රනිල් ඉවතට.. සන්ධානය බහුතර බලය පෙන්වයි.. අගමැති නිමල් සිරිපාල සමග ඇමති මණ්ඩලය දිවුරන්න සූදානම්.. එජාප විසි ගණනක් අලුත් ආණ්ඩුවේ..

(14.02.2018 – 22:46 +0530 – lankacnews.com)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර නව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නව අගමැතිවරයෙක් පත් කර ආණ්ඩුව ගෙන යාමට එම සන්ධානය බහුතර බලය පෙන්වීමට සූදානම් වෙයි.

මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සන්දානය විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට සූදානම් බව ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තබාගෙන කටයුතු කිරීමට සූදානම් නැති බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට සූදානම් බවත්ය.

ජනාධිපතිවරයා විසින්ද මෙම ඉල්ලීම පිලිගෙන ඇති අතර ඉදිරි දිනක හෝ දෙකක් කාලය ඇතුලතදී පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් ජනාධිපතිවරයා බාර දීමට නියමිතය.

එජාපය ඉවත් කර සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් විපක්‍ෂයේ සිට ඊට සහයෝගය ලබා දෙන බවත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවිය යුතු බවත් ඒකාබද්ද විපක්‍ෂය දැනටමත් සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ බහුකර බලය පෙන්වීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දී තිබූ කාලය අද පස්වරුවෙන් අවසන් වී ඇත.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසක් නව ආණ්ඩුවට එක්වීමට නියමිත බවයි.

පත්වන නව ආණ්ඩුවේ අගමැතිවරයා බොහෝ විට නිමල් සිරිපාල ද සිල්වා මහතා විය හැති බවදටද වාර්තා වෙයි ෴

+++++++++++++++++++++++++++++++

අගමැති තනතුරට නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වෙයි
(14.02.2018 – 22:13 +0530 – lankadeepa.lk)

ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සිකුරාදා (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති.

නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (14) රාත්‍රීයේ කොළඹ 07 මහගමසේකර මාවතේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අනිද්දා (16) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශය කරනු ඇත.

ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක් වීමත් සමඟ ආණ්ඩුවේ ගමන පිළිබඳව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක්ද පැන නැගී තිබේ ෴

+++++++++++++++++++++++++++++++

නව අගමැතිවරයෙක් සමඟ නව රජයක් පත් කරන්න
(14.02.2018 – 19:43 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අද (14) පස්වරුවේ එම ඉල්ලීම ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කමිටු ලේකම් තිලංග සුමතිපාල මහතා අද දෙරණට ප්‍රකාශ කළේය ෴

++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

මහින්ද මෛත්‍රී ආණ්ඩුවක් ! අගමැති මහින්ද ?
(14.02.2018 – nethnews.lk)

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ සාමාජිකයින් ඒ පිළිබඳව ඊයේ රාත‍්‍රියේ රහසිගත සාකච්ඡා වට දෙකක් ද පවත්වා තිබෙනවා. නව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව මෙම දෙපාර්ශවය අතර දුරකථනයෙන් ද සාකච්ඡා පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය රැගෙන පැමිණි එම පාර්ශව පිලිබඳව තමන් හෙළි නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමට දන්වා තිබෙනවා. නව සන්ධාන රජයේ අග‍්‍රාමාත්‍යවරයා පත් කිරීමේ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙන බවද දේශපාලන ආරංචි සඳහන් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව සන්ධාන රජයේ අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීමට යෝජනාවක් ද ඉදිරිපත් වී තිබෙනවා ෴

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *