හොරු රට යවලා ගොවීන්ට එලව එලවා ගහනවා.. – මෛත්‍රී ගුණරත්න කියයි..

(02.03.2018 – 16:40 +0530 – lankacnews.com)

වර්තමාන ආණ්ඩුව රට කොල්ල කාපු හොරුන්ට රට යන්න අවසර දීලා ජාතියට බත සපයන ගොවි ජනතාවට එලව එලව පහර දෙන තත්වයට පත්වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා කෑගල්ල ප්‍රදේශයේ පවතී ජන හමුවක් අමතමිනි.

‘‘මේ ආණ්ඩුව ඇවිත් කරපු කිසිම සංවර්ධන වැඩක් නැහැ,අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවල තිබුන ආර්ථික කළමනාකරණ කමිටු අද වෙනකොට ජනාධිපතිතුමා විසුරුවා හරින්න කියල නියෝග කරලා. ඒ ආර්ථික කමිටුවේ හිටපු අගමැතිවරයා ඇතුළු සියලු දෙනා අවුරුදු තුනක් තුල කරපු ආර්ථික සංවර්ධනයක් නැහැ. කරපු එකම දේ මහා බැංකුව කොල්ලකාපු එක සහ හොරුන්ට රටෙන් පැනලා යන්න ඉඩ සලස්සපු එක විතරයි.

කළුතර දිස්ත්‍රිකයේ අගලවත්ත ටයර් කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා. එක සම්පුර්ණයෙන් අසාර්ථක වුනා. කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් හදනවා කිව්වා, එකත් අසාර්ථක වුනා. පසුගිය ආණ්ඩුව කරපු ව්‍යාපෘති වලට බැන බැන ඉදලා දැන් ඒ චීන ආධාර ව්‍යාපෘති ටිකම දිගටම ඇදගෙන යනවා ඊටත් වඩා වියදම් කරලා’’ යනුවෙන් ගුණරත්න මහතා පැවසිය.

තව දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා,

‘‘පසුගිය දවසේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවින් උද්ඝෝෂණයක් කරා. ඒ සාධාරණ අයිතිවාසිකමක් වෙනුවෙන් රාජාංගනය වැවෙන් අක්කර 17000 ගොවිතැන් කරන ගොවීන්ට ජලය සපයන රාජාංගනය වැව චීන සමාගමකට පානීය ජල බෝතල් හදන්න මේ රජය කටයුතු කිරීමට විරුද්ධව. නමුත් මේ රජය ඒ ජනතාවට පහර දීල ඔලු පලලා පාර දිගේ එලව එලව පහර දෙනවා.

අගමැතිවරයා පොලිසිය භාර ඇමැති වෙලා සතියක කාලයක් යනකොට මේ රටේ ගොවි ජනතාවට සලකන විදිය මේක නම් අපේ රටේ ජීවත්වෙන සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ඉදිරියට විසදන විදිය අපට හිතාගන්න පුළුවන්. අපිට මතකයි අගමැතිවරයා මහා ජනතාව ලගට ඇවිත් ප්‍රකාශ කලේ පැරකුම් යුගයක් ආරම්භ කරන්න තමන්ට බලය දෙන්න කියලා, දැන් අපි අහනවා මොන පරාක්‍රමබාහුද විදේශ සමාගම්වලට රටේ වැව් විකිණුවේ කියලා.

අද ගොවි ජනතාව කබලෙන් ලිපට වැටිලා. පොහොර සහනාධාර බෙදන එක අද සම්පුර්ණයෙන් අවුලක් කරගෙන. දැන් පොහොර මිටියක් වෙනුවට සල්ලි දෙන්න යනවා. අපි එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදියට කියනවා මේ රටේ ජාතියට බත සපයන ගොවි ජනතාවට පහරදීලා මේ ආණ්ඩුව ගෙදර යන්නයි මේ සුදානම් වෙන්නේ කියලා. සැබෑවට ගොවි ජනතාවගේ ප්‍රශ්න හදුනාගෙන ඒ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට ජනතාවට කදුළු ගෑස්, බැටන් ප්‍රහාර දෙන්න හදනවා නම් අපි මේ ආණ්ඩුවට හා අගමැතිවරයට කියනවා ගෙදර යන්න සුදානම් වෙන්න කියලා’’යනුවෙන් සදහන් කළේය.

– කේ. ටී. දර්ශන

++++++++++++++++++++++++++++++

රනිල් අගමැතිකමේ ඉන්නේ බටහිර රටවල බලපෑමෙන්
(01.03.2018 – lakbima.lk)

බටහිර රටවල ප්‍රතිගාමී ජාත්‍යන්තර බලවේගයේ ආසියානු කලාපීය නායකයා වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එම පිටුබලය මගින් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් දිගටම බලයේ රැඳී සිටීමට කටයුතු කරමින් සිටින බව ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීවේය. ඔහු සඳහන් කරන්නේ නීතිය හා සාමය අමාත්‍යංශය අගමැතිවරයාට පැවැරීමද බටහිර බලපෑම හා සිදුවූවක් විය හැකි බවය.

කොළඹ බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (28) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

මේ රජය පිහිටුවාගන්න 2015 දී සිටම ඇමෙරිකාව ඇතුළු රටවල් කුමන්ත්‍රණය කරනු ලැබුවා. 2015 පැවැති ජනාධිපතිවරණය හා මහා මැතිවරණයේදී මෛත්‍රී රනිල් ජයග්‍රහණය කරවන්න බටහිර රටවලින් විශාල මෙහෙයුමක් දියත් කළා. ඒ මෙහෙයුම තවමත් ඉවර නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව දෙන්නේ නෑ. මේ බටහිර බලවේග රනිල් වික්‍රමසිංහ හරහා ඔවුන්ගේ බලය ක්‍රියාත්මක කරමින් නව ලිබරල්වාදය අපේ රටට ආදේශ කරන්නයි උත්සාහ කරන්නේ. මේ වැඩපිළිවෙ‍ලේදී ජනපති අසරණ කර ඇති බවද තිස්ස විතාරණ මහතා සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *