අගමැති මහින්දගෙන් අගමැති ඉම්රාන්ට ස්තූතිය

අගමැති මහින්දගෙන් අගමැති ඉම්රාන්ට ස්තූතිය

*********************************************

අගමැති මහින්දගෙන් අගමැති ඉම්රාන්ට ස්තූතිය

(23.02.2021 – 21:32 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව සහ රටේ ක්‍රීඩා පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම පිළිබඳව පාකිස්තානයට ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටිනවා.

පාකිස්තාන අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුනා.

එම හමුවෙන් අනතුරුව අගමැතිවරයා විසින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා විසින්, කොටි ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන් ම පරාජය කිරීමට පාකිස්තානයෙන් ලද සහයෝගය පිළිබඳවද කෘතඥතාව පුදකර තිබෙනවා.

ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය ප්‍රකාශය පහතින් :

ආයුබෝවන්!

පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු ඉම්රාන් ඛාන් මහතා සහ එතුමාගේ ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (23) දින පිළිගැනීමට ලැබීම පිළිබඳව මම මහත් සතුටට පත් වෙමි.

අගමැතිතුමනි, ඔබ ශ්‍රී ලංකා ජනතාවට අමුත්තෙකු නොවේ. පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිකට් පිටියේ ඔබගේ නායකත්වය අගය කළ මිලියන සංඛ්‍යාත පිරිසක් මේ රටේ සිටිති.

ඔබගේ රට දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවෙකු වන අතර ශ්‍රී ලංකාව හැම විට ම පාකිස්තානය සමීප හා අව්‍යාජ මිතුරෙකු ලෙස සලකයි. අපේ ජනතාව ද පාකිස්තානය ඉතා ඉහළින් අගය කරති.

පාකිස්තානය අත්‍යවශ්‍ය අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වූ සමීප මිතුරෙකි. මගේ ජනාධිපති ධූර කාලය තුළ දී භයානක ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සටන් වැදීමට අපට සිදුවිය. 2009 මැයි මාසයේ දී එම ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන් ම පරාජය කිරීමට පාකිස්තානයෙන් ලද සහයෝගය පිළිබඳ අපි කෘතඥ වෙමු.

අද (23) සවස පැවැති අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර, අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මම දෙරට අතර ආර්ථික, වෙළඳ, ආයෝජන, විද්‍යා හා තාක්‍ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපනය ක්ෂේත්‍රවල ඉතා සමීප සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ගිවිස ගතිමු.

පකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම් රාමුව තුළ ඉදිරිපත්ව ඇති අවස්ථා හඹා යාමට ද අපි එකඟ වූයෙමු.

අපගේ සාකච්ඡාවේ දී කොවිඩ් වසංගතය ඇතුළු කලාපීය හා ජාත්‍යන්තර ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. දෙරට අතර සංචාරක හා ගුවන් සේවා අංශවල ක්‍රියාකාරකම් ඉහළ දැමීමට ද අපි එකඟ වූයෙමු.

පාකිස්තානයේ පුරාණ බෞද්ධ උරුමයන් නැරඹීමට සහ වන්දනාමාන කිරීමට ශ්‍රී ලාංකිකයන් සඳහා මඟ විවර කරදීම පිළිබඳව පාකිස්තාන රජයට අපගේ කෘතඥතාව හිමිවෙයි.

පාකිස්තාන-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් ඔස්සේ පාර්ලිමේන්තු අන්තර්ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට ද අපි තීරණය කළෙමු.

දකුණු ආසියාවේ තිරසාර සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම උදෙසා දේශපාලන ස්ථාවරත්වය සහ කලාපීය සාමය ප්‍රධාන වශයෙන් වැදගත්වන බව ශ්‍රී ලංකාවේ විශ්වාසයයි.

අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ වැදගත් කොටසක් වන දරිද්‍රතාව සහ සමාජ ආර්ථික විෂමතාව සමනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දරන උත්සාහය මම ඉතා අගය කොට සලකමි.

ත්‍රස්තවාදයට, ආගමික මූලධර්මවාදයට සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා අපි අඛණ්ඩව එක්ව කටයුතු කරමු.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, ආයුධ ජාවාරම සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා අදාළ නියෝජිත ආයතන ඔස්සේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වර්තමාන යාන්ත්‍රණය සමඟ ඉදිරියට යාමට අපගේ සාකච්ඡාවල දී අපි එකඟ වූයෙමු.

ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව සහ රටේ ක්‍රීඩා පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම පිළිබඳව අපි පාකිස්තානයට ස්තූතිවන්ත වෙමු.

පාකිස්තානයේ ඉහළ පෙළේ බහු-විධ ව්‍යාපාරික දූත පිරිසක් සමඟ හෙට (24) දිනයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ව්‍යාපාර හා ආයෝජන සමුළුවක මුලසුන හොබවනු ඇත.

ශ්‍රී ලංකාව සමඟ ඇති කරගන්නා මෙම සෘජු වෙළඳ සබඳතාව ඔස්සේ දෙරට අතර ආයෝජන අවස්ථා සහ වෙළඳාම් කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් ඇතිවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදීම පිළිබඳව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට සහ පකිස්තාන දූත පිරිසට ස්තූතිවන්ත වන අතර ම, ඔබගේ පැමිණීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බව සඳහන් කර සිටිමි.

[ සේයාරූ ]

***************************************

(24.02.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

‘මිදිගම චින්තක’ නොහොත් ‘හරක් කටා’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ගෝලයෙකු වැලිගම මිදිගම ප්‍රදේශයේදී අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (23) මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදීයි.

පිස්තෝලයක්, ටී-56 මැගසිනයක්, එම උණ්ඩ 22 ක්, බයිනෙත්තුවක් සහ කඩු 03 ක් ඔහු සන්තකයේ තිබී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

***************************************

(24.02.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

පොලිස් රියදුරන් ලෙස රාජකාරි කරන කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් 235 දෙනෙකු තමන්ට උසස් වීම් ලබානොදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් (2) ඉදිරිපත් කර තිබෙනවා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ පොලිස් රියදුරු ලෙස රාජකාරි කරන කොස්තාපල්වරුන් 210 දෙනෙකු සහ පොලිස් රියදුරු ලෙස රාජකාරි කරන සැරයන්වරුන් 25 දෙනෙකු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව, එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, පොලිස් කොමිසම සහ එහි සභාපති, සාමාජිකයින් ඇතුළු 11 දෙනෙකු නම් කර තිබෙනවා.

පොලීසියේ විවිධ තනතුරුවලට අයත් නිලධාරින් 31,000 කට පමණ එකවර උසස්වීම් ලබාදී ඇතත්, තමන්ට මෙම උසස්වීම් ලබාදී නොමැති බවටයි ඔවුන් අදාළ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ ෴

***************************************

(24.02.2021 – 09:02 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඊයේ (23) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එම සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා – පාකිස්ථාන රජයන් අතර, ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුණු අතර දෙරටේ අග්‍රාමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වසර ගණනාවක දේශපාලන ක්‍රියාකාරිත්වය තුලින් පොදුජනතාවට බලය ලබාදී පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා ඉහළට ඔසවා තැබූ ආකාරය සුවිශේෂී වන බවයි.

බිම් මට්ටමේ සහ අඩු වරප්‍රසාද සහිත ජනතාව සවිබල ගැන්වීම උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග සිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා එකිනෙක බැඳී ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. පසුව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා විසින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වනු ලැබුවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (23) අත්සන් තැබුණු පළමු ගිවිසුම වූයේ සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමයි.

මෙරට ආයෝජන මණ්ඩලය සහ පාකිස්ථාන රජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මෙන්ම ලක් රජයේ කාර්මික තාක්ෂණ ආයතනය සහ පාකිස්ථාන කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්ද මෙහිදී අත්සන් තැබුණා.

මීට අමතරව කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් විශ්වවිද්‍යාලය අතර සහයෝගීතා ගිවිසුමක් මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තැබුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

මේ අතර, පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර, හමුව අද (24) පෙරවරු 10:30 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එසේම, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡාව අද (24) පෙරවරු 09:30 ට විදේශ අමාත්‍යාංශයේදී සිදුකිරීමට නියමිත අතර, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද (24) පෙරවරු 11:30 ට කොළඹදී වෙළඳ හා ආයෝජන සමුළුවකටද එක්වනු ඇති.

මීට අමතරව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) පස්වරුවේ කතානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගන්වන භෝජන සංග්‍රහයට සහභාගි වීමටද නියමිතයි.

අද (24) පස්වරුවේ නාවල – කිරිමණ්ඩල මාවතේ ඉහළ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා මධ්‍යස්ථානයක් පිළිබඳ වූ සාකච්ඡාවක් ද කොළඹදී පැවැත්වෙනවා.

පසුව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) පස්වරු 3 ට කටුනායක ගුවන්තොටුපලෙන් යළි ශ්‍රී ලංකාවෙන් පිටව යනු ඇති.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ව්‍යාපාර සහ ආයෝජන සංසදයක් මෙන්ම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිහිපයක්ද සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය උපදේශකවරයා මෙන්ම, විදේශ කටයුතු ලේකම්වරයා ඇතුළු පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ශ්‍රී ලංකා සංචාරයට එක්වනවා. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා 2021 වසරේ දිවයිනට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා වන අතර මේ වසරේ ඔහුගේ ප්‍රථම නිල සංචාරය ද මෙයයි ෴

***************************************

(24.02.2021 – 09:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නවමු මාවතකට යොමු කරමින් රැඳවියන් බැලීමට පැමිණෙන අය හට ප්‍රමාද වීමකින් තොරව රැඳවියන් බැලීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගෙන පැමිණීමේ ක්‍රමවේදයක් සැලසුම් කර තිබෙනවා.

මෙම සේවාව ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ( http://prisons.gov.lk/ ) පිවිස E-Visit තොරතුරු පද්ධතිය හරහා තොරතුරු ඇතුලත් කර දිනයක් සහ වේලාවක් වෙන්කර රැඳවියන් බැලීමේ අවස්ථාව හිමිවනවා.

( http://www.visit.prisons.gov.lk/ )

ඉදිරියේදී මෙවැනි තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් බන්ධනාගාර තුල ඇතිවන ගැටළු අවම කිරීමටත්, කොවිඩ්-19 හේතුවෙන් රැදවියන්ට හා ඔවුන්ගේ නිවෙස් වල අයට සම්බන්ධවීමේ දී ඇතිවන ගැටලු‍ නිරාකරණය කිරීමේ ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම වෙබ් පිටුව හා මෘදුකාංගය බන්ධනාගාර තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කිරීම මෙහි විශේෂත්වයක් ෴

***************************************

(24.02.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ පළමු (1) පාසල් වාරයේ පළමු වන (1) අදියර මේ මස 25 වනදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.කපිල පෙරේරා මහතා සඳහන් කළේ පළමු (1) පාසල් වාරයේ දෙවන අදියර ලබන මාර්තු 15 වනදා ආරම්භ වන බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන (මාර්තු) මස පළමුවනදා (01) ආරම්භ වන බැවින් මෙලෙස පළමු පාසල් වාරය අදියර දෙකක් (2) යටතේ පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

(24.02.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට ඇතුලත් කර නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (23) පැවති සාකච්ඡාවකදියී.

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් පිරිස් සෞඛ්‍ය සේවයට ඇතුලත් කර ගන්නා බවට පතුරවා හැර ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

රාජ්‍ය සේවයේ පවතින වැටුප් සහ උසස් වීම් විෂමතා, බඳවා ගැනීමේ අවුල් සහගත තත්ත්වයන් විසඳීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

වෘත්තීය සමිතිවලට සවන්දීමටත්, ඒවා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමටත් රජය සැමවිටම සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා කොවිඩ් අර්බුදය දැන් සමනය වෙමින් පවතින බැවින් ඉදිරියේදී මාස 03 කට වරක් වෘත්තීය සමිති හමුවී සාකච්ඡා කිරීමට අදහස් කරන බව කියා සිටියා ෴

***************************************

(24.02.2021 – 09:49 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරුවලින් සිදුවූ මරණ 12 ඊයේ (23) දිනයේදී වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

එම මරණ රිය අනතුරු 11 කට අදාළව වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

යතුරුපැදිකරුවන් 08 දෙනෙකු, පදිකයින් දෙදෙනෙකු (2) සහ මගීන් දෙදෙනෙකු (2) මෙලෙස අනතුරුවලට ලක්ව මියගොස් තිබෙනවා ෴

***************************************

(24.02.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම නොමිලේ ලබාදීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම සිදුකරනු ලැබුවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි.

එම ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (23) නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේදී සිදුකෙරුණා.

මෙරට විදුලි කාර්මිකයින් 45,000 ක පමණ පිරිසක් සිටින අතර, ඔවුන්ගෙන් 85% කට සිය වෘත්තිය සම්බන්ධයෙන් පිළිගත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නොමැති බවයි නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ.

එම ගැටළුවට පිළියමක් වශයෙනුයි නොමිලේ මෙම ජාතික වෘත්තීය සුදුසුකම විදුලි කාර්මික ශිල්පීන්ට ලබාදීමට රජය තීරණය කරනු ලැබුවේ ෴

@@@@@@@@@@@@@@@@@

(24.02.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (23) ආසාදිතයින් හාරසිය අනූ දෙදෙනෙකු (492) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81,009 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 76,905 ක්.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 4,714 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (23) දිනයේදී තවත් ආසාදිතයින් හත්සිය තිස් දෙදෙනෙකු (732) සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 75,842 ක් වනවා.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 03 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 453 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වත්තල, නුවරඑලිය සහ වලපනේ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් තුන් දෙනෙකු (3) මෙලෙස මියගොස් ඇති බවයි. ඔවුන් 75, 76 සහ 83 යන වයස්වල පසුවූවන්.

මේ අතර, බන්ධනාගාර නිලධාරීන් සහ එම ආයතනවල සේවය කරනු ලබන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 3200 කට මේ වනවිට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++

(24.02.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (23) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හාරසිය අනූ දෙදෙනා (492) අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 88 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 53 දෙනෙකුද ඊයේ (23) හඳුනාගත් ආසාදිතයින් අතර වනවා.

අනෙකුත් ආසාදිතයින් 248 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *