විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් යොදවා විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම පිළිබඳ අවධානය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් යොදවා විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම පිළිබඳ අවධානය

*********************************************

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් යොදවා විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම පිළිබඳ අවධානය

(26.01.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අසරණව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතු අරමුදල් භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස කෝප් කමිටුව දැනුම්දී තිබෙනවා.

විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි වර්තමාන තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව විමර්ශනය කිරීමට පසුගියදා කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැස්කොට ඇති රුපියල් බිලියන 14 ක වත්කම් යොදවා අදාළ ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට කිසියම් නෛතික බාධාවක් පවතින්නේ ද යන්න කාර්යාංශ නිලධාරින්ගෙන් කමිටුව මෙහිදී විමසනු ලැබුවා.

ඒ සඳහා කිසිදු නෛතික බාධාවක් නොමැති බව එම කාර්යාංශය කෝප් කමිටුවට කළ දැනුම්දී ඇති අතර, ඒ අනුව මේ පිළිබඳව තවදුරටත් සොයා බලන්නැයි උපදෙස් ලබාදී ඇති බව සඳහන් ෴

+++++++++++++++++++++

(26.01.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ කොරෝනා එන්නත මගින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේද සාර්ථක ලෙස මර්දනය කළ හැකි බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

එහි විද්‍යාඥයින් පර්යේෂණාගාරවල සිදුකළ මූලික අධ්‍යයනවලින් අනතුරුව සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් සොයාගත් කොරෝනා වෛරස් ප්‍රභේද මොඩර්නා එන්නත මගින් සාර්ථකව වළක්වන බවයි.

බ්‍රිතාන්‍යයෙන් සොයාගත් කොරෝනා වෛරස ප්‍රභේදය 70% ක වැඩි ප්‍රචාරණ හැකියාවකින් යුක්ත වන අතර, එම වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ රුධිර සාම්පල යොදා ගනිමිනුයි මොඩර්නා අධ්‍යයනය සිදුකර ඇත්තේ.

කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති අනෙකුත් එන්නත් මගින්ද වෛරසයේ ප්‍රභේදන වළක්වන බව විශ්වාස කෙරුණද එය මෙතෙක් තහවුරු වී නැහැ ෴

+++++++++++++++++

(26.01.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය වන රාත්‍රී දුම්රිය සේවය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාස කිහිපය තුල තාවකාලිකව නතර කර තිබුනා.

පසු ගිය ඔක්තොම්බර් මස 25 වන දින සිට මාස තුනක (3) කාලයක් නවතා දමා තිබූ රාත්‍රී දුම්රිය සේවය යළි ඊයේ (24) රාත්‍රියේ සිට ධාවනය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (25) රාත්‍රී 08:15 ට මඩකලපුව දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත් වූ දුම්රිය අද (26) උදෑසන 05:30 ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියා.

සෞඛ්‍ය ක්‍රියාමාර්ග සියල්ල අනුගමනය කරමින් යළි මෙම දුම්රිය සේවය ආරම්භ කළ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++

(26.01.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ලැබෙන කොරෝනා එන්නත් බෙදා හැරීම සම්බන්ධයෙන් කඩිනමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, තමන් නිරෝධායනය මධ්‍යස්ථානයක් වෙත යෑමට අපේක්ෂාවෙන් පසුවන බව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (25) තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වෛරසයට එරෙහිව ක්‍රියාකිරීමේදී අදාළ පරිපාලන කටයුතු කාර්යක්ෂම කළ යුතු බවයි.

මෙරටින් ඊයේ (25) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 737 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 227 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

ඒ අතර කොළඹ කොටුවෙන් හඳුනාගත් ආසාදිතයින් 21 දෙනෙකු සහ කොල්ලුපිටියෙන් හඳුනාගත් ආසාදිතයින් 14 දෙනෙකුද වනවා.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (25) ආසාදිතයින් එකසිය දෙදෙනෙකු (102) සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 96 දෙනෙකු හඳුනා ගැණුනා.

මේ අතර, දෙහිඅත්තකණ්ඩිය – මැදගම මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඉන් අනතුරුව අද (26) දිනයේදී පාසලේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ පාසලේ විදුහල්පතිවරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව පාසල තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඉදිරියේදී සෞඛ්‍ය බලධාරීන් තීරණයක් ගැනීමට නියමිතයි.

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුවන සියලුම පුද්ගලයින් ඒවායේ ප්‍රතිඵල ලැබෙන තුරු අනිවාර්යයෙන්ම ස්වයං නිරෝධායනය විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මේ අතර, බස්නාහිර පළාත තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සොයා බලන මෙහෙයුමේදී ආයතන 88 කට එරෙහිව නිතීමය පියවර ගැනිමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@@@

(26.01.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනන ගබඩාකරණ ජල විදුලි බලාගාරය (ජනනය කරන විදුලිය ගබඩා කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ජල විදුලි බලාගරය) ඉදිකිරීම සඳහා පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දිගු කාලීන විදුලි ජනන සැලැස්ම යටතේ අදියර 03 ක් යටතේ එම විදුලි බලාගාරය ඉදිකෙරෙන්නේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ අනුග්‍රහයෙන්.

එම බලාගාරය මාඔය නිම්නයේ අරණායක ප්‍රදේශයේ හෝ මහනුවර – වැවතැන්න ප්‍රදේශයේ ඉදිකරනු ඇති ෴

***************************************

(26.01.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – අහුන්ගල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා.

පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ, ඒ පිළිබඳව අහුංගල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ඇය සඳහන් කළේ පසුගිය 24 වනදා තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් පැමිණ පොලීසියෙන් බව පවසා තම සැමියා පැහැර ගෙන ගිය බවයි.

පැමිණි පිරිස ඔවුන්ගේ පුත්‍රයා අවශ්‍ය බව පවසා ඇති අතර ඔහු නිවසේ නොසිටීම හේතුවෙන් 48 හැවිරිදි පියා මෙලෙස පැහැර ගෙන ගොස් ඇති බව සඳහන්.

අහුන්ගල්ල පොලීසියෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ පිළිබඳව පොලීසියට ලැබුණු පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම, අදාළ සිද්ධියට පොලීසියේ හෝ ප්‍රදේශයේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇතැයි ද අදාළ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

(26.01.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

වැවිලි අංශයේ සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යොමුකළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය නොවැම්බර් මස මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මෙම වසරේ අයවැය මගින් ක්‍රියාත්මක කිරීම සඳහායි.

ඒ සම්බන්ධයෙන් වැවිලි සේවක වැටුප් සාමුහික ගිවිසුමට අත්සන් තබා ඇති පාර්ශවයන් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කරනු ලැබුවා.

එම සාමුහික ගිවිසුමේ එක් පාර්ශවයක් වන වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කරනු ලබන ලංකා සේව්‍ය සම්මේලනය ද දෛනික වැටුප රුපියල් 920 ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වන රුපියල් 750 ක මුදල දහස දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරනු ඇති බව සඳහන් ෴

***************************************

(26.01.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය නම් කර ගැසට් කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන කිහිපයක් එක්ව සූරියවැව – වල්සපුගල ප්‍රදේශයේ ආරම්භ කළ අඛන්ඩ සත්‍යග්‍රහයට අදට (26) දින 09 ක් ගතවනවා.

පසුගිය 18 වනදා ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ වනඅලි තර්ජන හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම පීඩා විඳින බවට චෝදනා කරමින්.

පසුව, 20 වනදා ඔවුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ ද එය 23 වනදා අවසන් කරනු ලැබුවේ අදාළ ගැටලුවට මසක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වූ පොරොන්දුව මතයි.

විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස ද සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට ඊයේ (25) පැමිණියා.

එහිදී සත්‍යග්‍රහයේ නිරත ජනතාව ප්‍රකාශ කළේ අදාළ ගැටලුව පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී ද පැවති නමුත් කිසිවෙකුගේ අවධානය යොමු නොවූ බවයි.

***************************************

(26.01.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

වත්මන් රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් දැඩි වේදනාවකින් පසුවන බව ‘දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ’ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

‘හිරු ටී.වී. සලකුණ’ වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ පැවසුවේ දේශපාලන පළිගැනීම් සම්බන්ධව වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද සෑහීමට පත් නොවන බවයි.

***************************************

(26.01.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මාදම්පේ ප්‍රදේශයේ වැලි කැපීමට එරෙහිව ප්‍රදේශවාසීන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

ඒ, මේ වනතුරුත් බලධාරීන්ගේ අවදානය ඊට යොමු නොවීම හේතුවෙන්.

පරිසරයට දැඩි බලපෑමක් එල්ලකරමින් සිදුකරන වැලි කැපීමට එරෙහිව ප්‍රදේශවාසීන් 08 දෙනෙකු මාදම්පේ – සුදුවැල්ල ශ්‍රී සමයවර්ධනාරාම විහාරස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය 23 වැනිදායි.

ඔවුන් එහිදී සඳහන් කළේ තම ප්‍රදේශය තුළ සිදුවන වැලි කැපීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත්, මේ හේතුවෙන් පානීය ජලය ලබාගැනීමට පවා ගැටලු ඇතිවන බවයි.

කෙසේ වෙතත්, දින 3 ක් තිස්සේ කිසිදු වගකිවයුතු බලධාරියෙක් එම ස්ථානයට නොපැමිණීම හේතුවෙන් සත්‍යග්‍රහයේ යෙදී සිටි පිරිස ඊයේ (25) රාත්‍රියේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

උපවාසය ආරම්භ කරන අවස්ථාවේ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ද ඇතුළුව මහා සංඝරත්නයද එම ස්ථානයට වැඩම කර සිටියා.

***************************************

(26.01.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට විදෙස් සංවිධානයක සබදතාවක් ඇති බවට නිශ්චිත තොරතුරක් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ සිටි කාලයේ නොලැබුණු බව ශානි අබේසේකර පාස්කු කොම්සමේදි සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

මේ අතර පාස්කු ප්‍රහාරයට පෙර සිදුව තිබූ මාවනැල්ලෙ බුදුපිළිම කැඩීම, වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම ආදී සිදුවීම්වල විමර්ශන ඇල්මැරුණු ස්වභාවයකින් සිදුව තිබු ආකාරය ද මෙහිදි හෙළි වුණා.

++++++++++++

***************************************

(26.01.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම නිසා සිව් (4) වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙනවිත් තිබෙනවා.

ඒ මීගමුව – පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසුවයි.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රන්ජන් රාමනායක අද (26) දහවල් තම බන්ධනාගාරයට රැගෙන ආ බවයි.

අධිකරණයට අපහාස කිරීම ඇතුලු චෝදනා කිහිපයකට වරදකරු වූ ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා බරපතල වැඩ සහිත සිව් (4) වසරක සිරදඩුවමක් නියම කළා ෴

***************************************

(26.01.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවනක් නොමැතිව බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන මිනිසුන් පිළිබඳ තොරතුරු වාර්තා වන සමාජයක කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලයෙන් වැසී යන නිවාස ව්‍යාපෘතියක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

ඒ හිඟුරක්ගොඩ – විජයරාජ වැව ප්‍රදේශයෙන්.

***************************************

(26.01.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

ඕගොඩපොල ජල යෝජනා ක්‍රමය යටතේ රිදීගම ප්‍රාදේශීයේ ජනතාවට සැපයෙන ජලයෙහි තත්ත්වයි ඉතා අපිරිසිදු මට්ටමක පවතින බව එම ජනතාව පවසනවා.

1980 වර්ෂයේ ආරම්භ කර ඇති මෙම ජල යෝජනා ක්‍රමයෙන් ගම්මාන 05 ක පවුල් 900 ක් පමණ ජලය ලබාගන්නවා.

එහෙත් වසර කිහිපයක සිට මෙම ජල යෝජනා ක්‍රමයෙන් ලබාදෙන ජලය පරිභෝජනය කිරීමට කිසිසේත් සුදුසු නැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මෙම අපිරිසිදු ජලය බීමට තබා රෙදි සේදීමටත් නොහැකි වන බවත් දැදුරු ඔයේ ජලය කිසිදු පිරිසිදු කිරීමකින් තොරව ජනතාවට ලබාදෙන බවත් ඔවුන් පවසනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *