පාස්කු කොමිසමේ වාර්තාව නීතිපතිට – සාක්ෂි සටහන් සහ අනෙකුත් ලේඛනත් ලබාදෙන ලෙස ඉල්ලීමක්

පාස්කු කොමිසමේ වාර්තාව නීතිපතිට – සාක්ෂි සටහන් සහ අනෙකුත් ලේඛනත් ලබාදෙන ලෙස ඉල්ලීමක්

*********************************************

පාස්කු කොමිසමේ වාර්තාව නීතිපතිට – සාක්ෂි සටහන් සහ අනෙකුත් ලේඛනත් ලබාදෙන ලෙස ඉල්ලීමක්

(25.02.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

සහරාන් ඇතුළු‍ කණ්ඩායමේ මුල් සැලැස්ම වී ඇත්තේ මහනුවර දළදා පෙරහරට පහරදීම බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හෙළිකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ සහරාන් සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානය 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට සහය දක්වා ඇති බවයි.

මේ අතර, පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද (25) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව අද (25) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු බව දැනුම් දුන්නේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් නීතිපතිවරයාට අද (25) දිනයේදී ලැබුණු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළා.

කෙසේ වෙතත්, පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට එය මෙතෙක් ලැබී නැහැ.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දිය රූපවාහිණී නාලිකාවක් සමඟ සිදුකළ සාකච්ජාවකදී පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිගමන සහ නිර්දේශ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ අපි පසුගිය දින කිහිපයෙදිම ප්‍රබල අනාවරණ රැසක් සිදු කළා.

***************************************

(25.02.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ මෙරට දෙදින නිල සංචාරයකට එක් වූ දූත පිරිස අද (25) සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා.

හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.185 දරණ ගුවන් යානයෙන් ඔවුන් අද (25) උදෑසන ලාහෝර් නුවර බලා පිටත්ව ගිය බවයි.

දෙදින නිල සංචාරයට පැමිණි පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා සිය රට බලා පිටත්ව ගියේ ඊයේ (24) පස්වරුවේයි ෴

***************************************

ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සා.පෙළ විභාගය පැවැත්වීමට සූදානම් – අධ්‍යාපන ඇමති ජී .එල්. පීරිස්

(25.02.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

මාර්තු මස පළමුවනදා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයන් 622,000 ක් පෙනී සිටීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසනවා.

මෙවර දින 9 ක් විභාගය පැවැත්වෙන බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ.

කොවිඩ් වසංගත තත්වය තුළ විභාගය පැවැත්වීම සිදු කරන ආකාරය සම්බන්ධව සියලු විධිවිධාන මේ වන විටත් යොදා ඇති අතර, විභාගයට පෙනී සිටින කිසියම් සිසුවකු ආසාදිත වුවහොත් ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන දෙකක් (2) පිළියෙල කර තැබීමටද කටයුතු යොදා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

දීප ව්‍යාප්ත මධ්‍යස්ථාන 4,513 ක මෙවර විභාගය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

අතිරේක විශේෂ විභාග මධ්‍යස්ථාන සූදානම් කර තැබීම වෙනුවෙන් පළාත් මට්ටමින් රුපියල් ලක්ෂ පන්සියයකට (500,00,000) අධික මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කියසිටියා.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සිසුන්ගේ පුර්ණ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

විභාග කාල සීමාව තුළ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග සාකච්ඡා කළ අතර, ඒ අනුව ඔවුන් විසින් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බව ද අමාත්‍ය ජී .එල්. පීරිස් මහතා පෙන්වා දුන්නා.

කිසියම් ප්‍රදේශයක අයහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවුවහොත් එය විභාග පැවැත්වීමට හෝ විභාග ශාලා වෙත සිසුන්ගේ පැමිණීමට බාධාවක් නොවන අයුරින් විසදීම සඳහා නාවික හමුදා සහ ආරක්ෂක අංශ සෘජුව සම්බන්ධව සිටින අතර, විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් රජය මඟින් යොදා ඇති මෙම වැඩපිළිවෙළ පිළිබඳ දෙමව්පියන්ට නිසැකවම සෑහීමකට පත් විය හැකි බවද ඔහු සඳහන් කළා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රමාදවී මුහුණදීමට සිදු වුව ද එළඹෙන ජුනි මාසයේ දී ම එම විභාගයේ ප්‍රතිඵල ලබා දී, ජූලි මාසයේ දී ඔවුන් උසස් පෙළ පන්ති සඳහා ඇතුලත් කරගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ෴

***************************************

(25.02.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට අනුකූළව සංවර්ධනය කිරීම සඳහා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව එම මධ්‍යස්ථානය පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදී මේ වනවිට ස්ථාපිත කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ෴

***************************************

(25.02.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට යළිත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කර තිබෙනවා.

එමෙන්ම, නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස යළිත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පත් කිරීමටයි කොළඹදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇත්තේ.

***************************************

(25.02.2021 – 18:27 +0530 – hirunews.lk/sinhala)

වත්තල නගරයේදී මෝටර් රථයකින් පලාගිය ‘නේවි රුවන්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පසුව ඔහුගේ මෝටර් රථය පෑලියගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත්තා.

ඔහුගේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම කාන්තාව හමුවීමටයි ‘නේවි රුවන්’ තවත් සමීපතමයෙකු සමඟ වත්තල ප්‍රදේශයට පැමිණ තිබුණේ.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළා.

කෙසේවෙතත්, සැකකරුවන් පලාගොස් තිබූ අතර, වෙඩි තැබීමක් ද සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාශයේ නිලධාරීන් හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හොරොයින් තොගය සම්බන්ධයෙන් විදේශ ගතව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙලෙස 31 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි ‘රුවන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ සහ 24 හැවිරිදි තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙලෙස හඳුනා ගත් බවයි.

‘රුවන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ මියගිය පාතාල කල්ලි නායකයෙකු වන ‘අංගොඩ ලොක්කා’ගේ ප්‍රධාන පෙලේ ගෝලයෙක්. ඔහු මේ වනවිට විදේශ ගතව සිටිනවා.

අද (25) උදෑසන හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් වෑන් රථය ඉමදූව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ගැලනිගම පිටවුමෙන් හොරණට පැමිණ තිබුණා.

එහි තිබී හෙරොයින් කිලෝ 45 යි ග්‍රෑම් 376 ක් සොයා ගත් අතර, සිද්ධියට අදාළ වෑන් රථය යුද හමුදාව කුලී පදනම ලබා ගත් වෑන් රථයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දඹුල්ල යුද හමුදා කඳවුරට අනුයුක්තව තාවකාලිකව හොරණ ප්‍රදේශයේ කඳවුරක රාජකාරි සිදුකළ යුද හමුදා සෙබලෙකු සහ යුද හමුදාවෙන් පළාගිය ලාන්ස් ක්‍රෝපල්වරයෙකු දින 7 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාදී තිබෙනවා.

+++++++++++

(25.02.2021 – 15:31 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 45 ක වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අද (25) සිය භාරයට ගනු ලැබීය.

ඒ යුද හමුදා සෙබළෙකු ඇතුව දෙදෙනෙකු (2) විසින් එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහණය කරමින් සිටියදියි.

ඇසුරුම් 42 බහා තිබු මෙම හොරෙයින් කිලෝ 45 යි ග්‍රෑම් 376 ක ප්‍රමාණය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී හොරණ දික්හේනපුර ඉන්ද්‍රමතී ක්‍රීඩාංගණය අසලදී වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සිය භාරයට ගනු ලැබීය.

එම අවස්ථාවේදී අදාළ වෑන් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු (2) සිටි අතර ඔවුන්ගෙන් එක් අයෙක් යුද හමුදා සෙබළෙකි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරු යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිට තිබුණි.

ඔහු අත්තිඩිය කඳවුරට අයත් පොළාන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

රථයේ සිටි අනෙක් සැකකරු සිවිල් ඇඳුමින් සැරසුනු හමුදාවේ සේවයේ නියුතුව සිට, මීට මසක පමණ කාලයක් තිස්සේ සේවයට වාර්තා නොකළ මාතර මිදිගම පදිංචි අයෙකි.

යුද හමුදාවට අයත් බවට හැඟවෙන අංක තහඩු සහිත සුඛෝපභෝගී වෑන් රථයකින් එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබුණි.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඉතාලියේ වෙසෙන බවට පැවසෙන ‘මිදිගම චින්තක’ නොහොත් ‘හරක්කටා’ නැමැත්තාගේ, මත්ද්‍රව්‍ය ජාලයට අයත් ‘අරුක්ගොඩ සලිඳු’ නැමැත්තාට ලබාදීමට රැගෙන එන්නට ඇති බවට සැක කරයි.

අදාළ වෑන් රථය දඹුල්ල හමුදා කඳවුරේ බ්‍රිග්‍රේඩියර්වරයෙකුට අයත් එකක් බවද වාර්තා වී ඇත.

වෑන් රථය පදවන ලද සෙබළාට මෙම ප්‍රවාහන කටයුත්ත භාරකල බවට පැවසෙන සෙබළෙකු පිළිබඳව ද මේ වනවිට අනාවරණය වී තිබේ ෴

***************************************

පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට නිදහස් පක්ෂ විධායක සභාව තීරණය කරයි

(25.02.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ෴

***************************************

(25.02.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන ආනයනය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වසර අවසානයේදී පසු විපරමක් සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ අද (25) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ද අදහස් දැක්වුවා.

***************************************

(25.02.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම වැනි අභිලාෂයන් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් අද (25) ඉල්ලීමක් කළා.

ඒ ජගත් මානව හිමිකම් සමුළුවේදී අදහස් පළ කරමින්.

ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම වැනි අභිලාෂයන් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මානිපාණ්ඩේ අද ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී යෝජනාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සමුළුවේදී අදහස් පළ කරමින්.

ශ්‍රී ලංකාව පිළිබඳ, මහ කොමසාරිස්වරියගේ වාර්තාව සහ වාචික ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් අවධානය යොමුකළ බවත්, දශක 3 ක යුද්ධය අවසන් වීමෙන් පසු ඉන්දියාව මේ සම්බන්ධ යෝජනා සාකච්ඡාවට ක්‍රියාකාරි දායකත්වයක් ලබා දුන් බවත්, මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, ඉන්දියාවේ සමීපතම මිතුරා සහ ආසන්නතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව සමඟ අඛන්ඩව කටයුතු කළ බවයි ඔහු පෙන්වා දුන්නේ.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම, ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛන්ඩතාවයට ඍජවුම දායක වේයැයි තමන් විශ්වාස කරන බවයි එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජත ඉන්ද්‍රා මාණිපාණ්ඩේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, වෙනිසියුලාව සහ එරිත්‍රියාව යන රටවල නියෝජිතයින් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර සිටියා.

කෙසේ වෙතත්, ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැෂලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සහ නිර්දේශ මෙන්ම පෙර යෝජනාවල අන්තර්ගතයන් පිළිගෙන එය ක්‍රියාත්මක කරන ලෙසටයි.

@@@@@@@@@@@@@@

(25.02.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 447 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 76,961 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

තවදුරටත් ආසාදිතයින් 4049 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++++++++++

(25.02.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 240 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81,707 ක්.

මේ අතර ශ්‍රී ලංකාව මිලදී ගත් මාත්‍රා ලක්ෂ 5 ක් වූ පළමු කොවිෂීල්ඩ් එන්නත් තොගය ඉන්දියානු ගුවන් යානයකින් අද (25) දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඉන්දියාවේ සීරම් ආයතනය මඟින් නිෂ්පාදනය කළ මෙම ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ එන්නත් වල වටිනාකම ඇමරිකානු ඩොලර් 26 ලක්ෂයකට අධිකයි.

ගුවන්තොටුපොළට රැගෙන ආ එන්නත් තොගය ගුවන්තොටුපොළ බලධාරීන් විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදීමට කටයුතු කළා.

අදාළ එන්නත් තොගය අද (25) පස්වරු 03:00 ට පමණ කොළඹ පිහිටි ජාතික එන්නත් ගබඩාව වෙත රැගෙන ආ අතර, එහිදි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අදාළ එන්නත් තොගය භාර ගැනීමෙන් පසු වසංගත රෝග විද්‍යා අංශය වෙත ඒවා භාරදෙනු ලැබුවා.

මේ අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වි‍ශේෂඥයින් කණ්ඩායමක් විසින් නිපදවූ 99% වෛරස විනාශ වන නව මුහුණු අවරණයක් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්නුවා.

නව කොරෝනා ආසාදිතයින් 240 දෙනෙකු අද (25) හඳුනා ගැණුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,707 ක් දක්වා ඉහළ ගියා.

පුද්ගලයින් 447 දෙනෙකු අද (25) සුවය ලැබූ අතර, සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 76,961 ක් ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *