10% ක පිරිසකගේ වැරදි වහන කාති උසාවියේ අපරාධ

10% ක පිරිසකගේ වැරදි වහන කාති උසාවියේ අපරාධ

*********************************************

10% ක පිරිසකගේ වැරදි වහන කාති උසාවියේ අපරාධ

(24.01.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

කාති උසාවිය මගින් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හමුවේ සාමාජිකයින් අද (24) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් පළ කළා.

මේ අතර කාති උසාවි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව නව ව්‍යවස්ථාවෙන් නිසැකවම නිරාකරණය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය වීරසේකර මහතා සඳහන් කළා.

***************************************

(25.01.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර අදට වසර 23 ක් ගතවනවා.

එම ප්‍රහාරය එල්ල වූයේ 1998 වසරේ ජනවාරි 25 වැනිදායි.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් යොදාගෙන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවා.

ඉන් ජීවිත රැසක් රටට අහිමි වූයේ දළඳා මාලිගා පරිශ්‍රයටද දැඩි අලාභ හානි සිදුකරමින්.

***************************************

(25.01.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල්පරයක ගැටී අනතුරට ලක්ව තිබියදී ඉන් මුදා ගැණුනු එම්.වී.යුරෝසන් නෞකාව ආශ්‍රිතව අද (25) දිනයේ දියයට පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතයි.

ඉන් අනතුරුව එහි ආරක්ෂාව සහතික කර අදාළ නැව වරායක් වෙත රැගෙන යනු ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ගල්පරයකට හසුව අනතුරට ලක්වූ මෙම නෞකාව වඩදියට සහ දියවැල්වලට හසුවී ඊයේ (24) පස්වරුවේ එම ගල්පරයෙන් නිදහස් වී තිබුණා.

ලයිබීරියානු ධජය යටතේ අබුඩාබි වරායේ සිට ත්‍රිකුණාමලය වරාය වෙත සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා ‘ක්ලින්කර්’ නමැති අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබුණු මෙම නෞකාව කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක සිරවී පසුගිය සිකුරාදා පස්වරුවේ අනතුරට ලක්වුණා.

එම අවස්ථාවේදී එම නෞකාවේ සිමෙන්ති අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 33,000 කට අධික ප්‍රමාණයක් සහ නෞකාවට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 762 ක ප්‍රමාණයක්ද පැවති බව සඳහන්.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ මෙම සිද්ධියේදී නැවේ පැවති සිමෙන්ති අමුද්‍රව්‍ය, ඉන්ධන හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක් කාන්දු වී නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී මුහුදු පත්ලට සහ කොරල්පරවලට හානි සිදු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවල විශේෂ නිරික්ෂණයක් සිදු කිරිමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තිරණය කර තිබෙනවා.

එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ එම නිරික්ෂණ අනුව ඉදිරි නිතිමය කටයුතු සිදු කරන බවයි ෴

***************************************

(25.01.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරෙනවා.

මේ වනවිට පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තිබෙන අතර, අවමංගල්‍ය සභාව පස්වරු 03:30 ට ආරම්භ කිරීමට නියමිතයි.

එය සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් සහ මඟ පෙන්වීම පරිදි සිදුකරන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා ෴

***************************************

(25.01.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 03 ක් වයසැති දැරියකට ලිංගික අතවර කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් එම දැරියගේ අවුරුදු 14 ක් වයසැති ඥාති සහෝදරයෙකු මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සැකකාර බාලවයස්කරුවා ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මව සහ පියා රැකියාව සදහා නිවසින් පිටව ගොස් සිටියදී මිත්තණිය භාරයේ සිට ඇති බාල වයස්කාර දැරියව සෙල්ලම් කිරීමට යැයි පවසා සැකකාර බාලවයස්කරුවා ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් තිබෙනවා.

එහිදී බාලවයස්කරුවා විසින් දැරියට ලිංගික අතවරය සිදුකර ඇති බවටයි පොලිසිය පවසන්නේ.

දැරිය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති අතර අත්අඩංගුවට ගත් බාලවයස්කාර ඥාති සහෝදරයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(25.01.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (25) පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

***************************************

(25.01.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 16 දෙනා ලබන 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු ද ඊට ඇතුළත්.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සිටින 14 වන සැකකරු වන කේ. උදාර සම්පත් නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් හරහා විදේශ ගතව ඇති බවයි.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබුවා ෴

***************************************

(25.01.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල්පරයක ගැටුණු එම්.වී.යුරෝසන් නෞකාවේ කපිතාන්වරයා නියමිත ගමන් මාර්ගය වෙනස් කර යාත්‍රා කර ඇති බවට අනාවරණ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එහි සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ හේතුවෙන් නෞකාව ගල්පරයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ අතර, අනතුරට ලක්වූ නෞකාව නිසා මුහුදු පත්ලට සිදුව ඇති හානිය නිගමනය කිරීම සඳහා මුහුදු පත්ලේ ගවේෂණයක් සිදුකර විද්‍යාත්මක වාර්තාවක් සකස් කිරීමට ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද (25) පස්වරු 2 ට සූම් තාක්ෂණය ඔස්සේ එම සාකච්ඡාව පැවැත්වෙන බව එම අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියා.

අදාළ සාකච්ඡාවට නාරා ආයතනය මෙන්ම ක්ෂේත්‍රයේ තවත් ප්‍රවීණයන් එක්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලයිබීරියානු ධජය යටතේ අබුඩාබි වරායේ සිට ත්‍රිකුණාමලය වරාය වෙත සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා ‘ක්ලින්කර්’ නමැති අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබුණු මෙම නෞකාව කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක සිරවී අනතුරට ලක්වුණේ පසුගිය සිකුරාදා පස්වරුවේයි.

ගල්පරයකට හසුව අනතුරට ලක්වූ එම නෞකාව වඩදියට සහ දියවැල්වලට හසුව එහි බලපෑමෙන් එම ගල්පරයෙන් ඊයේ (24) පස්වරුවේ නිදහස්ව තිබුණා.

කෙසේ වෙතත්, නාවික හමුදාව සඳහන් කළේ මෙම සිද්ධියේදී අදාළ නැවේ පැවති සිමෙන්ති අමුද්‍රව්‍ය, ඉන්ධන හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක් කාන්දු වී නොමැති බවයි.

මෙම නෞකාව ආශ්‍රිතව නාවික හමුදාව සිය කිමිඳුම්කරුවන් යොදවා අද (25) පෙරවරුවේ දියයට පරීක්ෂාවක් ආරම්භ කළා.

ඔවුන් ලබාදෙන තීරණය මත අදාළ නෞකාව වරායක් වෙත රැගෙන යාමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ.

***************************************

(25.01.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරුණා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් ත්‍රිරෝද රථයක ගමන් ගත් පුද්ගලයින් තුන්දෙනෙකු (3) ගෙන් එක් අයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

ටී-56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති අතර සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ හිසට හානි වී තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ ධීවර රැකියාව කරන පුද්ගලයෙකු වන අතර පුද්ගලික ආරවුලක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පානදුර දෙසට පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.

වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ද පැමිණ තිබුණා.

(26.01.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05 ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදුකරන පානදුර උතුර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කණ්ඩායමක්ද විමර්ශන සඳහා එක්ව ඇති බවයි.

එමෙන්ම, අංශ කිහිපයක් ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් 04 දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඊයේ (25) පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් ත්‍රිරෝද රථයක ගමන්ගත් පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් (3) එක් අයෙකු මෙලෙස ඝාතනය කර තිබුණා.

ටී-56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති අතර වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ හිසට හානි වී තිබුණා.

ඝාතකයන් ගිනි අවියත් රැගෙන යතුරුපැදියෙන් පලායන ආකාරය ඒ අසල සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවකද සටහන් වී තිබෙනවා.

ඔවුන් පානදුර දෙසට ගමන් කර තිබෙනවා.

මියගිය 32 හැවිරිදි පුද්ගලයා ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයෙකු වන අතර, ඝාතනයට හේතුව තවමත් අනාවරණ වී නැහැ ෴

***************************************

(25.01.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

අදියර 04 ක් යටතේ ඉදිවන ‘අධිකරණ පියස’ ගොඩනැගිලි සංකීර්ණය සඳහා අද (25) මුල්ගල් තැබුණා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන්.

@@@@@@@@@@@@@@@@

(24.01.2021 – 22:33 +0530 – hirunews.lk/sinhala)

අද (24) දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 283 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

++++++++++++++++

(25.01.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් අද (25) සිට විවෘත කෙරෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11 ක් තුල පාසල් 1576 ක් අතරින් සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන පාසල් 903 ක් අද (25) දිනයේ විවෘත වනවා.

බස්නාහිර පාසල් මෙලෙස විවෘත වන්නේ මාස 05 යි දින 24 කට පසුව වීම විශේෂත්වයක්.

සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර, අවශ්‍ය වුවහොත් අතිරේක බස් රථ යෙදවීමටද කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ අතර, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ බස්නාහිර පළාතේ අවදානමක් නොමැති ප්‍රදේශවල බොහෝ පාසල් පෙබරවාරි 15 වැනිදා වන විට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම, කොරෝනා වසංගතයේ දෙවන රැල්ලත් සමඟ තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් අද (25) සිට යළි සුපුරුදු පරිදි ආරම්භ කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

ඒ අනුව දුම්රිය ගමන් වාර 390 ක් පමණ අද (25) සිට ධාවනයේ යෙදෙනු ඇති ෴

++++++++++++++++++++

(25.01.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගි පිවිසුම් මාර්ගයේ නුගදුව ප්‍රදේශයේ නවතා තිබු ටිපර් රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (24) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් බලපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි වරාය පොලිසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙක්.

අදාල සැරයන්වරයා කොරෝනා ආසාදනය වූ නිලධාරියෙකුගේ ආශ්‍රිතයෙකු වීම නිසා නිවසේ ස්වයං නිරෝධායනයට යොමුකර සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.

එලෙස නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී නිවසින් බැහැරව ගොස් සැරයන්වරයා මුහුණ පෑ මෙම අනතුර සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා ෴

++++++++++++++++++++

(25.01.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව තහවුරු කළා.

මීට පෙර අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර මහතා, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර මහතා, පියල් නිශාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඔවුන් අතුරෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ වනවිට සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා ෴

++++++++++++++++++++++

(25.01.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (25) උදෑසන 6 සිට ඉවත් කෙරුණා.

කල්මුනේ උතුර සහ දකුණ ප්‍රදේශවල ග්‍රාමසේවා වසම් කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව මෙලෙස ඉවත් කළ බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

මේ අතර අද (25) උදෑසන හයේ (06:00) සිට ප්‍රදේශ දෙකක් (2) හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140, බෝලාන දකුණ ග්‍රාමනිලධාරී වසමේ මැල්කොණිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමසේවා වසමයි.

සම්පූර්ණ විස්තර පහතින් :

මේ අතර ඊයේ (24) පස්වරු 6 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කළ අතර, තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලාබවට පත් කරනු ලැබුවා.

ඒ අනුව, වැල්ලවත්ත පොලිස් වසමේ නසීර් වත්ත, නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර, වාරණ පන්සල පාර, කත්තොට පාර, හිද්‍රා මාවතට ඇතුළු වන ප්‍රදේශ මෙන්ම මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව නැගෙනහිර හා ගල්ඔලුව බටහිර හුදකලාභාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම, මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලුත්පාර සහ අකරගොඩ ඊයේ (24) පස්වරු 6 සිට හුදකලාභාවයට පත් කර තිබෙනවා ෴

++++++++++++++++++++

(25.01.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 843 දෙනෙකු ඊයේ (24) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් අටදහසේ (58,000) සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මෙරට මුළු කෙරෝනා ආසාදිතයින් ගණන 58,430 ක් ලෙස දැක්වෙනවා.

නව ආසාදිතයින් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 54,551 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 8,463 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

ඊයේ (24) දිනයේදී තවත් ආසාදිතයින් 423 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 49,684 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා මරණ 03 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 283 දක්වා ඉහළ යනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ 14, මරදාන සහ පූජාපිටිය ප්‍රදේශවලින් එම මරණ වාර්තා වී ඇති බවයි.

වයස අවුරුදු 77 ක කාන්තාවක් මුල්ලේරියාව මූලික රෝහලේදී මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය, අක්මා ආසාදනය සහ වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන්.

ඇය කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

එමෙන්ම, මරදාන ප්‍රදේශයේ පදිංචි 84 වියැති කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, ඊට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ උග්‍ර ලේ විෂවීම, කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වයයි.

මීට අමතරව පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කොරෝනා ආසාදිත කාන්තාවක්ද තෙල්දෙනිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) මියගියා.

ඇයද කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂවීම හේතුවෙන් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

++++++++++++++++++++

(25.01.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 195 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (25) පෙරවරු 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගුවන් මෙහෙයුම් 08 ක් මගින් මෙම පිරිස පැමිණ ඇති අතර, ඉන් 75 දෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, එම කාලසීමාව තුළ ගුවන් ගමන් 09 කින් මගීන් 659 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන් 277 දෙනෙකු සෞදි අරාබියේ – රියාද් බලා පිටත්ව ගොස් ඇති බව සඳහන් ෴

+++++++++++++++++++

(25.01.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව තහවුරු කළා.

මීට පෙර අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර මහතා, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර මහතා, පියල් නිශාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඔවුන් අතුරෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ වනවිට සුවය ලබා නිවසට ගොස් තිබෙනවා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ බස්නාහිර පළාතේ කොරෝනා අවදානම යළි ඉහළ ගොස් ඇති බවයි.

එසේම, දිනක් තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (24) දිනයේදී හඳුනා ගැනුණා.

එම සංඛ්‍යාව 480 ක්. කොළඹ මහ නගර සභා සීමාවෙන් කොරෝනා ආසාදිතයින් දෙසිය තිස් දෙදෙනෙකු (232) ඊයේ හඳුනාගෙන තිබූ අතර, වැල්ලම්පිටිය සහ ගල්කිස්ස ප්‍රදේශවලින් ආසාදිතයින් 29 දෙනා බැගින් වාර්තා වී තිබුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල්වල වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව උපරිම මට්ටමට ළඟාවෙමින් පවතින බවයි.

පවතින තත්ත්වය හමුවේ උත්සව සඳහා සීමා පැනවීම ඇතුළු උපක්‍රමශීලි ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් කියා සිටියේ.

එසේම, ඊයේ (24) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 843 දෙනා අතරින් 86 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන්, හැත්තෑ දෙදෙනෙකු (72) කළුතර දිස්ත්‍රික්කයෙන් සහ 40 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

බැඩ්මින්ටන් හිටපු ජාතික ශූර නිලූක කරුණාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා.

ඔහු මීට පෙර කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න මහතාගේ සොහොයුරායි.

මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමේ මැලේ-කොලණිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරී වසම් අද (25) උදෑසන හයේ සිට හුදෙකලා කර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ කල්මුණේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ වසම් 06 ක් සහ කල්මුණේ දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ වසම් 04 ක් අද (25) උදෑසන හයේ සිට හුදෙකලා බවින් ඉවත් කළ බවයි.

මාස කිහිපයකට පසු බස්නාහිර පළාතේ පාසල් නව වසරේ පළමු වාරය සඳහා අද (25) විවෘත කෙරුණා.

ඒ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණයි. දිවයිනේ සෙසු පළාත්වල පාසල් යම් යම් සීමා කිරීම් වලට යටත්ව විවෘත වුවද, කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ල හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරුණේ නැහැ.

හුදකලා ප්‍රදේශවල පවතින පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා අද (25) විවෘත වුවද, ගුරු සංගම් ප්‍රකාශ කළේ සිසුන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවති බවයි.

++++++++++++++++++++

(25.01.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටිනවා.

ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන් තමන්, මෙම පියවරට එළඹි බවයි.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පසුගිය 19 වනදා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මන්ත්‍රීවරයාගේ සමීප ආශ්‍රිතයින් සොයා මේ වනවිට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරමින් පවතින බවයි.

මේ අතර, කොරෝනා ආසාදිත සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *