වරාය අධිකාරිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා, වෘත්තීය සමිති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට පිලිගන්වයි

වරාය අධිකාරිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා, වෘත්තීය සමිති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට පිලිගන්වයි

*********************************************

වරාය අධිකාරිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා, වෘත්තීය සමිති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට පිලිගන්වයි

(25.01.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රි ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරිමට අදාළ යෝජනාව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට පිළිගැන්වීම අද (25) සිදු කෙරුණා.

වරායේ වෘත්තිය සමිති 23 හි නායකයින් විසින් අදාළ යොජනාව උන්වහන්සේට පිළිගන්වනු ලැබුවේ පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේදීයි.

ඔවුන් එහිදී නැගෙනහිර පර්යන්තයේ ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා.

මේ අතර, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව අර්බුදකාරි තත්ත්වයට දුම්රිය වෘත්තිය සමිති සන්ධානය තැපැල්පත් යොමුකරමින් අද (25) විරෝධතාවක් දක්වනු ලැබුවා.

++++++++++++++

++++++++++++++

අයියා ගොඩනැගූ මහා රාජ්‍ය මල්ලී පාවා දුන්නා.. – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(26.01.2021 – 10:00 +0530 – lankacnews.com)

රාවණා අයියා විසින් ගොඩනැගූ මහා රාජ්‍ය විනාශ කර අවසාන වශයෙන් විභීෂණට සිද්ධ වූයේ තමන්ගේ රාජ්‍යයක් නැති කරගෙන රට පාවාදුන් අයකු බවට පත්වීමට යැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

මෙම තත්ත්වය දීර්ඝකාලීන ඇති ඉන්දියානු ආක්‍රමණය ම කොටසක් ඒ ද උන්වහන්සේ පැවසූහ.

කිසිම හේතුවක් මත ශ්‍රී ලංකාව දියුණු වෙනවාට ඉන්දියාව කැමති නැති බවත් ශ‍්‍රී ලංකාව දියුනුවට විරුද්ධව ඉන්දියාව විවිධ ඔත්තුකරුවන් වන බවත් රාම රාවණා යුගයේදී හනුමන්තා යනු එවන් ඔත්තුකරුවෙක් බවත් කී උන්වහන්සේ හනුමන්තා රට වටේ ගිනි අවුලා අවසාන ප්‍රතිඵලය ලෙස අයියා සහ මල්ලි තරහ වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මල්ලි විසින් රට පාවා දුන් බවත් කියා සිටියහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හවුල්කාරී සමාගමක් බවට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන පාර්ශව විසින් සංදේශයක් භාරදීමට පැමිණි අවස්ථාවේදීය.

***************************************

(25.01.2021 – 20:51 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ අධිකරණයට ව්‍යාජ කරුණු ඉදිරිපත්කර දේශපාලන වශයෙන් පළිගැනීම්වලට ලක්කළ අයට සාධාරණය ඉටුවිය යුතු බව පවසමින් අදත් (25) දේශපාලඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා.

***************************************

(26.01.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසල ඊයේ (25) රාත්‍රියේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මීටියාගොඩම පදිංචිව සිටි 26 හැවිරිදි අයෙක්.

මීටියාගොඩ පොලීසිය සඳහන් කළේ පහරදීම සිදුකළ පුද්ගලයින් විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ එක් අතක් කපාගෙන ගොස් මීටියාගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගත් බවයි.

ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිටත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

***************************************

(26.01.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

වලසෙකුගේ ප්‍රාහාරයකට ලක්වූ පුද්ගලයෙකු තුවාල ලබා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහලට මාරුකර තිබෙනවා.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්නාකණ්ඩල් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා වලස් ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඊයේ (25) පස්වරුවෙයි.

මෙම පුද්ගලයා කුඹුරට ගිය අවස්ථාවේ මෙලෙස වලස් ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරයන් ඔහුගේ එක් අතකට සහ පාදයකට බරපතළ තුවාල සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් වනජීවී කාර්යාලය දැනුවත්කර ඇති අතර, මුලතිව් වනජීවී නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴

***************************************

(26.01.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ ඔක්තෝම්බර් 12 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ මැගසින් බන්ධනාගාර තාප්පයට ඉහළින් නීතිවිරෝධී ලෙස බන්ධනාගාරයට දැමූ පාර්සල් 54 ක් සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් විසින් පසුව මෙම පාර්සල් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇති බව සඳහන්.

ඒ අනුව, ජංගම දුරකථන 47 ක්, සිම්කාඩ් 22 ක්, ජංගම දුරකථනවලට යොදන බැටරි 57, චාජර් 13 ක් එහිදී සොයා ගෙන තිබෙනවා.

ඊට අමතරව, හෙරොයින් පැකට් 16 ක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට් 09 ක්, ගංජා පැකට් 37 ක් සහ දුම්කොළ 569 ක් සොයා ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, දුම්වැටි 71 ක්, ලයිටර් 14 ක්, බීඩි 7ක් සහ මිලිලීටර් 400 යේ මත්පැන් බෝතලයක්ද බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගෙන තිබුණා ෴

***************************************

(26.01.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

මීට මාස හතකට (7) පමණ පෙර ඝාතනය කළ බවට විශ්වාස කරන පුද්ගලයෙකුගේ අස්ථි කොටස් අපරාධය සිදුකළ බවට සැකකරන පුද්ගලයාගේ ලිපියකින් සොයා ගැනීමට මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ෂන ඒකකය සමත්ව තිබෙනවා.

ඊයේ (25) සිදුකරන ලද ස්ථානීය පරික්ෂාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු විසින් සිදුකරන ලද පාපොච්චාරණයකට අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් තවත් කරණු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය වසරේ 07 වන මස 20 වන දින මාතලේ, ආටිස්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකුගේ අතුරුදන්වීමක් පිළිබඳව මහවෙල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙන අතර තුර කිසියම් පුද්ගලයෙකු විසින් මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයට එවා තිබූ නිර්ණාමික ලිපියක් ඔස්සේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්ච්රණය කර ඇත්තේ තමන් විසින් වන සතෙකුට බදින ලද තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු වැටී සිට ඇති බවත් පසුව එම සිරුර යාබද කැලයක පිහිටි මිනිරන් පතලකට දමා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

මාස කිහිපයකට පසු මියගිය පුද්ගලයාගේ අස්ථි කොටස් යාබද ගල් තලාවක දමා අපරාධ කොට්ඨාශය වෙත නිර්ණාමික ලිපියක් මඟින් සැකකරු දන්වා ඇත්තේ ගල් තලාවක අස්ථි කොටස් කිහිපයක් ඇති බවයි.

ලිපිය තැපැල්කරණ ලද මාතලේ – මඩවල උල්පත තැපැල් කාර්යාලය අසල පිහිටි ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකර අදාල ලිපිය යොමුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ අස්ථි කොටස් කිහිපයක් දමා තිබූ ස්ථානය මාතලේ වැඩබලන මහේස්ත්‍රාත්වරියගේ පරීක්ෂාවට ලක් වූ අතර ඇයගේ නියෝග මත එම අස්ථි කොටස් මාතලේ මහ රෝහලට යැවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ ඇඳ සිටි සරම සහ අතරැදි පිහියක් ඔහුගේ දරුවන් විසින් හඳුනාගත් බවයි පොලසිය පැවසුවේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සැකකරු විසින් බදින ලද තුවක්කුව පත්තු වී මියගිය පුද්ගලයාගේ සිරුර දමා තිබූ මිනිරන් පතල මාතලේ මහේස්ත්‍රාත්වරයාගේ පරික්ෂාවට ලක්කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

[ සේයාරූ ]

***************************************

‘the morning’ අද (25) සිට දිනපතා

(25.01.2021 – 13:27 +0530 – sinhala.adaderana.lk)

ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනයේ නවතම ප්‍රකාශනය ලෙසින් ‘the morning’ දිපනතා පුවත්පත අද (25) වෙළෙඳපොළට නිකුත් කෙරුණි.

ඒ අනුව ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනයේ ප්‍රකාශනයන් වන ‘අරුණ’, ‘සති අග අරුණ’ , ‘the sunday morning’, ‘තමිලන්’, ‘ධරණී’ සහ ‘තරුව’ පුවත්පත් එකතුවට ‘the morning’ පුවත්පත අද (25) සිට එක්වේ.

ඉංග්‍රීසි පාඨක ජනතාව වෙනුවෙන් ප්‍රකාශයට පත්කෙරෙන ‘the morning’ පුවත්පත දේශපාලන, ව්‍යාපාරික, අධ්‍යාපනික, කාලීන, කලා විශේෂාංග රැසකින්ම සමන්විතය.

ඒ අනුව ‘the morning’ පුවත්පත අද (25) සිට සෑම සතියේ දිනකම උදෑසන පාඨක ඔබ අතට පත්වේ.

[ http://www.themorning.lk/ ]

@@@@@@@@@@@@@@

(25.01.2021 – 22:40 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 354 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අද (25) දිනයේ පමණක් මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 737 ක්.

එසේම නව ආසාදිතයන් 354 සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 59,167 ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝන මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් (2) සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් (2) වන අතර ඔවුන් වයස අවුරුදු 49, 43, 76, 71 වන වයස්වල පසුවන බවයි සඳහන් වන්නේ.

++++++++++++++++++++

(26.01.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 737 දෙනෙකු ඊයේ (25) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59,167 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 55,288 ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 8,543 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

ඊයේ (25) දිනයේදී තවත් ආසාදිතයින් 653 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50,337 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 287 දක්වා ඉහළ යනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ බේරුවල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක්, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දැරණියගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්ද කොවිඩ් නියුමෝනියාව වැළඳීමෙන් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙක් සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්ද හෝමාගම මූලික රෝහලේදී කොවිඩ් ආසාදනයත් සමඟ ඇති වූ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර, වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් රැසකට වෛරසය ආසාදනය වීම හේතුවෙන්, රෝහල් කටයුතු පවත්වාගෙන යාමේ ගැටලුවක් උද්ගත වී ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත මහතා කියා සිටියේ.

එමෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණදී ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ද වෛරසයට ගොදුරුවීමෙන් සේවා පවත්වාගෙන යාම අර්බුදයකට ලක්විය හැකි බවයි.

මේ අතර, නියමිත පරිදි ලබන 28 වනදා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතෙහි පළමු තොගය ගෙන එන බව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එන්නත ලැබුණු පසු දිනම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත කිරිමේ කටයුතු විධිමත්ව සිදු කරන බවයි.

මේ අතර, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ පාර්ලිමේන්තුව තුල සිදුකළ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සමීප ආශ්‍රිතයන් ලෙස කිසිදු පුද්ගලයෙකු නම් කළ නොහැකි බව පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළා.

පසුගිය 19 වැනිදා සහ 21 වැනිදා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට සුළු වේලාවක් සඳහා පැමිණ ඇති අතර, එහිදී ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) පමණක් හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අදාළ ස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති අතර, ඊයේ (25) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 190 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට වෛරසය ආසාදනය වීමත් සමඟ 1400 කට අධික පිරිසකට පාර්ලිමේන්තුව තුලදී පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

එසේම, අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35 දෙනෙකුගෙන් 12 දෙනෙකුට වෛරසය අසාදනය වී ඇති බවට ඊයේ (25) තහවුරු තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එහි එක් (1) සේවකයෙකුට වෛරසය මීට පෙර අසාදනය වි තිබු බවයි ෴

බස්නාහිර පළාත තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සොයා බලන මෙහෙයුමේදී ආයතන 88 කට එරෙහිව නිතීමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

+++++++++++++++++++++

මෙරට කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීම නතර කරන්නැයි ජගත් සංවිධානය ඉල්ලයි

(26.01.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කරලීමේ පිලිවෙත ශ්‍රී ලංකාව විසින් අත්හළ යුතු බව ජගත් සංවිධානය පවසනවා.

ජගත් මානව හිමිකම් විශේෂඥයන් කණ්ඩායමක් එහිදී ලක් රජය වෙත ප්‍රකාශ කරන්නේ එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් නියත වශයෙන් ආදාහනය කරලීම මෙරට මුස්ලිම්වරුන් ඇතුළු අනෙකුත් සුළු ජාතීන්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි.

එමඟින් මෙරට විවිධ ජාතීන් අතර පවත්නා පූර්ව විනිශ්චයන්, අසහනය සහ ප්‍රචණ්ඩත්වය ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය බවට සැලකෙන පුද්ගලයින්ගේ මළ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේ එකම විකල්පය ලෙස ලක් රජය සලකන්නේ එම සිරුරු ආදාහනය කිරීමයි.

එහෙත් එම සිරුරු මිහිදන් කිරීම කොරෝනා වෛරස් හෝ අනෙකුත් බෝවන රෝග ප්‍රචාරණයේ අවදානම ඉහළ නංවන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු කර නැහැ.

මේ නිසා එම සිරුරු නියත වශයෙන් ආදාහනය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි ජගත් සංවිධානය හඳුන්වන්නේ.

එබැවින්, එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සියල්ල ආදාහනය නතර කරන ලෙස ලක් රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව ජගත් මානව හිමිකම් විශේෂඥ කණ්ඩායම ප්‍රකාශ කළා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් මහජන සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතල තර්ජනය පිළිබඳ අවධානයෙන් පසුවන අතර, මියගිය පුද්ගලයින්ගේ මෙන්ම ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික සම්ප්‍රදායන් හෝ විශ්වාසයන්වලට ගරු කිරීමට පියවර ගත යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා ෴

++++++++++++++++++++++

(26.01.2021 – 09:51 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 737 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එලෙස හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 227 ක්.

කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ දිස්ත්‍රිකක්යෙන් වාර්තා වන පිරිසෙන් 21 දෙනෙකු කොළඹ කොටුව ප්‍රදේශයෙන් වාර්තා වන බවයි.

එමෙන්ම නව ආසාදිතයින්ගෙන් එකසිය දෙදෙනෙකු (102) කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 96 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *