මහනුවර පාසල් සිසුන් අතර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කෙරේ

මහනුවර පාසල් සිසුන් අතර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කෙරේ

*********************************************

මහනුවර පාසල් සිසුන් අතර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කෙරේ

(24.01.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (23) හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 724 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 197 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඒ අතර කොළඹ කොටුවෙන් ආසාදිතයින් 28 දෙනෙකු, අලුත්කඩෙන් 14 දෙනෙකු, බොරැල්ලෙන් 12 දෙනෙකු සහ පිටකොටුවෙන් හඳුනාගත් ආසාදිතයින් 10 දෙනෙකු වන බවයි.

එසේම ඊයේ (23) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 දෙනෙකු හඳුනාගත් අතර, මහනුවරින් හඳුනාගත් ආසාදිතයින් 45 දෙනෙකු සහ හාරිස්පත්තුවෙන් හඳුනාගත් ආසාදිතයින් 34 දෙනෙකු ඒ අතර වනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් ආශ්‍රිතව කොරෝනා අවදානමක් මේ වනවිට නොපවතින බවයි.

ආසාදිතයින් 106 දෙනෙකු ඊයේ (23) ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණා.

වත්තලින් ආසාදිතයින් 16 ක්, ගම්පහින් ආසාදිතයින් 10 ක් සහ මිනුවන්ගොඩින් හඳුනාගත් ආසාදිතයින් 10 දෙනෙකු ඒ අතර වනවා.

එසේම, දැඩි සංචරණ සීමා පනවා ඇති පූගොඩ – කුමාරිමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව ආසාදිතයින් 24 දෙනෙකු අද (24) දිනයේදී හඳුනාගත් බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ. බණ්ඩාරණායක මහතා කියා සිටියා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 04 වැනිදායින් ආරම්භ වූ කොරෝනා දෙවන රැල්ලට අදාළව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,373 ක්.

එම කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11,986 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,370 ක් හඳුනාගෙන තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා දෙවන රැල්ලට අදාළව වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2,961 ක්.

එසේම, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 1,367 දෙනා බැගින් කොරෝනා දෙවන රැල්ලට අදාළව වාර්තා වනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වූ හබරාදූව ප්‍රදේශයේ ඇඟළුම් සේවිකාවකගේ නිවසේ පැවති දානමය පිංකමට වැඩම කළ භික්ෂූණ් වහන්සේලා අට නමක් (8) සහ එම සේවිකාවගේ පළමු පෙල ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මේ අතර, වැලිකන්ද – කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (23) රාත්‍රියේ පිටතින් විසි කරන ලද මත්ද්‍රව්‍ය පිරවූ ටෙනිස් බෝල දෙකක් (2) සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ භාවිතය සඳහා මෙලෙස මත්ද්‍රව්‍ය පිර වූ ටෙනිස් බෝල විසිකර ඇතැයි සැක කරන බවයි.

++++++++++++++++++

(24.01.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා පළමු රැල්ල පාලනය කිරීමට සියලු පියවර ගත් රජය මැතිවරණය ජයගත් පසු දෙවන රැල්ල පාලනය කිරීමේ වගකීමෙන් බැහැරව සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ (23) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

කොරෝනා වෛරසය ආසාදනය වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා සිය නිවෙස වෙත පැමිණ තිබෙනවා.

අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු සඳහන් කළේ වෛරසය ආසාදනය වී කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නැවතී ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍යවරයා අද (24) දහවල් කොළඹ පිහිටි සිය නිවෙස වෙත පැමිණි බවයි.

එමෙන්ම, සෞඛ්‍ය නිර්දේශ යටතේ ඔහු සිය නිවස තුළ ඉදිරි සතියක පමණ කාලයක් තුල නිරෝධායනය වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

+++++++++++++++++++++

(24.01.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබන පුද්ගලයින් තුල වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය අවම වශයෙන් මාස 6 ක පමණ කාලයක් පවතින බව පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රොකෆෙලර් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව, එම ප්‍රතිදේහ පරිණාමය වීමේ හැකියාවකින් යුක්තයි.

ඒ අනුව, කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය හෝ දකුණු අප්‍රිකානු ප්‍රභේද ආසාදනය වීම වැළැක්වීමට ද ඊට හැකියාවක් පවතින බව අනාවරණ වී තිබෙනවා ෴

++++++++++++++++++++

(24.01.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ තවත් යුක්රේන සංචාරකයින් පිරිසක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් අද (24) පස්වරුවේ මෙරටට පැමිණියා.

යුක්රේන ගුවන් සේවයට අයත් PS 6385 දරණ ගුවන් යානයෙන් සංචාරකයින් 189 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් මෙරටට පැමිණි 12 වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.

මේ අතර මෙරටට පැමිණ සිටි සංචාරකයින් 178 දෙනෙකු එම ගුවන් යානයෙන් නැවත යුක්රේනය බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ ෴

+++++++++++++++++++++

(24.01.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් එන්නත් ලබා ගත් පුද්ගලයන්ගෙන් ද තවදුරටත් වෛරසය අන් අයට සම්ප්‍රේෂණය විය හැකි බව එංගලන්තයේ නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය ජොනතන් වෑන් ටෑම් පවසනවා.

මේ නිසා ඔවුන් තවදුරටත් නිරෝධායන නීති පිලිපැදිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොරෝනා එන්නත මගින් වෛරසය සම්ප්‍රේෂණය වීම කෙරෙහි ඇති කරන බලපෑම මෙතෙක් මුළුමනින්ම අනාවරණ කරගෙන නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොරෝනා එන්නත මගින් බලාපොරොත්තුවක් ජනිත කළ ද ආසාදනය වීමේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව මහාචාර්ය ජොනතන් වෑන් කියා සිටියා ෴

(24.01.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබන පුද්ගලයින් තුල වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය අවම වශයෙන් මාස 06 ක පමණ කාලයක් පවතින බව පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රොකෆෙලර් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව, එම ප්‍රතිදේහ පරිණාමය වීමේ හැකියාවකින් යුක්තයි.

ඒ අනුව, කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය හෝ දකුණු අප්‍රිකානු ප්‍රභේද ආසාදනය වීම වැළැක්වීමට ද ඊට හැකියාවක් පවතින බව අනාවරණ වී තිබෙනවා ෴

+++++++++++++++++++

(24.01.2021 – 16:39 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සව දෙකක (2) මනාල යුවල දෙකකට (2) කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

හෝමාගම මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසුවේ එක් විවාහ මංගල්‍යක් සඳහා උත්සව තුනක් (3) ඔවුන් පවත්වා ඇති බවයි.

එම උත්සව අවස්ථා තුන (3) කඩුවෙල, පාදුක්ක සහ වටරැක ප්‍රදේශවල පවත්වා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී කඩුවෙල සහ පාදුක්ක ප්‍රදේශවල පැවති උත්සවවලට ඔවුන් අවසර ලබාගෙන ඇති අතර වටරැක ප්‍රදේශයේ පැවති උත්සවයට ඔවුන් අවසර ලබාගෙන නොතිබූ බවට වාර්තා වනවා.

අනතුරුව එම යුවල මදුසමය ගතකිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා රෝගීවීම හේතුවෙන් PCR පරීක්ෂණයකට භාජනයකර තිබෙනවා.

එහිදී ඔවුන් දෙදෙනාට (2) කොවිඩ් බවට තහවුරු වී ඇති අතර ඒ අනුව ඔවුන්ගේ උත්සව තුනට (3) සහභාගී වූ පවුල් 100 කට වැඩි ප්‍රමාණයක පිරිසක් නිරෝධායනය සඳහා යොමු කරමින් සිටින බවයි හෝමාගම මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර කොවිඩ් ආසාදිත අනෙක් මනාල යුවල හෝමාගම ප්‍රදේශයේ උත්සව ශාලාවක සිය මංගල උත්සවය පවත්වා ඇති අතර එහිදී උත්සවයට සහභාගී වූ මනමාල පාර්ශ්වයේ 25 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවලදී 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

උත්සව සඳහා අවසර ලබා දී ඇති මොහොතක නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් එම උත්සව අවස්ථා සිදුකරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴

කොව්ඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 423 දෙනෙකු සුවය ලබා අද (24) රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 49,684 දක්වා ඉහළ ගොස් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර අද (24) දිනයේ කොරෝනා ආසාදිතයින් 349 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා ෴

+++++++++++++++++

(24.01.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයක් අද (24) සවස හයේ (06:00) සිට හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර මිනුවන්ගොඩ, ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලුත් පාර සහ අකරගොඩ හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

ඒ පිළිබද විස්තර පහතින් :

++++++++++++++++++++

(24.01.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට මාර්තු මාසයේදී පෙනී සිටින සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් හෙට (25) සිට යළි විවෘත කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ ඔවුන්ගේ මඟ හැරී ගිය ඉගෙනුම් කටයුතු කඩිනමින් ඉටු කරදීම සඳහා මෙම තීරණයට එළඹි බවයි.

බස්නාහිර පළාතේ පාසල් සියලු ශ්‍රේණි සඳහා ආරම්භ කිරීම, ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල නිර්දේශය මත සිදුකිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව, පළාතේ පාසල් 900 කට වැඩි සංඛ්‍යාවක් පෙබරවාරි 15 වනවිට විවෘත කළ හැකිවේ යැයි තමන් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යාපනය ලබන එහෙත් එම පළාතෙන් පිටත පදිංචිව සිටින සාමාන්‍ය පෙළ සිසුන්ට මෙන්ම, ගුරුවරුන්ට තමන් පදිංචි ප්‍රදේශයට ආසන්නතම පාසලේ අධ්‍යයන කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, හෙට (25) දිනයේ සාමාන්‍ය පෙළ සිසුන්ට බස්නාහිර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් සහ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධික අත්තනායක යන මහත්වරු මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර, අවශ්‍ය වුවහොත් අතිරේක බස් රථ යෙදවීමට ද කටයුතු සූදානම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ බස්නාහිර පළාතේ ද, පාසල් සිසුන් ප්‍රවාහනය කරන රථ සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතු බවයි.

+++++++++++++++++++++

(24.01.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකුට සහ පවිත්‍රතා අංශයේ 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙනවා.

ඒ, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින්.

අදාළ ආසාදිතයින් 06 දෙනා අතරට හෙදියන් දෙදෙනෙකු (2) සහ සෞඛ්‍ය කාර්ය සහකයින් සිව් දෙනෙකු (4) අයත්.

ඊට අමතරව රෝහල් පවිත්‍රතා අංශයේ සේවය කළ පෞද්ගලික ආයතනයකට අනුබද්ධ සේවිකාවන් 06 දෙනෙකුටද වෛරසය ආසාදිත බව හඳුනා ගැණුනා.

මේ හේතුවෙන් පවිත්‍රතා අංශයේ ඉතිරි සේවකයින් සියළු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, මඳුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු අද (24) වාර්තා වුණා.

ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 101 ක්.

වාර්තා වූ ආසාදිතයින් පිරිස පුත්තලම, වනාතවිල්ලු‍ව, මුන්දලම, ආණමඩුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සිද්ධියත් සමඟ පවුල් 300 ක පුද්ගලයින් 600 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පවත්වන ලද විවාහ මංගල උත්සව දෙකක (2) මනමාල යුවළ දෙකකට (2) ද, කොරෝනා වෛරසය ආසාදිත බව හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහන් කළා.

මේ අතර, බගවන්තලාව – මෝරාවත්තේ පිහිටි ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ රන්ජන් විජේරත්න ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින පිරිස තමන්ට ප්‍රමාණවත් පහසුකම් නොලැබෙන බවට චෝදනා කරනවා.

අදාළ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 136 ක්.

ඒ අතර, දරුවන් දෙදෙනෙකු (2) ද වනවා.

විරෝධය පළ කළ පිරිස සඳහන් කළේ අද (24) පෙරවරුවේ උදෑසන ආහාරය සඳහා ලබාදුන් බත් පාර්සල් කිහිපයකින් පණුවන් හමුවූ බවයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම නිරෝධායන මධ්‍යස්ථානය භාර වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණියා.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව සිදුකිරීමට නියමිත එන්නත්කරණ වැඩපිලිවෙලට සමගාමීව ප්‍රතිශක්තිකරණ පානයක් ලබාදීම සඳහා යෝජනා කර තිබෙන ජාතික වැඩපිලිවෙලද ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයේ ආයූර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා සිය නිවසට පැමිණ තිබෙනවා.

අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු සඳහන් කළේ වෛරසය ආසාදනය වී කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නේවාසිකව ප්‍රතිකාර ලැබූ අමාත්‍යවරයා අද (24) දහවල් කොළඹ පිහිටි සිය නිවෙස වෙත පැමිණි බවයි.

එමෙන්ම, සෞඛ්‍ය නිර්දේශ යටතේ අමාත්‍යවරයා නිවස තුළ තවත් සතියක පමණ කාලයක් ස්වයං නිරෝධායනය වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, ස්වයං නිරෝධායනයට යොමු වී සිටි රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙනුයි ඔහු මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු වුණේ.

මේ අතර, අද (24) දිනයේදී තවත් ආසාදිතයින් 423 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 49,684 ක් දක්වා ඉහළ ගියා.

එසේම, තවත් කොරෝනා ආසාදිතයින් 349 දෙනෙකු අද (24) දිනයේදී මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 57,936 ක්.

අද (24) දිනය තුල තවත් කොවිඩ් 19 ආසාදිතයින් 492 ක් වාර්තා වූ යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ මේ වන විට වාර්තා වූ ආසාදිතයින් ගණන 841 ක්.

ඒ අනුව කොවිඩ් 19 ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 58,430 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

@@@@@@@@@@@@@@

(24.01.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය නම් කර ගැසට් කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන කිහිපයක් එක්ව සූරියවැව – වල්සපුගල ප්‍රදේශයේ ආරම්භ කළ අඛන්ඩ සත්‍යග්‍රහය අද (24) 7 වන දිනටත් ක්‍රියාත්මකයි.

පසුගිය 18 වනදා ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ වනඅලි තර්ජන හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම පීඩා විඳින බවට චෝදනා කරමින්.

පසුව, 20 වනදා ඔවුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ ද එය ඊයේ (23) දිනයේ අවසන් කරනු ලැබුවා.

ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සත්‍යග්‍රහයේ නිරත පිරිස් හමුවීම සඳහා වල්සපුගල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීයි.

අදාළ ගැටලුවට මසක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට වූ පොරොන්දුව මත මාරාන්තික උපවාසය අවසන් කළ ද සත්‍යග්‍රහය අඛන්ඩව සිදුකරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයට අමතරව, බුරුතන්කන්ද – සූරිය ගොවි සංවිධානය ඇතුලු තවත් ගොවි සංවිධාන රැසක් මෙම සත්‍යග්‍රහයට එක්ව සිටිනවා.

***************************************

(24.01.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2020 වසරේ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 278.4 ක් ලෙස සටහන් වන අතර එය වසර 23 කින් වාර්තා වූ අවම නිෂ්පාදනයයි.

තැරැව්කාර සමාගම් ප්‍රකාශ කරන පරිදි මීට පෙර කිලෝග්‍රෑම් මිලියන 276 ක අවම තේ නිෂ්පාදනයක් වාර්තා වී ඇත්තේ 1997 වසරේදීයි.

2013 වසරේදී මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 340 දක්වා ඉහළ ගිය ද එතැන් සිට පසුගිය වසර දක්වාම තේ නිෂ්පාදනය ක්‍රමානුකූලව පහත වැටීමක් දක්නට ලැබුණා.

පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා පැවති වියළි උණුසුම් කාලගුණය තේ නිෂ්පාදනය පහත වැටීමට හේතුවක්.

කාලගුණ වෙනස මෙරට තේ නිෂ්පාදනය පහත හෙලීමට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව කෘෂි විශේෂඥයින්ගේ අදහසයි.

පසුගිය වසරේදී මෙරට තේ වැඩිම ප්‍රමාණයක් එනම්, කිලෝග්‍රෑම් මිලියින 38.8 ක් තුර්කිය විසින් මිලදී ගෙන ඇති අතර ඉරාකය කිලෝග්‍රෑම් මිලියන 33.3 ක් සහ රුසියාව කිලෝග්‍රෑම් මිලියන 29.6 ක් මිලදී ගෙන තිබෙනවා ෴

***************************************

(24.01.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ ආනයන භාණ්ඩ නිශ්කාශන කටයුතු අන්තර්ජාල පහසුකම් යටතේ විද්‍යුත් ගෙවීම් ලෙස සිදුකිරීමට වරාය අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, නිශ්කාශන කටයුතු සිදුකර ගැනීමට අවශ්‍යතා ඇති අයට, සිය නිවෙස්වල හෝ ඔවුන්ගේ කාර්යාල පරිශ්‍ර තුල සිට අන්තර්ජාල මගින් සිය ගෙවීම් කටයුතු සිදුකල හැකියි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ කොළඹ වරායේ සියලු පර්යන්ත උපාය මාර්ගික කළමනාකරණ සැලැස්මක් ක්‍රියාවට නංවමින් මෙහෙයුම් නිසි පරිදි පවත්වා ගැනීමට සමත්ව ඇති බවයි වරාය අධිකාරිය සඳහන් කළේ.

අදාළ නිශ්කාශන කටයුතු වරාය අධිකාරියේ වෙබ් අඩවියට ( https://www.slpa.lk ) පිවිස විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ සිදුකර ගැනීමට පහසුකම් සලසා ඇති බව එමගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

***************************************

(24.01.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

කාති උසාවි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව නව ව්‍යවස්ථාවෙන් නිසැකවම නිරාකරණය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

මේ අතර අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ද කාති උසාවි සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර පැපිලියාන සුනේත්‍රා දේවි පුරාණ රජමහ විහාරාධිපති පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක හිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව සංවිධාන කළ ‘ලේ දන්දීමේ’ වැඩසටහනකට එක්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

(24.01.2021 – 15:43 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (23) රාත්‍රී 11 සිට දිවයින පුරා සිදුකළ පැය 03 ක මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 1185 ක් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3520 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරින් 20,000 ක් පමණ යොදා ගත් බවයි ෴

***************************************

(24.01.2021 – 17:26 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් කැලෑබද ප්‍රදේශයක තිබී යුද කාලයේදී භාවිත කළේ යැයි සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය ඇතුලු අවි ආයුධ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මිලිමීටර් 81 වර්ගයේ මෝටර් උණ්ඩ 3 ක්, ආර්.පී.ජී. උණ්ඩයක් සහ අත්බෝම්බ දෙකක් මෙලෙස සොයා ගෙන ඇති බවයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පසුගිය යුද සමයේදී මේවා නැවත ප්‍රයෝජන ගැනීම සඳහා වලදමා ඇති බවටයි විශ්වාස කරන්නේ.

කෙසේ වෙතත්, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ආරක්ෂක අංශ විසින් අදාල බෝම්බ තොගය නිෂ්ක්‍රිය කර තිබෙනවා.

***************************************

(24.01.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

නිදන් හාරමින් සිටියදී සාලියවැව පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගැනුණු චීවරධාරියා ඇතුළු සිව්දෙනා (4) පෙබරවාරි 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔවුන් පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දංකොටුව ප්‍රදේශයේ පිරිවනක චීවරධාරියෙක්, සාලියවැව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් (2) සහ නාරම්මල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *