‘ගම සමග පිළිසඳරක්’ – ත්‍රිකුණාමලය – ගෝමරංකඩවල

‘ගම සමග පිළිසඳරක්’ – ත්‍රිකුණාමලය – ගෝමරංකඩවල

*********************************************

‘ගම සමග පිළිසඳරක්’ – ත්‍රිකුණාමලය – ගෝමරංකඩවල

(27.02.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට එම ගම්මානවලට ගොස් විසඳුම් ලබාදීම සඳහා ක්‍රියාත්මක ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දොලොස්වැන්න මේ වනවිට ත්‍රිකුණාමලය, ගෝමරංකඩවල – කිවුලේ කඩවල විද්‍යාල භූමියේදී පැවැත්වෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

රාජ්‍ය නිලධාරින් සහ ජනතාව එක් ස්ථානයකට කැඳවා ජනතා ගැටලු විසඳීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

මේ අතර, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ඕනෑම ආණ්ඩුවක් අතීතයෙන් පාඩම් උඝත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කෘෂි අපනයන ගම්මාන සහ කලාප පිහිටුවිමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) හම්බන්තොට – කසාගල රජමහා විහාර පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා ෴

***************************************

(27.02.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පසුගියදා සිදුව තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ පෙරේදා පැවති මෙම සාකච්ඡාවට එක්වූ බවයි.

මෙහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම, ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම, මෙවර මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන් සහ ඊට පෙර පක්ෂයේ ජාතික සම්මේලන කිහිපයක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ ෴

***************************************

(27.02.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

***************************************

(27.02.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

කොළොම්පුර ජනතාවගේ ජල අවශ්‍යතාවන් සම්පූර්ණ කරනු ලබන්නේ ලබුගම හා කළටුවාව ජලාශවලින් සැපයෙන ජලය හරහායි.

මේ දිනවල දිවයිනට බලපා ඇති වියලි කාලගුණයත් සමඟ කලටුවාව ජලාශය ඉදි කිරීමේදී වැසී ගිය ගොඩනැගිලි, මාර්ග ආදියෙහි නටඹුන් වසර 8 කට පසුව මතුව තිබෙනවා.

දුරාතිතයේදී පානීය ජල යෝජනා ක්‍රමයක්‌ නොතිබුණු කොළොම්පුර ජනතාව තම ජල අවශ්‍යතාව සපුරාගත්තේ කොළඹ පිහිටි ළිං තුළින්.

නමුත් ජනගහනය වැඩිවීමත් මුහුද ආසන්නයේ පිහිටි ළිංවල ලවණ සාන්ද්‍රණයත් නිසා විකල්ප පානීය ජල යෝජනා ක්‍රමයක්‌ පිළිබඳව අවධානය යොමුකරන්නට බලධාරීන්ට සිදුවුණා.

යටත් විජිත සමයේ එංගලන්තයේ 7 වන එඩ්වඩ් රජු ලෙස කිරුළු පැළදි වේල්ස්‌ කුමරුගේ යෝජනාවකට අනුව ලබුගම ජලාශය බිහිවන්නේ මෙම අවශ්‍යතාවට පිලියමක් ලෙසින්.

කොළඹින් කිලෝ මීටර් 39 ක්‌ දුරින් පිහිටි මනරම් කදුවළල්ලකින් වටවූ ලබුගම ග්‍රාමයේදී මෙම ජලාශය ඉදි කෙරෙන්නේ කැලණි ගඟට ගලා බසින ඔය හරස්‌ කර පස්‌ වලින් නිර්මාණය වූ වේල්ලක් හරහායි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ කලටුවාව හා ලබුගම ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් පහත බැස තිබෙනවා.

කලටුවාව ජලාශය ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් සමඟ කොළඹ රත්නපුර පැරණි ප්‍රධාන මාර්ගයත්, ඒ අවට ඉපැරණි ගොඩනැගිලි නටඹුන් ආදියත් මතුව ඇත්තේ යටගිය අතීතය නැවත විදහා දක්වමින්.

***************************************

(27.02.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

මේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයයි.

දළුව, මාම්පුරිය, ඉලන්තඩිය, ආලංකුඩා, පනිඅඩිය, නොරෝච්චෝල, සේතපොල, කන්දකුලිය, තේලිය, තලවිල, පාලකුඩා, ඇතුළු ප්‍රදේශ රැසක අක්කර 20,000 කට වැඩි බිම් ප්‍රමාණයකින් දෛනිකව කිලෝග්‍රෑම් ලක්ෂ දෙකකට අධික එළවළු තොග රටපුරා බෙදාහැරීම සිදුවන්නේ නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානය හරහායි.

එය සැලකෙන්නේ මෙරට එළවළු අවශ්‍යතාවයෙන් 40% ක් පමණ ලෙසයි. එවැනි දායකත්වයක් සපයන නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයේ අඩු පහසුකම් හේතුවෙන් ගොවීන්, වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයින් ද දැඩි අසීරුතාවයට පත්වී තිබෙනවා.

තම වගාබිම්වලින් ආරක්ෂිතව රැගෙන එන එළවළු සහ පලතුරු වර්ග නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයේදී අව්වට නිරාවරණයවීම නිසා ඒවාහී ගුණාත්මක බව අඩුවන බව වගාකරුවන් පවසනවා.

වෙළඳසැල් හිමියන් සහ පාරිභෝගිකයින් නගන තවත් චෝදනාවක් වන්නේ ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිලි පද්ධතියක් නිසි ලෙස නොමැතිවීමත් පවතින පද්ධතිය නිසි ලෙස පිරිසිදු නොකිරීමත් හේතුවෙන් මෙම ස්ථානයට පැමිණෙන විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වන බවයි.

වගාකරුවන්, තොග වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් පවසන්නේ වෙනත් ආර්ථීක මධ්‍යස්ථාන වල ඇති පහසුකම් වලින් සියයට එකක් හෝ මෙම ස්ථානයේ නොමැති බවයි.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසයි.

රටටම එළවළු සපයන පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය මෙලෙස නොසලකා හැරීම සමස්ත රටටම හානියක් නොවන්නේද?

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(27.02.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක්.

නමුත් ජල ව්‍යාපෘතියක් තිබියදීත් අපිරිසිදු ජලය බීමට සිදුව ඇති ගම්වාසීන් පිරිසක් පිළිබඳ අපට වැලිකන්ද මහවැලිතැන්න ගම්මානයෙන් වාර්තා වුණා.

මේ වැලිකන්ද මහවැලිකන්ද ගම්මානයයි.

මෙම ගම්මානයේ පවුල් 450 ක පුද්ගලයින් 1800 ක් පමණ ජීවත් වන අතර ඔවුන් තම දෛනික පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නේ ගම්මානයේ ඇති ඇළ මාර්ග හරහායි.

නමුත් පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය හරහා රුපියල් ලක්ෂ 86 ක් වැය කරමින් ජල රැඳවුම් ටැංකියක් සහ ජල පෙරන පද්ධතියක් පසුගිය රජය සමයේ මෙහි ඉදිකර තිබෙනවා.

2018 වර්ෂයේ ඔක්තෝම්බර් 27 වැනිදා විවෘත කළ බවට පුවරු සවි කර තිබුනද ගම්වාසීන් පවසන්නේ එය මෙතෙක් සක්‍රීය මට්ටමේ නොමැති බවයි.

ඇළ මාර්ග හරහා පැමිණෙන ජලය බීමට තරම් සුදුසු මට්ටමක නොමැති බවට ගම්මානයේ ජනතාව චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් ජනතාව වකුගඩු රෝගි තත්ත්වයන්ට ද ගොදුරුවීමේ අවදානමක් මතුව ඇති බවයි.

ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විධිමත් ක්‍රමයක් යටතේ තමන්ට පානය කිරීම සඳහා පිරිසිදු ජලය ලබා දෙන ලෙසයි.

***************************************

(27.02.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දෙවන (2) වෙළුමේ සිට පස්වන (5) වෙළුම දක්වා වූ වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ අදාල සියලු වාර්තා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදයට පෙර මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

වෙළුම් 5 කින් සමන්විත පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සියලු වාර්තා නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට සාර්ථක විවාදයක් පැවැත්විය නොහැකි බව ද අදාළ ලිපියේ සඳහන් ෴

***************************************

(27.02.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

මත්ස්‍ය සම්පත් බෝ කිරීමේ අරමුණෙන් ධීවර අමාත්‍යාංශය මඟින් සිදුකෙරෙන භාවිතයට නොගන්නා රථ වාහන මුහුදේ ගිල්වීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ගාල්ල ධීවර වරායේදී අද (27) ආරම්භ කෙරුණා.

ඒ ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ යටතේ ධාවනයෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංගම බස් රථ කිහිපයක්, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුර නෞකාවෙන් රැගෙන ගොස් වරායේ සිට කිලෝමීටර් 13 ක් දුර මුහුදු පතුලේ තැන්පත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

***************************************

(27.02.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සිදුකළ විශේෂ සෝදිසියකදී ජංගම දුරකථන 11 ක් සහ සිම්පත් 4 ක් සොයා ගෙන තිබෙනවා.

එම සෝදිසියේදී ජංගම දුරකථන බැටරි හා චාජර් කිහිපයක් ද සොයා ගෙන ඇති අතර මෙවැනි සෝදිසි මෙහෙයුම් ඉදිරියේදී කොළඹ අවට සෙසු බන්ධනාගාර වල ද සිදුකරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ෴

***************************************

නාවික හමුදාව මගින් අපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

(27.01.2021 – news.navy.lk)

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව මුදවාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2021 පෙබරවාරි 27) කටයුතු කරන ලදී.

2021 පෙබරවාරි මස 23 වන දින මන්නාරම සවුත්බාර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් (ලියාපදිංචි අංක OFRP –A-950 MNR) එහි සිටි ධීවරයින් දෙදෙනා (2) සමඟ අතුරුදන් ව ඇති බැවින් එම යාත්‍රාව සොයා ගැනීමට සහය දක්වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාව දැනුවත් කරන ලදි.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව අදාල ඩිංගි යාත්‍රාව සොයා එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ අතර, කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත ‘සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය’ මගින් ‍මෙම අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳව ඉන්දියාවේ චෙන්නායි පිහිටි ‘සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය’ ද දැනුවත් කිරීමට කටයුතු කරන ලදි. එහිදී අදාල යාත්‍රාව අන්තර්ජාතික මුහුදු සීමාවෙන් (IMBL) ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසා ගෙන ගොස් තිබියදී ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් මගින් සොයා ගන්නා ලද බව ‍ඉන්දියාවේ චෙන්නායි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය විසින් කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය දැනුවත් කරන ලදී. පසුව එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් අන්තර්ජාතික මුහුදු සීමාවට (IMBL) රැගෙන ඒමට ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් කටයුතු කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සුරනිමිල නෞකාව විසින් එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (2) අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාව වෙතින් භාරගෙන ගොඩබිම වෙත ආරක්‍ෂිතව ගෙන ඒමට අද (27) දින කටයුතු කෙරිණි.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති සියළු උපදෙස් අනුගමනය කරමින් මෙම සෙවීම් හා මුදවා ගැනීමේ මෙහෙයුම සිදු කිරීමට කටයුතු කරන ලදි. තවද, කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් 2021 වර්ෂයේදී ගතවූ කාලසීමාව තුලදී පමණක් ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීමේ කළාපය තුල විවිධ ආපදාවන්ට ලක් වූ වෙළඳ නෞකා 05 ක් සහ ධීවර යාත්‍රා 21 ක් එම ආපදාවන්ගෙන් මුදවා ගැනීමට සම්බන්ධීකරණයවී කටයුතු කර ඇත. එමෙන්ම එම කාලසීමාව තුල මුහුදේදී ඇති වූ හදිසි ආපදා හා රෝගාබාධ හේතුවෙන් ජීවිත අවදානමට ලක්ව සිටි ධීවරයන් 25 දෙනෙකුගේ ජීවිත මුදවා ගැනීමටද අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

[ සේයාරූ ]

@@@@@@@@@@@@@

(27.02.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය නව මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා වන විශේෂඥ කමිටුව අද (27) මධ්‍යහ්න දොලහට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතව තිබුණා.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙන්ම කමිටුවේ සාමාජිකයින් තුන්දෙනෙකු (3) එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවේදී අවසන් තීරණයකට පැමිණිය හැකි වුවහොත් කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබන සතිය මුලදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉඩ සලසන අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා.

සෞඛ්‍ය ඇමතිනී, පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව මෙතෙක් පැවති ගැසට් නිවේදන මගින් ක්‍රියාත්මක වූ නිරෝධායන නියෝග සංශෝධනයට ලක් කළා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට ස්ථාන නිර්දේශ කරනතුරු එය ක්‍රියාවට නංවීමේ ගැටළු මතුව ඇති බවයි.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය යළිත් එන්නත්කරණ සේවාවල නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කය තුළ එන්නත්කරණ සේවා වලින් ඉවත්වීමට තීරණය කර තිබුණේ එන්නත් ලබාදීම සඳහා යොදාගැනෙන මධ්‍යස්ථාන ප්‍රමාණය අඩු කිරීමට සහ එන්නත්කරණ වයස් කාණ්ඩ සම්බන්ධයෙන් නිසි මාර්ගෝපදේශ නොලැබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, එම ගැටළුවලට විසඳුම් ලැබීමත් සමඟ මෙලෙස යළිත් එන්නත්කරණ සේවාවල නිරත වන බවයි ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති සමින්ද සමරදිවාකර මහතා කියා සිටියේ.

කොරෝනා එන්නත්කරණයේදී වයස අවුරුදු 30 ත්, 60 ත් අතර පිරිසටද එන්නත් ලබාදීමට තීරණය කිරීමත් සමඟ මේ වනවිට අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීමේදී ගැටළු මතුව ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කළා.

කෙසේ වෙතත්, කොරෝනා මරණ අවම කර ගැනීමට සහ වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත් ලබාදෙන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව මේ වනවිට පුද්ගලයින් හාරලක්ෂ 6,633 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

ඊයේ (26) දිනයේදී එන්නත් ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 13,164 ක්.

මේ අතර, මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 497 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 151 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

+++++++++++++++++++++

(27.02.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4855 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හඳුනා ගත් නව ආසාදිතයින් 8 දෙනාම නේවාසික රැඳවියන්.

මේ වනවිට සුවය ලැබූ බන්ධනාගාර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4663 ක්. ඒ අනුව, තවදුරටත් ප්‍රතිකාර ලබන රැඳවියන් සිටින්නේ 233 දෙනෙකු පමණයි ෴

++++++++++++++++++++

(27.02.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව සිටි තවත් 748 දෙනෙකු අද (27) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 78,373 ක් බවයි.

තවදුරටත් ආසාදිතයින් 3593 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 220 ක් හඳුනාගෙන තිබෙනවා ෴

@@@@@@@@@@@@

මේ අහිංසක පැටව් දෙන්නට අපි සරණක් වෙමු –
Talk with Sudaththa (27.02.2021)

බැංකු ගිණුම :

Sudaa Community Care Foundation
A/C No. : 036010318233
Bank : Hatton National Bank
Branch : Rajagiriya

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *