ගුවන් තොටුපළ විවෘත කළ පසු පළමු සංචාරකයින් පිරිස ලෙස නෙදර්ලන්තයෙන් පැමිණේ

ගුවන් තොටුපළ විවෘත කළ පසු පළමු සංචාරකයින් පිරිස ලෙස නෙදර්ලන්තයෙන් පැමිණේ

*********************************************

ගුවන් තොටුපළ විවෘත කළ පසු පළමු සංචාරකයින් පිරිස ලෙස නෙදර්ලන්තයෙන් පැමිණේ

(22.01.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

වාණිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසුව පළමු විදේශ සංචාරකයින් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයින් 10 දෙනෙකු ඊයේ (21) පැමිණියා.

මොවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 648 නැමති ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ ඊයේ (21) රාත්‍රීයේදීයි.

අදාළ පිරිස අතර නෙදර්ලන්ත ජාතික වැඩිහිටි පුද්ගලයින් 5 දෙනෙකු සහ කුඩා ළමයින් 5 දෙනෙකු සිටින බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන කළේ.

මීට අමතරව තවත් ජර්මන් ජාතිකයින් සංචාරකයින් 5 දෙනෙකු අද (22) අලුයම මෙරටට පැමිණ තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපළින්.

ඔවුන් ශ්‍රී ලංකාව යලි විදේශීය සංචාරකයින්ට විවෘත කිරීම පිළිබඳව වාර්තා කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මේ අතර, බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකික සේවකයින් 186 දෙනෙකු ද ඊයේ (21) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා ෴

+++++++++++++++++++++

(22.01.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරමින් සිටියදී පළා ගිය තරුණයා කටුනායක – 18 කණුව ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

පසුව ඔහු මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

අදාළ පුද්ගලයා කටුනායක – වලානගොඩ ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පළක රැදී සිටි ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයෙකු වන අතර ඔහු පදවිය – බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

++++++++++++++++++

(22.01.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala)

දැනට කොරෝනා වෛරසය සඳහා ඉන්දියාවෙන් ගෙන ඒමට සැලසුම් කර ඇති එරට නිෂ්පාදිත එන්නත සම්බන්ධයෙන් නීතිමය අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන මේ වන විට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත මෙරටට ලබාගැනීම සඳහා ඉදිරි දින දෙක ඇතුළත අවශ්‍ය අනුමැතිය ලබාදීමට හැකිවනු ඇති බවටයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ (21) සදහන් කළේ.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රතිශක්තීකරණ භාර අංශය විසින් තීරණය කර ඇති සහ උපදෙස් ලබාදී ඇති එන්නතක් මෙරටට ගෙන්විය යුතු බවටයි.

එම නිර්දේශ මත පමණක් එන්නත් ගෙන්විය යුතු බව ද කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළා.

මේ අතර, දිනක් තුළ මෙරට දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (21) දිනයේ වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 887 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මීට පෙර පසුගිය වසරේ දෙසැම්බර් 2 වන දින මෙරටින් වැඩිම ආසාදිතයින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 878 ක් ලෙස සටහන් වී තිබුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 56,076 ක් වනවා.

47,984 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර, තවත් 7816 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඊයේ (21) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 887 න් 866 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළ ආශ්‍රිත පොකුරෙන් වාර්තා වී ඇති අතර බන්ධනාගාර ආශ්‍රිතව ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, විදේශයන් හි සිට පැමිණි 14 දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් බවට ඊයේ (21) දිනයේ වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අතර කටාර් සිට පැමිණි 8 ක්, කුවේට් හි සිට පැමිණි 3 ක්, රුසියාව, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය සහ යුක්‍රේනයේ සිට පැමිණි එක් අයෙකු බැගින් ද සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ (21) දිනයේ කොරෝනා ආසාදිත මරණ දෙකක් ද වාර්තා වූ අතර, ඒ අනුව දිවයිනේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 276 දක්වා ඉහළ ගියා.

මෙලෙස මිය ගිය පිරිස අතර, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්, සිටින අතර ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඉන් අනතුරුව ඇය පසුගිය 20 වන දින ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ උග්‍ර නිව්මෝනියා තත්ත්වයයි.

මිය ගිය අනෙක් පුද්ගලයා අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩි ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු පසුගිය 19 වන දින මිය ගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සමග ස්නායු පද්ධතියේ ඇති වූ ආසාදනයක් මගින් බහු ඉන්ද්‍රීය අක්‍රිය වීමයි.

මේ අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව මහනුවර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.

දැනට කොළඹ දිස්ත්‍රික්කයෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් 21,185 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,507 දෙනෙකුත් වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් ඊයේ (21) පස්වරු 4 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 176 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, එම දිස්ත්‍රික්ක දෙකට (2) අමතරව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 2016 ක්.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 1046 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1045 දෙනෙකුත් මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබෙනවා.

මේ අතර, අලුත්ගම දර්ගා නගරයේ අලකඳුපිටිය ප්‍රදේශයේදී පසුගිය දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකට අදාළව පුද්ගලයින් කොරෝනා ආසාදිතව ඇති බවට තහවුරු වී තිබෙනවා ෴

+++++++++++++++++++

(22.01.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 ක තුළ මුඛ ආවරණ නොපැලඳි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 30 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් මස 30 වන දා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 2710 ක් අත්අඩංගුවට ගෙන අතර පුද්ගලයින් 2600 ට පමණ නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

(22.01.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී සිදුවූ විශේෂ උත්සවයක් වෙත මේ වනවිට රටේම කතාබහක් ඇතිවී තිබෙනවා.

ඇඹිලිපිටිය යෝධගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පැවති මල්වර උත්සවයක් වෙතයි මෙලෙස කතාබහක් නිර්මාණය වී ඇත්තේ.

එම මධ්‍යස්ථානයේ සිටි 13 හැවිරිදි දියණියක් වැඩිවියට පත්වීමත් සමඟ එය කුඩා උත්සවයක් ලෙස මෙලෙස සමරා තිබෙනවා.

ඒ පිළිබඳව ඇයගේ මව විසින් එම මධ්‍යස්ථානයේ සිටි හෙදියකට මේ බව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව හෙදිය විසින් තවත් හෙද කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුට මේ පිළිබඳව දැනුම් දී මෙමෙ උත්සවය සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

බොහෝදෙනෙකුගේ අවධානයට යොමුවූ මෙම උත්සවයේදී කුඩා දැරිය චාරිත්‍ර සිදුකර සෞඛ්‍ය ආරක්ෂිතව තම ජීවිතයේ වැදගත්ම දිනය පිළිගත්තේ මෙහෙමයි.

[ සේයාරූ ]

++++++++++++++++++

(22.01.2021 – 11:36 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනිකා එන්නත හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@@@@

(22.01.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කිරීම සහ අලි – මිනිස් ගැටුමට නිසි විසදුමක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සූරියවැව – වල්සපුගල දී ගොවි සංවිධාන ආරම්භ කළ මාරාන්තික උපවාසය අවසන් කරන ලෙස විෂය භාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඉල්ලීමක් කළා.

ඔහු සඳහන් කළේ අලි – මිනිස් ගැටුම විසදීම සඳහා අක්කර 13,000 කින් යුක්ත අලි රැදවුම් මධ්‍යස්ථානයක් අදාළ ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බවයි.

එමෙන්ම, මොවුන්ගේ ඉල්ලීමට අනුව අදාල ප්‍රදේශය රක්ෂිතයක් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

මේ වනවිට එම කැබිනට් පත්‍රිකාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ගැටළුවලට විසදුම් ඉල්ලා පසුගිය 18 වන දා වල්සපුගල ප්‍රදේශයේදී ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිට මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය වී තිබෙනවා.

එම මාරාන්තික උපවාසය පැවැත්වෙන්නේ අද (22) 3 වන දිනටයි ෴

++++++++++++++++

(22.01.2021 – 11:52 +0530 – hirunews.lk/sinhala)

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කිරීම සහ අලි – මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා සූරියවැව – වල්සපුගල දී ගොවි සංවිධාන ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (22) තුන් වන (3) දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර උපවාසයේ යෙදී සිටි ගොවි නියෝජිතයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් අද (22) පෙරවරුවේ රෝහල් ගත කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

ගැටළුවලට විසදුම් ඉල්ලා පසුගිය 18 වන දා වල්සපුගල ප්‍රදේශයේදී ආරම්භ කළ සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය වූයේ පසුගිය 20 වන දායි.

මේ අතර ඊයේ (21) දිනයේදී උපවාසයේ යෙදී සිටින ස්ථානයට සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් වැඩමකළා.

මේ අතර, අලි – මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා අද (22) පෙරවරුවේ මැදවච්චිය නගරයේ ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණා.

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කිරීම සහ අලි – මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා සූරියවැව – වල්සපුගල ප්‍රදේශයේ දියත් කර ඇති මාරාන්තික උපවාසයට එක්ව සිටි තවත් ගොවියෙකු බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව රෝහල් ගත කළ ගොවීන් සංඛ්‍යාව 2 දක්වා ඉහළ යනු ඇති.

***************************************

(22.01.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

දෙමෝදර සහ හාලි ඇල අතර මාර්ගයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

අද (22) පෙරවරු 05:45 ට පමණ බදුල්ලේ සිට මහනුවර දක්වා පැමිණීමට නියමිතව තිබූ දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දෙමෝදර සහ හාලිඇල යන දුම්රිය ස්ථානවලට සීමා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

බදුල්ලේ සිට පෙරවරු 08:30 ට පැමිණීමට නියමිත පොඩිමැණිකේ දුම්රිය ද ධාවනය වීම ඒ අනුව ප්‍රමාද වනු ඇති ෴

***************************************

(22.01.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවක් පත් කර තිබෙනවා.

ඒ, පරීක්ෂණ කොමිසන් සභා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුවයි.

මාස හයක (6) කාලසීමාවක් බලපැවැත්වෙන පරිදි පත්කර ඇති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් නම් කර ඇති අතර, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මස 26 වනදා අවසන් වරට ජිනීවා මානව හිමිකම් කොමිසමේ 43 වන සැසිවාරය පැවැත්වුණු අවස්ථාවේදී වත්මන් රජය එම කොමිසමට දැනුම් දුන්නේ පසුගිය යහපාලන රජය විසින් එකඟතාව පළ කළ සම අනුග්‍රාහකත්ව යෝජනාවෙන් ඉවත්වන බවයි.

එමෙන්ම නව ජනාධිපති කොමිසමක් මගින් මානම හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සොයාබලන බවද රජය ජිනීවා කොමිසමට ප්‍රකාශ කර තිබුණා. එම දැනුම්දීමට අනුවයි ජනාධිපතිවරයා විසින් ඊයේ (21) දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පරීක්ෂණ කොමිසම පත් කර ඇත්තේ.

මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මීට ඉහතදී පත් කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම, අතුරුදන්වීම පිළිබඳ සොයාබැලීමට පත් කළ පරණගම කොමිසම මෙන්ම දරුස්මාන් වාර්තාවද මෙම පරීක්ෂණ කොමිසම මගින් පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් කොමිසම නම් කරමින් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මීට පෙර පත් කළ කොමිසම් සභා මගින් බරපතල ගණයේ මානුෂීය නීති කඩකිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් හඳුනාගෙන ඇත්ද යන්න සොයාබැලිය යුතු බවයි.

එමෙන්ම අදාළ නිර්දේශයන් සම්බන්ධයෙන් පවත්නා නීතියට අනුව කටයුතු කර ඇති ආකාරය මෙන්ම ඒවා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව තවදුරටත් ක්‍රියාත්මක කළ හැකිදැයි සොයාබැලෙනු ඇති.

ඊට අදාළ සියලු විමර්ශන පැවැත්වීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම ජනාධිපති කොමිසමට බලය හා අධිකාරිය පවරා තිබෙනවා.

සුදුසු අවස්ථාවන්හිදී අතුරු වාර්තාවන් ඉදිරිපත් කළ යුතු අතර, අවසන් වාර්තාව මාස හයක් (6) ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු වනවා.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය ලබන මස 22 වන දා ජිනිවා නුවර දී ආරම්භවීමට නියමිත අතර යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට සුදුසු යාන්ත්‍රණයක් පිහිටුවන ලෙස ඉල්ලා දෙමළ පක්ෂ ඇතුලු සංවිධාන 11 ක් ජිනීවා කොමිසම වෙත ලිපියක් යොමුකර තිබුණා.

පසුව එහි පිටපත් කොමිසමේ සාමාජික රටවල තානාපතිවරුන්ටද යොමුකළ අතර, දෙමළ පක්ෂ ඇතුලු සංවිධාන පවසා ඇත්තේ වගවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්වයං යාන්ත්‍රණ ක්‍රියාවලිය අසාර්ථක බවයි.

ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයකට සමාන යාන්ත්‍රණයක් ස්ථිර කාලරාමුවකට යටත්ව පිහිටුවන ලෙසද එමගින් ඉල්ලා තිබෙනවා.

***************************************

(22.01.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

තවත් වසර 9 කින් දකුණු ආසියාවේ වැඩිම වයස්ගත ජනගහනයක් සිටින රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වා දෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්ම වූ අයෙකු වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉන් බහුතරයක් කාන්තාවන් වනවා.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ‘හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා’ සංවිධානය සමඟ එක්ව මෙම වයස්ගත ජනගහනයේ සුබසාධන කටයුතු සඳහා පියවර රැසක් ගැනීමට කටයුතු කරන බවයි මොවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම, එහි දැක්වෙන්නේ 2010 වසරේ සිට 2018 වසර දක්වා කාලසීමාව තුළ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයින් මිලියන 14 ක් පමණ ශ්‍රී ලංකාව තුළ ආපදාවට ලක්ව ඇති බවයි.

එමෙන්ම, වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම කාලසීමාව තුළ පුද්ගලයින් මිලියන 12 ක් පමණ ශ්‍රී ලංකාව තුළ ආපදාවට ලක්ව තිබෙනවා ෴

***************************************

(22.01.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට නීති පද්ධතියේ කඩිනමින් වෙනස් විය යුතු ක්ෂේත්‍ර 100 ක් පමණ හඳුනාගෙන ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළා.

ඉන් ක්ෂේත්‍ර 37 ක් වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර සෙසු ක්ෂේත්‍රවල සිදුවිය යුතු වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා කමිටු පත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මේ බව කියා සිටියේ වෙනස් කෙරෙන අණ පනත් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත අධිකරණ අමාත්‍යවරයා විසින් සංදේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණා.

ඒ, ආගමික හා විගාමික පනත, බාල වයස්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට අදාළ දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය, සේවකයන්ගේ අවම වේතන පනත, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති යන පනත් සඳහා සංශෝධන එක් කිරීම සඳහායි.

එමෙන්ම, සිවිල් නඩු විධි විධාන සංග්‍රහය සඳහා සංශෝධන එක් කිරීමටත්, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයට අදාළව නීතියේ පවතින පරස්පරතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද පසුගිය සතියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා ෴

***************************************

(22.01.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (22) අලුයම 03:30 ට පමණ රික්ටර් පරිමාණයේ 1.8 ක සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ එය මහකනදරාව, පල්ලෙකැළේ සහ හක්මන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති භූ කම්පන මාපකවල සටහන් වී ඇති බවයි.

මේ අතර මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කිහිපයකටද එම භු චලන තත්ත්වය දැනී ඇති බව වාර්තා වනවා.

මහනුවර වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව ද මෙවැනිම සුළු භූ චලන පසුගිය කාලයේ විටින් විට වාර්තා වු අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යනයක් සිදුකිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබුවා.

ඔවුන් ඊට අදාළ වාර්තාව පසුගිය දා අමාත්‍යවරයා වෙත භාර දුන් අතර, සිදුව ඇති භූ චලන සියල්ල රික්ටර් මාපකයේ දෙකකට අඩු අගයක් සටහන් වී තිබීම හේතුවෙන් ඒවා ජලාශයට ජලය පිරී යන අවස්ථාවලදී සිදුවන ස්වභාවික කම්පන විශේෂයක් බවටයි කමිටු වාර්තාවෙන් පෙන්වා දී තිබුණේ ෴

***************************************

කොළඹ ප්‍රදේශ කිහියපකට හෙට (23) පැය 24 ක ජල කප්පාදුවක්

(22.01.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (23) පෙරවරු 9 සිට අනිද්දා පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01 සිට 03 දක්වා සහ කොළඹ 07 සිට 12 දක්වා ප්‍රදේශවලට ජල සැපයුම එලෙස අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ ෴

***************************************

(22.01.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත්බිම විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යවරයා පත්කළ කමිටුව මගින් සාර්ථක විසඳුමක් බලාපොරොත්තුවන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පරිසර අමාත්‍යවරයා සමගින් ඊයේ (21) කොළඹදී පැවැත් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල තෙත්බිම මහා පරිමාණ සංචාරක වැඩපිළිවෙළක් සඳහා යොදා ගැනීම තුළින් මුතුරාජවෙල විනාශවන බවට අගරදගුරු හිමිපාණන් පසුගියදා චෝදනාවක් එල්ල කළා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ සිදුවීම පිළිබඳව සොයා බැලීම සදහා කමිටුවක් පත් කළ අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ අගරදගුරු හිමියන් සහ පරිසර අමාත්‍යවරයා අතර පැවැත්වුණා.

***************************************

(22.01.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

කාලයක් පුරා ත්‍රස්තවාදීන්ගේ අඳුරු සෙවනැල්ලට යටව තිබූ මෙරට පිහිටි විශාලතම ජාතික වනෝද්‍යානයක් ලෙස විල්පත්තුව සැලකෙනවා.

දිවියන්ගේත් වලසුන්ගේත් තෝතැන්නක් ලෙස සැළකෙන මෙහි විල්ලු 60 ක් පමණ පිහිටා තිබීම විශේෂත්වයක්.

දෙස් විදෙස් සංචාරක ආකර්ශනය නොමදව දිනාගත් විල්පත්තුවට බලපා ඇති ගැටලුවක් පිළිබඳවයි මේ අනාවරණය.

හෙක්ටයාර 131,000 කට වැඩි වපසරියකට උරුමකම් කියන විල්පත්තුව ජාතික වනෝද්‍යානය පිවිසුම් මාර්ග 2 කින් සමන්විතයි.

එක් පිවිසුමක් එළුවන්කුලම කලාඔය සපත්තු පාලම මතින් පිහිටා ඇති අතර අනෙක් පිවිසුම් දොරටුව පිහිටා ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයෙන්.

මෙරටට පැමිණෙන බහුතර සංචාරකයින් කල්පිටිය අර්ධද්වීපයේ සංචාරයකට එක්වීමෙන් පසු විල්පත්තු ජාතික වනෝද්‍යානය නැරඹීමට නිරන්තරයෙන් තෝරාගනු ලබන්නේ ඊට ආසන්නයේ ඇති එළුවන්කුලම පිවිසුමයි.

ඊට අමතරව එම මාර්ගයෙන් පිවිසීමට තවත් ප්‍රධානතම හේතුවක් බවට පත්ව ඇත්තේ මෙවන් දුර්ලභ වන සතුන් එම මාර්ගයේ දක්නට ලැබීම හේතුවෙන්.

නමුත් දැනට වසරකට ආසන්න කාලයක සිට දෙස්විදෙස් සංචාරකයින්ට එම පිවිසුම ඔස්සේ විල්පත්තුව වනෝද්‍යානයට පිවිසීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත්තේ කලා ඔය සපත්තු පාලම දැඩි ලෙස අබලන්වීම හේතුවෙන්.

අධික බර පැටවූ ලොරි සහ දෛනිකව ගමනාගමනයේ යෙදෙන බස් ඇතුළු රථවාහන හේතුවෙන් පාලම ගිලා බැසීමේ අවදානමකටද ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් සංචාරක කර්මාන්තයෙන් සෘජු හා වක්‍රව යැපෙන 1500 කගේ පමණ රැකියාවලට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

එළුවන්කුලම පිවිසුමින් වනෝද්‍යානයට ප්‍රවිෂ්ටවීමට සංචාරකයින්ගෙන් රුපියල් 5000 ක පමණ මුදලක් අය කලද නොච්චියාම පිවිසුමින් පිවිසීමට එමෙන් තුන් ගුණයක පමණ මුදලක් දැරීමට සිදුවීමෙන් සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙස පහළ බැස තිබෙනවා.

දැනට වසරක පමණ කාලයක සිට එළුවන්කුලම මාර්ගය භාවිතයෙන් අතහැර දැමීම නිසා ගව රංචු වනෝද්‍යානයේ අයාලේ සැරිසැරීමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් වන සතුන් වෙනත් භූමි වෙත සංක්‍රමණයවීමේ තත්ත්වයක්ද මෙන්ම මුවන්, ගෝනුන්, මීමින්නන් වැනි සතුන්ට කුර රෝග පැතිරීමේ අවදානමක් මතුව තිබෙනවා.

වන සතුන් දඩයමේ යෙදෙන්නන්ටද එළුවන්කුලම මාර්ගය වැසී යාම හේතුවෙන් කිසිදු බියකින් තොරව එම කටයුතු ඉටු කර ගැනීමේ අවස්ථාන ලැබී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම කේන්ද්‍රස්යානයක් වූ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් මාර්ගය කඩිනමින් පිළිසකර කර සංචාරකයින් සඳහා පහසුකම් සැලසීමට බලධාරීන්ගේ අවධානය යොමුවීමට කාලයයි මේ.

***************************************

(22.01.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මේ වසර 160 ක ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන කටුගස්තොට ඓතිහාසික යකඩ පාලමයි.

ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ ඉදිවූ මෙම යකඩ පාලම මේ වන විට දිරාපත් වී කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට රුහුණු, පිහිටි, මායා යන නම්වලින් පළාත් 3 කට වෙන්ව තිබූ ස්ථානයද මෙම පාලම පිහිටි ස්ථානය බවයි.

මහනුවර සිට මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දෙසට ගමන් කිරීම සඳහා 1858 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී මහවැලි ගඟ හරහා ඉදිකිරීම් ආරම්භ කළ මෙම පාලම 1860 මාර්තු මාසයේදී එවක අග්‍රාණ්ඩුකාරවරයා විසින් විවෘත කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසුවේ එංගලන්තයෙන් ගෙන්වනු ලැබූ උසස් තත්තවයේ යකඩ යොදා ඉදිකර ඇති මෙම පාලම වසර 150 කට අධික කාලයක් ඉතා හොඳ තත්ත්වයක පැවති බවයි.

කෙසේ වෙතත් මීට වසර 4 කට පමණ පෙර මෙම පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමත් සමඟ මෙහි අලුත්වැඩියා කටයුතු අත්හැරී ගොස් ඇති අතර මේ වන විට එය දැඩි ලෙස දිරාපත් වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ඓතිහාසික පාලම සංරක්ෂණය කර ආරක්ෂා කරගැනීම සඳහා වගකිවයුතු අංශවල අවධානය යොමුවිය යුතු බවයි.

වසර 160 ක ඉතිහාසයකට උරුමකම් කියන මෙම ඉපැරණි මෙම පාලම ප්‍රතිසංස්කරණය කරන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්..

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *