බ්‍රිගේඩියර් ප්‍රියංකගේ පවුලේ සාමාජිකයන් බ්‍රිතාන්‍යයෙන් පිටමං කරන්න, ගෝලීය දෙමළ සංසදය උත්සාහයක

(27.02.2018 – 12:27 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයන් වෙත නිකුත් කර ඇති වීසා බලපත්‍ර අහෝසි කරන ලෙස ගෝලීය දෙමළ සංසදය එරට ස්වදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඔවුන් එම ලිපිය මගින් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට යැවීම පිළිබද සතුට පළ කරන අතර ඔහුගෙන් යැපෙන්නන් වන බිරිඳට සහ ළමයින්ට නිකුත් කර ඇති වීසා බලපත්‍ර අහෝසි කරන ලෙසයි.

අදාළ ලිපිය යොමු කර ඇත්තේ ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ගේ අත්සනින්.

කෙසේ නමුත්, එම ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරන බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබද කාර්යාලයේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය පෙබරවාරි 4 වන දා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසළ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ බවයි.

ඒ පිළිබදව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය බෝරිස් ජොන්සන් මෙරට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන අමතා ඍජුවම අදහස් දැක්වූ බව එමගින් සඳහන් කළා.

ලක් රජය ද සිද්ධිය පිළිබද විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි බ්‍රිතාන්‍ය රජය අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සිද්ධිය පිළිබදව තියුණු පරීක්ෂණයක් සිදුකරන බව බ්‍රිතාන්‍ය රජයේ අදහසයි.

ඒ බව දන්වා බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු කාර්යාලය මෙම පිළිතුරු ලිපිය යොමු කර ඇති බව සඳහන්.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට කළ කැඳවීමකට අනුව ඔහු පසුගිය 22 වන දා දිවයිනට පැමිණියා.

ඔහු මෙලෙස මතභේදයට ලක්වූයේ නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට සිය නිළ ඇඳුමේ ‘සිංහ’ සලකුණ පෙන්වා සංඥාවක් කිරීමේ සිද්ධිය හේතුවෙන්.

පසුව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ බව විදේශ අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලත් නැවත ජනාධිපතිවරයාගේ නියෝගය මත ඔහු යලි එම රාජකාරිවල පිහිටුවනු ලැබුවා.

මේ අතර, යුද හමුදාපතිවරයා විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඊයේ (26) යුද හමුදා මූලස්ථානයට කැදවා කරුණු විමසා තිබෙනවා.

ලන්ඩනයේදී ඇති වූ සිද්ධිය පිළිබඳව එහිදී යුද හමුදාපතිවරයා කරුණු විමසූ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී සාකච්ජාවට භාජනය වී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++

බ්‍රිගේඩියර් ප්‍රියංකට මාස 05ක පුහුණුවක් දෙන්න තීරණය කරයි
(27.02.2018 – nethnews.lk)

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවයේ යෙදී සිට ශ්‍රී ලංකාවට කැඳවන ලද බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දු, චීනයේ පුහුණු පාඨමාලාවක් සඳහා නම් කර තිබෙනවා.

මෙය මාස 05 ක පාඨමාලාවක් බවයි හමුදා ආරංචි පවසන්නේ.

මෙම පාඨමාලාව සඳහා ලබන මස දෙවන සතියේදී පමණ බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දු, චීනය බලා පිටත්ව යනු ඇතැයි ද හමුදා ආරංචි කියා සිටියා ෴

****************************************

‘මසාජ් සෙන්ටර්’ එකකින් අල්ලස් ගත් ASP අත්අඩංගුවට
(27.02.2018 – nethnews.lk)

සම්බාහන මධ්‍යස්ථානයකින් අල්ලස් මුදලක් ලබාගනිමින් සිටියදී වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 30,000 ක මුදලක් ලබා ගනිද්දි අද (27) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගැනුනා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *