙත’ කියලා. මහාචාර්ය සේනක බිබිලේ මහතාට පින් සිද්ධ වෙන්න තමයි පසුකාලීනව අනුමැතිය දුන්නේ. නමුත් එහිදී දුන්නෙත් සිද්ධාලේප කියන නාමයට නෙමේ වෙනත් ඉංග්‍රීසි නාමයක් යටතේ. එතුමාට නිසා තමයි එහෙම හරි අවසරයක් ලැබුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • රුපියල් 100 ක පොල් ගෙඩියක් ගත්තට රුපියල් 100,000 ක ශරීර ඇපයක් ! කොහොමද ඔය අසරණ මිනිහා රුපියල් ලක්ෂයක් හොයන්නෙ, පොල් ගෙඩියක් ගන්න රුපියල් 100 ක් නැතිකොට ? රුපියල් කෝටි ප්‍රකෝටි ගනන් මහජනයාගෙන් වංචාකළ සිංහ-එදිරිලට රුපියල් දසලක්ෂයක් ඇප. යකෝ විශ්මලන්තය කැකිල්ලෙ රජුගෙ රාජධානියක් වෙලා ! මේවගේ ගොබ්බ නීති හදන, අසරණ මහජනයාට නීති දාන ගොබ්බ නඩකාරයො ගැන නේද රංජා කිව්වෙ ? චී චී විලි ලැජ්ජයි ! විශ්මලන්තය ධර්මද්වීපයක් නොවෙයි අවීචි මහා නරකාදියක් ! ශ්‍රී ලාංකිකයන් හැටියට අසල්වැසි විශ්මලන්තය ගැන අපට හරි දුකයි !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *