සූරියවැව සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් බවට පත්වෙයි

සූරියවැව සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් බවට පත්වෙයි

*********************************************

සූරියවැව සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් බවට පත්වෙයි

(20.01.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා සූරියවැව වල්සපුගල ගොවීන් පිරිසක් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් බවට පත්කිරීමට තීරණය කර තිබෙනවා.

හම්බන්තොට – සූරියවැව, වල්සපුගල ආදී ගම්මානවලට කාලාන්තරයක් තිස්සේ වන අලීන් පැමිණීමත් සමඟ අලි මිනිස් ගැටුම් උග්‍ර අතට පත්ව තිබෙනවා.

අලින් පහරදීමෙන් මිනිස් ජීවිත රැසක් මේ වන විට අහිමිව ඇති අතර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින් කිහිපදෙනෙකුටද ජීවිත අහිමිව තිබෙනවා.

වන අලින්ගෙන් බේරීම සඳහා රාත්‍රී කාලයේ ගම්වැසියන්ට දිවි ගෙවීමට සිදුව ඇත්තේ ගස් උඩ ඉදිකර ඇති පැල්වලයි.

දහවල් කාලයේ පවා වන අලින් මාර්ග අසළටම පැමිණෙන අයුරුද එම ප්‍රදේශයේ සුලබ දසුනක්.

වන අලින්ගෙන් දිගින් දිගටම එල්ල වන තර්ජන හේතුවෙන් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86 ක නියෝජිතයන් පසුගිය 18 වැනිදා මෙම සත්‍යක්‍රියාවක් ආරම්භ කළා.

ඒ හම්බන්තොට යෝජිත වන අලි කලමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත් පසුගිය දිනවල අප කළ සොයාබැලීමේදී හෙළිවූයේ ඇතැම් සංවිධානාත්මක පිරිස් යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය පවතින ප්‍රදේශයද මහා පරිමාණ වශයෙන් එළිපෙහෙළි කර ඉඩම් අත්පත් කරගනිමින් සිටින බවයි.

වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලමින් සත්‍යග්‍රහයේ නිරත ගම්වාසීන් ඊයේ (19) දේව කන්නලව්වක් සහ ශාන්ති කර්මයක්ද පැවැත්වූවා.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත – 87 වත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් අද ඉවත් කිරීමට යාමේදී එහි පදිංචිකරුවන් සහ පොලීසිය අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.

එහිදී ඔවුන් කියා සිටියේ නව නිවාස ලබා නොදී මෙලෙස පදිංචි නිවාස කඩා ඉවත් කිරීම නිසා තමන් අසරණ තත්වයට පත්ව සිටින බවයි.

වන අලි ගැටලුවට අදාළ විසඳුම් සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බි.රත්නායක මහතා පවසනවා.

පෙබරවාරි මාසයේ මුල් සතිය තුළ ඊට කැබිනට් අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ ජනතාවගේ විරෝධතාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අමාත්‍යවරයා කියාසිටියේ.

අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමෙන් අනතුරුව අලි මිනිස් ගැටුම් වැලැක්වීමේ පළමු පියවර ලෙස සූරියවැව ගොවීන්ගේ ගැටලුවට විසඳුම් ලබා දෙන බව ද ඔහු සඳහන් කළා ෴

***************************************

(20.01.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ගොනු කරනු ලැබුවා.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් හමුවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා දැනුම් දුන්නේ ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ සමාගමේ මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයින් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරතවන බවයි.

ඒ අනුව එය වළක්වාලමින් මෙම අපේක්ෂිත ඇප අයදුම්පත්‍රය ඉදිරිපත් කළ බවද ඔහු අධිකරණයට සඳහන් කළා.

කෙසේ වෙතත් ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ සමාගම පිහිටා ඇත්තේ තම අධිකරණ බල ප්‍රදේශයේ ද යන්න තහවුරු කිරීම සඳහා ඊට අදාළ තොරතුරු හෙට (20) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

මේ අතර ‘ද ෆිනෑන්ස්’ සමාගමේ මුදල් තැන්පත් කර අගතියට පත්වූ පිරිසක් අද (20) කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි එම ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

එමෙන්ම සිය තැන්පත්වලට සිදුවූයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් විමසීමට අගතියට පත් තවත් ‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන් පිරිසක් මහබැංකු පරිශ්‍රය වෙත අද (20) පෙරවරුවේ පැමිණියා. පස්වරුව දක්වා එහි රැදී සිටිය ද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ඔවුන් සඳහන් කළේ ෴

***************************************

(20.01.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍යයේ සැරිසරන, පොලිසිය රැඳී සිටියදී තරුණයෙකුට අමාණුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝපටය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

එම පහරදීමට අදාළ දර්ශන පෙළ පහතින් :

***************************************

(20.01.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයෙකු වන ‘බැරල් සංඛ’ පෙබරවාරි මස 03 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබා ගෙන සිටියදී ‘බැරල් සංඛ’ නැමැත්තා පැළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු වසර කිහිපයකට පෙර ‘ඩී.මංජු’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියටද සම්බන්ධ අයෙක් ෴

***************************************

(20.01.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

පානදුර ප්‍රදේශ කිහිපයකට හෙට (21) රාත්‍රි අටේ (08:00) සිට පැය අටක (8) කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

පානදුර නගර සභා බල ප්‍රදේශය, කෙසෙල්වත්ත හැර ප්‍රාදේශීය සභා සීමාව සහ වාද්දුව කොටසට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ ෴

***************************************

(20.01.2021 – 16:38 +0530 – hirunews.lk/sinhala)

පොල්ගෙඩි 21 ක් හොරෙන් කැඩීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක (2) ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කන්දෙවත්ත පදිංචි සැකකරුවෙක් බවටයි වාර්තා වන්නේ.

සැකකරු ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21 ක් කඩාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී සැකකරු විසින් ඒවා එම ස්ථානයේම ඇති 172 කිලෝ මිටර් කණුවේ ගසා ලෙලි ගසමින් සිටියදීයි දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් අල්ලා පොලිසිය භාරදී ඇත්තේ.

ගාල්ල පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර නඩු විභාගය මැයි 4 වන දිනට කල් තැබීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

මේ අතර ඊයේ (19) දිනයේ මල්වතුහිරිපිටිය, නීලමහර ප්‍රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වී පොල්ගෙඩියක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මතමුදා හැරීමට නියෝග කර තිබෙනවා ෴

***************************************

(20.01.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාර දැනට පිහිටි ස්ථානවලින් ඉවත් කර ස්ථාපිත කිරීමට නියමිත හොරණ ප්‍රදේශයේ අක්කර 250 ක භූමිය, අද (20) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ බන්ධනාගාර තුළ සිටින රැඳවියන්ගේ තදබදය අවම කිරීමට මෙය මහඟු පිටිවහලක් වන බවයි.

එසේම මෙහි ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන, කර්මාන්ත සංකීර්ණයක් හා ගොවිපලවලින් සමන්විත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම පරිශ්‍රයේ මත්ද්‍රව්‍යවලට හා සුළු වැරදිවලට බන්ධනාගාරගත වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ඇතුළත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කරනු ලැබුවේ.

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය මෙන් දස ගුණයක් (10) විශාල මෙම යෝජිත බන්ධනාගාර පරිශ්‍රයේ අති නවීන ආරක්ෂිත ක්‍රමවෙදයන් හා තාක්ෂණය යොදාගෙන ජාත්‍යන්තර මට්ටමේ සිර මැදිරි සංකීර්ණවලින් සමන්විත බන්ධනාගාර පරිශ්‍රයක් ලෙසට මෙය නම් කළ හැකි බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

[ සේයාරූ ]

***************************************

(20.01.2021 – 17:26 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පහළ යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පසුගිය වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවූ බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.

ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාළ විශේෂ විගණන වාර්තාව සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ (19) පැවති කෝප් කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ගැටළු සහගත කාරණා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳව තම මතය ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට පවතින හැකියාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණයකට එළඹිය යුතු බව රාජ්‍ය ගිණුම් කාරක සභාව ඊයේ නිර්දේශ කළා.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳව විශේෂ විගණන වාර්තාව එහිදී සැළකිල්ලට ගත් අවස්ථාවේදියි.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා මහතා සඳහන් කළේ රුපියල් මිලියන 1,524 ක් වැය කර අදාළ ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

එය පසුගිය රජය සමයේ අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ගෙන ඇති බවද මෙහිදී ප්‍රකාශ වුණා ෴

***************************************

(20.01.2021 – 17:46 +0530 – hirunews.lk/sinhala)

SLS සහතිකය ව්‍යාජ ලෙස යොදාගනිමින් ‘දෑත් සෝදන විෂබීජ නාශක දියර’ නිෂ්පාදනය කළ ස්ථානයක් අම්බලන්තොට ප්‍රදේශයේදී වටලා තිබෙනවා.

හම්බන්තොට පාරිභෝගිකසේවා අධිකාරියේ නිලධාරීන් විසිනුයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී ලක්ෂ 05 ක පමණ වටිනාකමකින් යුත් විෂබීජ නාශක දියර වෙළදසැල් වලට විකිණීමට බෙදාහැරීම සදහා සූදානම් කර තිබියදී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

එසේම එහිදී අත්අඩංගුවට ගත් නිෂ්පාදනාගාරයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මේ වනවිටත් තවත් ලක්ෂ 05 ක් පමණ වටිනා විෂබීජ නාශක දියර වෙළඳපොලට නිකුත්කර ඇති බවයි.

දැනට නිලධාරීන් භාරයේ පවතින විෂබීජ නාශක තොග රාජසන්තක කිරීමටත්, දැනට වෙළඳපොලේ පවතින විෂබීජනාශක දියර තොග වෙනුවෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වැටලීමට එක්වූ නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් සැකකරු හා විෂබීජ නාශක තොගය 21 දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

(20.01.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ලෝකයම වසංගත බියකින් වෙළී ගියද දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දස වැනි (10) සංවත්සර උත්සවය සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (20) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඇතමුන් විවිධ දෑ ප්‍රකාශ කළද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බවයි.

***************************************

(20.01.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදන සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටියා.

ඒ අද (20) පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

***************************************

(20.01.2021 – 21:03 +0530 – hirunews.lk/sinhala)

වසර 02 කට අධික කාලයක් තිස්සේ තම 14 හැවිරිදි දියණිය අපයෝජනය කළ පියෙකු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් සමත් වුණා.

අද (20) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ නිවෙසක රාත්‍රී කාලයේදී නිරන්තර ගැටුම් ඇති බව බවට ප්‍රදේශවාසියෙකුගෙන් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත පසුගියදා තොරතුරක් ලැබී තිබෙනවා.

අදාල නිවසේ වයස අවුරුදු 14 , 08 හා 06 හැවිරිදි වියේ පසුවන දැරියන් තිදෙනෙකු (3) සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව සොයාබලන ලෙසයි අදාල තොරතුර හරහා වැඩිදුරටත් දන්වා තිබුනේ.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසියට තොරතුරු රැසක් හෙළිවුණා.

එහිදී 14 හැවිරිදි වියේ පසු වන දැරිය පවසා ඇත්තේ තම පියා නිරතරයෙන් මව සමග ගැටුම් ඇති කර ගෙන නිදන කාමරයෙන් පිටව යන බවයි.

පසුව පියා තමා නිදාසිටින කාමරයට පැමිණ අපයෝජන සිදුකරන බවයි දැරිය පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ.

මෙලෙස වසර 02 කට අධික කාලයක් ඇය පියාගෙන් අපයෝජනයට ලක් ව තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ඒ අනුව මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හෙරත් මහතාගේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් 40 හැවිරිදි වියේ පසු වන පියා ඊයේ (19) අත්අඩංගුවට ගත්තා.

ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

පොලිසිය පැවසුවේ 14 හැවිරිදි දැරියගේ වෛද්‍ය වාර්තාවක් කැඳවීම සදහා ඇයව අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි.

අපයෝජනයට ලක් වු දැරිය මෙම සිදුවීම පිළිබඳව මීට පෙර තමා ඉගෙනුම ලබන පාසලේ පංති භාර ගුරුවරියට දැනුම් දී ඇතත්, ඇය ඒ පිළිබඳ කිසිඳු සැලකිල්ලක් දක්වා නැති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

ඒ අනුව වැඩිදුර විමර්ශන සදහා දැරිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති, විනයභාර ආචාරවරයා මෙන්ම පංතිභාර ගුරුවරිය ද පොලිසියට කැදවා මේ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි.

***************************************

(20.01.2021 – 21:36 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා නඟන තමන්ගේ හඬ කිසිදිනෙක නිහඩ කළ නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ අද (20) පැවති වාර්ෂික මංගල්‍යයේදී.

***************************************

(20.01.2021 – 22:33 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය සරත් වීරසේකර මහතා දැක්වූ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ කතාවලට සවන්දෙන විට අමුතු ජවයක් මතුවන බවයි.

කෙසේවෙතත් එම ප්‍රකාශ යථාර්තවාදී නොවන බවයි සරත් ෆොන්සේකා මහතා කියාසිටියේ.

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට ඇමති ආරක්ෂක නිලධාරීන් ඉවත් කර සිවිල් ආරක්ෂක භටයන් යොදවන බවට අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදුකර ඇති ප්‍රකාශයකට සරත් ෆොන්සේකා ප්‍රතිචාර දැක්වුවා.

ඔහු පෙන්වා දෙන්නේ සිවිල් ආරක්ෂක භටයන් සමග සිටි මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුවේ සිටින බවයි. සිවිල් ආරක්ෂක භටයන්ගෙන් සියයට 98 ක් ගම්වල සිටි ජනතාව බව සරත් ෆොන්සේකා පෙන්වා දෙනවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා දැක්වුයේ මෙවන් අදහසක් :

“මේ දවස්වල තමුන්නාන්සෙලාගේ නීතිය සාමය ඇමති ඉතාම අලංකාර ලස්සන කතා කියනවා. ඒවා අහනකොට අපිටත් නිකම් ඇගට අමුතු ජවයක් එනවා. හැබැයි මේවා යථාර්තවාදී නෑ. ඉස්සෙල්ලා මෙතුමා කියනවා සිවිල් ආරක්ෂක භටයො දානවලු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට. එම්.එස්.ඩී. එක අයින් කරලා. සිවිල් ආරක්ෂක භටයොත් එක්ක හිටපු මන්ත්‍රී කෙනෙක් මෙතන ඉන්නවා. සිවිල් ආරක්ෂක භටයන්ගෙන් සියයට 98 ක් ගම්වල මිනිස්සු. ගොයම් කපන කට්ටිය. ඒගොල්ලන්ට අවියක් දුන්නා. ගොයම් කපනකොට කුඹුරෙ ගැට්ටට නියරට හේත්තු කරල අවිය තියන්න ඕන. රෑට අවියත් එක්ක ගෙදර නිදියනවා. ඊට පස්සෙ ආච්චිලාටත් දීල තිබුණා. ඒ වගේ කට්ටිය දාන්න පුලුවන් ද තමුන්නාන්සෙලාගේ ආරක්ෂාවට. ආරක්ෂාවට සෙබළෙක් හදනව කියන එක ඉතා විශාල දුෂ්කර දෙයක්. විශේෂිත වූ පුද්ගලයො තෝර ගන්න ඕන. එතකොට මේ වගේ සුරංගනා කතා කියලා කාලය නාස්ති කරනවා. ඊළඟට එතුමා කියනවා අවුරුදු 18 ට වැඩි ඔක්කොටම දෙනවලු හමුදා පුහුණුව. අපි හිතමු 18 ඉඳලා 26 ට කියලා. එහෙම වුනොත් මිලියන තුන හමාරක් හතරක් ඉන්නවා 18 ඉඳලා 26 ට. ඊට පස්සෙ අයට ඒවා කරන්න බෑ. මාස 6 ක් දෙනවලු. මාස 6 කට සෙබළෙක් පුහුණු කරන්න යනනවා ලක්ෂ හත හමාරක් – එක සෙබළෙක් පුහුණු කරන්න. එතකොට මිලියන් තුන හමාර කොහොම වුණත් ලක්ෂයක් පුහුණු කරන්න ගියොත් යනවා බිලියන 75 ක්. ඒ කියන්නේ කෝටි 7500 ක් – ලක්ෂයක් පුහුණු කරන්න. තමුන්නාන්සෙලාට ඒව කරන්න සල්ලි තියෙනවා ද ? කරන්න පුලුවන් දේවල් ද මේ කියන්නෙ ? මේ ඇමති වගකීමක් ඇතුව වැඩ කලයුතුයි මේ වගේ සුරංගනා කතා කියන්නෙ නැතුව.”

***************************************

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය විරෝධී හැසිරීම් එළියට

(20.01.2021 – 22:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් යලි සමාජයේ දැඩි කතා බහක් මතු වුනේ එංගලන්ත පළමු ටෙස්ට් තරගය අතරතුර ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කාඩ් ක්‍රීඩාවේ නිරත වීමත් සමගයි.

එය සිදු වී දින කිහිපයක් ගතවන්නට මත්තෙන් තවත් සිදුවීමක්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටින ගාල්ල හෝටලයෙන් වාර්තා වුනා.

අදාළ සිදුවීමට මුල් වී ඇත්තේ මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

අදාල ක්‍රීඩකයා සහ මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුයුක්ත කල වෛද්‍යවරිය අතර සමග පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන අතර තුර විනය විරෝධී ක්‍රියාවක නිරත වී ඇති බව සඳහන්.

පසුගියදා නිමා වූ දකුණු අප්‍රිකානු තරග සංචාරය අතර තුරද අදාළ ක්‍රීඩකයා ඇතුළු තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙම වෛද්‍යවරිය සමග විනය විරෝධී ලෙස හැසිරී ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.

පනින රිලවුන්ට ඉනිමං බඳිනවා වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස ගැන සිතා හෝ මෙවැනි ක්‍රීඩකයින් සම්බන්දයෙන් ඉක්මන් පියවරක් ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම නොවන්නේද…?

@@@@@@@@@@@@@@@@@

(20.01.2021 – 17:09 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝන ආසාදිතයන් 621 ක් සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 47,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 47,215 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

තවත් කොරෝනා ආසාදිතයන් 379 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 54,798 ක් දක්වා ඉහළගොස් තිබෙනවා ෴

++++++++++++++++++++

(20.01.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසයේ දින 19 ක කාලය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 11,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ප්‍රතිශතයක් ලෙස රෝගීන් 600 ක් දෛනිකව වාර්තා වීමේ ප්‍රවණතාවක් මෙරට තුළ දක්නට ලැබෙන බවයි.

ඊයේ (19) දිනයේ මෙරටින් ආසාදිතයින් 669 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 130 දෙනෙකු වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104 ක්, කුරුණෑගලින් 60 ක්, ගාල්ලෙන් 50 ක් සහ මහනුවරින් 48 ක් ඊයේ (19) සොයා ගැනුණා.

මඩකලපු දිස්ත්‍රික්කයේන ආසාදිතයින් 38 දෙනෙකු, සොයා ගැනුණු අතර, රත්නපුරයෙන් 31 ක්, කෑගල්ලෙන් 29 ක්, මන්නාරමෙන් 27 ක්, වව්නියාවෙන් 26 ක්, ලෙස අලුතෙන් ආසාදිතයින් හමුවී තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 ක් සහ මාතලෙන් 21 දෙනෙකු ද ඊයේ (19) සොයාගෙන තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට, නීතිඥ සහයෙකුට, ගෘහ පාලන අංශයේ සේවිකාවකට සහ පටිගත කිරීම් අංශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ 100 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි.

මේ අතර අද (20) දිනයේත් ආසාදිතයන් 379 දෙනෙකු අලුතෙන් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 54,798 ක් ලෙසයි.

කොරෝනා ආසාදනය වූ තවත් 621 ක් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 47,215 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

++++++++++++++++++++

20-01-2021

+++++++++++++++++++++

(20.01.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 274 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි වියේ පසුවූ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමඟ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනය වෙත මාරුකර යවා තිබෙනවා.

එහිදී පසුගිය 20 වනදා කොවිඩ් නියුමෝනියාව නිසා ඇතිවූ ලේ විෂවීමේ කම්පනය සහ උග්‍ර දියවැඩියාව හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 389 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 55,189 ක් ලෙසටයි.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 7700 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 47,215 ක්. මෙරටින් කොරෝනා මරණ 274 ක් ද වාර්තාවුනා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *