කොරෝනා මෘත දේහ ආදාහනය ගැන තාක්ෂණික කමිටුවේ අවසරය, සෞඛ්‍ය ඇමතිනිය ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට දැනුම් දෙයි

කොරෝනා මෘත දේහ ආදාහනය ගැන තාක්ෂණික කමිටුවේ අවසරය, සෞඛ්‍ය ඇමතිනිය ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට දැනුම් දෙයි

*********************************************

කොරෝනා මෘත දේහ ආදාහනය ගැන තාක්ෂණික කමිටුවේ අවසරය, සෞඛ්‍ය ඇමතිනිය ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට දැනුම් දෙයි

(25.02.2021 – 21:19 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට ලක්වූ කොවිඩ් ආසාදනය වීමෙන් සිදුවූ මරණ භූමදානයට අවසර ලබාදෙන ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා අවසර ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දැනුම් දුන් බව එම සාකච්ඡාවට එක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා අතර අදාළ සාකච්ඡාව අද (25) පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වී තිබෙනවා.

සාකච්ඡාවට සහභාගි වූ මැති ඇමැතිවරුන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කළා.

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

++++++++++++

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස්වෙයි

(25.02.2021 – colombotoday.com)

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජල භූ විද්‍යාඥවරියක් වන මහාචාර්ය මෙත්තිකා විතානගේ කොරෝනා මරණ භූමිදානය කිරීම හේතුවෙන් භූගත ජලයට වෛරසය එකතුවීමේ අවධානමක් පවතින බවට සිය මතයක ප්‍රකාශ කරන ලදි ෴

++++++++++++++

(26.02.2021 – colombotoday.com)

Colombo Today ඊයේ (25) දහවල් හෙලිකල පරිදි කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර ලබා දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (25) රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවේ රැස්වීමක් ඊයේ (25) දහවල් කැඳවා තිබුණු අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජල භූ විද්‍යා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මෙම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත. විද්‍යාත්මක කරුණු මත තමන් ඉදිරිපත් කල මතය දේශපාලනික හේතුන් මත වෙනස් කිරීමට නොහැකි බව ඇය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා යවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙයි ෴

+++++++++++++++++++++++

(25.02.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් (2) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 459 ක්.

මියගොස් ඇත්තෙ කඩවත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 224 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81,931 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ ෴

@@@@@@@@@@@@@@@@@@

(25.02.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ගෝලීය ආර්ථිකය තුල ශ්‍රී ලංකාවේ දායකත්වය වැඩි කර ගැනීමට හැකිවන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීමට රජය කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ විද්‍යාව හා තාක්ෂණය සඳහා වන නොබැඳි ජාතීන්ගේ සහ සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල 15 වන පාලක සභා රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. ශ්‍රී ලංකාව මෙවර එහි සභාපතිත්වය සහ සත්කාරකත්වය දරනවා ෴

***************************************

(25.02.2021 – 20:51 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුවේ නියමුවා තවමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

උන් වහන්සේ මේ අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ අද (25) පැවති උත්සවයක් අමතමින්.

ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත ග්‍රන්ථ දෙකක් එළිදැක්වීමේ උත්සවය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

++++++++++++++

***************************************

හිටපු ජනාධිපතිට නඩු පැවරිය හැකිද ? නීති විශාරදයින්ගේ මතය

(25.02.2021 – 21:54 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපතිවරයාට පාස්කු කොමිසම නිර්දේශ කර ඇති පරිදි නඩු පැවරීමට නම් චෝදනාවට අදාළව පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු අගවිනිසුරුවරයකු වන සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.

“දැන් මෙතන නීතිපතිට හැකියාවක් නෑ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි සොයලා බලලා ඒ මත චෝදනා නගන්න. නීතිපතිට බලය තියෙන්නේ පොලිස් විමර්ශනයකින් හෙළිදරව්වන සාක්ෂි අනුව චෝදනා ගෙනඒමට,” යනුවෙන් සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ඔහුට හිමි මුක්තිය අනුව ගත් කළ කොමිසමෙන් නිර්දේශ කරඇති පරිදි එවන් අපරාධ නඩු පැවරීමක් සිදුකළ හැකිද?

ඊට පිළිතුරු දුන් අධිකරණ අමාත්‍යංශ උපදේශක, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කළේ, “ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවෙදි තමයි ඔහුට ඒ මුක්තිය තියෙන්නේ. එතුමාගේ ‘ඒ කාලසීමාවෙදි වුණු අපරාධ වගකීමකට පසුව නඩු පවරන්න බෑ’ කියන එක නෙමෙයි එතන කියන්නේ,” යනුවෙනි.

***************************************

සහරාන් ඇතුළු ත්‍රස්තයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට අනගිතම අවස්ථාව උදා කරදුන් අයුරු පාස්කු වාර්තාවේ සඳහන් වෙයි

(25.02.2021 – 19:36 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය වගකිව යුතු බව ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය වාර්තාව අවසානයේ විධායක සාරාංශයේ දක්වා තිබේ.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2015 – 2019 කාලවකවානුව තුළ මෙරට තුළ පැවති අකර්මන්‍ය වු රජය සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායාමට ප්‍රහාරයක් එල්ල කිරීමට අනගිතම අවස්ථාවක් උදාකර ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ 24 වන පරිච්ඡේදය වෙන්ව ඇත්තේ අකර්මන්‍ය වු රාජ්‍ය නැමැති ශිර්ෂය ඔස්සේ කරුණු සාකච්ඡා කිරීමටය.

එහි දැක්වෙන්නේ ඕනෑම රජයක් සෑමවිටම ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයෙහිලා සැලකිය යුතු වුවද, 2015 – 2019 කාලවකවානුව තුළ එවැනි තත්ත්වයක් රට තුළ නොපැවති බව කණගාටුවෙන් වුවද පැවසිය යුතු බවය.

මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් මෙම රජය පිහිටුවීමේදී හා පවත්වාගෙන යෑමේදි නිරූපනය කළ වැදගත් භූමිකාව හේතුවෙන් ඉස්ලාම් අන්තවාදී තර්ජනය කෙරෙහි රජයේ ප්‍රතිචාරය අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව තිබු බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් ය.

හිටපු හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ලබාදුන් සාක්ෂියක් දක්වමින් ජනාධිපති කොමිසම පෙන්වා දෙන්නේ, නැගෙනහිර පළාතේ හිස ඔසවමින් පැවති ඉස්ලාම් අන්තවාදය පිළිබඳ බුද්ධි අංශ ජාතික ආරක්ෂක කවුන්සිලයේ කරුණු දැක්වු අවස්ථාවක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘නෑ නෑ එහෙම වෙන්න බැහැ’ යනුවෙන් පවසමින් රටතුළ අන්තවාදය වර්ධනය වෙමින් පැවති බව ප්‍රතික්ෂේප කර ඇති බවය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජනාධිපති කොමිසම වෙත ලබාදුන් සාක්ෂියක් උපුටා දක්වමින් ජනාධිපති කොමිසම පෙන්වා දී ඇත්තේ වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමෙන් පසු 2019 මාර්තු මස දිනක එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂකව සිටි ශානි අබේසේකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට දැනුම් දී තිබුණ ද, එහිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු විශේෂිත මාර්ගෝපදේශයක් ලබාදී නොමැති බවය.

2018 ඔක්තෝම්බර් මස සිදුවු සිද්ධීන් හේතුවෙන් ජාතික ආරක්ෂාවට සිදුවු බලපෑම ඉතා බරපතළ බව සිය වාර්තාව තුළ පෙන්වාදෙන ජනාධිපති කොමිසම, එය කොතරම් බරපතළ වී ද යත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්ෂක කවුන්සිලයක් කැඳවීමට අවශ්‍ය වු නමුත් එම රැස්වීමටද සහභාගී නොවන ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබු බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වේ.

එසේම ඉස්ලාම් අන්තවාදී තර්ජනය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් එකාබද්ධ ප්‍රවේශයක් නොමැතිවීම බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල කරතිබු අතර ඒ තුළ බුද්ධි අංශ අතර තරගයක් නිර්මාණයවීම හා ජාතික ආරක්ෂාව කෙරෙහි ද බරපතළ අහිතකර තත්ත්වයක් උද්ගත කරඇති බව ජනාධිපති කොමිසම පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අපරීක්ෂාකාරිව, අනතුරක් වළක්වා ගැනීම පිළිබඳ උනන්දුවකින් කටයුතු නොකිරීම මත මෙකි ඛේදනීය ප්‍රහාරය වළක්වා ගැනීමට තිබු අවස්ථා 08 ක් බලධාරින්, නීතිය ක්‍රියාත්මක කරන අංශ සහ සිවිල් වැසියන් දෙදෙනෙකුගෙන් ගිලිහිගොස් ඇති බවය.

එබැවින් මෙම කරුණු සලකාබැලීමේ දී අකර්මන්‍ය වු රජය, සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්තයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ලද අනගිතම අවස්ථාවක් බව ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිගමනය කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය සෘජුවම වගකිව යුතු බව ජනාධිපති කොමිසමේ විධායක සාරාංශයේ සඳහන් ය.

එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට රජය සහ එහි නිලධාරින් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතනයන් විසින් මෙතෙක් වාර්තාකරන ලද විශාලතම අත්වැරදීම බව ජනාධිපති කොමිසමේ නිගමනය වේ.

ඒ අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රතිපත්තියක් කෙටුම්පත්කර සම්මත කරගැනීමට යෝජනා කරඇති ජනාධිපති කොමිසම එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති සැකසීමට ද යෝජනාකර තිබේ.

***************************************

පුපුරන ද්‍රව්‍ය සමග ආයුර්වේද වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

(25.02.2021 – 12:30 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය සමග ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එහිදී ඩයිනමයිට් සහ සේව නූල් සැකකරුවන් සතුව තිබී සොයාගත් බවය.

වයස අවුරුදු 44 ක් වන ආයුර්වේද වෛද්‍යවරයෙකු සහ 41 හැවිරිදි ධීරයෙකු එලෙස ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

ඩයිනමයිට් කරල් 37 ක් සහ සේව නූල් අඩි 372 ක් ඔවුන් සතුව තිබී ඇත.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව පොලීසිය විසින් එම වැටලීම සිදුකර තිබේ.

***************************************

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට බීමතින් සිටි පෑලියගොඩ පොලිස් ලොක්කන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්

(26.02.2021 – colombotoday.com)

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයෙක් වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට බීමතින් සිටි පෑලියගොඩ පොලීසියෙ නිලධාරීන් 10 කට අධික පිරිසක් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට කෑම පාර්සලයක් ලබාදීම සඳහා මිගාර ගුණරත්න මහතා ඊයේ (25) රාත්‍රියේ පෑලියගොඩ පොලිසියට ගොස් ඇති අතර එහිදී මුව ආවරණය නොමැතිව ඔහු සමග සංවාදයට පැමිණි පොලිස් ප්‍රධානියෙකුට මුව ආවරණය පැළඳගන්නා ලෙස ඉල්ලා සිට ඇති අතර එම ඉල්ලීමට උරණ වී මෙම පහරදීම සිදුකර ඇත.

පහර දෙන අවස්ථාවේ දී මිගාර මහතා බිම ඇද වැටී ඇති අතර දැඩි ලෙස පා පහරවල් එල්ල වීම හේතුවෙන් ඔහු සිහිසුන් වී ඇත. පසුව පොලිසිය විසින් රාජකාරියට බාදා කිරීමේ චෝදනා ගොනුකර රාගම රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි ෴

***************************************

දේශපාලන හිතවත් කමට ඇතැම් අය බේරා ගන්න එපා.. ප්‍රහාරයේ මහ මොල කරුවන් හෙළි වෙනවට තමයි බය වෙලා තියෙන්නෙ

(25.02.2021 – colombotoday.com)

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් දේශපාලනය නොකර වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමට වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කොළඹදී පැවසීය. තම දේශපාලන හිතවතුන් ආරක්ෂා කිරීම වැඩපිළිවෙළින් බැහැරව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩා විඳි ජනතාවට සාධාරණය ඉෂ්ට කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ අද (25) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මෙසේ ද කීය :

“පාස්කු ප්‍රහාරය පිළිබදව ජනාධිපති කොමිසම් වාර්තාව එලිදැක්වුවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රජයේ ඉතාම අකැමැත්තෙන් බව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හැසිරීමෙන් අපි දැක්කා. එම වාර්තාව අධීක්ෂණයට ඇමතිවරු 6 දෙනෙක් පත් කරලා.

මේ වාර්තාවේ පිටු ගලවලා ඒවා කුණු බක්කියට දාන්න සැලැස්මක් තිබුණා. කාදිනල් හිමිපාණන් ඇතුළු ආගමික නායකයින්ගේ බලපෑම නිසා එසේ කරන්න බැරි වුණා.

දැන් එම වාර්තාව ජනතාවට දැකගන්න ලැබිලා තියෙනවා. මෙම වාර්තාවේ ඇඟිල්ල දික් වුනු පුද්ගලයෝ අද නිහඩ වෙලා තියෙනවා. ඒ වගේම යම් බලවේග කාදිනල් හිමිපාණන්ට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

කාදිනල්හිමිපාණන් පැවසූ පරිදි ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළොත් මේ පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් හෙළි වෙනවට තමයි මේ බලවේග අද බය වෙලා තියෙන්නෙ. මෙම ප්‍රහාරයේ මහ මොලකරු කවුද, මේ තුලින් දේශපාලන වාසි ගත්තේ කවුද යන තොරතුරු විමර්ශන වී නැත්තේ ඇයි කියලා අපි අහනවා. මේ ප්‍රහාරයේ සියලු වැරදි සහරාන් පිට දාන්න හදනවා. එහෙම නැතුව මේ ගැන නිසි විමර්ශනයක් කළ යුතුයි.

මෙයට විදේශ දේශපාලන නායකයින් ගේ සම්බන්ධතා මොනවාද ? ඒ අයට මුදල් ලැබුණු ආකාරය වහා හෙලි කළ යුතුයි. මේ වාර්තාවේ තිබෙන කරුණු යටගහන්න හදන්න එපා. සාමාන්‍ය පෙළ නැති නීතියක් දන්නේ නැති ඇමතිවරු මෙයට පත් කරලා වැඩක් නැහැ. කාදිනල් හිමිපාණන් පවා එම කමිටුව ප්‍රතික්ෂේප කරා.

මෙහි යම් කරුණු යට ගැහීමක් තිබෙනවා. දේශපාලන හිතවත් කමට ඇතැම් අය බේරා ගන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ සාධාරණයක් ඉටුවනකන් ප්‍රහාරයෙන් මිය ගිය පවුල් වල අය බලා සිටිනවා. කවුරු මෙය යටගහන්න හැදුවත් සත්‍ය ජනතාවට හෙලි වෙනවා. එය රටෙ නීතිය තුලින් ඉටු නොවුනොත් ජාත්‍යන්තරයට ගෙන යනවා. මේ තුලින් දේශපාලන වාසි ගන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ දින තුනක් (3) මේ වාර්තාව පිළිබඳ විවාද කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රහාරය වලක්වා නොගෙනීමට දඩුවම් දීම පමනක් නොවෙයි බලාපොරොත්තු වෙන්නේ. සහරාන්ගේ ලොක්කා කවුද ඔහු පෝෂණය කරේ කවුද යන්න දැනගැනීමත් කළ යුතුයි.”

***************************************

අපේ රටේ දැනුම් පද්ධති සොරකම්කරන් ගියා.. හෙළ වෙද රහස් සහිත පුස්කොළ පොත් 2227 ක් එංගලන්තයේ

(25.02.2021 – colombotoday.com)

යටත්විජිත සමයේ අප රටින් බැහැරට ගෙන ගොස් මේ වන විට විදේශයන්හි රදවා තබාගෙන තිබෙන හෙළ වෙද පොත්, පුස්කොළ පොත් සහ දේශීය වෙදකමට අදාල ලේඛන හා ග්‍රන්ථ නැවත මෙරටට ලබාගැනීම පිළිබද විශේෂ සාකච්ඡාවක් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දින එම අමාත්‍යංශයේදී පැවත්විණි.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් ආයුර්වේද දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, බුද්ධශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සම්බන්ධීකරණය කරගනිමින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙස මෙම මූලික සාකච්ඡාව පවත්වා තිබේ.

එහිදී නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ක්‍රමවේද තුළ විදේශයන්හි රදවා තබාගෙන ඇති අපගේ දේශීය වෙදකම හා සම්බන්ධ වෙද පොත් හා ලේඛන මෙරටට ලබාගැනීම සදහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබදව දීර්ඝව සාකච්ඡා කෙරුණි.

බටහිර යටත්විජිත කාලපරිච්ඡේදය තුළ අපේ රටේ දැනුම් පද්ධති සොරකම් කරන් ගියා.

ඉංග්‍රීසීන්, පෘතුගීසීන්, ලන්දේසීන් ඇතුළු විවිධ ජාතීන් බටහිර බටහිර කෞතුකාගාර තුළ මේ පුස්කොළ පොත්, වෙද පොත් ඇතුළු ග්‍රන්ථ සුරක්ෂිතව තබාගනිමින් ඒවා භාවිතා කර විවිධ දේශීය ඖෂධ නිෂ්පාදනයට උත්සාහයක් දරනවා.

අප දේශීය වෛද්‍ය අමාත්‍යංශය විදියට මුලපිරුවා මේ පුස්කොළ පොත් සංරක්ෂිතව මෙරටට ගෙනඒම පිළිබදව.

එංගලන්තයේ කෞතුකාගාරයක විතරක් තිබෙනවා හෙළ වෙද ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළත් පුස්කොළ පොත් 2227 ක්.

ඒවා මෙරටට ගෙනඒම සදහා ඒකාබද්ධ රාජතාන්ත්‍රික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු වනවා, අප එය ක්‍රියාත්මක කරනවා යනුවෙන් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

එමෙන්ම මේ රටේ දේශීය වෙදකම, පාරම්පරික වෙදකම රැකගැනීමේ අරමුණින් අප පසුගිය කාල පරිච්ඡේදය තුළ කටයුතු රාශියක් ක්‍රියාත්මක කළා යැයි වැඩිදුරටත් පැවසීය ෴

***************************************

සහරාන්ගේ ලිපිගොනු සැඟවූ අයට අපරාධ චෝදනා නෑ – කොමිසම දෙබිඩි පිළිවෙතක – ජනාධිපතිතුමනි 2.50 නිර්දේශ දාන්න කුණු කූඩෙට

(26.02.2021 – colombotoday.com)

ඥානසාර හිමිගෙන් තොරතුරු අරගෙන උන්වහන්සේගේ ප්‍රකාශ දෙකක් (2) දක්වමින් බොදු බල සේනා සංවිධානය ඉලක්ක කිරීමට කටයුතු කර ඇති පාස්කු කොමිසම සහරාන් පිළිබඳව තොරතුරු ඇතුලත් ලිපිගොනු සැඟවීමට කටයුතු කල නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන අසාද් නවාවී සහ මලික් අසීස් ට විරුද්ධව අපරාධ චෝදනා නැගීමට අසමත් වී ඇති බව ‘නව සිංහල රාවය’ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අද (26) කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

ඥානසාර හිමිගේ ප්‍රකාශ දෙක (2) නිසාද බෝම්බ ගැහුවේ නොඑසේනම් 2017 ලැබුණු සහරාන්ගේ ලිපිගොනුව සැඟවීම නිසාද බෝම්බ ගැහුවේ කියලා කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කර සිටින බව ප්‍රකාශ කර සිටි සුදත්ත හිමියෝ ‘කොමිෂන් සභාව කාවද මේ රකින්න උත්සහ කරන්නේ’ යැයි සඳහන් කර සිටියා.

සහරාන් සමග සෘජුව හා වක්‍රව ගනුදෙනු කල දේශපාලකයන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සහරාන්ලට දේශපාලන, මුල්‍ය අනුග්‍රහය ලබා දුන් පුද්ගලයින්ට විරුද්ධව කිසිදු නිර්දේශයක් නොමැති බවත් සුදත්ත හිමියෝ පැවසීය.

ජනාධිපති කොමිෂන් සභාව සහ ‘දෙකයි පනහේ නිර්දේශ’ කුණු කූඩයට දමන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ විමර්ශන නිලධාරීන්ට මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට අවස්තාව ලබා දෙන ලෙස සුදත්ත හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදි.

++++++++++++++++

25-02-2021

***************************************

‘සාරා’ ගැන කොමිසම් වාර්තාවේ කිසිදු අවධානයක් යොමු කර නැ.. අනාවරණය කර ගත හැකිව තිබු තොරතුරු ද නොසලකා හැරලා

(26.02.2021 – colombotoday.com)

මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු වූ ‘මොහම්මදු මොහොමදු හස්තූන්’ගේ බිරිඳ ‘සාරා’ නොහොත් ‘පුලස්තිනි රාජේන්ද්‍රන්’ ඉන්දියාවට පළා යාම පිළිබඳව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව කිසිදු අවධානයක් යොමු කර නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, කොමිසම අනාවරණය කර ගත හැකිව තිබු තොරතුරු ද නොසලකා හැර ඇති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ‘නාමල් කුමාර’ නැමැත්තෙකු කරළියට පැමිණ මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව හෙළි කිරීම හා ඒ සම්බන්ධයෙන් විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රබල මැදිහත් වීම මත මුදා හැරීම ද කොමිසමේ අවධානයට ලක්ව නැතැයි නිවේදනයේ සඳහන් විය.

ජනාධිපතිවරයෙකු ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලතල ක්‍රියාත්මක නොකිරීම කිසිසේත් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට කරුණක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අවධාරණය කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව පෙන්වා දෙන්නේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව සිය වගකීම් ඉටු කර ඇතැයි වාර්තාවෙන්ම පැහැදිලි වන බවයි.

ඔහුට එරෙහිව කිසිදු අපරාධ නඩුවක් පැවරීමට නීතිමය වශයෙන් හෝ කරුණු වශයෙන් ඉඩක් නැතැයි ද විධායක සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමස්ත ලංකා විධායක සභාව සඳහන් කර ඇත්තේ, කොමිෂන් සභාව ඔවුන්ට පැවරූ බල සීමාව තුළට නොවැටෙන එයින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

රාජ්‍ය සේවකයින්, නිලධාරීන් වශයෙන් සිටි හෝ දැනට සිටින තැනැත්තන් මෙම සිද්ධිදාමයට සෘජුව හෝ වක්‍රව සබඳතා ඇත්දැයි සොයා වාර්තා කිරීමට කොමිසමට නියෝග කර ඇති බව නිවේදනයේ දැක්වේ.

කොමිසමට දුන් බලතල තුළ කිසිසේත්ම රාජ්‍ය නායකයා හෝ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාප ඔවුන් වෙත පැවරී ඇති ව්‍යවස්ථාමය වගකීම් ක්‍රියාත්මක කිරීමට අදාළව හෝ පැහැර හැරීම පිළිබඳව පරීක්ෂා කිරීමට කිසිදු බලයක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව පෙන්වා දෙයි.

නිවේදනයේ දැක්වෙන්නේ, නැව් මගින් ආයුධ ආනයනය කර ඇති බවට තිබෙන තොරතුරු නොසලකා හැර ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව කොමිසම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද්විත්ව ප්‍රතිපත්තියක් ලෙස සලකන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව අවධාරණය කර ඇත.

කොමිෂන් සභා වාර්තාව, අදාළ ප්‍රහාරය සැලසුම් කළ අය, බෝම්බකරුවන්ට ප්‍රහාරය සඳහා මුදල් සැපයු අය හා ආරක්ෂාව සැපයූ අය පිළිබඳව සැලකිල්ලක් දක්වා නැති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව සඳහන් කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *