ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු පෞරාණික ග‍්‍රන්ථ රැසක් සංරක්‍ෂණ කර අවසන්

(27.02.2018 – 20:18 +0530 – sinhala.adaderana.lk)

පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ආරම්භක පියවරක් ලෙස, ගම්පහ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන 55 ක් සතුව තිබූ ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු 3,600 කට අධික පෞරාණික ග‍්‍රන්ථ ප‍්‍රමාණයක් අනාගත පරපුර සඳහා සංරක්‍ෂණය කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අදාළව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම පුස්කොළ පොත්වල පැවති තොරතුරු අළලා සකස් කරන ලද ජාතික පුස්කොළ පොත් නාමාවලියේ පළමු වෙළුම ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.

අතීත ශ‍්‍රී ලාංකිකයන් තම දැනුම සහ තොරතුරු අනාගතය වෙනුවෙන් ආරක්‍ෂා කරගැනීමේ ප්‍රධාන මාධ්‍යයක් ලෙස පුස්කොළ පොත් භාවිතා කරනු ලැබුවා. ශීඝ‍්‍රයෙන් අභාවයට යන මෙම සංස්කෘතික උරුමය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සම්බන්ධව අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පුස්කොළ පොත් සංරක්‍ෂණය කඩිනමින් සහ නිසි ප්‍රමිතියකින් සිදු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත උපදෙස් ලබා දී තිබේ.

දීර්ඝ කාලයක සිට නිසි පරිහරණයක් සහ ආරක්‍ෂක ක‍්‍රමවේදවලින් බැහැරව සිදු කළ ගබඩා කිරීම් නිසා මෙම ග‍්‍රන්ථවලින් වැඩි ප‍්‍රමාණයක් මේ වන විට විනාශයට පත් වෙමින් පවතී. එබැවින් ලංකාව පුරා විහාරස්ථානවල සහ පුද්ගලික එකතු ලෙස පවතින පුස්කොළ ග‍්‍රන්ථ නිසි පරිදි හඳුනාගෙන ආරක්‍ෂා කිරීමේ අරමුණින් මෙම සංරක්ෂණ වැඩසටහන ආරම්භ කර තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විධිමත් පුහුණුවක් ලබා ඇති නිලධාරීන් කණ්ඩායමක් මෙම කාර්යය සඳහා යොදවා ඇති අතර, ඔවුන් විසින් නියමිත තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සංරක්ෂණ කටයුතු සිදු ලැබේ. අනතුරුව මෙම පුස්කොළ පොත්වල අන්තර්ගතය අධ්‍යයනය කිරීමටත්, පුස්කොළ පොත් ස්කෑන් කොට දත්ත ගබඩාවක් ලෙස සකස් කිරීමට සහ අවසානයේ එම පුස්කොළ පොත් විවරණ සහිතව සුචිගත කිරීමටත් පියවර ගැනේ.

අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන්නේ, පුස්කොළ පොත්වල පවතින ඓතිහාසික වටිනාකම පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීමට ද අවධානය යොමු කළ යුතු බවයි. ඒ අනුව පුස්කොළ පොත් නිෂ්පාදනය කිරීම හා නිසි පරිදි සංරක්‍ෂණය කිරීම පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයෙහි ප‍්‍රදර්ශන කුටියක් ද නිර්මාණය කොට තිබේ. මීට අමතරව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පුස්කොළ පොත් සංරක්‍ෂණය පිළිබඳව අධ්‍යාපනික ප‍්‍රදර්ශන සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් දිවයින පුරා පාසල්වල මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක‍්‍රියාත්මක කරමින් සිටි ෴

*****************************************

යාපනයේ ‘ආවා ගෘෘප්‘ කල්ලියේ නායක ‘සනා අන්නා‘ අල්ලයි
(27.02.2018 – News e Lanka)

යාපනයේ ක්‍රියාත්මක වූ ”ආවා ගෲප්” කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන ”සනා අන්නා” හෙවත් ”සානා” යාපනයේ මනිපායි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ආනේකෝට්ටේ ප්‍රදේශයේ නිවසක අදාල සැකකරු සැගවී සිටින බවට යාපනයේ මනිපායි පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ 25 දා රාත්‍රියේය.

මෙම ”සනා අන්නා” නැමති අය යාපනයේ ”ආවා ගෲප්” කල්ලිය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේදී යාපනයේ පුද්ගලයින් පස් දෙනෙකුව කඩු වලින් කපා කොටා තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව වසරක සිරදඩුවමක් නියම වී බන්ධනාගාර ගත වී ආපසු පැමිණි අයෙකි.

පොලීසිය පවසන්නේ මොහු බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි පසුව යලිත් යාපනයේ ක්‍රියාත්මක වූ ”ආවා ගෲප්” කල්ලියට නායකත්වය දෙන බවට තොරතුරු ලැබී තිබුණද ඔහු සිටින තැනක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

සැකකරුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යාපනය දිසා අධිකරනයට ඉදිරිපත් කිරීමට මනිපායි හා යාපනය පොලීසි පියවර ගෙන තිබේ.

– දිනසේන රතුගමගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *