කාතිවරුන් බදවා ගැනීමේ තීරණයට තමාගේ සබඳතාවක් නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි කියයි

කාතිවරුන් බදවා ගැනීමේ තීරණයට තමාගේ සබඳතාවක් නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි කියයි

*********************************************

කාතිවරුන් බදවා ගැනීමේ තීරණයට තමාගේ සබඳතාවක් නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි කියයි

(22.01.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

කාති උසාවි සඳහා කාතිවරුන් බදවා ගැනීමේ තීරණයට තමාගේ හෝ අධිකරණ අමාත්‍යාංශයේ කිසිදු සබඳතාවක් නොමැති බව විෂය භාර අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (21) කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ.

පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබදව මෙහිදී ප්‍රධාන වශයෙන් අවදානය යොමු වී තිබූ අතර, මේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ජනාධිපති නීතිඥ අලි සබ්රි.

***************************************

(22.01.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

වාහන අමතර කොටස් ආනයනය කරන සමාගමක හිමිකරුවෙකුගෙන් ලක්ෂ 50 ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ 10 ක් ලබාගැනීම ඇතුලු අධිචෝදනා 8 ක් යටතේ රේගු නිවාරණ අංශයේ හිටපු අධ්‍යක්ෂ කේ. රන්ජන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි අද (22) නියෝග කළා.

අදාළ සමාගමේ හිමිකරු හා වැටලීම සිදුකළ අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනා විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා සනාථ කිරීම සඳහා ද්වේශ සහගත ලෙස සාක්ෂි ලබාදුන් බවට අධිකරණයට නිරීක්ෂණය වූ බවත්, පැමිණිල්ල ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර නොමැති බවත් විනිසුරුවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

එමෙන්ම පැමිණිලිකාර සමාගම් හිමිකරු සහ වැටලීම සිදුකළ අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනා බොරු සාක්ෂි ගොතා නඩු පවරා ඇති බවට අනාවරණ වී ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස විත්තිකාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සළකා බැලූ විනිසුරුවරයා ඒ පිළිබඳ තීන්දුව ලබන මස 10 වනදා නිකුත් කරන බවයි ප්‍රකාශ කළේ.

***************************************

(22.01.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

2020 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරගැනීම සඳහා වන හිමිකම් ඉල්ලුම් කිරීමේ කාලය අවසන් වුවද, වන්නි මැතිවරණ කොට්ඨාසයේ පදිංචිව නොසිටීම නිසා නම් ඉවත් කර ඇති පුද්ගලයින්ගේ ඉල්ලීම් සළකා බැලීමට මැතිවරණ කොමිසන් සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට පදිංචිය තහවුරු කිරීම සඳහා පරීක්ෂණ අවස්ථා ලබාදීමටයි ඊයේ (21) රැස්වූ මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් තවදුරටත් අවතැන් කඳවුරුවල පදිංචිකරුවන් වේ නම් පමණක් ඔවුන්ට පෙර ලියාපදිංචි කළ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කිරීම සිදුකළ හැකියි.

එමෙන්ම මේ වර්ෂය සඳහා දේශපාලන පක්ෂ වෙත වෙන් කර දී ඇති ලකුනු සහ දේශපාලන පක්ෂ වෙත මෙතෙක් වෙන් කර දී නොමැති ලකුණු වෙන් වෙන් වශයෙන් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරිමටද ඊයේ (21) රැස්වූ මැතිවරණ කොමිසන් සභාව තීරණය කර තිබෙනවා ෴

***************************************

(22.01.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

2020 වසරේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත් වල වලංගු කාලය ලබන පෙබරවාරි මස 28 දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ රට තුළ පවතින කොවිඩ් වාතාවරණය මත පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් ඇතැම් සිසුන්ට තිළිණපත් සඳහා අදාළ නිල ඇඳුම් රෙදි මිලදී ගැනීමට නොහැකිවී ඇති බවට ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි ෴

***************************************

(22.01.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝ 100 ක ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (2) ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හෙරොයින් තොගයෙහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1000 ක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

එම්.එම්.එම්. නවාස් සහ මොහොමඩ් නවාස් නැමති මෙම පුද්ගලයින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් ලෙසට හඳුනාගෙන ඇති අතර, මොවුන් ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඉන්දියාවේ සැඟව සිටින පුද්ගලයන් බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉරානය, ශ්‍රී ලංකාව, මාලදිවයින මෙන්ම ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

අත්අඩංගුවට පත්වූ එක් සැකකරුවෙකුට ශ්‍රී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර රතු නිවේදනයක් ද පවතින බවටයි අනාවරණ වී ඇත්තේ ෴

***************************************

(22.01.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කලාකීර්ති ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට 98 වන වියේ පසුවූ ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු මෙන්ම පරිසරවේදියෙකු ලෙස කටයුතු කළා.

ඇවිදින පුස්තකාලය යන නමින් විරුදාවලියට පත්වූ එඩ්වින් ආරියදාස මහතා ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම ලිපි මෙන්ම කෘති රැසක් රචනා කර තිබෙනවා.

1922 දෙසැම්බර් මස 3 වනදා ගාල්ල – උණවටුන ප්‍රදේශයේ උපත ලැබූ ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙක්ද වනවා ෴

***************************************

(22.01.2021 – 16:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ මේ දක්වා වාර්තාවූ ඉහළම අගය අද (22) සටහන් වුණා.

දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශක දැක්වුණේ ඒකක 8463.43 ක් ලෙසයි.

එය පෙර දිනයට සාපේක්ෂව 332.18 ක ඉහළ යෑමක්. ඊයේ (21) දිනයේදී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 8131.25 ක් ලෙසයි ෴

***************************************

(22.01.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී පළාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

පසුගිය වසරේ (2020) දෙසැම්බර් 31 වනදා නාවික හමුදාව විසින් ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේ මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 947 ක්, හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 46 ක් මෙන්ම කේරළ ගංජා ග්‍රෑම් 3 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී සැකකරුවන් හතර දෙනෙකු (4) ද අත්අඩංගුවට ගැනුනු අතර යාත්‍රාවේ නියමුවා ලෙසට සිටි ප්‍රධාන සැකකරු පළාගොස් තිබු බවයි පොලිසිය කියාසිටියේ.

මෙම පුද්ගලයා ‘යද්දෙහිගේ ඉන්දික ලක්මාල්’ නම් අයෙක් වන අතර දෙවිනුවර රාස්සන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණ කරගෙන තිබෙනවා.

වර්තමානයේ ඔහු පදිංචිව සිටින්නේ ජාඇල, රණසිංහ පාර ප්‍රදේශයේ බවයි පොලිසිය කියාසිටියේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතරු ඇත්නම් 071 859 1876 අංකයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට හෝ 011 244 7946 සහ 011 234 3333 අංකයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ද තොරතුරු ලබාදිය හැකියි ෴

***************************************

(22.01.2021 – 17:44 +0530 – hirunews.lk/sinhala)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදුනොකළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

ඒ ඒ පාසල්වලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණයේ ද කිසිදු වෙනසක් සිදුකර නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

අමාත්‍යංශයේ අද (22) පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු දරු දැරියන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත්ත ද 2017 සිට 2021 දක්වා වසර 05 ක් තුළ පාසල්වලට සිසුන් බඳවා ගැනීමේ ප්‍රමාණය කිසිසේත් ම වෙනස් නොකළ බවයි.

එමෙන්ම කිසිදු ආකාරයකින් පාසල්වල පන්ති ප්‍රමාණය හෝ පන්තියකට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති අතර 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා බාලක බාලිකා මිශ්‍ර සහ 6-13 බාලක, බාලිකා සහ මිශ්‍ර පාසල්වල හෝ එවැනි වෙනසක් සිදුකිරීමට අපේක්ෂානොකරන බව ද ඔහු පැවසුවා.

ඒ පිළිබඳ සියලු තොරතුරු අමාත්‍යංශ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙබ්අඩවියෙන් ලබාගැනීමට හැකි බව ද ඔහු අවධාරණය කර සිටියා.

එමෙන්ම අභියාචනා ඉදිරිපත් කිරීම පෙබරවාරි මස 15 වන දින සිට සිදුකිරීමට මාසයක කාලයක අවස්ථාව සලසා තිබෙන බවයි ලේකම්වරයා පැවසුවේ ෴

***************************************

(22.01.2021 – 18:16 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන මස 11 වනදා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සළකා බැලීමට අද (22) දින නියම වුණා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු සිවිල් සංවිධාන මෙන්ම රැඳවියන් පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

අදාළ පෙත්සම එල්.ටී.බී. දෙහිදෙණිය, විජිත් මළල්ගොඩ, එස්. තුරේරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@@

(22.01.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

දෙවන කොරෝනා රැල්ල තුළ වෛද්‍යවරුන් 100 කට පමණ ආසන්න පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ මේ මොහොත වනවිට වෛද්‍යවරුන් 40 දෙනෙකු කොවිඩ් මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවයි.

දෛනිකව රට තුළ වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඊයේ (21) දිනය තුළ පමණක් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 887 ක්.

ඉන් 13 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයින් වන අතර, අනෙක් පුද්ගලයා යුක්රේනයේ සිට පැමිණි අයෙකු බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ (21) වාර්තාවූ ආසාදිතයන්ගෙන් 337 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 136 ක්, කළුතරින් 71 ක්, මාතලෙන් 51 ක්, මහනුවරින් 49 ක්, ගාල්ලෙන් 47 ක්, කුරුණෑගලින් 33 දෙනෙකු, අම්පාරෙන් 29 දෙනෙකු, රත්නපුරින් 25 දෙනෙකු සහ පොළොන්නරුවෙන් 21 දෙනෙකු ලෙස ඊයේ වාර්තාවී තිබෙනවා.

+++++++++++++++++++++++

(22.01.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට අද (22) උදෑසන සිට පියවර ගනු ලැබුවේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.

මැලේකොළණිය ප්‍රදේශයේ මේවන විට පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සංචරණ නීති ක්‍රියාත්මක කරමින් පවතින අතර ස්ථාන 6 කින් ප්‍රදේශයට ඇතුලුවීම සීමාකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බදුල්ල – පස්සර ජාතික පාසලේ සිසු සිසුවියන් 6 දෙනෙකුද කොරෝනා ආසාදිත බවට හදුනාගෙන තිබෙනවා.

සිසුන් 4 දෙනෙකුට සහ ශිෂ්‍යාවන් දෙනෙකු (2) මෙලෙස ආසාදිත බවට හදුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමීතියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් 34 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර වාණිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසුව පළමු විදේශ සංචාරකයින් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයින් 10 දෙනෙකු ඊයේ (21) පැමිණියා.

මීට අමතරව තවත් ජර්මන් ජාතිකයින් සංචාරකයින් 5 දෙනෙකු අද (22) අලුයම මෙරටට පැමිණ තිබෙනවා.

සංචරණ සීමා පැනවූ අම්බලන්තොට මැලේකොළණිය :

[සේයාරූ ]

ගුවන් තොටුපළ සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු යුක්‍රේන ජාතිකයන් 104 ක් රැගත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට අද (22) පැමිණියා.

ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව අප ගුවන් තොටුපළ වාර්තාකරු කියා සිටියා ෴

+++++++++++++++++++

(22.01.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ඉකුත්දා කොවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත් වූ බව කියන දින 21 ක් වයසැති බිළිදෙකු ආදාහනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වන්නැයි සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

අදාළ පෙත්සම සලකා බැලීම අද (22) සිදුකරනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි ෴

++++++++++++++++++++

(22.01.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – පස්සර ජාතික පාසලේ තවත් සිසු සිසුවියන් හතරදෙනෙකුට (4) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මීට පෙර සිසුන් 4 දෙනෙකුට සහ ශිෂ්‍යාවන් දෙනෙකු (2) වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනුනු අතර, ඉන් අනතුරුවයි තවත් සිසුවියක සහ සිසුන් තුන්දෙනෙකුට (3) කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

මෙම ආසාදිත ළමයින්ගේ තවත් ආශ්‍රිත සිසු සිසුවියන් 80 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවද කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා ෴

++++++++++++++++++++

(22.01.2021 – 16:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 633 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 48,000 ඉක්මවන අතර එය සටහන් වන්නේ 48,617 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 56,076 ක් හමුවී ඇති අතර ඉන් 7183 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 276 ක් ෴

තවත් කොරෝන ආසාදිතයන් 346 දෙනකු මෙරටින් හඳුනා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 56,422 ක් ෴

++++++++++++++++++

(22.01.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව නිපද වූ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා’ එන්නත සම්බන්ධයෙන් යළි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට නීතිපති දප්පුල ද ලිවේරා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට දැනුම් දී තිබෙනවා.

ඊයේ (21) එම එන්නතට අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන නීතිපතිවරයා වෙත යොමු කළ ද එම කරුණු ප්‍රමාණවත් නොවන බැවින් ඊට අදාළ ගිවිසුම් ලේඛන පිළිබද තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා’ එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ ජාතික රෝහලේ අද (22) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *