සූරියවැව මාරාන්තික උපවාසය අවසන් – සත්‍යග්‍රහය අඛණ්ඩව

සූරියවැව මාරාන්තික උපවාසය අවසන් – සත්‍යග්‍රහය අඛණ්ඩව

*********************************************

සූරියවැව මාරාන්තික උපවාසය අවසන් – සත්‍යග්‍රහය අඛණ්ඩව

(23.01.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සම්බන්ධයෙන් වු රෙගුලාසි ලබන සතියේ නීතිපතිවරයා වෙත යොමුකරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, මාරාන්තික උපවාසයේ නිරතව සිටි ගොවින් අද (23) පෙරවරුවේ හමුවු අවස්ථාවේදියි.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හම්බන්තොට, සුරියවැව, වල්සපුගල ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා ගොවි සංවිධාන 86 ක නියෝජිතයන් සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවා.

පසුව ඔවුන් එම ස්ථානයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර එලෙස උපවාසයේ නිරතව සිටි ගොවීන් දෙදෙනෙකු රෝහල් ගත කෙරුණේ ඊයේ (22) දිනයේදීයි.

කෙසේ වෙතත් මාසයක කාලයක් තුළ අදාල ගැටලුවට විසදුම් ලබා දෙන බවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පොරොන්දු වීමත් සමග මාරාන්තික උපවාසය අද (23) පෙරවරුවේ ගොවීන් විසින් අතහැර දැමුවා.

කෙසේ වෙතත්, අදාල විසදුම ලැබෙන තෙක් සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි කරන බවයි ගොවින් අමාත්‍යවරයාට ප්‍රකාශ කළේ.

අනතුරුව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සූරියවැව පොලිස් ස්ථානයේදී හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ජනතාව සහ ගොවීන් මුහුණ දෙන වන අලි ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබුවා.

හලාවත – මාදම්පේ – සුදුවැල්ල, මුගුණුවටවන, හේනෙපොල, පොතුවිල ඇතුලු ගම්මාන 10 කට වැඩි ප්‍රමාණයක සිදුකරන වැලි ජාවාරමට විරෝධය පළ කරමින් අද 9230 උදෑසන මාදම්පේ – සුදුවැල්ල විහාරස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර ඔවුන් අද 9230 පෙරවරුවේ වැලි කැපීමට එරෙහිව සුදුවැල්ල ශ්‍රී සමයවර්ධනාරාම විහාරස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

***************************************

(23.01.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

නිර්මාණශීලීත්වය සහ හැකියාව එක්ව ගොඩනැගුණු වේවැල් කර්මාන්තයේ නියැලී සිටින පිරිස් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ (22) අනාවරණ කළා.

ඒ අනුව මෙම වේවැල් කර්මාන්තයේ නියැලෙන්නන් සිය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී ඔවුන්ට ලබාදෙන හැදුනුම්පත අනුව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා වනජීවි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

වේවැල්දෙනිය, වේවැල්දූව, වේවැල්කඳුර, වේවැල්වල සහ වේවැල්පනාව යන ග්‍රාම නාමයන් හේතුවෙන්ම අතීතයේ සිට මෙරට තුළ වේවැල් කර්මාන්තයේ යෙදුණු පිරිස් සිටින බවට සාක්ෂි පවතිනවා.

කෙසේ වෙතත් අමුද්‍රව්‍යවල මිල අධික වීම, විකල්ප භාණ්ඩ වෙළදපොළ ආක්‍රමණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවයි වේවැල් කර්මාන්තයේ නිරතව පිරිස් ප්‍රකාශ කළේ.

වේවැල් කර්මාන්තයට විශේෂ අවධානයක් යොමු කරමින් වේවැල් වගා කිරීමේ ‘ජයවේ ජාතික ව්‍යාපාරය’ වනාතවිල්ලුව – එළුවන්කුලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ ආරම්භ වුණා.

ඒ යටතේ අක්කර 88 ක වේවැල් වගා කිරීමට නියමිත අතර ඉදිරියේදී අක්කර 400 ක අලුතින් වේවැල් වගා කිරීමට සැලසුම් කිරීමට නියමිතයි.

***************************************

(23.01.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් හෙරොයින් කිලෝ 100 ක් සමඟ පසුගිය දා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා (2) අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු වැටලීම් ප්‍රධානියා වූ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඝාතනයට තැත් කළ පුද්ගලයෙකු ද සිටින බව වාර්තා වනවා.

එම්.එම්.එම්. නවාස් නැමති ඔහු නියොමාල් රංගජීව ඝාතනය කිරීමට තැත් කිරීමෙන් අනතුරුව ඉන්දියාවට පළා ගොස් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී නවාස් සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු මොහොමඩ් අෆ්නාස් නැමැත්තෙකු බවයි හෙළිවුණේ.

මොවුන් දෙදෙනා (2) ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එසේම මොවුන් දෙදෙනා (2) ව්‍යාජ නම් වලින් පෙනී සිට ඇති බව සදහන්.

පාකිස්තානය, ඉරානය සහ ඇෆ්ගනිස්ථානයට අයත් ලොව හෙරොයින් නිෂ්පාදනයේ ත්‍රිකෝණය ලෙස සැලකෙන ප්‍රදේශවල නිෂ්පාදනය කෙරෙන හෙරොයින් මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවලට බෙදා හැරීමේ ජාවාරමක් මොවුන් දෙදෙනා (2) විසින් මෙහෙයවා ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

2017 වසරේ මත්කුඩු තොගයක් වැටලීමට ගිය අවස්ථාවේ පිළියන්දල නගරයේදී නියොමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට, ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් එම්.එම්.එම්. නවාස් නැමැත්තා ඇතුළු පිරිසක් වෙඩි තබා තිබූ අතර එහිදී එක් (1) පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව නියොමාල් රංගජීව බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව කියා සිටියේ 2017 වසරේ මැයි මස 06 වන දින ජාවාරම්කරුවෙකුගෙන් හෙරොයින් මිලදී ගන්නා අයුරින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි බවට ලද ඔත්තුවකට අනුව තමන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිස මොරටුව දුම්රිය ස්ථානයට පැමිණි බවයි.

එම ඔත්තුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලබාදී ඇත්තේ අත්අඩංගුවට ගත් නවාස් නැමති පුද්ගලයා බව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සඳහන් කළා.

පසුව ඔත්තුව ලබාදුන් නවාස් නැමති පුද්ගලයා නියොමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන් ගෙන්වාගෙන වෙඩි තැබීම සිදුකර තිබුණා.

අත්අඩංගුවට ගත් නවාස් නැමති සැකකරු එම අවස්ථාවේ වෙඩි තැබීම සිදුකරන ලද මෝටර් රථයේ පිටුපස සිට ඇති බවටයි පසුව අනාවරණ වුණේ ෴

***************************************

(23.01.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

කාති උසාවි ක්‍රමය මෙරට අධිකරණ පද්ධතියට නොගැලපෙන බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසනවා.

මේ අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසන්නේ එක නීතියක් හා එක රටක් සංකල්පයට සියලුදෙනා එකඟ විය යුතු බවයි.

***************************************

(23.01.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණර්ධන මහතා හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා වෙත අද (23) දින ඊට අදාළ උපදෙස් ලබාදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් කළ එඩ්වින් ආරියදාස ශූරීන් ඊයේ (22) සිය දිවිගමනට සමුදුන්නා.

මියයන විට ඔහු 98 වන වියේ පසුවුණා ෴

මේ අතර ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඇවිදින පුස්තකාලය ලෙස විරුදාවලිය ලත් ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ නික්මයාම මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි.

බටහිර රටවල ආභාෂයෙන් බිහිවූ සන්නිවේදන විෂයට පාරිභාෂිත වදන් එක් කිරීමට ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා පුරෝගාමී වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, සිංහල භාෂාවට අන්තර්ජාලය, සමීප රූප, මාධ්‍ය රූප, උස්තල මුද්‍රණය, සමතල මුද්‍රණය සහ සජීවීකරණය යන වචන නව අරුත් දෙමින් නිර්මාණය කළ බව සිහිපත් කළා.

මේ අතර අභාවප්‍රාප්ත එඩ්වින් ආරියදාස මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට (24) පෙරවරු 10 සිට අනිද්දා (25) පස්වරු 03:30 දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු 25 වනදා පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

***************************************

(23.01.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

දැරණියගල ප්‍රදේශයේදී දේශීය වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට පහර දුන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ – කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරයා තවත් පිරිසක් සමඟ දැරණිගල ප්‍රදේශයට ගොස් ඇත්තේ අසනීප තත්ත්වයේ පසුවූ පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහායි.

අදාළ පුද්ගලයාගේ පුතුන් දෙදෙනා (2) ඇතුළු කිහිප දෙනෙකු ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙම දේශීය වෛද්‍යවරයා ඇතුළු පිරිසට මෙලෙස පොලු වලින් පහර දී තිබෙනවා.

තුවාල ලැබූ වෛද්‍යවරයා ඇතුළු 4 දෙනෙකු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 4 කට ආසන්න මුදලක් ද අදාළ පුද්ගලයින් පැහැරගෙන ඇති බව සඳහන්.

මෙම වෛද්‍යවරයා ඇතුළු පිරිස ගමන් කළ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයකට ද ඔවුන් පොලුවලින් පහර දී හානි කර තිබෙනවා ෴

***************************************

(23.01.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala)

අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් හම්බන්තොට මුහුදු තීරයේ පිහිටා ඇති කුඩා රාවණා ප්‍රදීපාගාරය ආසන්නයේ ගල්පරයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අද (23) දහවල් දෙකට පමණ ත්‍රිකුණාමලය වරායට අදාළ නෞකාව සේන්දුවීමට නියමිතව තිබුණා.

ප්‍රදීපාගාරය ආසන්නයේ ගැටී ඇති මෙම නෞකාව නිරීක්ෂනය සඳහා නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක් මේ වනවිට යොමුකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මීටර 180 ක් දිගින් සහ මීටර 30 ක් පමණ පළලැති ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ එම්.වී. යුරෝසන් නැමති නෞකාවයි ෴

මෙරට මුහුදු සීමාවට ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටියදී අනතුරට ලක්ව මිය ගිය ඉන්දීය ධීවරයින් 4 දෙනාගේ මෘත දේහයන් අද (23) එරට වෙත භාර දුන් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවකින් දේහයන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අන්තර් ජාතික මුහුදු සීමාවේදී භාරදෙනු ලැබුවේ ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘අතුල්යා’ නෞකාව වෙතයි.

පසුගිය 18 වන දා රාත්‍රී කාලයේදී මොවුන් ගමන් ගත් යාත්‍රාව අනතුරට ලක්ව තිබුණා ෴

(23.01.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් හම්බන්තොට මුහුදු තීරයේ පිහිටා ඇති කුඩා රාවණා ප්‍රදීපාගාරය ආසන්නයේ ගල්පරයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අද (23) දහවල් දෙකට (02:00) පමණ ත්‍රිකුණාමලය වරායට අදාළ නෞකාව සේන්දුවීමට නියමිතව තිබුණා.

ප්‍රදීපාගාරය ආසන්නයේ ගැටී ඇති මෙම නෞකාව නිරීක්ෂණය සඳහා නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක් (2) මේ වනවිට යොමුකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මීටර 180 ක් දිගින් සහ මීටර 30 ක් පමණ පළලැති ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ එම්.වී. යුරෝසන් නැමති නෞකාවයි.

කෙසේ වෙතත් අනතුරින් නැවෙන් පිටතට තෙල් විසිරීමක් සිදුව නොමැති අතර, ඒ පිළිබඳ ස්ථානීය වාර්තාවක්ද කැඳවා ඇති බවයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ.

එමෙන්ම නෞකාවේ වත්මන් තත්වය නිරීක්ෂණයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 03 සමුද්‍රීය බලඝණයට අයත් බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් ද යොදාගෙන තිබෙනවා.

එහි තත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු එම තොරතුරු නාවික හමුදාවට සහ අදාළ අංශ වෙත ලබාදීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම හෙට (24) උදෑසන ද බීච් ක්‍රාෆ්ට් ගුවන්යානය යොදා ගනිමින් නෞකාවේ නවතම තත්වය නිරීක්ෂණයට කටයුතු සූදානම් කර ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ ෴

***************************************

(23.01.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාදේශීය මූල්‍ය ආයතන සහ සුපිරි වෙළඳසැල් කොල්ලකෑමේ සිද්ධීන්වලට සම්බන්ධ දෙදෙනෙකු (2) පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අද (23) අත්අඩංගුවට ගනු ලැබුවා.

හෝමාගම සහ නාරාහේන්පිට ප්‍රදේශවලදී පොලිස් භාරයට ගැනුනු මොවුන් 42 හැවිරිදි වියේ පසුවන අවිස්සාවේල්ල සහ පුවක්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

මොවුන් ලඟ තිබී පතොරම් තුවක්කු 2 ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව අත්බෝම්බයක්, බෝර 12 වර්ගයේ පතොරොම් 34 ක් සහ හිස් පතොරොම් කොපු 15 ක් මෙන්ම යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් කිරිල්ලවල, කුරුකුලාව සහ කොකිස්කඩේ ප්‍රදේශවල මූල්‍ය ආයතන කොල්ලකෑම සහ වැලිපිල්ලෑව ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට තැත් කිරීමේ සිද්ධිවලට සම්බන්ධ බවට අනාවරණ වුණා.

එමෙන්ම රාගම සහ කිරිල්ලවල ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් කොල්ලකෑමේ සිද්ධීන් ද මොවුන් විසින් සිදුකර ඇති බවටයි හෙලිව ඇත්තේ.

කඳාන ප්‍රදේශයේ තවත් සුපිරි වෙළදසැලක් කොල්ලකෑමට ගිය අවස්ථාවේ එහි රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරිනියකට තුවාල සිදු කර ඇති අතර ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුව ජීවිතක්ෂයට පත්වුණා ෴

@@@@@@@@@@@@@@@@@@

(23.01.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දේවානම්පියතිස්සපුර (තිසාවැව 01 කොටස) 295A ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය දැනුම් දෙනවා ෴

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 644 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 49,261 ක්.

මේවන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් 56, 863 ක් හමුවී ඇති අතර ඉන් 7324 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 278 ක් ෴

++++++++++++++++++++++

(23.01.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

අද වන විට සෞඛ්‍ය කාර්යමණ්ඩල ඉතා වේගයෙන් කොරෝනා වෛරසයට ගොදුරු වෙමින් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරනවා.

මෙම සංගමයේ ලේකම් එස්.බි. මැදිවත්ත මහතා කියාසිටියේ මෙම තත්වය හේතුවෙන් රෝහල් ගණනාවක වාට්ටු සහ ඒකක වසා දැමීමට සිදුව ඇති බවයි.

මෙලස වාට්ටු සහ ඒකක වසා දැමීමට හේතුවී ඇත්තේ හෙද හෙදියන් නොමැති වීම හා හෙද හෙදියන්ට අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් නොමැති වීම හේතුවෙන් බවට ඔවුන් පෙන්වා දෙනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් හෝ ලබා නොදෙන අතර ඔවුන්ට සාමාන්‍ය බස් රථවල ගමන් කිරීමට සිදුව ඇති බවටයි සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරන්නේ.

අප මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ කාර්යාලයෙන් කළ විමසීමකදී සඳහන් කළේ මේ පිළිබඳ අවශ්‍ය පියවර ගැනිම සඳහා අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවයි ෴

+++++++++++++++++++++

(23.01.2021 – 17:59 +0530 – hirunews.lk/sinhala)

මේවන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී සිටින අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙනුයි අධ්‍යාපන අමාත්‍යවරයා සහ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක්ව පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබුනේ.

එම පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව අමාත්‍යවරයාට ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළා ෴

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 57,000 ඉක්මවා තිබෙනවා.

ඒ අද (23) දිනයේ තවත් ආසාදිතයන් 353 ක් හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 57, 216 ක් ලෙසටයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 371 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 57,587 ක් ලෙසටයි.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 8048 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 49,261 ක්. කොරෝනා වෛරසය ආසාදිත මරණ 278 ක් මෙරටින් වාර්තා වුනා ෴

++++++++++++++++++++

(23.01.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව ඉන්දියාව විසින් නිෂ්පාදනය කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබන බදාදා මෙරටට ලැබීමට නියමිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කළුතර – වළල්ලාවිට ප්‍රදේශයේ අද (23) පැවති ගම සමඟ පිළිසඳර හත්වන (7) වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඊට පසුදිනම අදාළ එන්නත ප්‍රමුඛතා අනුපිළිවෙලට අනුව සෞඛ්‍ය අංශ වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.

මෙහිදී ජනතාව තමන් මුහුණදී සිටින ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා.

+++++++++++++++++++

(23.01.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගෙන් එය ව්‍යාප්ත වීමේ අවදානම වැඩිම කාලය පළමු දින 10 වන බැවින් එම කාලය නිවැරදිව හඳුනාගෙන විද්‍යාත්මක සාධක මත පදනම්ව වෛරසය පැතිරීම පාලනයට කටයුතු කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (22) පැවති දෛනික කොවිඩ් විශ්ලේෂණ කමිටුවේදී ඇය පෙන්වා දී ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ පළමු දින 10 ප්‍රතිකාර මධ්‍යස්ථානයක සහ ඉතිරි දින 4 නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණු මත තීරණය කිරීමට සොයා බලන ලෙසයි.

එමෙන්ම, ආසාදිතයන් කලින් ඇතුළත් කර කලින් පිටව යා හැකි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබදව ද ඇය එහිදී අවධාරණය කර තිබෙනවා.

කොරෝනා පාලනය සඳහා දැනට භාවිත කරන පරීක්ෂණ, රෝහල් ගත කර තබන කාලය, නිරෝධායන වැඩපිළිවෙල සහ පිළිවෙල ඇතුළු ක්‍රමවේදයන් තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ ද නැතහොත් වෛරසයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති නව අදහස් හා තහවුරු කර ඇති කරුණු ඔස්සේ ක්‍රමවේදයන්හි වෙනසක් සිදුකළ හැකි ද යන්න පිළිබදව එහිදී වැඩිදුරටත් සාකච්ඡා වූ බවයි රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ ෴

++++++++++++++++++

(23.01.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – දේවානම්පියතිස්සපුර ග්‍රාම නිලධාරී වසමේ 295-ඒ කොටස හුදකලා කෙරුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

කන්තලේ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුට සහ ඔහුගේ පන්තියකට සහභාගි වූ සිසුවෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කිහිපයක ළමයින් 200 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායන සදහා යොමු කර තිබෙනවා.

මේ අතර හැටන් – බොස්කො විද්‍යාලයේ සිසුවෙකුට ද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් ළමයින් 37 දෙනෙකු, ගුරුවරුන් 14 දෙනෙකු ඇතුළු පිරිසක් නිරෝධායනය සදහා යොමු කෙරුණා.

කොරෝනා ආසාදිතව මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ මරණ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් මාළිගාවත්ත ප්‍රදේශයේ පිරිසක් අද (23) නිහඩ විරෝධතාවක නිරත වුණා.

+++++++++++++++++++

(23.01.2021 – 22:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් (2) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 280 ක්.

මියගොස් ඇත්තේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 82 හැවිරිදි කාන්තාවක්.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයා කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුණා.

එහිදී ඊයේ (22) මියගොස් ඇති මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සහ වකුගඩු ආසාදනයයි.

මියගිය කාන්තාව රනාල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

එහිදී ඊයේ (22) මියගොස් ඇති ඇයගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව සහ වකුගඩු රෝගී තත්වයයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *