කුමන්ත්‍රණ අවශ්‍ය නැහැ – පොදුජන පෙරමුණ කියයි

(11.02.2018 – 19:23 +0530 – hirunews.lk/sinhala)

මෙවර මැතිවරණයේ ජයග්‍රහණයත් සමඟ කුමන්ත්‍රණකාරි ලෙස ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඔවුන් සිය ජයග්‍රහණය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව කරුණු දැක්වීමට බත්තරමුල්ල – නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (11) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මේ එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැසක් අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවර පිහිටි සිය නිවසේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 30 වන වතාවටත් මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වී ඇති බවයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ ද අද මාධ්‍ය හමුවක් කැඳවමින් මැතිවරණයේ ඡන්ද පදනම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ 2015 වර්ෂයට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙහි ඡන්ද පදනමෙහි වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.

**************************************

ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක් ආසන පරදී
(11.02.2018 – 19:15 +0530 – hirunews.lk/sinhala)

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් නියෝජනය කරන ආසන පරාජයට පත්වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ආසන සංවිධායක ධුරය දරණ අත්තනගල්ල ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්වුණා.

එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා නියෝජනය කරන කලාවැව ආසනය ද නිදහස් පක්ෂය පරාජය වීම විශේෂත්වයක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සංවිධායක ධුරය දරණ තංගල්ල ආසනයෙන් ද නිදහස් සන්ධානය පරාජයට පත්වූ අතර, අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සංවිධායක ධුරය දරණ පහත හේවාහැට ආසනය ද පරාජයට පත්වුණා.

එමෙන්ම, මහින්ද සමරසිංහ අමාත්‍යවරයා සංවිධායක ධුරය දරණ පානදුර ආසනය සහ ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා නියෝජනය කරන හක්මන ආසනය ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වූ අතර අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතාට ද මෙවර මැතිවරණයේදී බිබිල ආසනය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ නැහැ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සංවිධායක ධුරය දරණ මහරගම ආසනය ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වුණා.

එමෙන්ම, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට ද මෙවර පස්සර ආසනය අහිමි වී තිබෙනවා.

වසර ගණනාවක් පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පැවති කඩුවෙල නගර සභාව මෙවර එම පක්ෂය පරාජයට පත්වූ අතර, වසර ගණනාවක් එහි නගරාධිපති ධුරය දැරූ ජී.එච්.බුද්ධදාස මහතාට සිය නගර සභා නියෝජනය ද අහිමිවීම විශේෂත්වයක්.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රැසක් ද මෙවර මැතිවරණයේදී සිය ආසන පරාජයට පත්වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සංවිධායක ධුරය දරණ තිස්සමහාරාම ආසනය සහ මංගල සමරවීර අමාත්‍යවරයා සංවිධායක ධුරය දරණ මාතර මැතිවරණ ආසනය ද එක්සත් ජාතික පක්ෂය පරාජය වුණා.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නියෝජනය කරන කැළණිය ආසනය ද එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීම විශේෂත්වයක්.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ද බේරුවල ආසනය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ නැහැ.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සංවිධායක ධුරය දරණ කෝට්ටේ ආසනය මෙන්ම රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සංවිධායක ධුරය දරණ කඩුවෙල ආසනය ද මෙවර එක්සත් ජාතික පක්ෂයට අහිමි වුණා.

අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර බටහිර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා වන අතර ඔහුට ද එම ආසනය ජය ගැනීමට හැකිවී නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද මෙවර බණ්ඩාරවෙල ආසනයෙන් පරාජයට පත්වුණා.

හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තරග කළ අතර, හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරග වැදුණා.

එහෙත් ඔවුන් දෙදෙනාටම මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට හැකිවූයේ නැහැ.

විදුහල්පතිනියක් දණ ගැස්සවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල කතාබහට ලක්වූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ බිරිද වන ෂෙහානි බස්නායක මහත්මිය, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඇල්ල ප්‍රාදේශීය සභාවට තරග කළ ද ඇයට ද එම ප්‍රාදේශීය සභාවේ අසුනක් හිමිකර ගැනීමට නොහැකි වී තිබෙනවා.

එමෙන්ම, නවගත්තේගම විදුහලක ගුරුවරියක් දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු පළාත් සභා අමාත්‍ය ආනන්ද සරත් කුමාර මහතාගේ බිරිද ද මෙවර නවගත්තේගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වුවත් ඇය ද පරාජයට පත්වීම විශේෂත්වයක්.

+++++++++++++++++++++++++++++++

Derana News 11-02-2018 Part 1 of 3

—————————-

Derana News 11-02-2018 Part 2 of 3

——————————

Derana News 11-02-2018 Part 3 of 3

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *