රනිල්ගේ ගජ මිතුරන්ගෙන් පක්ෂය මුදාගෙන රනිල් ගෙදර යැවිය යුතුයි – මෛත්‍රි ගුණරත්න මහතා

(08.02.2018 – lankaeviews.lk)

එක්සත් ජාතික පක්ෂය මේ රටේ මිනිසුන්ගේ පක්ෂයක් කරන්න නම් මුලින්ම කළ යුත්තේ රනිල්ගේ ගජමිතුරන්ගෙන් පක්ෂය මුදාගෙන රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීම බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.

හබරාදුව පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් මේ සඳහන කළ ගුණරත්න මහතා රනිල්ට බෑ. එයාගේ යාළුවන්ටත් බෑ. රනිල් කළේ එදා මෙදාතුර එජාප නායකයන් හැදූ දේ විනාශ කිරීම පමණක් බවද කීවේය. එජාපයේ පරම්පරා තුනක් රනිල් එළවා දැමූ බවත්, 2020 එජාපයේ ජනාධිපති අපේක්ෂක වෙන්න හිටියේ රවි කරුණානායක බවත් ඒ මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ අයගෙන් මම කාරුණිකව ඉල්ලනවා අලියාට ගසන ඡන්දය තවත් වසර 4ක් රනිල් වික්‍රමසිංහට එජාපය විනාශ කිරීමට ලබා දෙන ඡන්දයක් යැයි කී ඒ මහතා මෙසේද පැවැසීය :

පරම්පරාවෙන් යූඑන්පී කාරයන් මෙදා රනිල්ට විරුද්ධව කෙසෙල් ඇවරියට ඡන්දය දෙන්න

‘අපේ පක්ෂය’ මේ රටේ මිනිස්සුන්ගේ පක්ෂයක් කරන්න නම් මුලින්ම ඒක රනිල්ගේ ගජමිතුරන්ගෙන් මුදාගත යුතුයි. ඒ සඳහා මුලින්ම රනිල් වික්‍රමසිංහ ගෙදර යැවිය යුතුයි.

සිරිසේන කුරේ බියගම පැරදෙමින් සිටි රනිල් වික්‍රමසිංහ කොළඹට ගෙනාවා. ජෝෂප් මයිකල්, ජෝන් අමරතුංග තරම්වත් එදා ගම්පහ දිස්ත්‍රික්කයේ රනිල් ජනප්‍රිය නෑ. ප්‍රේමදාස – කුරේ මහත්වරුන්ගේ ජයබිම මැද-කොළඹ රනිල්ට දී මාස 4 න් නායක රනිල්, සිරිසේන කුරේ කපා දැම්මා.

රනිල්ගේ පාලනයේ පළමු වසර 5 දී සුසිල් මුණසිංහ, සරත් අමුණුගම, විමල් වික්‍රමසිංහ, අනුර බැස්ටියන්, නන්ද මැතිව්, ඇතුළු එජාපයේ දැවැන්තයෝ 11 කට එජාපය අතහැරලා යන්න වුණා. කොටසක් ශ්‍රී ලනිපයට ගියා. තවත් පිරිසක් ‘පුරවැසි පෙරමුණේ’ බසයට නැග්ගා. පක්ෂය පැරදුණා.

රනිල්ගේ දෙවැනි වටයේදී හඩ්සන් සමරසිංහ, නියතපාල, විජේපාල මෙන්ඩිස්, ප්‍රදීප් හපන්ගම, ප්‍රේමරත්න ගුණසේකර, කළුතර රණවක, ගැමුණු අබේසුන්දරලා කැපුවා. මනාප තරගයේදී තම ගජමිතුරන් වෙනුවෙන් පාරම්පරික එජාප නායකයන් බිලි දුන්නා.

නායක රනිල්ට අපේ පක්ෂය – එජාපය දිනවන්න පුළුවන් වුණාද? නෑ…. දවසෙන් දවස අන්ත අගාධයකට ගෙන ගියා!

රනිල්ගේ තුන්වැනි වටයේදී, කළුතර මහින්ද සමරසිංහ, රාජිත, ඉමිතියාස් එජාපයට නැති වුණා. හේමකුමාර, ලක්ෂ්මන් යාපා බැන බැන යන්න ගියා. තවමත් එජාපයට ඒ වගේ කථිකයෝ නෑ. 2015 ඉමිතියාස්ට නාම යෝජනා දුන්නේ නෑ. වරද පක්ෂයේද? නැත්නම් නායක රනිල්ගේද?

සිව්වැනි වටයේදී, රනිල් විසින් අතහැර දමනු ලැබූයේ රෝහිත බෝගොල්ලාගම, නියෝමාල්ලා, රාජා සමරනායකලා. ගියා නෙවෙයි නායක රනිල් එළෙව්වා. එහෙම කියලා අද අපේ පක්ෂයට රැකගන්න කියලා ‘ඇඩ්වටීස්මන්ට්’ දානවා.

එජාපයේ නියෝජ්‍ය නායකයා ඇතුළු 17ක් මහින්දට එකතු වූයේ රටක් – ජාතියක් ගැන හැඟීමක් නොතිබූ රනිල්ගේ වැඩ නිසායි. රනිල් නිසා එජාපය විනාශයෙන් විනාශයට ගියා. 2008 නැඟෙනහිර පළාත් සභා මැතිවරණයෙන් පස්සේ කුරුණෑගල ජොන්ස්ටන්, පක්ෂය හැර ගියා. ඉවසාගත නොහැකිම තැන මහියංගණය තනි අලියා ලක්ෂ්මන් සෙනෙවිරත්න පවා පක්ෂය දාලා ගියා. ජනාධිපතිවරණයක් තරග කළ නොහැකි තැනකට එජාපය වැටුණා. සරත් ෆොන්සේකා ජනාධිපති කරන්නට කැඳවාගෙන ආවේ ශිරාල් ලක්තිලක, රනිල්ගේ උපදේශකයා ශිරාල්. එයාටත් 2013 රනිල් එපා වුණා.

ඊට පස්සේ, සෝභිත හාමුදුරුවෝ, සුමංගල හාමුදුරුවෝ, ශිරාල්ලා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා කරලා එජාපයට බලය අරන් දුන්නා. අගමැති වෙලා දවස් 50 යි. මහ බැංකුවට ගජමිතුරෝ ටික දුන්නා වැඩේ.

කුරුණෑගල ජෝන්ස්ටන්, ඉන්දික, ඩී.එම්. බණ්ඩාරනායක, අනුර ගොපල්ලව වැනි 2002 දිනපු අය රනිල් ගේ ශාපය නිසා පක්ෂය අතහැරියා.

සුසන්ත පුංචිනිලමේ, මහින්ද රත්නතිලක එජාපය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සිටි මිනිස්සු. කෑගල්ලේ රුක්මන්, ජයතිලක පොඩිනිලමේ පමණක් නොව ආර්.ඒ.ඩී. සිරිසේනලා රනිල්ගේ කරපිංචා න්‍යායට අහුවුණා. ඒ.එල්.එම්. ෆාරුක් එජාප මුස්ලිම් නායකයා කපා දමලා කබීර් හෂීම්ට තැන දුන්නා. එයා මහ බැංකුවට වැඩේ දෙන්න සෙට් වුණා.

සිංහල – දෙමළ – ඉංග්‍රීසි භාෂා චතුර ලෙස හැසිරවූ අස්වර්ටත් එජාපය එපා වුණා. සරත් කෝන්ගහගේලා යන්නම ගියා. අන්තිමට, 1977 සිට අඛණ්ඩව අම්පාර දිනූ පී. දයාරත්න මහත්තයත් එජාපය දාලා ගියා. අසාද් සාලි, ධනසිරි අමරතුංගලා හිටියේ එජාපයේ. රනිල්ගේ ගජමිතුරෝ නිසා ඒ සේරම ගියා. පක්ෂය පැරදුණා.

එජාපයේ නායකයා වෙයි කියා බයවුණු දයාසිරි ජයසේකර මුළු කුරුණෑගලම අරගෙන වයඹ පළාත් මහ ඇමැතිවෙලා ශ්‍රී ලනිපයට ගියා. දයාසිරි තමයි අද ඒ වේදිකාවේ ප්‍රමුඛ කථිකයා. රවිට ඉස්සරහින් දයාසිරි හිටියේ. රනිල් රවි එක්ක එකතුවෙලා දයාසිරි කැපුවා. රවි උප නායක වුණා. දැන් රවි කැපිලා ජෝන් අමරතුංග උප නායක කරන්න හදනවා.

මොනරාගල රංජිත් මද්දුමබණ්ඩාර ටිපෙක්ස් ගාලා මකන්න හැදුවා. රනිල් උස්සපු තිස්සකුට්ටිආරච්චි අද ඉන්නේ කොහෙද? එයත් ගියා. රනිල් එජාපය විනාශ කළේ මෙහෙමයි. දැන් ‘ඇඩ්’ දානවා පක්ෂය රැකගනිමු කියලා. මැතිවරණ 28 ක් පැරදී සිටි රනිල්ට හුස්ම වැටුණේ 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළ නිසයි. පරාජයේ දී එජාපය සමඟ සිටි බොහෝ දෙනා කැපීගියා. අලුත් ගජමිතුරන් සිංගප්පූරුවෙන්, එංගලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන්, ඇමෙරිකාවෙන් ආනයනය කළා. එක යාළුවෙක් බිලියන 12 ක් හොරකම් කරලා මහ බැංකුව කැඩුවා. අනෙකා ‘ශ්‍රී ලංකන්’ ට බිලියන 28 ක් පාඩු කළා. දැන් කොමිසමක් දාලා තියෙනවා.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල, මාතලේ, පුත්තලම දිනාදුන් රවී සමරවීර, අලුවිහාරේ, රංගේ බණ්ඩාරලාට කැබිනට් ඇමැතිකමක් ලැබුණේ නෑ. කලාවැව අධිකාරි පවුල, හිනිදුම අමරසිරි පවුල, නිකවැරටිය වන්නිනායක පවුල, බදුල්ලේ සමරවීරලා, මාතලේ අලුවිහාරේලා, රත්නපුර පුංචිනිලමේලා, කලවානේ පිලපිටියලා, කොළොන්නාවේ මල්ලිමාරච්චිලා, ආණමඩුවේ වඩිගමංගාවලා, මහියංගණයේ සෙනෙවිරත්නලා, කුරුණෑගල වෙලගෙදරලා, ඌව-පරණගම කරුණාරත්නලා, හොරොව්පොතානේ හුරුල්ලේලා, බේරුවල බාකීර් මාකර්ලා. ගම්පොළ පැල්පොලලා, හේවාහැට ඩැනියෙල් පරම්පරාව, කොත්මලේ රණතුංගලා, රත්නපුරේ ආටිගල යූඑන්පී පරම්පරාවල් සේරම විනාශයි. දැන් කවුද ආණ්ඩුවේ ඉන්නේ.? රෝයල් ගජමිතුරෝ ටික විතරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *