භාතිය – සන්තුෂ් සමග ගැටුමක් හේතුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂධූර වලින් ඉවත් වෙයි

භාතිය – සන්තුෂ් සමග ගැටුමක් හේතුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂධූර වලින් ඉවත් වෙයි

*********************************************

භාතිය – සන්තුෂ් සමග ගැටුමක් හේතුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂධූර වලින් ඉවත් වෙයි

(23.02.2021 – 17:09 +0530 – truenews.lk)

මෙරට සංගීත ක්ෂේත්‍රයේ නියැලී සිටින ගායක ගායිකාවන්, සංගීතඥයන්, ගීත රචකයන් රැසක් නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉවත් වීමට ප්‍රවීන ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ප්‍රවීන සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඔවුන් දෙදෙනා පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔස්කා සංවිධානයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත යොමුකර තිබේ.

මෙම ඉල්ලා අස්වීමට හේතුව වී තිබෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත, ආචාර්ය රෝහණ වීරසිංහ මහතා විසින් තනුව හා සංගීතය නිර්මාණය කළ ගීතයක් භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් විසින් අනවසරයෙන් වාණිජ්‍ය කටයුත්තක් සඳහා භාවිතා කිරීමයි.

විශේෂත්වය වන්නේ භාතිය ජයකොඩි ද ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරීමයි.

අදාල ගීතය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවේදී භාතිය-සන්තුෂ් දෙදෙනා රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට එකඟ වී ඇති නමුත් මේ දක්වා එම මුදල ලබා දී නොමැති බවත් විවිධ අන්දමින් හෙට්ටු කිරීමට උත්සාහ දරන බවත් අදාල ලිපියේ සඳහන් වේ. සංගීත ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකුගේ අයිතීන් එම අධ්‍යක්ෂක මණ්ඩලයම නියෝජනය කරන කණිෂ්ඨයෙකු අතින් පැහැර හැරීමක් සිදු වන්නේ නම් එවැනි අධ්‍යක්ෂක මණ්ඩලයක තවදුරටත් කටයුතු කළ නොහැකි බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සිය ලිපියෙන් අවධාරණය කරයි.

+++++++++++

+++++++++++++++++

+++++++++++++++++

රෝහණ-සුනිල්-BnS ‘ඇඩ්රස් නෑ’ සත්‍ය කතාව හෙලිවේ

(24.02.2021 – 22:39 +0530 – truenews.lk)

ආදරණිය ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වෙත…

සර්, මුලින්ම කියන්න ඕන මේක රාජකාරි නිල ලිපියක් නෙවෙයි. බොහෝ කාලයක් තිස්සේ ඔබතුමන්ලා හඳුනන, යම් යම් වැඩ වලදී එකට හමුවන, ඊටත් වඩා හදවතේ ගැඹුරුම තැනින් ඔබ දෙදෙනාට ගරු කරන දෙදෙනෙක් ලෙස මේ ලිපිය ලියන්න හිතුනා.

සර්, අපි දෙදෙනා මේ කේෂ්ත්‍රයට පැමිණි දා සිට, හැකි අයුරින් අපේ ගීත නිර්මාණය කරගෙන, ඒවා ජනගත කර, ඉන් ලැබෙන ආශීර්වාදයෙන් පුළුවන් තරම් දුරක් බොහොම පරිස්සමට මේ ගමන මෙතෙක් දුරක් ආවා. අවුරුදු 23 ක් සංගීත ක්ෂේත්‍රයේ ගෙවුණු කාලය ඉතා වගකීමෙන් පැමිණි ගමනක් බව කාරුණිකව කිවයුතුයි. සමාජ මාධ්‍ය මෙතරම් ප්‍රචලිත, සැමදෙනාම පරිශීලනය කරන යුගයක ගීතයක අයිතිය බලෙන් පැහැරගෙන එවැනි ප්‍රශ්නයක් අප හිස මත පටවගන්නට තරම් අප වගකීම් රහිත මිනිසුන් ලෙස සිතීම පුදුම සහගතය.

අප ආයතනයට තවත් පෞද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටළුව පැන නැගුණා.

සර්, මිට පෙරත් අපි ඇත්තටම මොකද උනේ කියන කාරණාව ඔබතුමන්ලාට පැහැදිලි කරලා දුන්නා. නමුත් ඔබ දෙදෙනා OSCA ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය වල අප ඔබගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදුවූ ආකාරය හරියාකාරව පැහැදිලි කරදීමෙන් පසුවද, නැවතත් අප වංචාවක් කර ඇති බව සදහන් කර තිබීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, අප දැඩි ලෙස සිත් තැවුලට පත්කළ කාරණාවක් වූ බවද මෙහිදී කිව යුතුමයි. එම නිසා නැවත එම කතාවම කියන්නම්,

ඉහත කී පෞද්ගලික ආයතනය මෙම ව්‍යාපෘතිය අප ආයතනයට ලබා දී පැවසුවේ තෝරාගත් ගීත කීපයක් ආධුනික ගායකයන් සමග නැවත ප්‍රති නිර්මාණය කර, රූප රචනා සිදුකර ලබාදෙන ලෙසයි. එම එක් ගීතයක් සඳහා ඔවුන් රුපියල් දෙලක්ෂ අසූදාහක (2,80,000) මුදලක්ද අප ආයතනයට ගෙවීමට එකග වුණා. එහිදී අප කාර්යමණ්ඩලය එයින් රුපියල් හැටදහසක (60,000) මුදලක් කර්තෘභාග වෙනුවෙන් වෙන් කළා. අපි අපේ කාර්යමණ්ඩලයට දැනුම් දුන්නේ, ගීතවල බුද්ධිමය දේපළ හිමි කරුවන්ට කතාකර අවශ්‍ය පිරිවැය ලබාදී, අවශ්‍ය අවසරය ලබාගන්නා ලෙසයි. මෙම මුදල් අගය අප ආයතනය වෙන්කලේ මෙම කාලවකවානුවේ OSCA ආයතනය සංගීත වැඩසටහන් වල ගීත ප්‍රති නිර්මාණය සඳහා රුපවාහිනී නාලිකා සමග රුපියල් හැටදහසක (60,000) අගයක් සාකච්චා කරගෙන යන පසුබිමකයි. මාධ්‍ය ආයතන එම අගයට එකඟ නොවුවත් අප ආයතනය එම අගය ගෙවීමට තීරණය කළා. ඒ අදාල සියලුම පාර්ශවයන්ට කතෘභාග ගෙවීම් අප ආයතනය මගින් සිදුකළා.

මෙම වැඩසටහනට තීරණය වූ ගීත අතර එක චිත්‍රපට ගීතයක් තිබුණා. එය ‘ඇඩ්රස් නෑ’ චිත්‍රපටයේ ගීතයකි. අප ආයතනය සියලුම ගීත වල හිමිකරුවන් සමග සම්බන්ධ වී කර්තෘභාග පිළිබඳව එකඟවූ අතර, ‘ඇඩ්‍රස් නෑ’ යනු චිත්‍රපටයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එම ගීතයේ අයිතිය පිලිබඳ තොරතුරු විමසුවා. එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදක වරයාට මෙම ගීතයේ අයිතිය තිබෙන බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක (60,000) මුදලක් ගෙවා , මෙම ගීතය භාවිතා කීරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබා ගත්තා. මෙම සමස්ත ක්‍රියාදාමයම සම්බන්ධ නිල ලිපිලේඛන අප ආයතනය සතු ඇති බවත්, අවශ්‍යනම් ඒවා ඔබතුමන්ට ඉදිරිපත් කල හැකි බවත් දන්වන්න කැමතියි.

ඊට පසුවත් මේ සම්බන්ධව අපට චෝදනා නැගෙනවිට, අප විමතියට පත්වූයේ ඒ නිසයි. එබැවින් මේ සිදුවීම ආරංචි වූ වහාම අප උත්සහ කළේ ඔබ හමුවීමටයි. අප ඔබගේ නිවසේ දොරකඩටම පැමිණියත් අපව හමුනොවුනු අතර, OSCA ආයතනය අප පාර්ශව දෙක සාකච්ඡාවකට ගෙන්වූ අවස්ථාවේද අප සමග සාකච්ඡා නොකොට අප මගහැර ඔබ කාර්යාලයෙන් පිටව ගියා. ඉන් අනතුරුව කීප වරක්ම විවිධ පාර්ශව හරහාද ඔබ හමුවීමට උත්සහ කලත් අප හට ඒ අවස්ථාවන්ද නොලැබි ගියා.

සර්, මෙය අපටත් කණගාටුව සහ හිත් වේදනා ගෙනදෙන සිදුවීමක්. එල්ලවෙන චෝදනා වලට වඩා මේ හේතුවෙන් ඔබ දෙදෙනා සිත් තැව්ලට පත්වීම, කිසි විටෙකත් අපගේ මේ ජීවිතය තුළ අප අපේක්ෂා නොකළ සිදුවීමක්.

එහෙත් ඔබතුමන්ලා රුපියල් ලක්ෂ දහයක (10,00,000) මුදලක් එකවර ඉල්ලා සිටින විට, ආයතනික මට්ටමෙන් අපටද ඒ පිළිබඳව නැවත සිතා බැලිය යුතුවනවා. කෙසේ වෙතත් මෙම ගැටලුව විසදාගත යුතුවන්නේ, ඔබ පාර්ශවය සහ චිත්‍රපටි නිෂපදකවරයාගේ පාර්ශවය අතර බව ඉහත සඳහන් කළ කරුණු අනුව අපගේ දැක්මයි.

කෙසේ වෙතත් ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා, රුපියල් හැටදහස (60,000) බැගින්, රුපියල් එක් ලක්ෂ විසිදහසක (1,20,000) කර්තෘභාග මුදලක් අපේ අතින් ලබාදීමට අපේක්ෂා කරන බව අප OSCA ආයතනයට ලිඛිතව දැනුම්දුන්නා. නමුත් යම් හෙයකින් ඔබ දෙපල මීට වඩා වැඩි මුදලක් අපේක්ෂා කරන්නේ නම් ඉහත කී මුදලට අමතරව, ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා තනු නිර්මාණයට සහ පද රචනයට රුපියල් ලක්ෂ දෙක (2,00,000) බැගින්, ලක්ෂ හතරක (4,00,000) මුදලක් අප ආයතනය විසින් ප්‍රදානය කිරීමටද කැමැත්ත ප්‍රකාශ කළා. ඉහත කී කරුණ අප විසින් OSCA ආයතනයට දැනුම් දුන්නේ ඔබ ගේ ලිපිය ලැබුණු ජනවාරි මාසය තුළමයි. අපට අද වනතුරු මෙයට පිළිතුරක් ලැබී නැහැ. මෙවැනි තත්වයක් තුල අප ගෙවීම් පැහැර ඇති බවට නගන චෝදනා අපගේ මවිතයට සහ කණගාටුවට කාරණයක්.

අප කවදත් නිර්මාණාත්මක අයිතීන් වලට ගරුකරන එම අයිතීන් රැකගැනීමේ කාර්යට උරදෙන දෙපලක් සහ ආයතනයක්. ඉහත කරුණු සලකා බැලු විට, ගීත ප්‍රතිනිර්මාණ කතෘභාග (Reproduction Royalties) නොගෙවන කාල වකවානුවක වුවද, අප ආයතනය එම ගෙවීම් කර ඇති බව ඔබට පැහැදිලිවනු ඇත.

අවසන් වශයෙන් මෙසේ ප්‍රකාශ කිරීමට අපි කැමතියි. ඔබ දෙදෙනා වැරදි වැටහීමක් නිසා මොන චෝදනාවක් කලත්, ඔබ දෙදෙනා මේ රටේ කලාවට සිදුකළ විශිෂ්ඨ සේවය, කරපු නිර්මාණ වලට අපේ හිතේ ඇති ආදරයට පුංචි පලුද්දක්වත් කරන්න බෑ. ඔබ දෙපල අපට කර ඇති මේ චෝදනාව පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, සිදුවුනදේ නැවත මතක් කළේ ඔබතුමන්ලා වැරදී යැයි කියලා චෝදනා කරන්න හෙම නෙවෙයි, සිදුවී ඇති දේ ගැන කරුණු කාරණා කෙලින්ම ඉදිරිපත් කරන්නයි.

ඒ මොනදේ උනත් අපි ඔබතුමන්ලාට හදවතින්ම ආදරෙයි… එකේ වෙනසක් නෑ.

භාතිය-සන්තුෂ්

***************************************

ටයර් සමාගමක නමින් හොරට කසළ තේ පටවා අහුවෙයි

(24.02.2021 – 11:55 +0530 – lankaleadnews.com)

අපනයනය සඳහා ටයර් නිෂ්පාදනය කරන සමාගමක නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ඉකුත් වසරේ (2020) මාර්තු – අප්‍රේල් සිට එම වසර අවසානය දක්වා රුපියල් කෝටි 56 ක් වටිනා කසළ තේ කන්ටේනර් 160 ක් ඩුබායි වෙත අපනයනය කර ඇතැයි රේගුව අනාවරණය කරයි.

ජාඇළ සහ ඒකල ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි මෙම ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටයර් විදේශ රටවලට අපනයනය කෙරේ.

ප්‍රධාන පෙළේ සමාගමක් බැවින් එහි නිෂ්පාදන අපනයනය සඳහා වරායට යවන අවස්ථාවේදී දැඩි පරීක්ෂාවකට ලක් නොකෙරන බව රේගුව කියයි. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන කොරෝනා සමයේදී වරින්වර මෙලෙස කසළ තේ ඩුබායි බලා අපනයනය කර ඇත.

එක් කන්ටේනරයක කසළ තේ මෙට්‍රික් ටොන් 18 ක් ගබඩා කර ඇති අතර එක් කන්ටේනරයක අසුරන ලද කසළ තේ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 35 කි.

අදාළ ටයර් සමාගමේ සහ භාණ්ඩ අපනයනය කරන බවට රේගුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකු හඳුනාගෙන ඇති අතර රේගුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය මහතා ගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ කසළ තේ තොගය විදෙස්ගත කර ඇත්තේ ආයෝජන මණ්ඩලය හරහා බවයි. මේ පිළිබඳව රේගුවෙන් සහ ආයෝජන මණ්ඩලයෙන් වෙනවෙනම විමර්ශන සිදු කරන බවද ඔහු කීවේය.

(අරුණ පුවත්)

***************************************

(24.02.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) පෙරවරුවේ 10:30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.

ජනාධිපති කාර්යාලයට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පිළිගනු ලැබුවේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින්.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා මෙහිදී පැවැත්වුණා.

මේ අතර, එසේම, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡාව අද (24) පෙරවරුවේ සිදුකෙරුණේ විදේශ අමාත්‍යාංශයේදීයි.

එසේම, කොළඹ පෞද්ගලික හෝටලයකදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළෙඳ සහ ආයෝජන සමුළුවකට ද අද (24) එක්වීමට නියමිතයි.

මීට අමතරව, පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන භෝජන සංග්‍රහයකට ද සහභාගි වනු ඇති.

නාවල, කිරිමණ්ඩල මාවතේ ඉහළම ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා මධ්‍යස්ථානයක් විවෘත කිරීම පිළිබඳව සාකච්ඡාවකට ද අද (24) දින පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහභාගි වනවා.

ඉන් අනතුරුව අද (24) පස්වරු 03:00 ට පමණ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා 2021 වසරේ දිවයිනට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා වන අතර මේ වසරේ ඔහුගේ ප්‍රථම නිල සංචාරය ද මෙයයි.

***************************************

(24.02.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදුනොවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ බත්තරමුල්ල – නෙලුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ නව වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (24) පෙරවරුවේ එක්වෙමින්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ මූලික අරමුණින් ‘සේවක පියස’ නමින් සියලු‍ පහසුකම් වලින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් මෙහි ඉදිකෙරෙනවා ෴

***************************************

(24.02.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ පාකිස්ථාන වෙළඳ අමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් අද (24) වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එහිදී දෙරට අතර අපනයන සංවර්ධන මණ්ඩල හරහා සිදුකිරීමට නියමිත වෙළඳ කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගත් බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම බාධාවකින් තොරව පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා ෴

***************************************

(24.02.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක සුළු සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

නොදන්වා ආරම්භ කෙරුණු මෙම වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන රෝහලවලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මෙසේ දුෂ්කරතාවට පත්වුණා.

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන නිලධාරින් රෝහල් වලට යොමුකළ බවට චෝදනා කරමිනුයි මෙලෙස මොවුන් වර්ජනයක් ආරම්භ කර ඇත්තේ.

මේ අතර, රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට ඇතුලත් කර නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (23) පැවති සාකච්ඡාවකදියී.

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් පිරිස් සෞඛ්‍ය සේවයට ඇතුලත් කර ගන්නා බවට පතුරවා හැර ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

***************************************

(24.02.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙළ තෙත් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරනු ලැබුවා. මෙම අභයභූමියෙහි පරිසර පද්ධතිය විවිධ පුද්ගලයින් විනාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව මෙම අධී සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා පූර්ණ අවධානය යොමුකරන ලෙසට ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

***************************************

(24.02.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

උතුරේ දූපත් තුනක දෙමුහුන් විදුලි බලාගාර ඉදිකිරීම සඳහා චීනයේ සමාගමකට ටෙන්ඩර් ලබාදී ඇතත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මෙතෙක් ලබාදී නොමැති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, එම බලාගාර සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

***************************************

(24.02.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මඩුගස්තලාව, ලොග්ගල්ලා ඔය හරහා ඇති ගල්ගේකුඹුර අත්වැල් පාලමයි.

ගල්ගේකුඹුර, ගොන්කටුව, අලවතුලොඩ, මඩවලකන්ද, කලගහගෙදර ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දෛනික කටයුතු සඳහා එගොඩ මෙගොඩ යන්නේ මෙම පාලම හරහායි.

පාලම අබලන් වීම හේතුවෙන් කෘෂිකර්මාන්තය තම ජීවනෝපාය කරගත් මේ ජනතාව වී, ගම්මිරිස්, පුවක් ඇතුළු සිය නිෂ්පාදන පස්සර නගරයට රැගෙන යන්නේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේයි.

පාලම දිරාපත් වීම හේතුවෙන් ඒ මතින් ගමන්ගන්නා පිරිස් අනතුරට ලක් වුණේ වරක් දෙවරක් නොවේ.

මෙම ස්ථානයේ නව පාලමක් ඉදිකරන බවට මැතිවරණ සමයේ දේශපාලනඥයින් ලබා දුන් පොරොන්දු දිගින් දිගටම ඉටු නොවුණු බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නගනවා.

අහිංසක ජීවිතයක් බිලිගැනීමට පෙර බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු වන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(24.02.2021 – 15:31 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ සිසුන්ට ප්‍රවේශපත්‍ර ලබාගැනීමට සහ සංශෝධනයට නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

එහිදී පහත විද්‍යුත් ලිපිනයට පිවිස නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශ පත්‍ර භාගත කිරීම සිදුකරගත හැක.

[ මාර්ගගතව ප්‍රවේශපත්‍ර භාගත කරගැනීමට මෙතැනින් පිවිසෙන්න ]

මේ අතර ප්‍රවේශපත්‍රයන්හි සංශෝධන සිදුකිරීම සඳහා පහත ලිපිනය වෙත පිවිසීමෙන් අනතුරුව ප්‍රවේශපත්‍රයේ නාම සංශෝධන, විෂය සංශෝධන සහ මාධ්‍ය සංශෝධන සිදුකිරීමේ අවස්ථාව විභාග අපේක්ෂකයන්ට ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී සැලකිය යුතු විශේෂ කරුණ වන්නේ එක් අයදුම්කරුවෙකුට මාර්ගගතව සිදුකෙරෙන මෙම සංශෝධනයන් සිදුකර හැක්කේ එක්වරක් පමණක් වීමයි.

[ මාර්ගගතව ප්‍රවේශපත්‍රයන්හි සංශෝධන සිදුකිරීමට මෙතැනින් පිවිසෙන්න ]

***************************************

(24.02.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රිය 26 වනදා රාත්‍රි 08:30 සිට 28 වනදා දක්වා කොළඹ කොටුව සිට කටුනායක ගුවන්තොටුපල දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරෙන බව පාලක මැදිරිය පවසනවා.

මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ධාවනය මෙලෙස සීමා කර තිබෙනවා.

එමෙන්ම, 28 වනදා කොළඹ කොටුවේ සිට හලාවත දක්වා රාත්‍රී 08:20 දුම්රිය පමණක් ධාවනය වන බවයි පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@

(24.02.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

බෝනොවන රෝග වලින් පෙලෙන පුද්ගලයන් කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම කිසිදු ගැටලුවක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ එහි සේවය කරන විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 3200 ක් මේ වනවිට කොරෝනා එන්නත් ලබාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, පොලිස් නිලධාරින් 15,331 දෙනෙකුට මේ වනවිට එන්නත් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, ඊයේ (23) ආසාදිතයින් හාරසිය අනූ දෙදෙනෙකු (492) මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81,009 දක්වා ඉහළ ගියා. සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 75,842 ක්. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 453 ක් ලෙසයි.

මේ අතර, රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් (25) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.කපිල පෙරේරා මහතා සඳහන් කළේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන මාර්තු 15 වනදා ආරම්භ වන බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස පළමුවනදා (01) ආරම්භ වන බැවින් මෙලෙස පළමු පාසල් වාරය අදියර දෙකක් යටතේ පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

+++++++++++++++++++++

(24.02.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4832 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හඳුනා ගත් නව ආසාදිතයින් 25 දෙනාම නේවාසික රැඳවියන්.

මේ වනවිට සුවය ලැබූ බන්ධනාගාර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4623 ක්. ඒ අනුව, තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 196 දෙනෙකු පමණයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *