‘‘මව්බිමට අලුත් උදෑසනක්’’ ; සිරිසේන යටතේ මහින්දගේ අගමැති ධූරයෙන් අලුත් ආණ්ඩුවක්..! පොහොට්ටුව මුළු රටින්ම 50% කට වඩා වැඩියෙන් දිනයි

(11.02.2018 – 05:45 +0530 – facebook.com/lankaenews)

මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් නොකළද රට පුරා සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ නොනිල නායකත්වය දුන් බැසිල් රාජපක්ෂ නිල සංවිධායකත්වය ගත් පොහොට්ටුව ලකුණින් පෙනී සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP) රටේ භාවිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 කට වඩා වැඩි පැහැදිලි බහුතර ජන කැමැත්තක් ලබාගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය දිවයිනෙන් දිනාගෙන ඇත්තේ කොළඹ, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හැටන්, හම්බන්තොට, බදුල්ල, වත්තල, මීගමුව, කොළොන්නාව, පානදුර, යන නගර සභා 11 ද, බදුල්ල, කුලියාපිටිය, පස්සර යන ප්‍රාදේශීය සභා 3 ද පමණක් බව නිල නොවන වාර්තා පවසයි.

මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිපය එකදු සභාවක් හෝ දිනාගෙන නොමැති අතර දිවයිනෙන් ලබාගෙන ඇත්තේ 4% ක පමණ ඡන්ද සංඛ්‍යාවකි. එය මුළු රටින්ම 5 වෙනි ස්ථානය බවද වාර්තා වේ. ජනාධිපතිවරයෙකු මේ තරම් බාල්දු වූ මැතිවරණයක් මේ ග්‍රහලෝකයේ තවත් නැත.

ආණ්ඩුව නාය ගිය පරාජයේ එක් උදාහරණයක් කෙසේද යත් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට පත් විය යුතු සභිකයන් 255 දෙනාගෙන් 237 ක්ම ලබාගෙන ඇත්තේ පොහොට්ටුව වන අතර එජාපයට ලැබී ඇත්තේ සභිකයන් 17 කි. එම 17 ද අනුපාත ලැයිස්තුවෙනි. ශ්‍රීලනිප මෛත්‍රී පිලට ලැබී ඇත්තේ එකම එක සභිකයෙකි. කඩුවෙල නගර සභාවේ එජාපය ජයගෙන ඇත්තේ එකම එක කොට්ඨාශයක් පමණක් වන අතර අන් සියලු කොට්ඨාශ පොහොට්ටුව ලබාගෙන තිබේ.

ජනමතයේ මේ අපූරු පෙරැළිය හේතුවෙන් තව දුරටත් ජනාධිපතිවරයාගේ සහ එජාප අගමැතිවරයාගේ ජනවරම අහෝසි වී ඇති නමුත් පවතින ව්‍යවස්ථාමය තත්ත්වය යටතේ ඉතිරි වසර 2 හමාරක කාලය තුල ආණ්ඩුවක් විසිරුවා අලුත් ඡන්දයක් පැවැත්වීමට නොහැකිය. එසේ වී නමුත් පවතින ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනවරමක් නොමැතිව ආණ්ඩු කිරීමේ සදාචාරාත්මක අයිතියක් ද නැත.

එබැවින් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කර ජනමතය දිනූ කණ්ඩායමට ආණ්ඩුවක් හදා ගෙන ඉදිරිකාලය රට පාලනය කිරීමට බාර දීමට පාලක එජාපය තීරණය කර ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂගේ පාර්ශවයද මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිත්වය යටතේ මහින්ද රාජපක්ෂ අගමැති වරයා ලෙස පත් කර ආණ්ඩු කිරීමට ද කැමැත්ත ප්‍රකාශ කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතා මේ බව ජනාධිපති සිරිසේනට නිල වශයෙන් දන්වා ඇතැයිද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ සභාපති ජී. ඇල්. පීරිස් මහතා එජාපයෙන් කැපී ගොස් සිටින විජේදාස රාජපක්ෂ මහතා හමුවී නව ආණ්ඩුවට ඇමැතිවරයෙකු ලෙස එන ලෙස ආරාධනා කර ඇති නමුත් විජේදාස රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කර ඇතැයි දැන ගන්නට තිබේ.

මෙම මැතිවරණයේ දී දෙපැත්ත කන චරිතය රඟපෑ මංගල සමරවීර ද මේතරම් පරාජයක් හමුවේ අගමැති ධූරය බාර ගැනීමට නොහැකි යයි ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. නමුත් මංගල අගමැති කිරීමක් ගැන පොහොට්ටු පාර්ශවයේ කිසිවෙකු ජනාධිපතිගෙන් අසා තිබුනේ නැත.

‘‘මව්බිමට අලුත් උදෑසනක්’’ යනුවෙන් තම නිල ෆේස් බුක් අඩවියේ සටහනක් තබා ඇති මහින්ද රාජපක්ෂ මහතා එහි මෙසේ කියා ඇත.

‘‘ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලාංකිකයින් උදෙසා එකාවන්ව සිය ජනමතය ප්‍රකාශ කොට ඇත. මෙවර මැතිවරණයේ දී පොදු ජන පෙරමුණේ විජයග්‍රහණය මෙම දූෂිත ආණ්ඩුවට විරුද්ධව යළිත් රට ගොඩනැගීම උදෙසා ජනතාව සූදානම් බවට දුන් සහතිකයකි. මෙම විජයග්‍රහණය උදෙසා ඇප කැප වී කටයුතු කළ සියළු දෙනාටම බොහොම ස්තුතියි. කරුණාකර සාමකාමීව මෙම ජයග්‍රහණය සමරන්න.“

ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ එජාප දෙවන පෙළ නායක පිරිසක් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් පක්ෂයට කළ සේවයට ස්තූති නමුත් දැන්නම් ඔහු එජාප නායකත්වය අන් අයෙකුට බාර දී වැදගත් ලෙස වගකීම් වලින් ඉවත් විය යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *