හිරු අනාවරණයෙන් පසු හාලිඇල අසරණ පවුලට සරණක්

හිරු අනාවරණයෙන් පසු හාලිඇල අසරණ පවුලට සරණක්

*********************************************

හිරු අනාවරණයෙන් පසු හාලිඇල අසරණ පවුලට සරණක්

(25.01.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වයත් සමඟ දැඩිලෙස අසරණ වූ හාලි ඇල ප්‍රදේශයේ පවුලක් සම්බන්ධයෙන් අප පසුගියදා තොරතුරු අනාවරණ කළා.

ඒ අනුව අදාළ පුවත සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

අමාත්‍යවරයාගේ උපදෙස් අනුව එම පවුලට අවශ්‍ය කටයුතු රැසක් කඩිනමින් සපයාදීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ නිවාසය ඉදිරිකරදීමට ද අවශ්‍ය කටයුතු එහිදී සොයාබැලීමට පියවර ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී ඔවුන් හිරු පුවත් වෙත මේ සම්බන්ධයෙන් ස්තූතිය පුදකිරීමට ද අමතක කළේ නෑ.

***************************************

(25.01.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් මේ වනවිට සාක්ෂි ලබා ගනිමින් පවතිනවා.

හිරු වාර්තාකරු පැවසුවේ රිමාන්ඩ් භාරයේ පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු ස්කයිප් තාක්ෂණය ඔස්සේ මෙලෙස සාක්ෂි ලබාදෙමින් පවතින බවයි ෴

***************************************

(25.01.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala)

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු (3) තුවාල ලබා රෝහල්ගතකර ඇති බව දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

දඹුල්ල කණ්ඩලම කැප්පැල ප්‍රදේශයේ පැවති මල්වර උත්සවයකට සහභාගී වූ පිරිසක් සහ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගැටුම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී මල්වර මංගල්‍යයට සහභාගී වූ පිරිසක් මත්පැන් පානය කර ගීත ගායනා කරමින් විනෝද වී ඇති අතර අවමංගල්‍ය උත්සවයට පැමිණි පිරිසක් එයට විරෝධය පළකිරීමත් සමගයි ගැටුම හටගෙන ඇත්තේ.

එහිදී මල්වර මංගල්‍යයට පැමිණි අයෙකු සහ අවමංගල්‍ය උත්සවයට පැමිණි දෙදෙනෙකු (2) මෙලෙස තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අද (25) දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

රටම දැඩි අවදානම් තත්ත්වයක් තිබියදීත් සියලු නීති උල්ලංඝණය කරමින් ගම්මාන වල සිදු කෙරෙන මෙම කටයුතු නිසා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට බරපතල තර්ජන එල්ල වන බවයි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක පී එදිරිසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකරමින් සඳහන් කළේ.

සිද්ධියෙන් අනතුරුව මල ගෙදර පිරිසටත් වැඩිවියට පත් වූ දැරියගේ සාද පැවැත්වූ පිරිසටත් පොලිසිය දැඩි ලෙස අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.

++++++++++++++

***************************************

(25.01.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ගාල්ලේදී මුහුදේ දිය නෑමට ගිය හිමිනමක් අද (25) දහවල් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

එම සාමනේර හිමිනම මෙලෙස අතුරුදන්ව ඇත්තේ ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසළ මුහුදේ දියනෑමට ගිය අවස්ථාවේදී බවටයි තොරතුරු වාර්තාවන්නේ.

17 හැවිරිදි වියේ පසුවූ වූ සාමනේර හිමියන් තවත් හිමිවරුන් තිදෙනෙක් (3) සමග මුහුදේ නෑමට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අතුරුදන්ව ඇති එම සාමනේර හිමියන් පෝද්දල බලගොඩ විහාරස්ථානයේ වැඩසිටි සාමනේර හිමිනමක් බවට තොරතුරු වාර්තා වනවා.

මේ වනවිටත් නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් සහ ජිවිතාරක්ෂක කණ්ඩායම් සාමනේර හිමියන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

(25.01.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ගාලු කොටුවේ ප්‍රදීපාගාරය අසල දිය නෑමට ගොස් අතුරුදන් වූ සාමණේර හිමියන්ගේ දේහය සොයාගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් සහ ජිවිතාරක්ෂක කණ්ඩායම් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

උන්වහන්සේ තවත් හිමිවරුන් තිදෙනෙකු (3) සමග දියනෑමට එහි පැමිණි අවස්ථාවේදීයි මෙලෙස දියේ ගිලී අනතුරට ලක්ව ඇත්තේ.

ගාල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

[ සේයාරූ ]

***************************************

(25.01.2021 – 16:36 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස ජෙරම් ජයරත්න පත්කර තිබෙනවා ෴

***************************************

(25.01.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

වලස්මුල්ල ප්‍රදේශයේ ටයර් වෙළඳසැලක් අසල තිබූ ආරක්‍ෂිත හිස්වැස්මක් සොරාගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.

යතුරු පැදියකින් එහි පැමිණි තරුණයෙකු ආරක්‍ෂිත හිස් වැස්ම සොරාගන්නා අයුරු එහි දැක්වෙනවා.

ඒ ඔහු සමග පැමිණෙන කාන්තාවකට යතුරු පැදියේ ගමන්කිරීමට ආරක්‍ෂිත හිස්වැස්මක් නොමැති වීම හේතුවෙන්.

මේ අතර එම ආරක්‍ෂිත හිස් වැස්ම තුළ තිබූ රුපියල් 19,600 ක මුදලක් ද අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සොයා වළස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එම අවස්ථාව පහතින් :

***************************************

(25.01.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

එක රටක් එක නීතියක් යන ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අදියර 04 ක් යටතේ ඉදිවන ‘අධිකරණ පියස’ ගොඩනැගිලි සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (25) එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එම අවස්ථාවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිද එක්ව සිටි අතර, ඔහු එහිදී සඳහන් කළේ යල් පැනගිය නීති සංශෝධනය කර අධිකරණ පද්ධතියේ ධාරිතාව වැඩි දියුණු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ෴

***************************************

(25.01.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරුණා.

පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය පස්වරු 03:30 ට පමණ අවසන් කටයුතු සිදුකරන ස්ථානයට රැගෙන ආ අතර, ඉන් පසුව ආගමික වතාවත් සිදුකළා.

ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ අභාවය ශ්‍රී ලාංකේය සමාජයේ විශාල රික්තයක් නිර්මාණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

ඔහු වෙනුවෙන් ඉදිකළ චිතකය සන්නිවේදන ආකෘති ඇතුළත් ආවරණයක් තුළ නිර්මාණය කර තිබීම ද විශේෂත්වයක් ෴

***************************************

(25.01.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකරගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම අද (25) පළමුවරට සාක්ෂි විමසුවා.

ශානි අබේසේකර සාක්ෂි ලබා දුන්නේ කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොමිසම සමඟ සම්බන්ධ වෙමින්.

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී පසුගිය වසරේ නොවැම්බර් 23 දා ශානි අබේසේකරට කොරෝනා ආසාදිත බව හඳුනා ගැනුණේ මහර බන්ධනාගාරයේදීයී.

ඉන්පසුව පොළොන්නරුව ගල්ලෑල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් සහ වැලිකන්ද රෝහලෙන් මෙන්ම අයි. ඩී. එච්. රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ හෘදයාබාධයක් මත ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදීමට ශානි අබේසේකර ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (25) සම්බන්ධ වුණේ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ සිටයි.

මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔහුගෙන් මෙලෙස කරුණු විමසුවා.

“2019.04.21 කොළඹ, මීගමුව, මඩකලපුව ආදි ප්‍රදේශවල බෝම්බ පිපිරීම් සිදුවුණා. ඒවාට සම්බන්ධ සිදුවීම් ගණනාවක් ඊට පෙර සිටම සිදුව තිබුණා. ඔබට මතකද 2018.11.30 වව්නතිව් පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු (2) ඝාතනය වූ සිද්ධිය..? මේ පිළිබඳ විමර්ශනයක් ඔබ සිදුකළාද ?”

“ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ලද උපදෙස් මත විමර්ශනය කළේ අපි. මේකට සම්බන්ධ එල්.ටී.ටී.යි. හිටපු සාමාජිකයකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත තබාගෙන අපි බොහෝ කාලයක් විමර්ශන කටයුතු කළා. නමුත් ඒ පුද්ගලයා ඒ පොලිස් නිලධාරීන් ඝාතනයට කිසිම සම්බන්ධයක් නැහැ කියලා පාස්කු ප්‍රහාරයට පසුවයි අපි දැනගත්තේ. මෙය මුස්ලිම් අන්තවාදයට සම්බන්ධ සහරාන් හෂීම් විසින් කරපු දෙයක් කියල සෑහෙන කලකට පසුවයි අපි දැනගත්තේ ස්වාමිනී”‍ යනුවෙන් ශානි අබේසේකර පිළිතුරු ලබාදුන්නා.

මෙහිදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනිසිටින නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කළේ අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ලිපි ලේඛණ තම සේවාදායකයා සතුව ඇත්දැයි තමා නොදන්නා බවයි.

එහිදී ශානි අබේසේකර පැවසුවේ අදාළ ලේඛණ අද (25) දහවල් 12 ට පමණ තමන් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙනැවිත් දුන් බැවින් ඒවා කියවා ගැනීමට කාලයක් අවශ්‍ය බවයි.

එහිදී කොමිසම සඳහන් කළේ ජනපති කොමිසමේ නිල කාලය අවසන් වෙමින් පවතින බැවින් සිය මතකයෙන් සාක්ෂි ලබාදෙන ලෙස සහ අවශ්‍ය අවස්ථාවලදී ලේඛණ පරීක්ෂා කර පිළිතුරු ලබාදෙන ලෙසයි.

@@@@@@@@@@@@@@@@@

(25.01.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මතුවූ අවධානම් තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ආයතනය සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා කඩිනම් කටයුතු සිදුකෙරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සී අලහකෝන් මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය නැවත කඩිනමින් විවෘත කිරීමට හැකි වනු ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ ෴

+++++++++++++++++++++

(25.01.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 50,337 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

අද (25) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 653 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයන් 383 ක් වාර්තාවී ඇතිබව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

මාතර, දික්වැල්ල – යෝනකපුර නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ අද (25) පස්වරු 6 සිට හුදෙකලා බවින් නිදහස් කරන බව යුදහමුදාපතිවරයා පවසනවා ෴

++++++++++++++++++++

(25.01.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

මහනුවර අංකුඹුර පොලීසියට අනුයුක්ත නිළධාරින් හත් දෙනෙකු කොවිඩ්-19 ආසාදිත බවට හඳුනා ගෙන තිබෙනවා.

මෙම හේතුවෙන් අංකුඹුර පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු අනෙකුත් සියලු නිළධාරින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවයි මහනුවර ජේශ්ඨ පොලීස් අදිකාරී සුදත් මාසිංහ මහතා සඳහන් කළේ.

අංකුඹුර පොලීස් ස්ථානයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වෙනත් පොලිස් ස්ථානවල නිළධාරින් අනුයුක්තකර ඇති බවටයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++

(25.01.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා.

ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන් තමන්, මෙම තීරණය ගත් බවයි.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පසුගිය 19 වනදා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඒ අනුව සී.සී.ටී.වී. දත්ත පරීක්ෂාවට ලක්කර ඔහුගේ ආශ්‍රිතයින් වූ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හඳුනා ගැනීම සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

එසේම, වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා ඊයේ (24) දිනයේදී යටිනුවර ආසනයේ පැවති ජනහමු කිහිපයකට එක්ව සිටි අතර, ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, තමන් සමග සමීපව කටයුතු කළ සියලුදෙනාගෙන් සුදුසු වෛද්‍ය පරීක්ෂයකට යොමුවන ලෙස ඉල්ලා සිටියා.

මේ අතර, කොරෝනා ආසාදිත සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා ෴

++++++++++++++++++++

(25.01.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

පාසැල් දරුවන් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (25) තහවුරු වුණා.

මෙම සිදුවීම් වාර්තා වුණේ කුලියාපිටිය, ත්‍රිකුණාමලය, කතරගම හා පස්සර යන ප්‍රදේශවලින්. පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන් කොරෝනා ආසාදිත තවත් සිසුන් 05 දෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව එම පාසැලෙන් වාර්තාවන ආසාදිත සිසුන් සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ ගියා.

එම පාසැලෙන් ආසාදිතයින් 10 දෙනෙකු මුල්වරට හඳුනා ගත්තේ පසුගිය 22 වැනිදායි.

කතරගම සහ සෙල්ලකතරගම ප්‍රදේශයේ පාසැල් දෙකක දරුවන් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන්.

සෙල්ල කතරගම පාසැලෙන් හඳුනාගත් දරුවා කතරගම ගෝනගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ පියාටද කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

කතරගම ප්‍රදේශයේ පාසැලෙන් හඳුනා ගත් දරුවා පසුගිය දිනවල පාසැලට පැමිණ නොමැති බව එහි විදුහල්පතිනිය සඳහන් කළා.

මේ අතර, ත්‍රිකුණාමලයේ පාසැල් 03 ක සිසුන් 99 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ, අදාළ පාසැල්වල ගුරුවරියකට සහ පාසැල් සිසුන් දෙදෙනෙකුට (2) වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමඟයි.

අදාළ පාසැල් සිසුන් දෙදෙනා 03 සහ 10 වැනි ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන්නන්. ආසාදිත ගුරුවරිය එම පාසැලේ 02, 05 සහ 10 වැනි ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කටයුතු සිදුකර තිබෙනවා.

කුලියාපිටිය හා ගල්පොල පාසැල් දෙකකින් (2) කොරෝනා ආසාදිත පාසැල් සිසුන් දෙදෙනෙකු (2) ඊයේ (24) වාර්තා වීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් සිසුන් ඇතුළු 100 දෙනෙකුට පමණ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළා.

මේ අතර, මාස කිහිපයකට පසු සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් අද (25) විවෘත කෙරුණා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වෙත සිසුන් පැමිණීමේ ප්‍රතිශතය අද දිනයේදී 37% ක් ලෙස සටහන් වුණා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 47.4% ලෙස සටහන් වූ බවයි. එසේම, කළුතර දිස්ත්‍රික්කයේ සිසුන් පාසල් පැමිණීමේ ප්‍රතිශතය අද දිනයේදී 27.4% ක් ලෙස සටහන්ව තිබෙනවා.

වැඩිම ප්‍රතිශතය වූ සියයට 65.5 මතුගම කලාපයෙන් වාර්තා වී තිබුණා.

මේ අතර, හුදකලා කර තිබූ දික්වැල්ල – යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාමනිලධාරි වසම් අද (25) පස්වරු 6 සිට හුදකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ආසාදිතයින් 653 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (25) දිනයේදී පනස් දහසේ (50,000) සීමාව ඉක්මවා ගියා. එය සටහන් වන්නේ 50,337 ක් ලෙසින්.

එසේම, අද (25) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 383 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 58,813 ක්. තවදුරටත් ආසාදිතයින් 8193 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එසේම, මහනුවර – අංකුඹුර පොලිසියට අනුයුක්ත නිලධාරීන් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදී ඇති අතර, එම පොලිසියේ සියලු රාජකාරී කටයුතු අලවතුගොඩ සහ පූජාපිටිය පොලිස් ස්ථානවලින් සිදුකරනු ලබනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *