එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මුළුමණින්ම ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මුළුමණින්ම ප්‍රතික්ෂේප කරයි

*********************************************

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මුළුමණින්ම ප්‍රතික්ෂේප කරයි

(25.02.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඊයේ (24) සංවාදයට ගැනුණා.

කෙසේවෙතත්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැසිය අමතමින් අදාළ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළේ මහකොමසාරිස්වරිය තමන්ගේ විෂය පථය සහ වරම පුළුල් කර ගැනීම සඳහා ස්වෛරී රාජ්‍යයන්ගේ පාලනයට අත පොවන බවට ද සඳහන් කරමින්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන කරුණු මුල්කර ගනිමින්.

අදාළ යෝජනාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට දැඩිව චෝදනා කර තිබුණේ මෙරට සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සැබෑ සත්‍ය අනාවරණ කිරීම සහ වගවීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති බවටයි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක ක්‍රමවේද ව්‍යුවහයන්, ප්‍රතිපත්ති සහ පුද්ගලයින් ඉතිහාසයේ පැවති ප්‍රචණ්ඩත්වය යළි මතු කිරීමට සහය වන බව ද මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ යෝජනාවේ සඳහන්.

පසුගියදා සම්මත කෙරුණු 20 වන ව්‍යවස්ථා සංශෝධනය විවේචනයට ලක් කළ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ එමඟින් අධිකරණ මානව හිමිකම් සහ පොලිස් වැනි කොමිෂන් සභාවල ස්වාධීනත්වය මතු කෙරෙන බලපෑමද අභියෝගයට ලක් කළා.

කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ දේහ අනිවාර්යෙන් ආදාහනය කළ යුතු බවටලක්රජය ගත් තීරණය ද විවේචනය කළ ඇය සඳහන් කළේ, එමඟින් මෙරට සුළුතර ජාතිකයන් වන මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජන කොට්ඨාශවලට වේදනාකාරී අත්දැකීම් ගෙන දී ඇති බවයි.

විශ්වසනීයත්වයෙන් යුත් වගවීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව අනුගමනය නොකරන බව ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සඳහන් කළා.

එම නිසා පසුගිය කොමිෂන් සභාවල නිර්දේශ යළි සලකා බැලීමෙන් අර්ථවත් ප්‍රතිඵලයක් අත්කර ගැනීම අවිනිශ්චිත බව ද ඇය අවධාරණය කළා.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ ඊයේ (24) පැවැති අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව මුළුමණින්ම ප්‍රතික්ෂේප කළා.

***************************************

(25.02.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා යොදා ගන්නා ඝණකම් කඩදාසි ලබාදෙන නෙදර්ලන්ත සමාගම එම කඩදාසි සැපයීම අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකාව පමණක් එම කඩදාසි ඇණවුම් කිරීම නිසා නිෂ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් එලෙස කඩදාසි ලබාදීම අදාල සමාගම විසින් ප්‍රතික්ෂේප කළ බවයි දුම්රිය සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

මෙම තත්ත්වය මත දුම්රිය දෙපාර්තමේන්තුව ජපානයේ කඩදාසි මුද්‍රණය කරන සමාගමක් හරහා දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා යොදා ගන්නා එම ගණකම් කඩදාසි මිලියන 30 ක් ගෙන්වීමට කටයුතු කර තිබෙනවා.

වසරකට දුම්රිය ප්‍රවේශපත්‍ර මිලියන 60 ක් මුද්‍රණය කෙරෙන බැවින් මාස 6 ක කාලයක් සඳහායි ජපානයෙන් මෙම කඩදාසි ඇණවුම් කර ඇත්තේ.

දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා යොදා ගන්නා ගණකම් කඩදාසිය මෙරට නිෂ්පාදනය කිරීම පිලිබඳ සොයා බැලීමට වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාව වෙත සාම්පල් ද ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සඳහා ඔවුන් මාස 6 ක කාලයක් ඉල්ලා ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය ප්‍රවේශපත්‍රයක් සඳහා රුපියල් 2 යි ශත 50 ක මුදලක් වැය වන අතර, ඉදිරියේදී ඉලෙට්‍රොනික ප්‍රවේශපත්‍ර හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරනවා.

ඒ සඳහා වන කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිවී ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත්, ඉදිරි මාස 6 ඇතුළත මුදල් අමාත්‍යාංශය මගින් ඊට අදාළ ඉදිරි පියවර නොගතහොත් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවක් මතුවන බවද සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(25.02.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ අද (25) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

***************************************

(25.02.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන නිලධාරින් රෝහල් සේවයට යොමු කිරීමේ ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය සුළු සේවකයින් ඊයේ (24) ආරම්භ කළ වර්ජනය දිවයිනේ රෝහල් කිහිපයක තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ (24) දිනයේදී කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරුණා.

ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශ බළධාරින් සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවේදී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ බහුකාර්ය සංවර්ධන නිලධාරින්ට නිසි පුහුණුවක් ලබාදී රෝහල් සේවයට අනුයුක්ත කරනතුරු ඔවුන් රෝහල් වලින් ඉවත් කරන බවටයි.

එහෙත්, සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා ප්‍රකාශ කළේ අදත් (25) දිවයින පුරා රෝහල් කිහිපයක බහුකාර්ය සංවර්ධන නිලධාරින් සේවයට වාර්තා කර ඇති නිසා අදාළ රෝහල්වල සුළු සේවකයන් රාජකාරිවලින් ඉවත්ව සිටින බවයි.

කෙසේ වෙතත්, විසඳුමක් ලැබුණු නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බව ඊයේ (24) ඊට සහය දුන් ප්‍රගතිශීලි සෞඛ්‍ය සේවක සංගමය ප්‍රකාශ කළා.

***************************************

(25.02.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

තම දෛනික ජීවිතයේ කටයුතු කාලගුණයට තීරණ කිරිමට ඉඩ හැර බලා සිටීමට සිදුව ඇති ගම්වැසියන් පිරිසක් කලවා වැද්දාගල උතුර ප්‍රදේශයේ ජිවත් වනවා.

ඊට හේතුව වැසි සමයේදී කලවාන වැද්දාගල ගඟ තරණය කිරීමට ඔවුනට කිසිඳු ක්‍රමයක් නොමැතිවීමයි.

කලවාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැද්දාගල නැගෙනහිර සහ වැද්දාගල බටහිර වෙන්කරෙන සිංහරාජ පාමුලින් ගලා බසින වැද්දාගල ගංගාව තරණය කිරීමට පාලමක් නොමැතිවීම හේතුවෙන් උණබට යොදාගෙන සාදාගත් අනාරක්ෂිත පවුරකින් ඵගොඩ මෙගොඩ වීමට මෙම ගම්වැසියන්ට සිදුව තිබෙනවා.

ප්‍රදේශවාසින් පවසන්නේ මීට වසර දහයකට (10) පෙර රජය මගින් පාලමක් ඉදිකිරිමේ කටයුතු ආරම්භ කළ ද මෙතෙක් එහි කටයුතු නිමකර නොමැති බවයි.

සිංහරාජ වැසි වනාන්තරයෙන් ආරම්භ වන වැද්දාගල ගඟ නිරන්නරයෙන් ජල ගැලීමට ලක්වනවා.

එබැවින් මෙහි ජනතාවගේ දෛනික ජීවිතය තීරණය කරනු ලබන්නේ කාලගුණය විසින්.

ගංගාවේ ජල මට්ටම ඉහළ යන කාලවලදී නිරතුරුවම පවුර කැඩි යන බැවින් නැවත පවුර සාදා පිළිසකර කිරීමට විශාල මුදලක් වැය කිරීමට ද සිදුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

රටේ සංවර්ධනය දසත විසිර යන යුගයක වැද්දාගල ජනතාවට මෙම පාලම ඉදිකරදීම ප්‍රමාද වන්නේ ඇයි?

***************************************

(25.02.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

හිටපු කථානායකවරයෙකු වූ අභාවප්‍රාප්ත වි.ජ.මූ. ලොකුබණ්ඩාර මහතා සම්බන්ධයෙන් වන ශෝක යෝජනාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලොකුබණ්ඩාර මහතා පසුගියදා අභාවප්‍රාප්ත වුණේ කොවිඩ් වෛරසය ආසාදනයෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන්.

මේ අතර, උතුරේ දූපත් 3 ක ඉදිකිරීමට යෝජිත විදුලි බලාගාර සම්බන්ධයෙන් සහ වාචික පිළිතුරු අපේක්ෂා කරමින් අසන ප්‍රශ්න සම්බන්ධයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

***************************************

(25.02.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ විහාර සහ දේවාලගම් පනත අහෝසි කිරීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (25) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

@@@@@@@@@@@@@@

(25.02.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් ලබාදිය යුතු සියලුම දෙනාට එන්නත් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කොළඹ මහ නගර සීමාවේ පුද්ගලයින් සඳහා දියත්කෙරෙන එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අදත් (25) මධ්‍යස්ථාන කිහිපයකදී සිදුවනවා.

මෙහිදී මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් සහ ස්ටේස්පුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 1500 දෙනෙකු සඳහා එන්නත ලබාදීම සිදු වනවා.

කෙසේ වෙතත්, අනවශ්‍ය තදබදයකට මැදි නොවී එන්නත් ලබාගන්නා ලෙසයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, කොරෝනා ආසාදිතයින් 458 දෙනෙකු ඊයේ (24) දිනයේ හඳුනාගත් අතර ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,467 ක් දක්වා ඉහළ ගියා.

වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 94 ක්.

කොළඹ මහ නගර සභා සීමාවෙන් ආසාදිතයින් 13 දෙනෙක් පමණක් වාර්තා වීම විශේෂත්වයක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 76 දෙනෙකු වාර්තා වුණා.

ගතවූ දිනයේ දිස්ත්‍රික්ක 24 කින් ආසාදිතයින් හඳුනාගත් අතර ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් 59 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 38 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 28 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25 ක් සහ මාතලේ හා කළුතර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 22 බැගින් වාර්තා වී තිබෙනවා.

එසේම, කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු අද (25) පෙරවරුවේ වාර්තා වුණා.

ඒ අතර කොටගල ප්‍රදේශයේ පාසල් තුනක (3) අධ්‍යාපනය ලබන පාසල් සිසුන් 05 දෙනෙක්ද වනවා.

මේ අතර, බගවන්තලාව චැපල්ටන් වත්තේ – පී.එස්. කොටස අද (25) පෙරවරුවේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

එම වතුයායේ පාසල් ළමයින් දෙදෙනෙකු (2) ඇතුළු එකලොස් දෙදෙනෙකුට (11) කොරෝනා ආසාදිත බව මීට පෙර හඳුනා ගෙන තිබුණා.

++++++++++++++++++++++

(25.02.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

තවත් ‘ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා.

ඉන්දියාවේ චෙන්නායි සිට ඒ-අයි 273 ඉන්දීය ගුවන් සේවයේ යානයකින් අද (25) පස්වරු 01:30 ට කටුනායක ගුවන්තොටුපල වෙත එම එන්නත් තොගය රැගෙන ආ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම ගුවන් යානය තුළ ගුවන් මගීන් 14 දෙනෙකු ද සිටි බව සඳහන්.

එන්නත් තොගය ශීතකළ පහසුකම් යටතේ ගබඩා කර මෙරටට රැගෙන ආ අතර, එම එන්නත් තොගය ආනයන ගුවන් භාණ්ඩ සංකීර්ණයේ ශීතකරණ තුල තැන්පත් කෙරෙනවා.

ඉන් පසු ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එම එන්නත් තොගය මධ්‍යම ඖෂධ ගබඩාව වෙත රැගෙන යාමට නියමිතයි.

ඉන්දියාවේ සීරම් ආයතනය මඟින් නිෂ්පාදනය කළ මෙම ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ එන්නත් වල වටිනාකම ඇමරිකානු ඩොලර් 26 ලක්ෂයකට (26,00,000) අධිකයි.

ගුවන්තොටුපොළට රැගෙන ආ එන්නත් තොගය ගුවන්තොටුපොළ බලධාරීන් විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදීමට කටයුතු කළා.

මේ අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වි‍ශේෂඥයින් කණ්ඩායමක් විසින් නිපදවූ 99% වෛරස විනාශ වන නව මුහුණු අවරණයක් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්නුවා ෴

++++++++++++++++++++

(25.02.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4807 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හඳුනා ගත් නව ආසාදිතයින් 32 දෙනාම නේවාසික රැඳවියන්.

මේ වනවිට සුවය ලැබූ බන්ධනාගාර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4613 ක්.

ඒ අනුව, තවදුරටත් ප්‍රතිකාර ලබන රැඳවියන් සිටින්නේ 181 දෙනෙකු පමණයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *