අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

*********************************************

අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(20.01.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

‘ඊසි කෑෂ්’ ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.

ඔහු දින 07 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමටයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න සමරසිංහ මහතා ඊයේ (19) නියෝග කළේ.

සැකකරු ‘ඊසි කෑෂ්’ ක්‍රමයට මත්ද්‍රව්‍ය අලෙවි කර කොපමණ මුදලක් උපයා ගත්තේ ද යන්න පිළිබදව සහ අදාළ ජංගම දුරකථනවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව ද විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

***************************************

(20.01.2021 – 12:17 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල පරිසර හානිය පිළිබද පූර්ණ අධ්‍යයනයක් සිදුකිරීමට විද්වත් කමිටුවක් පත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුතුරාජවෙල සිදුකෙරෙන අනවසර ගොඩකිරීම් සහ අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දී තිබුණා.

ඒ අනුවයි මෙම කමිටුව පත් කරන ලෙස උපදෙස් ලබාදී ඇත්තේ ෴

***************************************

(20.01.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුමට නිසි විසඳුමක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගොවි සංවිධාන රැසක නියෝජිතයින් සුරියවැව – වල්සපුගල ප්‍රාදේශයේදී ආරම්භ කළ සත්‍යග්‍රහය අද (20) තුන්වන (3) දිනටත් ක්‍රියාත්මකයි.

සත්‍යග්‍රහය අතරතුර ඊයේ (19) දිනයේදී එම නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් දේව කන්නලව්වක් ද සිදුකර ශාන්තිකර්මයක් ද පැවැත්වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

හම්බන්තොට, සූරියවැව, වල්සපුගල ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති වන අලි ගැටළුවට විසදුම් ඉල්ලමින් වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුලු ගොවි සංවිධාන 86 ක නියෝජිතයින් පසුගිය 18 වන දා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළා.

තම ප්‍රදේශයේ පවතින මෙම ගැටළුවට කඩිනමින් විසදුම් ලබාදීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

***************************************

(20.01.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට තම දරුවන් 6 ශ්‍රේණිය සඳහා භාර නොගන්නා බවට චෝදනා කරමින් දෙමව්පියන් පිරිසක් අද (20) දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශ අධ්‍යාපන කලාපය ඉදිරිපිටට පැමිණ තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඉහළින් සමත් වුවත් පාසල ආසන්නයේ පදිංචිව සිටින තම සිසුන් භාර නොගැනීමට පාසල් පරිපාලනය පියවර ගෙන ඇති බවයි ෴

***************************************

(20.01.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (19) විවාදයට ලක්වූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගයන් සම්මත වීමේදී විපක්ෂයේ විරෝධයට අවස්ථාව නොලැබුණු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කළේ පස්වන (5) නියමයට ඡන්දයක් ඉල්ලා සිටියද එය නොලැබුණු බවයි.

කෙසේ වෙතත් සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නිසි අවස්ථාවේ ඡන්දයක් ඉල්ලා නොසිටි බවයි.

***************************************

(20.01.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් නමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සිටියදී අත්අඩංගුවට ගත් දස දෙනා (10) නීතිපති උපදෙස් අනුව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර ජයසූරිය ඊයේ (19) නියෝග කළා.

ඒ, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව මොවුන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්දන සහ විමර්ණ කොට්ඨසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනුයි.

ඒ අනුව පැමිණිල්ලේ ඉල්ලීම මත සැකකරුවන් නිදහස් කළ අධිකරණය ඊට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළා.

මෙහි නවවන (9) සහ දහවන (10) සැකකරුවන් මේවනවිටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා (2) මුදහරින ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

මෙහි මුල් සැකකරුවන්ට 2019 වසරේ මැයි මස 06 වනදා ඇප නියම වූයේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පොලිසිය ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙන්.

මොවුන් 10 දෙනා 2019 වසරේ අප්‍රේල් මස 22 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය සහ කොළඹ අපරාධ කොට්ඨාසය සමග එක්ව කළ සෝදිසි මෙහෙයුමකදි අත්අඩංගුවට ගත්තා.

මෙම සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ඔවුන් පාස්කු ප්‍රහාරය සිදු වූ දින සහ ඊට පසු දින පංචිකාවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති බවත් සැකකරුවන් සීම් කාඩ් දෙකට වැඩි ප්‍රමාණයක් භාවිතා කර ඇති බවටත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

පසුව මෙම සිද්ධිය ත්‍රස්ත මර්දන හා විමර්ශණ කොට්ඨාසය වෙත මාරු කෙරුණු අතර සිද්ධියට අදාල විමර්ශණ කටයුතු අවසන් කර ඇතැයි එම කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වෙත දැනුම් දී තිබුණේ 2019 වසරේ නෙැවැම්බර් මස 04 වනදායි.

***************************************

(20.01.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

73 වෙනි ජාතික නිදහස් උත්සවයට සහභාගී කර ගන්නා භට පිරිස් ඇතුළු සියලු දෙනා ඊට එක්කර ගැනීමට පෙර පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

නිදහස් උත්සවය පැවත්වීම සම්බන්ධයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ බව සඳහන් කළා.

73 වෙනි ජාතික නිදහස් උත්සවය පෙබරවාරි 4 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන් අද (20) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

***************************************

(20.01.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මී ගවයින් මස් පිණිස ඝාතනය කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් හේතුවෙන් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටවලපතන වැසියන් මේ දිනවල දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ගම්වැසියන් ඉල්ලාසිටින්නේ මේ සම්බන්ධයෙන් කඩිනමින් අවදානය යොමුකරන ලෙසයි.

මේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්වභාව සෞන්දාර්යෙන් පිරි පිටවලපතන ආශ්‍රිත ගොවි ගම්මානයයි.

ගොවිතැන් තම ප්‍රධාන ජීවනෝපාය කරගනිමින් දිවි ගෙවන ගම්වැසියන් තමන්ගේ ජීවනෝපායට ශක්තියක් වන මී ගවයින්ට සිය දරුවන්ට මෙන් දැඩි ලෙස ආදරය කරනවා.

ඒ කඳු සහිත ප්‍රදේශයක් වන පිටවලපතන ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු වලට මී ගවයින් ඍජු ලෙසම දායක වන බැවින් .

නමුත් කලක පටන් රාත්‍රී කාලයේදී තම මීගවයින් අතුරුදන් වීම ඔවුන්ට ගැටලුවක් වුණා.

මෙම ප්‍රදේශය සංචාරක ආකර්ශනය සහිත ප්‍රදේශයක් වන බැවින් ඊට මුවාවී කලක සිට සංවිධානාත්මක පිරිසක් විසින් රාත්‍රී කාලයේදී පතන ආශ්‍රිතව සිටින මී ගවයින් ඝාතනය කර ශරීර කොටස් තැන තැන දමා මස් රැගෙන යන බවයි පසුව හෙළි වී ඇත්තේ.

මෙම ජාවාරම පිළිබඳව බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් එය නැවැත්වීමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බවටත් ගම්වාසීන් චෝදනා කරනවා.

***************************************

(20.01.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සාම්ප්‍රදායික වළං නිෂ්පාදන කර්මාන්තකරුවන් ගැටළු රැසකට මුහුණ දී තිබෙනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දිනෙන් දින අභාවයට යන සිය කර්මාන්තය යළි නගාසිටුවීමට සවියක් ලබා දෙන ලෙසයි.

මේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය, උඩිස්පත්තුව ප්‍රදේශයයි.

එම ප්‍රදේශයේ පිහිටි බිබියන්වත්ත සහ මහරවෙල යන ගම්මානවල වසර 20 කට අධික කාලය සිට ප්‍රධාන ජීවනෝපාය මාර්ගය බවට වළං නිෂ්පාදනය පත්ව තිබෙනවා.

වළං නිෂ්පාදනය සඳහා තවමත් නවීන යන්ත්‍රෝපකරණවලට වඩා සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ සිය නිෂ්පාදන වෙළෙඳපොළට යැවීමට මෙම කර්මාන්තකරුවන් කටයුතු කරමින් සිටීම පැසසිය යුතු කරුණක්.

නමුත් සිය නිෂ්පාදන කටයුතු සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත්තේ කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුලු මූලික පහසුකම් සපුරා ගැනීමට පවතින ගැටළු හේතුවෙන්.

වළං කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ තම නිෂ්පාදනවලට වෙළෙඳපොළ ඉල්ලුම ඉහළ ගොස් ඇති නිසා වැඩි වටිනාකමකින් අළෙවි කර ගැනීමටද අවස්ථාව උදා වී ඇති බවයි.

නමුත් අමුද්‍රව්‍ය සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවී හේතුවෙන් වලං කර්මාන්තය දිනෙන් දින වළපල්ලට යන බවයි එහි නිරත වන්නන් පවසන්නේ.

දෑතේ විරියෙන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සුවිශේෂී මෙහෙයක් ඉටු කරන මේ කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටින්නේ සිය නිපැයුම් කරගෙන යාමට අවශ්‍ය මූලික පහසුකම් හෝ සපයා දෙන ලෙසයි.

***************************************

(20.01.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය ඉදිරි මාස 6 එළිදැක්වීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

(20.01.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වසර 4 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් හිමිවීම සම්බන්ධයෙන් සහ පසුගිය ආණ්ඩු සමයේ අධිකරණයට සිදු කෙරුණු බලපෑම් පිළිබඳව පූජ්‍ය පක්ෂය සහ දේශපාලනයින් අදත් මෙලෙස අදහස් පළ කළා.

***************************************

(20.01.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

මේ ගොඩකවෙල – බලවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයයි.

1988 වර්ෂයේ සිට මෙහි ගර්භණී මාතාවන්ගේ සහ කුඩා දරුවන්ගේ සායන පවත්වන අතර මෙම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයෙන් ගම්මාන 15 ක පමණ ගැබිණි මාතාවන් සහ මව්වරුන් සේවාවන් ලබාගන්නවා.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලය ඉවත්කර එහි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍යවරයා තීරණය කර ඇති බව මව්වරුන් පවසනවා.

එසේ වුවහොත් තමන්ට විශාල දුරක් ගෙවමින් පින්නකන්ද හෝ ගොඩකවෙල ප්‍රදේශවලට තම සායන සඳහා යෑමට සිදුවන බවටයි මව්වරුන් චෝදනා කරන්නේ.

මෙම ස්ථානයේ සිට 2 km පමණ දුරකින් ගොඩකවෙල සහ පල්ලේබැද්ද යන ප්‍රදේශවල රෝහල් 2 ක් තිබියදීත් මෙහි තවත් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය නොවන අතර මේ සඳහා වැයකිරීමට සූදානම් වන මුදලින් ගොඩකවෙල රෝහලේ ප්‍රසූතාගාර ඉදිකිරීමට හැකිනම් එය මෙම ප්‍රදේශවල මව්වරුන්ට ඉතා පහසුවක් වනු ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ තමන් අපහසුතාවට ලක්කරමින් මෙවැනි තීරණ නොගන්නා ලෙසටයි.

***************************************

(20.01.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ්ගේ පියා ලබන මස 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද (20) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේයි.

මේ අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් නමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සිටියදී අත්අඩංගුවට ගත් දස දෙනා (10) නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර ජයසූරිය ඊයේ (19) නියෝග කළා.

ඒ, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව මොවුන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

මෙහි නවවන (9) සහ දහවන (10) සැකකරුවන් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා මුදාහරින ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබූ අතර, සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ඔවුන් පාස්කු ප්‍රහාරය සිදු වූ දින සහ ඊට පසු දින පංචිකාවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති බවත් සැකකරුවන් සීම් කාඩ් දෙකට වැඩි ප්‍රමාණයක් භාවිතා කර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ.

ඒ අනුව මෙම සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අවශ්‍ය බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ වෙතත් අනතුරුව මෙම සිද්ධිය ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය වෙත මාරු කෙරුණු අතර සිද්ධියට අදාල විමර්ශණ කටයුතු අවසන් කර ඇතැයි එම කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වෙත දැනුම් දී තිබුණේ 2019 වසරේ නොවැම්බර් මස 04 වනදායි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඉලක්කයක් වූ කටුවපිටිය දේවස්ථානයේ 152 වාර්ෂික මංගල්‍යයේ දිව්‍ය පූජාවට අද (20) එක්වෙමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ එම ත්‍රස්ත ප්‍රහාරය කිසි දිනක අමතක කළ නොහැකි බවයි ෴

@@@@@@@@@@@@@@@@

(20.01.2021 – 12:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී පෞද්ගලික හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පූර්ණ සුවය ලබා නිවෙස වෙත ගොස් තිබෙනවා.

කොළඹ පිහිටි තම නිවසට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට තවත් සතියකට වැඩි කාලයක් නිරෝධායනයට ලක්වීමට සෞඛ්‍ය උපදෙස් ලැබී ඇති බවයි ෴

++++++++++++++++++++++

(20.01.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආරක්ෂක හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ හයදෙනෙකු (6) සහ රියදුරන් දෙදෙනෙකු (2) කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් රාජ්‍ය ආරක්ෂක හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා හෝ අමාත්‍ය කාර්යාලයේ කිසිවෙකු අදාළ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නොවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වනවිට එම අමාත්‍යාංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර, ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සෞඛ්‍ය නිර්දේශ අනුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර නිරෝධායන නීතීන්ට පටහැනිව කටයුතු කළ හලාවත මහ රෝහලේ කොරෝනා ආසාදිත වෛද්‍යවරියකට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි මහතා සඳහන් කළා.

අදාළ වෛද්‍යවරිය කොරෝනා ආසාදිත ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ආශ්‍රිතයෙකු බවට අනාවරණ වීමෙන් පසු ඇය ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයා දැනුවත් කර තිබුණා. එහිදී අධ්‍යක්ෂවරයා එම වෛද්‍යවරියට ප්‍රකාශ කර ඇත්තේ තම පෞද්ගලික වාහනයෙන් හලාවත මහ රෝහලට පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත් ඇය තම පෞද්ගලික වාහනයෙන් නොපැමිණ කුලී රථයකින් මහ රෝහලට පැමිණ ඇති අතර, එහිදී වෛද්‍යවරිය ලබාගත් දුරකථන ඇමතුමක් පිළිබඳව අදාළ කුලී රථ රියදුරුට සැක සිතී ඇය කොරෝනා ආසාදිතදැයි විමසා තිබුණද ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු සඟවා ඇති බවයි අනාවරණ වන්නේ.

අදාළ කුලී රථ රියදුරුට ආබාධිත දරුවෙකු ද සිටින බව පවසා ඔහු යළි යළිත් වෛද්‍යවරියගෙන් ප්‍රශ්න කර තිබුණද තමන් කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව හෙළි කර නැහැ. මේ වනවිට එම කුලී රථ රියදුරුද නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

එමෙන්ම අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

හඟුරන්කෙත – මතුරට පොලීසියේ කාන්තා නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා විෂබීජහරණය කිරීමෙන් අනතුරුව මන්දාරම් නුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් යොදවා රාජකාරි කටයුතු සිදු කිරීමට කටයුතු කළා.

කුරුණෑගල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා අඹන්පොල ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අතරතුර පැල්ලන්දෙණිය ප්‍රදේශයේදී ගිලන් රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ගිලන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල – නෙළුව – තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රියදුරු ඇතුලු තවලම සති පොල ආශ්‍රිතව වෙළඳසැල්වලින් තවත් ආසාදිතයන් 10 දෙනෙකු වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රියදුරුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාද මේ වනවිට නිරෝධායනයට ලක්වන බවයි වාර්තාවන්නේ.

+++++++++++++++++++++

(20.01.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහි ඉන්දියානු එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අපේක්ෂාවෙන් සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඉන්දියාව අදාළ එන්නත අපනයනය කිරීම අද ආරම්භ කළ අතර, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් රාජ්‍යය සඳහා පළමු වරට එය ලබාදීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබීමෙන් පසු එය කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ අනුමැතියට ඉදිරිපත් කර මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි ෴

++++++++++++++++++++

(20.01.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ 100 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් හඳුනාගෙන ඇති බවයි.

එම සංකීර්ණයේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට, නීතිඥ සහයෙකුට, ගෘහ පාලන අංශයේ සේවිකාවකට සහ පටිගත කිරීම් අංශයේ කාන්තාවකට මෙලෙස කොරෝනා ආසාදනය වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *