ජල සේවකයන් අද පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක

(05.02.2018 – 09:38 +0530 – lankadeepa.lk)

අද පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.

වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය.

කෙසේ නමුත් දිවයින පුරා පාරිභෝගිකයනට අපහසුතාවයක් වන පරිදි ජලබෙදා හැරීමේ කටයුතු වලින් ඉවත් නොවීමට තීරණය කළබව පැවසු රත්නායක මහතා බිල්පත් අයකිරීම සහ නඩත්තු කටයුතු වලින් අද පෙරවරුවේ සිට ඉවත් වන බව පැවසීය.

ඊයේ සවස අමාත්‍යවරයා සමග ත්‍රිකුණාමලයෙදී පැවැත්වූ සාකච්චා අසාර්ථක වීම නිසා මෙම තීරණය ගත්බව රත්නායක මහතා පැවසීය.

මෙම වර්ජනය අතරතුර යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් දැඩි තීරණයකට යාමට සිදුවන බව ද ඔහු පැවසීය ෴

****************************************

නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුන අයට අද සිට තැපැල් කාර්යාලවලින් ගන්න පුළුවන්
(05.02.2018 – 07:45 +0530 – sinhala.adaderana.lk)

නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයින්ට අද (05) දිනයේ සිට තැපැල් කාර්යාලවලට ගොස් ඡන්ද පත්‍රිකා ලබා ගැනිමේ හැකියාව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ නිළ ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදාහැරිමේ කටයුතු ඊයේ (04) දිනයෙන් අවසන් වූ බවයි.

ඒ අනුව තවදුරටත් ඡන්ද පත්‍රිකා ලැබී නොමැති නම් සිය ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාවය තහවුරු කර ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව රෝහණ අබේරත්න මහතා සදහන් කළේය ෴

*****************************************

ප‍්‍රබල ඇමතිගේ කුණුගොඩෙන් කෝටියක් හමුවෙයි.. ඇමති මාසික වැටුප ලක්‍ෂ එකහමරයි..
(03.02.2018 – 14:10 +0530 – lankacnews.com)

මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙකුගේ මාතර කාර්යාලයේ කුණු ගොඩේ තිබී රුපියල් කෝටියක පමණ මුදල් සොයාගෙන ඇත.

මෙම මුදල් තොගය හමු වී ඇත්තේ ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් කාර්යාල පරිශ‍්‍රය පිරිසිදු කිරීමේදීය.

මෙම මුදල් තොගය 5000 නොට්ටුවලින් මිටි බැද කාඩ්බෝඩ් පෙට්ටියක තිබී ඇති අතර එම මුදල් තොගය කාර්ය මණ්ඩලය විසින් ඇමතිවරයාට බාර දී ඇත.

ඇමතිවරයාට කිසිවෙකු හෝ විසින් මෙම මුදල් තොගය ලබා දී එය අමතක වන්නට ඇතැයි සැක කෙරෙයි.

මෙම මුදල ඇමතිවරයෙකුගේ අවුරුදු පහක පමණ වැටුපට ආසන්න වෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *