හෙරොයින් කිලෝ 45 ක් සමඟ හොරණදී දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 45 ක් සමඟ හොරණදී දෙදෙනෙකු අත්අඩංගුවට

*********************************************

හෙරොයින් කිලෝ 45 ක් සමඟ හොරණදී දෙදෙනෙකු අත්අඩංගුවට

(25.02.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාශයේ නිලධාරීන් හොරණ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වෑන් රථයක තිබී හෙරොයින් කිලෝ 45 යි ග්‍රෑම් 376 ක් සොයාගෙන තිබෙනවා.

අද (25) උදෑසන සිදුකළ මෙම වැටලීමේදී යුද හමුදා සෙබලෙකු සහ යුද හමුදාවෙන් පළාගිය ලාන්ස් ක්‍රෝපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

***************************************

(25.02.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර ඵලදායිතාවය ඉහළ නැංවීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.

එහි සභාපතිවරයා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නයි.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මහබැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, එහි ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති සහ රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ඩයස් එහි සෙසු සාමාජිකයන්.

රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනාවන් සහ සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම සේවාවක් සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරෙන වගකීමයි.

ජනතාවගේ සහ වෙනත් පාර්ශවයන්ගේ අදහස් කැඳවීමට මෙන්ම, රේගු වෘත්තීය සමිතිවල යෝජනා සමාලෝචනයට ලක් කිරීමට ද ජනාධිපතිවරයා කොමිසමට නියෝග කර තිබෙනවා ෴

***************************************

(25.02.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ඊයේ (24) සංවාදයට ගැනුණා.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේයී.

අදාළ වාර්තාව මගින් මානව හිමිකම් කොමසාරිවරිය ශ්‍රී ලංකාවට චෝදනා කර තිබුණේ පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සැබෑ සත්‍ය සෙවීමේ සහ වගවීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ලක් රජය අපොහොසත් වී ඇති බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පද්ධතීන්, ව්‍යුහයන්, ප්‍රතිපත්ති සහ පුද්ගලයින්, ඉතිහාසයේ පැවති ප්‍රචණ්ඩත්වය යළි මතු කිරීමට සහාය වන බවට මානව හිමිකම් කොමසාරිස්වරිය වැඩිදුරටත් චෝදනා කළා.

පසුගියදා සම්මත කෙරුණු 20 වන සංශෝධනය විවේචනයට ලක් කළ ඇය, එමඟින් අධිකරණ, මානව හිමිකම් සහ ජාතික පොලිස් කොමිසම වැනි කොමිෂන් සභාවල ස්වාධීනත්වය අභියෝගයට ලක් කර ඇති බවයි ඇය සඳහන් කළේ.

කොවිඩ්-19 හේතුවෙන් මියයන මුස්ලිම් සහ ක්‍රිස්තියානි පුද්ගලයින්ගේ දේහයන් අනිවාර්යයෙන් ආදාහනය කිරීමට රජය කටයුතු කිරීමද සුළු ජන ප්‍රජාවන්ට වේදනාකාරී අත්දැකීමක් ලෙසයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය හැඳින්වූයේ.

විශ්වසනීයත්වයෙන් යුත් වගවීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව මගින් අනුගමනය නොකරන බව පැවසූ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගිය කොමිෂන් සභාවල නිර්දේශ යළි සලකා බැලීමෙන් අර්ථවත් ප්‍රතිඵලයක් අත්කර ගැනීම අවිනිශ්චිත බව කියා සිටියා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ඊයේ (24) පැවති අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා.

අදාළ වාර්තාව මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් සිය විෂය පථය සහ වරම පුළුල් කරමින් සිදුකළ ස්වෛරී රාජ්‍යයක පාලනය පිළිබඳ අනවශ්‍ය අත පෙවීමක් ලෙසයි අමාත්‍යවරයා හැඳින්වූයේ.

එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් ලෙසද අමාත්‍යවරයා හැඳින්වූවා.

ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් කොටස් විසින් නිර්දය ලෙස ලුහුබඳින පූර්ව නිගමනය, දේශපාලනීකරණය සහ අගතිගාමී න්‍යාය පත්‍රය පැහැදිලි බව පැවසූ විදේශ අමාත්‍යවරයා වැරදි ලෙස ගොඩනංවන ලද චෝදනා මත මෙම නිර්දේශ පදනම් වී ඇති බවයි සඳහන් කළේ.

ඒ අනුව මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ අඩංගු නිගමන හා නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලයේ මූලික කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ (24) සහය පළ කළා.

එම යෝජනාව ඇතුළු අනෙකුත් යෝජනාද මෙවර සැසිවාරයේදී සම්මත කර ගැනීම සඳහා සාමාජීය රටවල් දිරිගන්වන බව ජිනිවා නුවර පැවැත්වෙන 46 වන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිය අමතමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී ජේ. බ්ලින්කන් කියා සිටියේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව පිළිබඳ මූලික සත්කාරක කණ්ඩායම ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ 46/එල්/1 දරණ යෝජනාව ඊයේ (24) ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී සභාගත කෙරුණා.

එම යෝජනාව සැසිවාරයේ අවසන් දින දෙක (2) වන ලබන මාර්තු 22 වනදා සහ 23 වනදා සලකා බැලෙන බවද මානව හිමිකම් මණ්ඩල ප්‍රකාශකයා සඳහන් කළා.

අදාළ යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවටයි යෝජනා කර ඇත්තේ ෴

***************************************

(25.02.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ (2021) පළමු පාසල් වාරයේ පළමු අදියර අද (25) අවසන් වීමට නියමිතයි.

ඒ අනුව 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 15 වැනිදා (සඳුදා) ආරම්භ කෙරේ ෴

***************************************

(25.02.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේ (25) අද (25) සභාගත කෙරුණා.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම වාර්තාව සභාගත කරනු ලැබුවා.

මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබඳව දින 3 ක විවාදයක් ඉල්ලා සිටියා ෴

***************************************

(25.02.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනාවලින් අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළා.

වසර 04 කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.

ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළා.

පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම පසුගියදා අවසන් වීමෙන් අනතුරුව, විත්තිකාර මහින්දානන්ද අලු‍ත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහය 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම පිළිබඳව තීන්දුව ලබාදෙමින් විත්තිකාර මහින්දානන්ද අලු‍ත්ගමගේ නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

***************************************

පාස්කු කොමිසම් වාර්තාව සභාගත කෙරේ – විපක්ෂය දින 3ක විවාදයක් ඉල්ලයි

(25.02.2021 – 11:53 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ අවසන් වාර්තාව අද (25) පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා.

සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහිදී විපක්ෂය විසින් ඒ සඳහා දින 03 ක විවාදයක් ඉල්ලා සිටියා.

ආණ්ඩු පක්ෂය සඳහන් කළේ විවාදයක් ලබාදීම කිසිදු ගැටළුවක් නොවන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පිටපතක් කථානායකවරයා වෙත පෙරේදා (23) භාරදෙනු ලැබුවේ ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.

පාර්ලිමේන්තුව අද (25) පෙරවරුවේ ආරම්භවීමෙන් අනතුරුව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වාර්තාව සභාවට ඉදිරිපත් කළ අතර, එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද එම සංවාදයට මැදිහත් වුණා.

***************************************

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (26) විවෘතයි

(25.02.2021 – 12:20 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා නොගත් අපේක්ෂකයන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පමණක් හෙට (26) දිනයේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල විවෘතව තැබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වව්නියාව සහ මඩකලපුව යන ප්‍රාදේශීය කාර්යාල ද හෙට (26) පෙරවරු 08:30 සිට පස්වරු 01:00 දක්වා විවෘතව තැබෙන බවයි.

එමෙන්ම, විභාග අපේක්ෂකයින් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත් රැගෙන පැමිණිය යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා ෴

@@@@@@@@@@@@@

(25.02.2021 – 09:46 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන දීර්ඝ සති අන්තයේදීත් නිරෝධායන රීතින්ට අනුකූලව කටයුතු කරන්නැයි පොලිසිය ජනතාවට උපදෙස් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 3,233 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(25.02.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) ආසාදිතයින් 458 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81,467 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 77,363 ක්.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 4,496 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (24) දිනයේදී තවත් ආසාදිතයින් හයසිය හැත්තෑ දෙදෙනෙකු (672) සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 76,514 ක් වනවා.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 457 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ බොරලැස්ගමුව, ගල්කිස්ස, කොටුගොඩ සහ වත්තල ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ බවයි.

ඔවුන් අවුරුදු 68, 69, 55 සහ 60 යන වයස්වල පසුවනවා.

මේ අතර, ඉන්දියාවෙන් ඇණවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් (5,00,000) අද (25) දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

එසේම, කොළඹ මහ නගර සභා සීමාවේ පුද්ගලයින් 7,000 කට වැඩි පිරිසකට ඊයේ (24) කොරෝනා මර්දන එන්නත් ලබා දුන්නා ෴

ඊයේ (24) වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 458 දෙනා අතරින් වැඩිම පිරිස වන 94 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රිකක්යෙන් ආසාදිතයින් 76 දෙනෙකු සහ අනෙකුත් දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 229 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ තවදුරටත් පුද්ගලයින් 10,075 ක් නිරෝධායනය වෙමින් සිටිනවා ෴

නුවරඑළිය දිස්ත්‍රික්කයේ – බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ පී.එස්. කොටස මේ මොහොතේ සිට හුදකලා කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්ති අවදානම හේතුවෙන් මෙලෙස එම ප්‍රදේශය හුදකලා කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *