ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් උතුරු නැගෙනහිර අනවසර වෛද්‍ය සායන

(26.02.2018 – 16:45 +0530 – rivira.lk)

සංචාරක වීසා උපයෝගි කර ගනිමින් ඉන්දියාවේ සිට වෛද්‍යවරුන් යැයි කියාගන්නා කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වෛද්‍ය සායන පවත්වමින් හා සායනික පුහුණුවීම්වල යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ කිසියම් පුද්ගලයෙක් වෛද්‍යකර්මයේ යෙදෙන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය වන නමුත් මෙම වෛද්‍ය කණ්ඩායම් එසේ ලියාපදිංචියක් ලබා නොගෙන සායන පැවැත්වීම හා පුහුණුව ලබා ගැනීම බරපතළ තත්ත්වයක් යැයි සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.

වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා නොගෙන යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් වෛද්‍ය සායනයක් පවත්වා මිනිස් ජීවිතයකට යම් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම භාර ගැනීමට පුද්ගලයකු හෝ ආයතනයක් නොසීටීම බරපතළ ගැටලුවක් යැයිද සංගමය පෙන්වා දෙයි.

මෙම පුද්ගලයින් මෙරටට පැමිණෙන්නේ කාගේ අවසරය මතද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දීමටද කටයුතු කරන බව සංගමය සඳහන් කරයි.

මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නොමැතිව ඇතැම් පෞද්ගලික රෝහල්වල සේවය කළ ඉන්දීයානු වෛද්‍යවරුන් එරටට පිටමන් කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලකිරීම මත රජයට පියවර ගැනීමට සිදු වූවා යැයි ද වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය ෴

****************************************

බැදුම්කර අරක්කු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්ඩියාගේ ඉහමොළ රත්වේ.. ජම්පරේ ගැන නිතර සිහිවේ..
(27.02.2018 – 15:00 +0530 – lankacnews.com)

බදු නොගෙවීම නිසා සිය නිෂ්පාදන බලපත්‍රය තහනමට ලක්වී ඇති සහ දුර්වල පරිපාලනය, සමාගම අභ්‍යන්තරයේ සිටින ඉහළ නිලධාරින් කිහිප දෙනෙකුගේ වංචාව හා දූෂණය නිසා දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වී දැනට වසා දමා ඇති ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා ඊයේ දින (2018.02.26) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බවට වාර්තා වේ.

ඒ පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ අන්තර්-සමාගම් අතර විවිධ බැංකු හරහා සිදු වී ඇති සැක කටයුතු මූල්‍ය ගනු දෙනු පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහාය.

තමාගේ පදයට නටන්නේ නැති සෑම තරාතිරමකම නිලධාරීන්ට ඔහු සිය සමීපතම ඥාතියකු වන හිටපු හමුදා සෙබළකු සමාගමේ ආරක්ෂක නිලධාරි තනතුරෙහි තබා ගනිමින් විවිධාකාරයේ තර්ජන හිරිහැර සිදු කරමින් ඇතැම්විට ඔවුන්ට රැකියාව පවා එපා කරවමින් කටයුතු කලේ ය.

එහි උච්චතම අවස්ථාව වන්නේ වරක මෙම සමාගමේ මානව සම්පත් කළමනාකාරිනිය “බකාඩි” වැනි ඉහළ වටිනාකමක් ඇති මත්පැන් බෝතල් තොගයක් ආරක්ෂක කළමනාකරුගේ ද සහායෙන් ආයතනයෙන් බැහැරට යවා සොරකම් කිරීමේ චෝදනාවට ලක්වූ අවස්ථාවේදී මොහු සමූහ විගණන නිලධාරියාට පමණක් නොව සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ට ද තර්ජනය කර සිය සමීපතමයන් ආරක්ෂා කර ගැනීමට තරම් බල සම්පන්න වීමය.

නමුත් මේ වනවිට මොහු දැඩි භීතියකින් පසුවන්නේ ඇලෝසියස් පිය-පුතුන්ගේ වැරදි සඳහා ආධාර උපකාර කිරීම නිසා තමා ද මහත්වූ ප්‍රතිලාභ ලැබුවද නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වුවහොත් “ජම්පරය” ඇදීමට සිදු වන බව ඉතා හොඳින් දන්නා නිසා ය.

– සුධීර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *