අපරාධකාරයෙක් හරියට වැරදිකරුවා කරන්න අවුරුදු 17 ක් ගතවෙන බව මාන්නප්පෙරුම වාර්තාවෙන්‘ හෙළි වේ..!

(26.09.2017 – 06:45 +0530 – lankaenews.com)

හොරු ඇල්ලීම ප්‍රමාද යැයි ජනතාව දැඩි කනස්සල්ලෙන් සිටියදී ලංකාවේ බරපතල අපරාධයක් සිදු කිරීමෙන් පසු ඊට අදාල අපරාධකරුවන්ට දඬුවම් ලබා දී අවසන් යුක්තිය පසිඳලීම සඳහා සාමාන්‍යයෙන් වසර 17 ක් තරම් විශාල කාලයක් ගත වන බව හෙළි වී තිබේ.

මේ හෙළිදරව්ව සිදුකරන්නේ නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් පසු ඉදිරිපත් කරන ලද නිර්දෙශ ඇතුලත් වාර්තාව මගිනි.

අජිත් මාන්නප්පරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ සියළු පක්ෂවල මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත මෙකී කාරක සභාව විසින් පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා මෙම වාර්තාව එළි දක්වන ලදී.

එහිදී ලංකාවේ අපරාධයක් පිලිබඳව යුක්තිය පසිඳලීමේ දී පවතින මෙම බරපතල සහ ලැජ්ජා සහගත ප්‍රමාදය සම්බන්ධයෙන් හෙලිවී ඇති ඇස් අදහා ගත නොහැකි කරුණු මෙසේය :

1. වරද සිදුකළ දිනය සහ අධි චෝදනාව මහාධිකරණයට ගොනු කිරීමට ගත වන කාලය සාමාන්‍යයෙන් වසර 4 යි මාස 7 කි.
2. අධිචෝදනාව ගොණු කරන දිනයේ සිට සත්‍ය ලෙස අදාල නඩුවේ නඩු විභාගය ආරම්භ වන දිනය අතර කාලය සාමාන්‍යයෙන් වසර 3 යි මාස 7 කි.
3. මහාධිකරණයේ දී නඩුවේ සාක්කි විභාගය ආරම්භ වීම සහ නඩුවේ තීන්දුව අතර කාලය සාමාන්‍යයෙන් වසර 1 මාස 8 කි.
4. මේ අනුව මහාධිකරණයේ දී විභාග කළ යුතු බරපතල අපරාධයක් සිදු වන දිනයේ සිට එම නඩු මහාධිකරණයේ දී විභාග කොට අවසන් වන දිනය අතර වූ කාලය සාමාන්‍යයෙන් වසර 10 ක් මාස 2 ක් වේ.
5. ඉන්පසුව මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති අභියාචන අවස්ථා දෙක අවසන් වීම සඳහා තවත් වසර 7 ක සාමාන්‍ය කාලයක් ගත වේ.
6. මේ අනුව ලංකාවේ අපරාධයක් සිදුකර අවසන් යුක්තිය පසිඳලීම සඳහා වසර 17 යි මාස 2 ක් තරම් දීර්ඝ කාලයක් සාමාන්‍යයෙන් ගත වේ.

මීට අමතරව සංකීර්ණ කරුණු සහිත ලේඛන විශාල ප්‍රමාණයක් සහ සාක්කි කරුවන් විශාල ප්‍රමාණයක් සිටින මුදල් විශුද්ධිකරණය චෝදනා වැනි නඩු වලදී මීටත් වඩා කාලයක් ගත වන බවද අණාවරනය වී ඇත.

මේ අවසනාවන්ත තත්ත්වය වැළැක්වීම සඳහා,

1. 1978 නීතිගත කළ Trial at Bar නමැති විශේෂ අධිකරණ විභාග ක්‍රමය අනිවාර්ය විය යුතු බවත්,
2. දූෂණ විරෝධී මහාධිකරණයක් අලුතින් පිහිටැවිය යුතු බවත්, එහි මහාධිකරණ විනිසුරු තිදෙනකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩල 3 ක් මගින් දිනපතා නඩු විභාග කළ යුතු බවත්,
3. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 110 ක් දක්වා වැඩි කළ යුතු බවත්,
4. අනුරාධපුර, මහනුවර, ගම්පහ, රත්නපුර, මාතලේ ප්‍රදේශ වලට අලුතින් මහාධිකරණ 1 බැගින්ද , කොළඹට අලුතින් මහාධිකරණ 5 ක් ද වශයෙන් අලුතින් මහාධිකරණ 10 ක් ආරම්භ කළ යුතු බවත්,
5. ළමා අපචාර සම්බන්ධයෙන් කොළඹ වෙනම මහාධිකරණයක් ආරම්භ කළ යුතු බවත්,

විසඳුම් ලෙස යෝජනා කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම මේ සඳහා පුළුල් කළ යුතු අන්දම සම්බන්ධයෙන් ද යෝජනා රාශියක් මෙකී පාර්ලිමේන්තු කාරක සභාවේ ‘මාන්නප්පෙරුම වාර්තාව‘ විසින් නිර්දේශ කර ඇත.

රාජපක්ෂලා හොරුන් නොවේ යැයි කියන නීතිඥ සංගමයේ වත්මන් සභාපති යූ.ඊ සිල්වා අධිකරණයට සිදුවන විනාශය වළක්වන්නැයි කියා රන්ජන් රාමනායක දඬු කඳේ ගැහීමට කාලය ගත කරනවා වෙනුවට ඉහත කාරණා වළක්වා ගැනීමට මහන්සි වන්නේ නම් කාටත් වැඩ දායක වනු ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *